Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 20
711
Views
ගාල්ලේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ විලාශයෙන් තම කණ්ඩායමට පාඩම් කිහිපයක්ම ඉගෙන ගැනීමට ඇති බව නවසීලන්ත නායක කෙන් විලියම්සන් පවසයි. දෙවැනි ටෙස්ට් තරගය ජය ගනිමින් තරගාවලිය සම කිරීමට එම පාඩම් ඉතාමත් වැදගත් බව නවසීලන්ත නායකයා පවසයි.
 
 නවසීලන්තය වත්මන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ සිටින අතර ඔවුන් මාස 29 කින් ටෙස්ට් තරගාවලියක් පරාජය වී නොමැත. අවසන් වරට නවසීලන්තය ටෙස්ට් තරගාවලියක් පරාජය වී ඇත්තේ 2017 වසරේ මාර්තු මාසයේදී දකුණු අප්‍රිකානුවන් හමුවේය. අවසන් වරට නවසීලන්තය සහභාගි වූ ටෙස්ට් තරගාවලි අටෙන් හතක්ම ජය ගෙන ඇති අතර ඉන් තරගාවලි පහක්ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට, එංගලන්තයට, පාකිස්තානයට, ශ්‍රී ලංකාවට, සහ බංග්ලාදේශයට එරෙහිව පිට පිටම ජය ගැනීමට සමත් විය.
 
 දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ආකාරයත් එහිදී දිමුත් කරුණාරත්න ලබාගත් ශතකයත් නවසීලන්ත නායකයාගේ ප්‍රශංසාවට ලක්විය. ‘‘සිව්වැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිති ප්‍රහාරය දුන් ආකාරයට සියලූම ගෞරවය ඔවුන්ට හිමිව යුතුයි. දිමුත් කරුණාරත්නගේ ශතකය අති විශිෂ්ඨයි.
 
 අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය නවසීලන්තය 1-1 ක් වශයෙන් සම කර ගැනීමට සමත් විය. එම තරගාවලියේදීත් ගාල්ලේ පැවැති තරගය කඩුලූ 10 කින් පරාජය වු නවසීලන්තය පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගය ලකුණු 167 කින් ජය ගනිමින් තරගාවලිය 1-1 ක් වශයෙන් සමකර ගත්තේය. ඒ මතකය කෙන් විලියම්සන්ට ගාලූ තරගයෙන් පසුව යළිත් මතක් වී තිබේ. විලියම්සන් පී.සරා ඕවල් තරගයේදී ශතකයක් වාර්තා කිරීමටද සමත් විය.
 
 ‘‘මීට වසර කිහිපයකට පෙර අපි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ප්‍රබල ශ්‍රී ලංකා පිලට එරෙහිව තරගාවලිය 1-1 ක් වශයෙන් සම කරන්න සමත් වුණා. ඒ නිසා අපිට ඊළඟ තරගයේදී යළිත් නැගී සිටින්නට හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු ආකාරය අනුව අපිටත් පාඩම් කිහිපයක් ඔවුන්ගෙන් ඉගෙන ගන්නට තියෙනවා. අපිට හොඳ අත්දැකීම් තිබුණත් සමහර තැන්වල අපි හොඳට කළේ නැහැ.’’ යැයි විලියම්සන් පවසයි.
 
 දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය ලබන 22 වැනිදා පී.සරා ඕවල්
 
 ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ටෙස්ට් ශේණියේ හය වැනි තැන සිට පස්වැනි තැන දක්වා ඉහළ නගිනු ඇත. මේ වන විට පස්වැනි තැන හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමටයි. ගාල්ලේ පැවැති තරගයේ ජයත් සමග ශ්‍රී ලංකාවට අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වල තවත් ප්‍රසාද ලකුණු දෙකක් හිමි විය. දෙවැනි ටෙස්ට් තරගයත් ජය ගනිමින් තරගාවලිය 2-0 ක් වශයෙන් අවසන් කිරීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට ප්‍ර‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 99 දක්වා ඉහළ දමා ගැනීමට හැකි වනු ඇත.
 
 නවසීලන්තය දෙවැනි ස්ථානයේ සිටියද ශ්‍රී ලංකාවට පරාජය වීමත් සමග ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 109 සිට 105 දක්වා පහළ බැස තිබේ. ඒ අනුව ඔවුන්ට දැන් සිව්වැනි තැන හිමිව ඇති අතර දෙවැනි ටෙස්ට් තරගය ජයගෙන තරගාවලිය සම කළහොත් පමණක් යළිත් දෙවැනි තැනට පත්වීමේ අවස්ථාව හිමිවන බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම් අධ්‍යනය කිරීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top