Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 03
2,426
Views
"මගේ කුසින් උපන් ගැහැනු දරුවන් මගෙන් වෙන් කළා.."

"කෝටි 10ක දෑවැද්දක් මට දෙන පුද්ගලයෙක් හමු වුණොත් විවාහ වෙනවා..."
 
ඇය විටෙක රංගනයෙන් ද සැබෑ ජීවිතයේදී ද ආන්දෝලනාත්මක පුවත් මවන්නියක්. ඒ පුවත් විටෙක විවේචනවලටද විටෙක ප්‍රශංසාවට ද තුඩු දෙන්නක්. අද ඇය හා දොඩමළු වන්නේ ඇගේ ජීවිතයේ දත් නොදත් තොරතුරු මෙසේ සටහන් කරන්නයි. මේ.. මෙවර සාර්ක් සිනමා උලෙලේ හොඳම නිළියයි. ඇය අනෝමා ජනාදරී..

'අනෝමා ජනාදරී' හැරුණු විට ඔබව හඳුන්වන නම් තිබෙනවාද?
නැත! ගෙදර අය නම් කියන්නේ 'ලොකු' කියලා.
 
වයස කියන්න කැමැතිද?
මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චිගෙන් නිසි පිළිතුරක් ලැබුණොත් මමත් ඇත්ත කියන්නම්.
 
ඔබේ ළමා කාලය කටුක යැයි මා අසා තිබෙනවා?
'පුනරුක්ති' මගේ ජීවිත කතාවේ සියල්ල සඳහන්. මේ රටේ දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සෑම ගැහැනු දරුවකුගේම ජීවිතය කටුකයි.
 
ඒ කාලය ඔබෙන් උදුරා ගත්තේ මොනවාද?
පුරුෂ මූලික සමාජය, පළමුව ගැහැනු දරුවකුගෙන් උදුරාගන්නා දෙය සමාජයට නොකීමට ඇගේ කටත් අම්මාගේ කටත් වැසීමයි.ඒ තාත්තා විසින්. ඔහු මේ රටේ සංස්කෘතික රූකඩයක්. එයින් පසු ගැහැනු දරුවාගේ සියලු අයිතිවාසිකම් උදුරා ගන්නවා.
 
ඔබේ ජිවිතයේ පළමු රැවැටීම?
විවාහය
 
ජීවිතේ වඩාත් සංවේදී වූ මොහොත?
උසස් පෙළට සූදානම් වෙමින් සිටි 16 හැවිරිදි මාව අම්මා, තාත්තා එඬරු දණ්ඩක් වගේ ගෙයින් එළියට විසි කිරීම, මගේ දහඩිය මහන්සියෙන් ගොඩනැඟූ නිවෙසින් නැවත වතාවක් එළියට වීසි කර දැමීම.
 
මුල්ම ජයග්‍රහණය?
අම්මා, තාත්තා, බාප්පා සහ මාව නොතකා හැරිය මගේ අයියා ඇතුළු සියලු දෙනාගේ අභියෝග මැද අපොස උ/පෙළ විභාගය ගොඩදාගෙන කොළඹ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීම.
 
ඔබ පරාජය වී තිබෙනවාද?
'තනි තටුවෙන් පියාඹන්න' සිනමා පටය එහි අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයා හිතා මතාම සිග්නීස්, සරසවිය උලෙළ නියෝජනය නොකිරීම, මගේ කුසින් උපන් ගැහැනු දරුවන් මගෙන් වෙන් කිරීම, ගිවිසුම් ප්‍රකාරවම එකඟව නමුත් විදේශ උළෙලවල මෙන්ම ලොස් ඇන්ජලීස් උළෙලේදී හොඳම නිළිය හැටියට අබිසෙස් ලබද්දී මගේ ශ්‍රමයේ ප්‍රගතිය වන සම්මානය ලබා ගැනීමට මා එහි නොසිටීම, 'දැවෙන විහඟුන්' චිත්‍රපටයට මගේ කුසලතාව, නග්න සිරුර උපරිමයෙන් කැප කර තිබියදී එම චිත්‍රපටයේ සකලවිධ ප්‍රචාරණ කටයුතුවලින් මා ඉවත් කිරීම. මේ රටේ සිනමාවේ නියැළෙන බොහොමයක් කලාකරුවන් වෘත්තීය වශයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ පිළිගැනීමකට ලක්වෙන රෙගුලාසි තිබුණා නම් විශේෂයෙන් මා වැනි නිළියකගේ කැප කිරීම් මේ අයුරින් පරාජයට ලක් වන්නේ නැහැ. මට පෙර මෙවැනි චරිත රඟපෑ නිළියන් ඝාතනයට, පීඩාවට, අවමානයට, දුක්ඛිත තත්ත්වයට ඇද වැටුණා.
 
දරුවෝ ගැන දරණ ආකල්පය?
දරුවන් සම්බන්ධයෙන් මා උගත්තේ මෙවැනි පාඩමක්. ඒ තමයි දරුවන් දරුවන්ගේ. ඒත් ඔවුනට ආදරය සහ රැකවරණය දෙමාපියන් ලබා නොදීම නම් හිරේ යා යුතු වරදක්.
 
ඔබේ ජීවිතයේ පළමු තැන?
දුක් දොම්නස්වලින් පිරුණු ජීවිතයක් ඇති ඕනෑම ගැහැනු ළමයකුට පුළුවන් කලාවෙන් පළමු තැනට එන්න. කලාවට හැකියාවක් තියෙනවා දුක් දොම්නස් ප්‍රති නිර්මාණය කර ඔබේ භාව විශෝධනය කරන්න.
 
ඔබට දහමක් තිබෙනවාද?
දහම කියන්නේ දර්ශනයක් නම් මගේ දර්ශනය තමයි “සමානාත්මතාව”. අවාසනාවට මේ පොළවේ ඇත්තේම නැත්තේ ඒක. ඒක උඩ තමයි අපේ දර්ශනය පිහිටලා තියෙන්නේ කියල කෑගහන එවුන් ළඟ ඇත්තෙම නැත්තෙත් ඒක. මේ වෙලාවේ මම අනුර කුමාර දිසානායකගෙන් අහන්න කැමතියි ජ.වි.පෙ. කාන්තා නියෝජන ප්‍රතිශතය කොච්චරක් ද කියලා.
 
ඔබේ කතාව ඔබටම සිනමාවට නඟන්න හිතෙන්නේ නැද්ද?
හැමෝම මට කියනවා. සිය දහස් වාරයක් මටත් හිතුණා. ඔබේ පුවත්පතේ පුළුවන් නම් පොල් ගෙඩි අකුරෙන් පළ කරන්න “අනෝමාගේ ජීවිත කතාව සිනමාවට නඟන්න කාන්තා නිෂ්පාදකවරියක් ඕනෑ!” කියලා. ඒක මේ පොළවේ හැම ගැහැනු ළමයකුගේම කතාව කියලා මම විශ්වාස කරනවා.
 
ජීවිතයේ දුර්වලම තැන?
ඔබට පුළුවන් ද සියුම් තැනින්ම ඔබ සතු දුර්වලකම් හරිහැටි හඳුනාගෙන ගැහැනියක් හැටියට ඒ සියලු දුර්වලකම්වලට අභියෝගයක් වෙමින් සිහිකල්පනාවෙන් ඔබේ පෞරුෂය ගොඩනඟා ගන්න. මේ පොළොවේ ගැහැනුන්ට ඇති සියලු සමකම් පුරුෂ මූලික සමාජයේ තහංචි taboos විසින් දුර්වලකම් හැටියට නාමකරණය කරලයි තියෙන්නේ. මම මේ නිකමට කියන්නේ අහිංසක විදියට හිමින් කතා කෙරුවොත් ඒක දුර්වලකමක්. කට ඇරලා හයියෙන් කතා කළොත් ඒකත් දුර්වලකමක්. මනස්ගාත ගොඩයි. මම කියන්නේ ගැහැනු දුර්වල නැහැ පොඩ්ඩක්වත්.
 
වරක් ඔබ පවසනවා සාර්ථක කාන්තාවක් පසුපස පිරිමින් දෙදෙනකු ඉන්නවා කියලා.ඔබටත් එය එසේද?
ඔව්! සුප්‍රසිද්ධ කියමනක් තියෙනවානේ. Every succesful man has two women කියලා. ඉතිං ඇයි අපිටත් කියන්න බැරි ඒකෙම අනෙක් පැත්ත.
 
ඔබට අනුව පිරිමියා නිර්වචනය කළොත්?
හැටහතර මායම් ඇති උපන්දා සිට මැරෙනකම්ම අතෘප්තිමත් සතෙක්.
 
ඔබේ පළමු ආදරය ?
හඳයා...ට...
 
මේ වනවිට ඔබ විරුද්ධ ලිංගික ආදරයක් විඳිනවාද?
මිනස් ජීවිතය, ලිංගිකත්වය, ආදරය ඒකාකාරී ආකාරයට විඳීම තමයි අපි ජීවිතය කියලා කියන්නේ.ඇයි ඔබට තනියම ඉඳලා ජීවිතේ විඳින්න බැරිද?
 
ගැහැනියක් ලෙස ඔබ තෘප්තිමත් ද?
සැබැවින්ම නැහැ! පිරිමියා මේ පොළොවේ ගැහැනියකට තෘප්තිමත් වෙන්න ඉඩදෙන්නේ නැහැ.
 
නීත්‍යනූකූල විවාහයකට නැවත යාවිද?
කෝටි 10ක දෑවැද්දක් මට දෙන පුද්ගලයෙක් හමු වුණොත් විවාහ වෙනවා.
 
යම් ලෙසක මේ වෘත්තියට සමු දෙන්න වුණොත්?
මැරුණත් මේ වෘත්තියට සමුදෙන්න අදහසක් නැහැ.
 
ජීවිතයේ ආපස්සට හැරෙන්න අවසථාවක් ලැබුණොත්?
අන්න එහෙම අවස්ථාවක් ලැබුණොත් නම් නැවත විවාහයක්, දරුවන් ගැන හිතල බලනවා.
 
ඔබ මේ සමාජයට වෛර කරනවාද?
මම මේ සමාජය පිළිකුල් කරනවා.
 
ලංකාවේ ඔබට අභියෝගයක් වූ රංගන ශිල්පිනියක් සිටියාද? සිටිනවාද?
මම රඟපෑමේ කුසලතාවෙන් සන්නද්ධයි. චරිතයට අදාළ නිරුවත් ජවනිකා රඟපෑමට නිර්භයයි. මේ අර්ථ දෙකෙන් මට අභියෝගයක් වූ හෝ වන කිසිම නිළියක් මට හමුවී නැහැ.
 
ජීවිතේ අහිමි වූ දේවල්?
ගැහැනුකමට අයිති හැම දෙයක්ම මේ පොළොවේදී හැම ගැහැනියකටම අහිමියි. ඒ අහිමි දේවල් අනෙක් පාර්ශ්වය නොදන්නා එක තමයි ගැහැනියකට තියෙන ලොකුම අහිමිකම...
 
වේදනාව විරහව හා කෝපය පිට කරන්නේ?
වැඩකිරීමෙන්, කතා කිරීමෙන් හා රඟපෑමෙන්...
 
දවසක තනි වේවි යැයි සිතෙන්නේ නැද්ද?
මම බලාගෙන ඉන්නේ තනි වෙනකල්.
 
උපුටා ගැනීම: සිළුමිණ








 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top