Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 30
929
Views
‘කිං ඛාන්’ ගේ පුත්‍රයාත් දියණියත් දැන් බොලිවුඩ් ලෝකය තුළ පුවත් මවමින් සිටිනවා. මේ දෙදෙනා තමයි ආර්යන් ඛාන් සහ සුහානා ඛාන්. ‘කිං ඛාන්’ කවුරුන්දැයි ඔබ දන්නවා. ඔහු තමයි බොලිවුඩ් සිනමාවේ නිල නොලත් රජු හෙවත් ශාරුක් ඛාන්. ශාරුක් සහ ඔහුගේ බිරිය ගෞරීගේ පුත්‍රයාටත් දියණියටත් අද රසික කැල දක්වන්නේ දැඩි සෙනෙහසක්. ඔවුන් දෙදෙනා එතරම්ම රසික ප්‍රසාදය දිනා ගන්න සමත් වෙලා.

ආර්යන් පසුගිය දා සිනමා ලෝකයට පා තැබුවා. ඒ චිත්‍රපටයක රඟපෑමෙන් නම් නොවෙයි. විදෙස් චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන් තම කටහඬ එක් කිරීමෙන්. නවතම හොලිවුඩ් කාටුන් චිත්‍රපටයක් වන ‘ද ලයන් කිං’ චිත්‍රපටයේ සිම්බා ගේ චරිතය වෙනුවෙන් තමයි, ආර්යන් හින්දි බසින් දෙබස් කවන්නේ. මේ චිත්‍රපටයේ මුෆාසා වෙනුවෙන් හඬ මුසු කරන්නේ ශාරුක් ඛාන්. පිය පුතු දෙපළ එලෙස හඬ කවන ‘ද ලයන් කිං’ ඉංග්‍රීසි චිත්‍රපටය හින්දි දෙබසින් යුතුව බොලිවුඩ් සිනමා රසික පිරිස හමුවට ළඟදීම පැමිණේවි.

තම පුතු සමඟ එකම චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන් හඬ කැවීමට ලැබීම ගැන සතුටු වන බවයි, ශාරුක් ට්විටර් පිටුවෙහි සටහන් කර තිබුණේ.

ශාරුක් - ගෞරී යුවලගේ දියණිය, සුහානා ඛාන් උසස් අධ්‍යාපනය ලබන්නේ එංගලන්තයේ. මේ වන විට ඇය ඒ අධ්‍යාපන කටයුතු නිම කරමින් සිටිනවා. ඉගෙනීම්වල යෙදී සිටින අතරතුරදී එම පාසලේ විවිධ ප්‍රසංග වෙනුවෙන් නිර්මාණය කළ වේදිකා නාට්‍යවලත් ඇය රඟපානවා. මේ නිසා පාසලේ සිසු සිසුවියන් අතර ඇය වඩාත්ම ජනප්‍රියයි. ඒ ශාරුක් ඛාන් ගේ දියණිය නිසාම නොවෙයි. රංගන දක්ෂතා ඇය තුළ තිබෙන නිසා.

ශාරුක් සහ ගෞරී මේ බව හොඳින් ම දන්නවා. ඒ නිසා ඉඩක් ලැබුණු හැටියේම ලන්ඩන් නුවරට ගොස් තම දියණියගේ රංගන හැකියාවන් බලන්න ශාරුක් අමතක කරන්නේ නැහැ. සුහානා මෑතකදී කෙටි චිත්‍රපටයක රඟපෑවා. මේ චිත්‍රපටය නිර්මාණය කළේ ඇය සමඟ එකට ඉගෙනුම ලබන මිතුරියක්. සුහානා එහි රඟන්නේ සිත් පීඩා විඳින යුවතියකගේ චරිතයක්. චිත්‍රපටයේ නම ‘ජුලියට්’. සුහානා නිරූපණය කරන්නේ ජුලියට් ගේ චරිතයයි. එය නැරඹීමෙන් පසුව සතුටට පත් වූ ශාරුක් ට්විටර් සටහනකින් ප්‍රකාශ කළේ ‘ජුලියට්’ ට සහ කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්න දායක වූ ඇගේ මිතුරු මිතුරියන් සැමටම සුබ පතන බවයි.

තම දූ දරුවන්ගේ ඉදිරි අනාගතය ගැන ‘මුම්බායි මිරර්’ පුවත්පත විමසූ පැනයකට පිළිතුරු දුන් ශාරුක් පැවසුවේ ආර්යන් හෝ සුහානා සිනමා රංගනයට පිවිසීමට තවමත් සුදුසුකම් සපුරා නැති බවයි. “සුහානා, එයාගෙ ඉගෙනීමේ වැඩ කටයුතු අවසන් කළාට පස්සේ රංගනය පිළිබඳ ආයතනයකට බැඳිලා අවුරුදු තුන හතරක පුහුණුවක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. පුතාගේ බලාපොරොත්තුව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්නලු. ගෞරි වත් මම වත් අපේ දරුවන්ට කියල නැහැ රඟපෑමට යොමු වෙන්න කියල. මිනිස්සු නම් කියයි පෙනුම ලස්සනයි, හරිම හුරු බුහුටියි කියල. රඟපෑමට එකම මිනුම් දණ්ඩ ලස්සන හැටියට එදා සැළකුවා නම් මම අද නළුවෙක් වෙන එකක් නැහැ”.

ශාරුක් තරයේ විශ්වාස කරන්නේ රංගනය හොඳින් හැදැරිය යුතු විෂයයක් බවයි. ශාරුක්, තම බාල පුතු ආබ්‍රම් ගැන කිසිවක් නොකීවේ ඔහු තවම කුඩා දරුවකු නිසයි.

ශාරුක්ගේ ආදර බිරිය, ගෞරී බලසම්පන්න කාන්තාවක් හැටියටයි බොලිවුඩ් මාධ්‍ය හඳුන්වන්නේ. ඒ, ඇය අංශ කිහිපයකින්ම ඉදිරියට පැමිණ සිටින නිසයි. ගෞරී, චිත්‍රපට නිෂ්පාදිකාවක්. ඇය රෙඩ් චිලීස් සිනමා සමාගමේ සම සභාපතිනිය හැටියට කටයුතු කරනවා. ගෞරී සහ ශාරුක් තමයි, මෙහි සම සභාපතිවරුන් වන්නේ.

ගෞරී තවත් වෘත්තියක නියැළී සිටිනවා. ඒ තමයි, අභ්‍යන්තර ගෘහ අලංකරණ කටයුතු. ඇය එම කාර්යයට උපන් හපනියක් බව කවුරුත් දන්නා දෙයක්.

රංගනය සහ චිත්‍රපට නිෂ්පාදනය නිසා කෙතරම් කාර්ය බහුලව සිටියත් ශාරුක්, සමාජ සේවය වෙනුවෙන් තම ධනය සහ කාලය කැප කරන්න මැලි වී නැහැ. පසුගියදාට යෙදී තිබුණු පියවරුන්ගේ අන්තර්ජාතික දිනය වෙනුවෙන් වෙබ් අඩවියක් දියත් කරන්න ශාරුක් පියවර ගත්තා. මේ වෙබ් අඩවිය ශාරුක්ගේ පුරෝගාමීත්වයෙන් පිහිටුවන ලද ‘මීර් පදනම’ සමඟ සම්බන්ධ වෙනවා. ‘මීර් පදනම’ ඔහු ස්ථාපිත කළේ තම පියා (මීර් ටාජ් මොහොමඩ්) වෙනුවෙන්. මේ පදනම වෙන් වී ඇත්තේ සමාජ සත්කාරක කටයුතුවලටයි. විශේෂයෙන්ම, අසරණ තත්ත්වයට පත්ව සිටින ඉන්දීය කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට ‘මීර් පදනම’ ගොඩ නැංවූ බවයි, කිං ඛාන් පවසන්නේ.



Image result for shahrukh khan son
Related image
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top