Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
557
Views
ලංකාවේ පාසල් ආරම්භ කරන්නේ උදෑසන හතයි තිහට පමණ. නමුත් අලුයම පහට ආරම්භ කරන අපූරු පාසලක් පිළිබඳව අපට දැනගන්නට ලැබුණා. ඒ අනුව එම පාසල සොයා අප පසුගිය දිනක අළුයම කාලයේ එම පාසලට ගියා.
 
මෙම පාසල පිහිටා ඇත්තේ බළන්ගොඩ පොල්ලමුරේ ප්‍රදේශයේ. නමින් රත්නපුර වීරසේකර විද්‍යාලය ලෙස හදුන්වන මෙම විද්‍යාලයේ සිසුන් එකසිය විසි අටකි. ගුරු මණ්ඩලය දාහතකි.
 
අළුයම පහට මෙම පාසල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ සිසු දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින්.

විශේෂයෙන්ම දරුවන්ගේ ඉංග්‍රීසි කථන හැකියාව වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව එම විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. ආ‍ර්. රංජිත් කරුණාතිලක මහතා සඳහන් කළා. විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරයා වන ජී. එල්. වීරරත්න මහතාගේ සංකල්පයක් අනුව මීට වසර තුනකට ඉහතදී මෙම අපූරු ඉංග්‍රීසි පන්තිය ආරම්භ කර තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුහල්පති ඩබ්ලිව්. ආර්. රංජිත් කරුණාතිලක මහතා මෙසේ පැවසුවා.
 
"අප විද්‍යාලයේ එක වසරේ සිට එකොළහ වසර දක්වා පන්ති පැවැත්වෙනවා. ඉංග්‍රීසි විෂයභාර ගුරුවරයා වන ජී. එල්. වීරරත්න මහතා මගෙන් ඉල්ලීමක් කළා දරුවන්ගේ ඉංගී‍්‍රසි කථන හැකියාව වර්ධනය කිරීමට අති‍රේක වේලාවකදී පන්තියක් පැවැත්විය යුතු යැයි කියා. ඒ අනුව බළන්ගොඩ කලාප කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාට මේ පිළිබඳව දන්වා ඔහුගේ අවසරය ඇතිව උදෑසන පහට මෙම පන්තිය ආරම්භ කළා. මෙම කටයුත්ත සඳහා අප විද්‍යාලයේ අන්‍යධන කා‍ර්ය මණ්ඩලයේ සේවය කරන අජන්ත උදුගොඩ මහතා විශාල දායකත්වයක් දක්වනවා..."
 
අනතුරුව අදහස් දැක්වූ ඉංග්‍රීසි විෂයභාර ගුරුවරයා වන ජී. එල්. වීරරත්නමහතා මෙසේ කීය.
 
"මම ගුරු වෘත්තියට පැමිණ වසර තිස්පහක් පමණ වෙනවා. මේ වීරසේකර විද්‍යාලය පිහිටා තිබෙන්නේ බළන්ගොඩ නගරයේ සිට කිලෝ මීට‍ර් විසිපහක් පමණ දුරින්. සල්ලි තියෙන අය ඇති හැකි අය දරුවන් නගරයේ පාසල් වලට ඇතුලත් කර තිබෙනවා. ගොවිජනතාවගේ දරුවන් තමයි මේ විද්‍යාලයේ වැඩිපුර ඉන්නේ. ඒ නිසා මේ අහිංසක දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි කථන හැකියාව ව‍ර්ධනය කරන්න මට වුවමනා උනා. අළුයම් කාලය ඉතාමත්ම හොඳ කාලයක්. දරුවන් ප්‍රබෝධමත්ව සිටින මොහොතක්. ඒ නිසා තමයි අළුයම් පහේ සිට උදෑසන හත දක්වා පැය දෙකකට අධික කාලයක් මේ ඉංග්‍රීසි පන්තිය පවත්වන්නේ. හය වසරේ සිට එකොළහ වසර දක්වා දරුවන්ට මම උගන්වනවා. එක වසරේ සිට පහ වසර දක්වා දරුවන්ට අප විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කරන අජන්ත උදුගොඩ මහතා උගන්වනවා. ඇත්තටම මේ කටයුක්ත සඳහා අප දරුවන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. මම උදෑසන හතරට අවදි වෙලා මගේ යතුරු පැදියෙන් පාසලට ඇවිත් මේ පන්තිය ආරම්භ කරනවා. මේ සඳහා දෙමාපියන් විශාල දායකත්වයක් දක්වනවා. සතියේ දින පහේම පන්ති පැවැත්වෙනවා. දරුවන්ට අවශ්‍ය උදෑසන ආහාර දෙමාපියන් ‍‍රැගෙන එනවා..."
 
"මේ දරුවන්ට දැන් ඉතාමත්ම හොඳට ඉංග්‍රීසි කථා කරන්න පුළුවන්. උඩවලව, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව වැනි ප්‍රදේශවලට ගොස් විදේශිකයින් සමග ඉතාමත් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරනවා. දැන් අපේ දරුවන්ට විදේශීය මිතුරන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම බළන්ගොඩ කලාපයේ පාසැල් එකසිය තිහක් පමණ තිබෙනවා. ඒ අතරින් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රථම ස්ථානය අපට හිමි වෙලා තිබෙනවා. ඒ වගේම පළාත් මට්ටමින් ජාතික මට්ටමින් ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. ලංකාවේ ඕනෑම පාසලකට ගිහින් ඉංග්‍රීසි භාෂාවෙන් විවාද කරන්න මේ දරුවන්ට පුළුවන්..."
 
එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන ප්‍රදීප් රුවන් දිලංජන සිසුවා මෙසේ කීය.
 
"ඇත්තටම අපිට ඉංග්‍රීසි වචනයක්වත් කථා කරන්න බැරිව හිටියේ. මේ පන්තිය පටන් ගත්තට පස්සේ අපේ ඉංග්‍රීසි දැනුම කථන හැකියාව දිනෙන් දිනම ව‍ර්ධනය වුණා. අපට දැන් පුළුවන් ඕන කෙනෙක් සමග ඉංගී‍්‍රසි භාෂාවෙන් කථා කරන්න..."
 
අනතුරුව අදහස් දැක්වූ එකොළහ ශ්‍රේණියේ ෂෙහානා මදුරංගි සිසුවිය.
 
"අපේ ඉංග්‍රීසි කථාන හැකියාව ඇත්තටම දැන් අපට හිතාගන්නවත් බැහැ. සිංහල භාෂාවට වැඩිය දැන් අපට ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරන්න පුළුවන්. ඇත්තටම අපේ දෙමාපියන් ගොඩක් දුප්පත් අය. ඒ අයට හරි සතුටුයි අපේ මේ දක්ෂතාවය ගැන..."
 
ලාලනී ගමඇතිගේ මහත්මිය මෙසේ කීවාය.
 
"ඉංග්‍රීසි විෂයභාර ගුරුවරයා වන වීරරත්න මහතා අපට යෝජනා කළා මේ දරුවන්ගේ ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කළ යුතුයි කියා. ඒ අනුව තමයි ඒ පන්තිය පටන් ගත්තේ. අප විද්‍යාලයේ අන්‍යධ්‍යන කා‍ර්ය මණ්ඩලයේ සේවය කරන අජන්ත උදුගොඩ මහතාත් මේ සඳහා විශාල කැප කිරීමක් කරනවා. මේ දෙදෙනා කිසිදු අමතර මුදලක් ලබා ගන්නේ නැහැ. ඇත්තටම ගුරුවරු කියන්නේ දෙවිවරු කොටසක් කියලා අපට දැන් තේරෙනවා..."
 
කේ. ඒ. චන්ද්‍රසිරි මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
 
"මෙම පාසල පිහිටා තිබෙන්නේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක පාසලේ අඩුපාඩු ‍රැසක් තිබෙනවා. දරුවන්ට ක්‍රීඩා උපකරණ නැහැ. සංගීත උපකරණ නැහැ. ඊට අමතරව ගණිතය උගන්වන්න ගුරුවරයෙක් නැහැ. විදුහල්පතිතුමා තමයි ගණිතය උගන්වන්නේ. හොඳම පාසල ලඟම පාසල කියා නාම පුවරුවක් නම් සවිකර තිබෙනවා. නාමපුවරුට පමණක් සීමා වෙලා වැඩැක් නැහැ. බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිනවා දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා..."
 
"විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ කැපවීම ඉතාමත්ම හොඳයි. මේ ඉංග්‍රීසි පන්තිය නිසා අපට දරුවන් ගැන හරි ආඩම්බරයි. විදේශකයින් සමග කථා කරන විදිහ දැක්කම අපට හිතා ගන්නවත් බැහැ මේ පෝලමුරේ ළමයි ද කියලා..." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
එස්. වීරවංශ
මව්බිමඅලුයම පහට ආරම්භ කරන අපූරු පාසල
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top