Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
961
Views
 වීරසිංහ
 
ක්‍රිකට් ලෝක කුසලානය ඇරඹී (1975) වසර 44 කට පසු එංගලන්තය එම කුසලානයට හිමිකම් කියනු ලැබුවේ අවසන් තරගයේදී මතභේදයට තුඩුදුන් විනිශ්චයක් ලෝකය හමුවේ ඉතිරි කරමිනි. එම මතභේදයට තුඩුදුන් විනිශ්චය ලබාදෙනු ලැබූවේ ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන විසිනි. තරගයෙන් ජය ගැනීමට නම් එංගලන්තයට අවසන් පන්දු වාරයේදී ලකුණු 15 ක් රැස් කළ යුතුව තිබිණි. එම ලකුණු 15 න් ලකුණු 6 ක් ඔවුන් උපයා ගනු ලැබුවේ නවසීලන්ත පන්දු රකින්නන් විසින් සිදුකළ පමණ ඉක්මවා පන්දුව විසි කිරීමේ (Overthrow) ක්‍රියාව නිසාය. මේ මොහොතේ එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස පිතිකරණයේ යෙදී සිටියේ බෙන් ස්ටොර්ක් සහ අදීල් රෂීඞ්ය. තරගයේ 49 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවට බෙන් ස්ටොක්ස් විසින් ‘‘ඞීප් මීඞ්විකට්’ කලාපයට එල්ල කරන ලද පහර නවසීලන්ත ක්‍රීඩක මාටින් 
 
 ගප්ටිල් විසින් රැකගෙන කඩුළු රකින අන්තයට යොමු කරන අවස්ථාවේ ස්ටෝර්ක් දෙවැනි ලකුණ කරා දිවයමින් තිබිණි. නමුත් ඔහු එම ලකුණ සම්පූර්ණ කිරීමට පෙර ගප්ටිල් විසින් විසි කරන ලද පන්දුව ස්ටොර්ක්ගේ පිත්තේ වැදී හතරේ සීමාව පසු කරනු ලබයි. එය සිතාමතා සිදුකළ ක්‍රියාවක් නොවන බව බෙන් ස්ටෝර්ක් තම දැත් ඉහළට ඔසවා සංඥා කරද්දී ප්‍රධාන විනිසුරු කුමාර ධර්මසේන පැති විනිසුරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික මාරයිස් ඉරුස්මස් සමග සාකච්ඡා කර එය ලකුණු 6 ක් ලෙස සංඥා කරනු ලබයි. එංගලන්තයට තරගය සමකර ගැනීමේ සිට ජයග්‍රහණය දක්වා පාර කැපෙන්නේ එම ලකුණු 6 ත් සමගය. කුමාර ධර්මසේන විසින් ලබාදුන් එම තීන්දුව මතභේදකාරී තීන්දුවක් බවට පත්වන්නේ තරගයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ජාතික විනිසුරු සයිමන් ටෝෆල් විසින් ධර්මසේනගේ තීන්දුව විවේචනය කිරීමත් සමගය. සයිමන් ටෝෆල් යනු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) ‘වසරේ විනිසුරු’ ලෙස පස් වතාවක් සම්මානයට පාත්‍ර වූ විනිසුරුවරයෙකි. එම නිසා ඔහුගේ විවේචනය සුළුවෙන් බැහැර කළ නොහැක. කුමාර ධර්මසේන විසින් ලබාදුන් තීන්දුව විවේචනය කරන සයිමන් ටෝෆල් ‘එය පැහැදිලිවම වැරැද්දකි, වින්ශ්චයේ දෝෂයකි’ යනුවෙන් ජුලි 15 වැනිදා Fox Sports පුවත්පතට පවසා තිබිණි. ටෝෆල් පවසන්නේ ක්‍රිකට් නීති සංග්‍රහයේ 19.8 වගන්තියේ දැක්වෙන පමණ ඉක්මවා පන්දුව විසි කිරීම (Overthrow) නීතිය යටතේ ධර්මසේන විසින් ලබාදිය යුතුව තිබුණේ ලකුණු 6 ක් නොව 5 ක් බවය. වැඩිදුරටත් ‘ ඕවර් ත්‍රෝ’ නීතිය විග්‍රහ කරන සයිමන් ටෝෆල් පවසන්නේ ගප්ටිල් පන්දුව මුදාහරින අවස්ථාවේ පිතිකරුවන් දෙපළ පැතිමාරු කර නොතිබුණු නිසා එම ලකුණු එකතු කළ නොහැකි බවයි. විනිසුරුවන් විසින් කළ යුතුව තිබුණේ එම වීඩියෝ දර්ශන නරඹා ලකුණු ලබාදීම බවත් එය සිදු නොකිරීමෙන් නවසීලන්ත කණ්ඩායමට විශාල අසාධාරණයක් සිදුවූ බවත් ටෝෆල් පවසා තිබුණි. මතභේදයට තුඩුදුන් මෙම ‘ ඕවර් ත්‍රෝ’ නීතිය පිළිබඳව විමසා බලමු.
 
 ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සකස් කිරීමේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සිදුකරන්නේ එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ (Marylebone Cricket Club) ක්‍රිකට් කමිටුව විසිනි. පැරැණි ක්‍රිකට් නීති යාවත්කාලීන කිරීම ද සිදුකරන්නේ එම කමිටුව විසිනි. මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේය. එළඹෙන ඔක්තෝබර් 1 වැනිදා සිට එහි සභාපතිවරයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරය.
 
nz2මාලිබෝන් ක්‍රිකට් නීති කමිටුව විසින් සකස් කරන ලද ක්‍රිකට් නීති සංග්‍රහයේ සීමාව ගැන සඳහන් 19 වැනි නීතියේ VIII වැනි වගන්තියට අනුව ‘පමණ ඉක්මවා පන්දුව විසි කිරීම (Overthrow) හෝ සිතාමතා නීති විරෝධී ක්‍රියාව සිදුකරන අවස්ථාවේ පිතිකරුවන් ධාවනයෙන් ලකුණක් සඳහා එකිනෙකට මාරු වී සිටියේ නම් එම ලකුණත් සමග එයට පෙර සම්පූර්ණ කරන ලද ලකුණු සංඛ්‍යාව හිමිවේ.’’ 
 
 (19.8 Overthrow or wilful act of fielder If the boundary results from an overthrow or from the wilful act of a fielder, the runs scored shall be any runs for penalties awarded to either side and the allowance for the boundary and the runs completed by the batsmen, together with the run in progress if they had already crossed at the instant of the throw or act.)
 
 මෙහිදී පන්දු රකින්නා පමණ ඉක්මවා පන්දුව විසිකරන අවස්ථාව සහ එම අවස්ථාවේ පිතිකරුවන් රැඳී සිටින ස්ථානය සලකා බැලීම අනිවාර්යය වේ. ධර්මසේනගේ තීන්දුවේදී ගප්ටිල් පන්දුව අතට ගෙන විසිකරන ලද අවස්ථාවේ පිතිකරුවන් පැතිමාරු කර ඇත්තේ එක් ලකුණකට පමණි. ගප්ටිල් පන්දුව විකට්ටුවට මුදාහරිනු ලබන්නේ දෙවැනි ලකුණ සඳහා පිතිකරුවන් පැති මාරු කිරීමට පෙරය.
 
 නීතිය අනුව පන්දුව විසිකරන අවස්ථාවේ පිතිකරුවන් මාරු වී සිටියේ එක් ලකුණක් සඳහා පමණි. ඒ අනුව පන්දුව හතරේ සීමාව පසු කළද කණ්ඩායමට හිමිවන ලකුණු ප්‍රමාණය ලකුණු හයක් නොව 5 කි.
 
 මෙහිදී ලකුණු 5 ලබාදීමෙන් පමණක් විනිසුරුට නිහඬ විය නොහැක. මන්ද ඊළඟට ක්‍රියාත්මක වියයුතු නීතියක් තිබේ. ඒ 18 වැනි නීතියේ 12 වැනි වගන්තියට අනුව ‘පිතිකරු හැරගිය කඩුල්ල වෙත යළි පැමිණීමේ’ නීතිය මෙහිදී ක්‍රියාත්මක විය යුතුය. (Law 18.12.2 (Batsman returning to wicket he/she has left) shall apply as from the instant of the throw or act.)
 
 මෙම නීතිය ‘පමණ ඉක්මවා පන්දුව විසිකිරීම (Overthrow) සිදුකළ මොහොතේ සිට අදාළ වේ. ඒ අනුව ගප්ටිල් විසින් පන්දුව විසිකරන මොහොතේ බෙන් ස්ටොර්ක් රැඳී සිටින්නේ පන්දු යවන අන්තයේය. ‘ ඕවර් ත්‍රෝ’ නීතිය ක්‍රියාත්මක වන්නේ එතැන් සිටය. ඒ අනුව ලකුණු 5 ක් එංගලන්ත කණ්ඩායමට හිමි වුවද බෙන් ස්ටොර්ක්ට යළි පිතිකරණයට අවස්ථාවක් උදාවන්නේ නැත. නමුත් කුමාර ධර්මසේන විසින් දෙනු ලැබූ තීන්දුවත් සමග බෙන් ස්ටොර්ක්ට යළි පිතිකරණයට අවස්ථාව ලැබිණි. තරගය උණුසුම් වන්නේ එතැන් සිටය. කුමාර ධර්මසේන තෙවැනි විනිසුරුගේ සහාය ලබාගෙන වීඩියෝ දර්ශන අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේ නම් තරගයේ තීරණය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීමට ඉඩ තිබුණි. අයි.සී.සී. විනිසුරුවන්ගේ දර්ශකයේ පළමු ස්ථානයේ රැඳී සිටින ධර්මසේනට ‘ ඕවර් ත්‍රෝ’ නීතිය වැරදුණේ කොහොමද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි.
 
 අවසන් තරගයේදී තමා ලබා දුන් තීන්දුව වැරදි බවට විනිසුරු කුමාර ධර්මසේන මේ වන විට පිළිගෙන තිබේ. පසුගියදා (21 දා) ‘දි අයිලන්ඞ්’ පුවත්පතට අදහස් දක්වමින් කුමාර ධර්මසේන පවසා ඇත්තේ ‘‘මගේ අතින් වරදක් වු බව පිළිගන්නවා. ඒ වගේම ‘‘ ඕවර් ත්‍රෝ’’ නීතිය සංශෝධනය විය යුතු බව ද පිළිගන්නා බවයි.
 
 ‘‘ මගේ සගයා වන මාරයිස් ඉරුස්මස් සමඟ සාකච්ඡා කොට මගේ තීරණය ලබා දුන්නා. නමුත් එය නිපන්දුවක් ද, පිට පන්දුවක් ද යන්න තෙවැනි විනිසුරුගෙන් විමසීමට මට නොහැකි වුණා. මට සියයට සියයක් විශ්වාසයි, පිතිකරුවන් තමන්ගේ සීමා තරණය කළ බවට. මම දුටුවා පිතිකරු (බෙන් ස්ටෝර්ක්) ඉතා වේගයෙන් පිතිකරණ රේඛාවට (popping Crease) පැමිණි බව.’’ ධර්මසේන වැඩිදුරටත් පවසා තිබුණි.
 
 කෙසේ වුවද බ්‍රිතාන්‍ය මාධ්‍ය බොහොමයක පළ වී තිබුණේ පිතිකරු බෙන් ස්ටෝර්ක් තමාගේ පිත්තේ වැදී සීමාවට ඇදී ගිය පන්දුවට හිමි වූ ලකුණු හතර ඉවත් කර ගැනීමට විනිසුරු ධර්මසේනගෙන් ඉල්ලීමක් කළ බවය. නමුත් කුමාර ධර්මසේන පවසන්නේ එවන් කිසිදු ඉල්ලීමක් තමන්ට නොලැබුණු බවය.
 
 ‘‘පන්දු රකින්නන් විසින් පන්දුන විසිකරද්දී කඩුල්ලට ඉහළින් සීමාවට ඇදී යන පන්දුවලට ලකුණු ලබාදීම හොඳයි. නමුත් ඒ මොහොතේ පන්දුව පිතිකරුවාගේ පත්තේ හෝ ඇෙඟ් වදිනවා නම් එය අජීවී පන්දුවක් (dead ball) විය යුතුයි.’’ ‘ ඕවර් ත්‍රෝ’ නීතියට සංශෝධන එක් කරමින් ධර්මසේන වැඩිදුරටත් පවසා තිබිණි.
 
 ක්‍රිකට් විනිසුරුවරයකු අතින් ලබාදෙන තීන්දු වැරදිය හැක. පැයට කිලෝ මීටර් 140 පමණ වේගයෙන් පිතිකරුවකු වෙත ඇදී එන පන්දුවක් මගින් ඇති කරන ක්‍රියාවලිය පිළිබඳව තත්පරයක් පමණ ඇතුළත තීන්දුවක් ලබාදීම දුෂ්කර ක්‍රියාවලියකි. නමුත් විනිසුරුවන්ගේ ක්‍රියාවලියේ චමත්කාරය රැඳී ඇත්තේද එම කාල පරාසය කෙටි වීම තුළය. ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරු තීන්දු ලබාදීමේ තාක්ෂණය දියුණු වීමත් සමඟ විනිසුරුවන් විසින් ලබාදෙන තීන්දු පිටිය මැදදීම අභියෝගයට ලක්වෙමින් තිබේ. තාක්ෂණය තුළින්ම එම අභියෝගය ජය ගැනීමට විනිසුරුවන් උපක්‍රමශීලී විය යුතුයි. විනිසුරුවරයකුට තමා ලබාදෙන තීන්දු වැරදිය හැකි නමුත් ක්‍රිකට් නීතිය වරද්දා නොගත යුතුය. විනිසුරුගේ කාර්යය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිරීතිවලට අනුව ක්‍රිකට් තරග පවත්වාගෙන යෑමය. මන්ද නීතිය වරද්දා ගතහොත් විනාශ වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය බැවිනි.
 
 කුමාර ධර්මසේනගේ තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති පිළිබඳව කතා කිරීම ඔවුන්ට අයිති රාජකාරියක් නොවන බවය. එසේ නම් ක්‍රිකට් ව්‍යවස්ථාදායකය වන මාලිබෝන් ක්‍රිකට් නීති කමිටුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරයිද? එසේ නොමැතිනම් ‘ ඕවර් ත්‍රෝ’ නීතියට සංශෝධන ගෙන ඒවිද යන්න පිළිබඳව අපි බලා සිටිමු.
 
 නීතිය පිරිසිදු වන්නේ නඩු කී තරමට මෙන්ම ක්‍රිකට් නීතිය ද පිරිසිදු වන්නේ ක්‍රිකට් තරග ක්‍රීඩා කළ තරමටය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වාගෙන යෑමට නම් නීතිය පිරිසිදුවීම අනිවාර්යය. විනිසුරු කුමාර ධර්මසේන තමාගෙන් සිදු වූ වරද සම්බන්ධයෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන්ගෙන් සමාව අයැද තිබේ. එය අගය කළ යුතු ක්‍රියාවකි. ලෝකයේ බොහෝ විනිසුරුවන් තමන් අතින් සිදු වූ වැරදි සම්බන්ධයෙන් සමාව ඉල්ලා නැත. ඒ අතින් ධර්මසේන විශිෂ්ට විනිසුරුවරයෙකි.
 
 කුමාර ධර්මසේන අතින් සිදු වූ වැරැද්ද හෙට තවත් විනිසුරුවරයකු අතින් සිදුවීමට ඉඩ නොතැබිය යුතුය. මන්ද විනිසුරුවරයකු අතින් සිදුවන එක් වැරදි තීන්දුවකින් තරගයක් පරාජය වීම පමණක් නොව ක්‍රිකට් ලෝක කුසලානයද අහිමි වීමට එය හේතුවක් විය හැකි බැවිනි.

දිවයින 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top