Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 20
880
Views

මෙයට වසර 50 ක් තරම් අෑත කාලයක මිනිසුන් මේ මහ පොළොව සහ සඳ අතර පවා එහා මෙහා ගමන් ගියාය යන්න වත්මන් පරපුරේ සමහර කෙනකුට විශ්වාස කිරීමට අපහසු කාරණාවක් වන්නට පිළිවන. නමුත් එය එලෙසින්ම සිදු විය. 1969 ජූලි මස 21 වැනි දින එනම් හරියටම මෙයට වසර 50 කට පෙර, පෘථිවියේ සිට ගිය මිනිස්සු දෙදෙනෙක් ඉතිහාසයේ පළමු වතාවට සඳ මත ගොඩබසින්නට සමත් වූහ. අද තරම් තාක්ෂණය දියුණු තත්ත්වයක නොතිබුණු එවැනි කලෙක මෙවන් වික්‍රමයක් කිරීමට හැකිවීම සැබැවින්ම මිනිස් බුද්ධියේ, නිර්මාණශීලීත්වයේ, නිර්භීත බවේ, අප්‍රතිහත ධෛර්යයේ පිළිඹිබුවක්ම වූයේය. එය මිනිස් සංහතිය ලැබූ දැවැන්තම ජයග්‍රහණයක්ද විය. සඳ මත පා තැබූ පළමු මිනිසා වීමට වාසනාව ලැබූ නීල් ඒ. ආම්ස්ට්‍රෝන් එක රැයින් සුපිරි වීරයකු බවට පත්වූයේය. අද දින මුළු ලොවම මෙම සුවිශේෂී සිදුවීමෙහි 50 වැනි සංවත්සරය සමරමින් සිටියි.

මෙම සටහන අද පරපුරේ බොහෝ දෙනකුට තරමක් දුරස්ථ අත්දැකීමක් වූ මෙම පළමු සඳ ගමන ගැන තොරතුරු බිඳක් ගෙන එනු පිණිස ලියැවෙන්නකි. ඇමෙරිකානු නාසා ආයතනයේ ව්‍යාපෘතියක් වූ මෙම අතිශය අභියෝගාත්මක චාරිකාව කි.මී. 380,000 කට ආසන්න දුරක් ගෙවා යා යුතු එකක් වූ අතර ඒ සඳහා (යෑමට සහ ඒමට)  දින 8 ක කාලයක් ගත විය. ජීවිතය පරදුවට තබා යා යුතු වූ මෙම ගමන සඳහා අභ්‍යවකාශගාමීන් තිදෙනකු තෝරාගෙන තිබිණි. ඒ, නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන තිදෙනාය. මෙම කණ්ඩායමේ නායකයා හෙවත් ප්‍රධාන අණ දෙන්නා වූයේද, මුලින්ම සඳ මත ගොඩ බැසීමට නියමිතව සිටියේද නීල් ආම්ස්ට්‍රෝන්ය.

ඇපලෝ 11 යානය සඳ වෙත යනු පිණිස පෘථිවියෙන් පිටත්  වූයේ 1969 ජුලි 16 වැනි දින ගි්‍රනිච් වේලාවෙන් පස්වරු 1.32 ටය. දින තුනක් තිස්සේ අෑත අභ්‍යවකාශය හරහා ගිය දීර්ඝ ගමනකින් පසු එයට 19 වැනි දින සඳෙහි කක්ෂයට ළඟාවීමට හැකි විය. ඇපලෝ යානයෙහි ප්‍රධාන කොටස් දෙකක් තිබිණි. එකක් පාලක යානය  විය. එයට නම් තබා තිබුණේ කොලම්බියා යනුවෙනි. පෘථිවියේ සිට සඳ වෙත එද්දී ගගනගාමීන් රැඳී සිටියේ මෙම කොටසෙහිය. අනෙක් කොටස චන්ද්‍ර යානය යි. එයට දී තිබූ නම ඊගල් ය. ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් දෙදෙනා සඳ මත ගොඩ බැසීමට නියමිතව තිබුණේ මෙම ඊගල් යානයෙනි. ජූලි 20 වැනි දින 12.52 ට එතෙක් කොලම්බියා යානයෙහි සිටි ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් දෙදෙනා එයටම සම්බන්ධ කර තිබූ ඊගල් යානයට ඇතුළු වූහ. එයින් පසු මූලික පරීක්‍ෂා කිරීම්වලින් අනතුරුව පස්වරු 5.44 ට ඊගල් යානය කොලම්බියා යානයෙන් වෙන් කරනු ලැබිණි. ඉක්බිති එය ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් රැගෙන සඳ වෙත පහත් වීමට පටන් ගත්තේය.

මෙම අවස්ථාවේ ඉතා බියජනක සිදුවීමකට මුහුණ දීමට ඔවුන් දෙදෙනාට සිදු වූ බව පැවැසේ. ඒ යානය තුළ වූ සන්නිවේදන මෙවලම්වල යම් දෝෂයක් පැනනැඟීමෙනි. එමෙන්ම පරිගණකවලින් එක දිගටම වාගේ අනතුරු ඇඟවීමේ සංඥා  නිකුත් වන්නට පටන් ගත් බවද, යානයේ ඉන්ධන ප්‍රමාණවත් වේවිද යන සැකයක් මතු වූ බව ද සඳහන් වේ. මෙයින් නීල් සහ එඩ්වින් දෙදෙනා කිසියම් තිගැස්මකට සහ නොසන්සුන්තාවකට මුහුණ දුන් බවක්ද පෙනී යයි. යම් තීරණාත්මක දෝෂයක් ඇතිවුවහොත් යානයත් සමඟ තමුන් සදහටම සඳ මත තනිවනු ඇතැයි යන බියක් මේ මොහොතේ ඔවුන් තුළ නැඟෙන්නට ඇත. සඳ මත ගොඩ බැසීමකින් තොරව නැවත හැරී ඒමක් ගැන පවා කල්පනා කරන ලද බව සඳහන්ය. කෙසේ නමුත් එය වඩාත් අනතුරුදායක වනු ඇතැයි යන සැකය නිසා අවසානයේ සඳ මත ගොඩ බැසීමට තීරණය කර තිබිණි. කෙසේ හෝ වේවා, බරපතළ කිසිවක් සිදු නොවූ අතර සැලසුම් කළ පරිදි සියල්ල සාර්ථකව කරගෙන යෑමට හැකියාව ලැබිණි. 

සඳ මත පා තැබූ පළමු මිනිසා ලෙස ඉතිහාසයට එක් වෙමින් නීල් ආම්ස්ට්‍රෝන් එහි පළමු පා සටහන තැබුවේ ජූලි 21 වැනි දින පෙරවරු 2.51 ට පමණය. සඳ මත පියවර තබමින් ඔහු විසින් පවසන ලද මෙම වදන් පෘථිවියෙන් පිටත ‘ලෝකයක’ සිට මිනිසකු කී පළමු වදන් බවට පත් විය. ‘මෙය මිනිසකුගේ එක් කුඩා පියවරක් පමණි. නමුත් මිනිස් සංහතිය පිනූ යෝධ පිම්මකි’ යි නීල් ප්‍රකාශ කළේය.

නීල් සහ එඩ්වින් දෙදෙනා මේ ආකාරයෙන් සඳ මත කාලය ගත කරද්දී පාලක යානය තිබුණේ සඳ වටා ගමන් කරමිනි. මයිකල් කොලින්ස් එහි නියමුවා ලෙස එතුළ රැඳී සිටියේය. මිනිසෙකු පෘථිවියේ සිට මේ තරම් අෑතින් තනිපංගලමේ සිටි පළමු අවස්ථාව මෙය විය. යානයක් සඳෙහි කිසිවිටෙක පෘථිවියට නොපෙනෙන එහි ‘අඳුරු පැත්ත’ හරහා ගමන් කරද්දී පෘථිවිය සමඟ තිබෙන සන්නිවේදනය පවා ඇනහිටියි. මේ නිසා මයිකල් ඇතැම් අවස්ථාවල සිටියේ සියයට සියයක්ම හුදෙකලා වූ තත්ත්වයක යැයි පැවැසිය හැකිය. මෙය ඔහුට අතිශය සුවිශේෂී අත්දැකීමක් වන්නට ඇති බවට සැකයක් නැත.

පැය 02 කුත් විනාඩි 12ක කාලයක් ඊගල් යානයෙන් පිටත සඳ මත ගත කළ නීල් සහ එඩ්වින් සඳෙහි ගල් සහ පස් සාම්පල කිහිපයක් ද සමඟ නැවත චන්ද්‍ර යානය තුළට ඇතුළු වූ අතර එයින් පසු ඔවුන් පැය කිහිපයක් නිදාගත් බව සඳහන් වේ. චන්ද්‍ර යානය යළිත් කොලම්බියා පාලක යානය සමඟ සම්බන්ධ වීම සඳහා සඳෙන් නික්මුණේ එදින ප.ව. 5.54 ටය.

ඊගල් යානය පාලක යානය සමඟ සම්බන්ධ වීමෙන් අනතුරුව නීල් සහ එඩ්වින් නැවතත් පාලක යානයට ඇතුළුව කොලින්ස් සමඟ එක් වූහ. එයින් අනතුරුව සඳට ගොඩ බැසීම සඳහා යොදාගත් චන්ද්‍ර යානය ගලවා අත්හැර දමන ලදී. ඒ අනුව පෙරළා පෘථිවිය බලා ඒමට පිටත් වූයේ කොලම්බියා පාලක යානය සහ එන්ජින්, විදුලිජනක සහ ඉන්ධන ආදිය ගබඩා කර තිබූ සේවා මොඩියුලය (ඉඥපමඪජඥ ර්ධඤභතඥ)  පමණි. නැවතත් දින තුනක ගමනකින් පසු ජූලි 24 වැනි දින කොලම්බියා යානය පෘථිවිය වෙත සේන්දු විය. පෘථිවි වායුගෝලය ආසන්නයේදී ඉහත කී සේවා මොඩියුලයද යානයෙන් ගලවා ඉවත් කරනු ලැබිණි. ගගනගාමීන් රැගත් කොලම්බියා යානය නැවත ගොඩ බැස්සේ ගොඩබිම තැනකට නොවේ. මේ සඳහා තෝරාගෙන තිබුණේ පැසිෆික් සාගරයේ තැනකි. යෝධ පැරෂුට තුනක් දිගහැරී යානයේ වේගය අඩු කිරීමෙන් පසු එය සාගරය මත පතිත විය. ගගනගාමීන් පිළිගැනීම සඳහා ඇමෙරිකානු නාවුක හමුදාවට අයත් නෞකාවක් ඒ වනවිටත් ඒ අසල රැඳී සිටියේය.  එහි හුන් කිමිදුම්කරුවන් පැමිණ ගගනගාමීන් තිදෙනා පිටතට ගෙන නෞකාවෙන් නැවත ගොඩබිම වෙත කැඳවාගෙන එනු ලැබිණි.

සඳ මත යම් යම් පරීක්ෂණ සිදු කිරීමත්, අභ්‍යවකාශ ගවේශණ තාක්ෂණයෙහි විශාල ඉදිරි පිම්මක් ඇතිවීමත් මෙම සඳ ගමනෙන් ලැබුණු ප්‍රධාන ජයග්‍රහණ විය. 

සනත් වික්‍රමගේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top