Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 20
245
Views
සබරගමුවේ හා මධ්‍යම පළාත්වලටත් කළුතර - ගාල්ල - මාතර දිස්‌ත්‍රික්‌කවලටත් තද වැසි
 ලක්‍ෂපාන කුකුලේගඟ සහ ඉහළ කොත්මලේ වාන් දොරටු අරියි
 
දිවයිනේ පළාත් නවයක දිස්‌ත්‍රික්‌ක විස්‌සකට බලපා ඇති වැසි සහ තද සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ
 
 (19 වැනිදා ) වන විට පුද්ගල මරණ හතරක්‌ සිදුව පවුල් එක්‌ලක්‌ෂ හැට දෙදහස්‌ පන්සිය හැත්තෑ අටකට (162578) අයත් පුද්ගලයන් පන්ලක්‌ෂ හැත්තෑ හත්දහස්‌ නමසිය හැත්තෑ දෙදෙනකු (577972) අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි. 
 
 මහනුවර සහ නුවරඑළිය යන දිස්‌ත්‍රික්‌කයන්හි මෙම පුද්ගල මරණ හතර වාර්¨තා වී ඇත.
 
 මෙසේ මියගොස්‌ ඇත්තේ ආගරපතන ටොරිංටන් වත්ත ප්‍රදේශයේ ජල පහරකට හසුවී ගසාගෙන ගිය පාසල් දැරියන් දෙදෙනකු, නායයැම ට හසුවූ ගිනිගත්හේන වෙළඳසල් හිමියෙකු සහ ඔරුතොට ප්‍රදේශයේ ගසක්‌ කඩා වැටීමෙන් ජීවිතක්‌ෂයට පත්වූ පුද්ගලයකු බව එම මධ්‍යස්‌ථානය කියා සිටී.
 
 ඊයේ පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මිලිමීටර දෙසිය පනස්‌ එකයි දශම පහ (251.5) ලෙස නුවරඑළිය ඩන්කිල් වතුයායෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
 කැනියොන් සහ නෝට්‍රන්බ්‍රිඡ් ප්‍රදේශවලට පිළිවෙළින් මිලිමීටර් 248.5 සහ 246.7 ලෙස වර්ෂාපතනය ලැබී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
 
 පවතින වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්වය අද (20 වැනිදා) දිනයේත් බලාපොරොත්තු විය හැකි බවත් බස්‌නාහිර, සබරගමුව , දකුණ සහ මධ්‍යම යන පළාත් හී පැයට කිලෝමීටර් අසූව තරම් තද සුළං තවදුරටත් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
 
 එසේම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කලුතර, ගාල්ල සහ මාතර යන දිස්‌ත්‍රික්‌කයන්හි මිලි මීටර එකසිය පනහකට ඉහළ තද වැසි තවදුරටත් ඇතිවිය හැකි බවත් එම දෙපාර්¨තමේන්තුව පවසයි.
 
 පසුගිය දෙදින වැසි සහ සුළං සමඟ ගස්‌ කඩාවැටීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිබල සැපයුමට බාධා මතුව තිබිණි. එම තත්ත්වය ඊයේ 19 දා සවස්‌ වන විට යථා තත්ත්වයට පත්කරමින් තිබිණි.
 
 ලක්‌ෂපාන, කුකුලේ ගඟ සහ ඉහළ කොත්මලේ යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.
 
 කැලණි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ, කිරිඳි ඔය, මාදුරුඔය, යාන් ඔය යන ගංගාවල ජල මට්‌ටම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
 
 මසුන් මැරීම සඳහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගොස්‌ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතරමංව සිටින ලාංකික ධීවරයින් රැසක්‌ ආරක්‌ෂිත ප්‍රදේශයකට යොමු කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාගේ මැදිහත්වීම මත ධීවර දෙපාර්තමේන්තුව කටයුතු කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
 
 ඒ අනුව එම ධීවරයන්ට මාලදිවයිනට ළඟාවීමට අවශ්‍ය අවසරය ලබාදීමට හැකිවී ඇති බවත් ඉන්දියාවෙන් ද එවැනි අවසරයක්‌ ලබාගැනීමට කටයුතු කර ඇති බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
 
 ධීවර කටයුතු සඳහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගිය බහුදින ධීවර යාත්‍රා 20 ක්‌ මෙලෙස අයහපත් කාලගුණයට මැදිව මාලදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටින බවට තොරතුරු වාර්තා වේ.
 
 එම යාත්‍රා 20 න් 14 ක්‌ හලාවත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස්‌ ඇති අතර තවත් බහුදින ධීවර යාත්‍රා 06 ක්‌ වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගොස්‌ ඇති බවට ධීවර දෙපාර්තමේන්තු සඳහන් කළේය.
 
 නැවත දැනුම් දෙනතුරු බස්‌නාහිර, දකුණ, නිරිත දිග සහ වයඹ ප්‍රදේශවල සිට කිසිදු යාත්‍රාවකට ධීවර කටයුතු සඳහා මුහුදු යාමට අවසර නොදීමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
 
 ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයන් 200ක්‌ පමණ පිරිස සහිත බහුදින යාත්‍රා 30 ක්‌ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මත ඊයේ (19 දා) උදෑසන වන විට දිවයිනට ළඟාවීමට නොහැකිව මුහුදේ අතරමංව සිටින බවත්, එම ධීවරයන් ගෙන්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙසත් සමස්‌ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉල්ලා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.
 
 මෙම යාත්‍රා දික්‌ඕවිට සහ මීගමුව ධීවර වරායන්ගෙන් ජාත්‍යන්තර මුහුදෙහි මසුන් මැරීමට ගොස්‌ ආපසු දිවයින කරා යාත්‍රා කරමින් සිටියදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත මුහුදෙහි අතරමංව ඇත.
  
 සිරිමන්ත රත්නසේකර 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top