Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
849
Views

“දන්සල් වඳින්න යනවා කියලා ගිය අපේ පුතාල මේ වගේ තැනකට යයි කියලා කීයටවත් හිතුවේ නෑ. මේක නිකන් හීනයක් වගේ. දරුවෝ හතර දෙනා මෝටර් සයිකල් දෙකක ඇවිල්ලා තියෙන්නේ. වැඩේ කියන්නේ ඒ බසිසිකල් දෙකේම ඉන්ධන නෑ. දැන් බලනකොට හරියටම මෙතනටම ගෙනල්ලා මේ අය නවත්වලා වගේ.”

උණවටුන රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැඟී සෙල්ෆි ඡායාරූප ගසමින් සිටි තරුණයන් දෙදෙනකු මුහුදට වැටී පෙරේදා (16දා) අතුරුදන් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම ස්ථානයට ගිය තරුණයන් හතර දෙනාගෙන් දිවි බේරා ගත් විසිත් අංජුලගේ පියා වන සිරිල් ශාන්ත මහතා පැවැසීය.

ගාල්ල බද්දේගම ගිනිමැල්ලගහ ප්‍රදේශයේ සිවුදෙනකුගෙන් යුත් පිරිසක් මෙසේ දිය නෑම සඳහා උණවටුන රූමස්සල ප්‍රදේශයට ගොස් තිබිණි. මොවුන් රූමස්සල ඇති ගලක් උඩ නැඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කරන අතරතුර පැමිණි රළ පහරකට හසුවී මුහුදට වැටී ඉන් දෙදෙනෙක් අතුරුදන්ව ඇත. මෙම ගමනට සහභාගි වී ඇත්තේ ගාල්ල ගිනිමැල්ලගහ පදිංචි විසිත් අංජුල, සාලින්ද, නීලංග සහ කවිඳු ජයසිංහ යන සිවුදෙනාය. මේ වන විට අතුරුදන් වී ඇත්තේ නීලංග සහ කවිඳු යන වයස අවුරුදු 20 - 21 වයස්වල පසුවන තරුණයන් දෙදෙනාය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරිල් ශාන්ත මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ හතර දෙනාම එකට ගමේ ඉන්න අය. මගේ පුතා හවස 2ට විතර මට කිව්වා පන්සල් යනවා කියලා. මම කිව්වා දන්සලුත් තියෙනවා ඒවත් වැඳගෙන එන්න කියලා. ගාල්ල පැත්තට යන්න හදන කොට මම කිව්වා බද්දේගම පැත්තේ තොරන්, දන්සල් තියෙනවා ඒ පැත්තට යන්න කියලා. ඉතින් මේ අය හැමදාම එකට ඉන්න අය හින්දා මමත් හා කියලා හිටියා. පස්සේ හවස 4.00ට විතර නැවත පුතා මට කෝල් එකක් දීලා අඬන්න ගත්තා. මම ඇහුවා ඇයි කියලා. නීලංගයි, කවිඳුයි නෑ කියලා අඬන්න ගත්තා.

මම කිව්වා අඬන්නේ නැතිව විස්තරය කියන්න කියලා. ඊට පස්සේ තමයි කිව්වේ අපි රූමස්සලට ආවා. එතනදී සෙල්ෆි ගන්නකොට වැටුණා කියලා. මේ අය මෙතැනට ඇවිල්ලා ඡායාරූප කීපයක් අරගෙන තියෙනවා. නීලංගයි කවිඳුයි තමයි ගල උඩටට ගිහිල්ලා පිංතූර අරගෙන තියෙන්නේ.

පස්සේ මගේ පුතාටත් එන්න කියලා. එයාගේ ෆෝන් එකත් ඉල්ලලා. එයා ගල උඩට ගිහිල්ලා ෆෝන් එක දීලා එනකොටම තමයි රළ පහර ඇවිල්ලා නීලංගගේ සහ කවිඳුගේ ඇඟේ වැදිලා ගලෙන් පහළට වැටිලා තියෙන්නේ. එතකොට විසිත් ඒ කියන්නේ මගේ පුතා ගලෙන් මෙහාට එන ගමන් ඉඳලා තියෙන්නේ. සාලින්ද පුතා කොහොමත් එතැනට ගිහිල්ලා නෑ.

මගේ පුතාගේ ෆෝන් එකත් එක්කමයි වැටිලා තියෙන්නේ. නාවික හමුදාව කිව්වා පසුදා උදේ වෙනකම්ම ෆෝන් එක නම් වැඩ කළා කියලා. උදේ තමයි ඒක ඕෆ් වෙලා තියෙන්නේ. මේ අය ආපු බයිසිකල් දෙකේම පෙට්රලුත් නෑ. හරියටම මෙතනටම ගෙනැල්ලා නැවැත්තුවා වගේ. මට තාමත් හිතා ගන්න බෑ. දන්සලට යනවා කියලා ගිය අය මේ පැත්තට ආවේ ඇයි කියලා. මගේ පුතා විසිත් මෙවර උසස් පෙළ කරන්න ඉන්නේ. අනිත් අයත් එයාගේ වයසේ වගේ තමයි ගමේ එකට ඉන්න යාළුවන්.

අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු ඊයේ (17දා) සවස්වන තුරුද සොයා ගැනීමට නොහැකි වූ බව හබරාදුව පොලිසිය පැවසීය.

ඔවුන් දෙදෙනා තවත් මිතුරන් දෙදෙනකු සමඟ රූමස්සල සාම චෛත්‍යය නැරඹීමට හා උපකාරක පන්ති යන බව නිවෙස්වලට පවසා පෙරේදා සවස යතුරුපැදි දෙකකින් උණවටුන රූමස්සලට පැමිණ ඇති බවද කියයි. එසේ පැමිණි ඔවුන් සිවු දෙනා “ජංගල් බීච්” වෙරළේ විනෝද වෙමින් සිට ගල්පරයක් මතට නැඟී සෙල්ෆි ඡායාරූප ගෙන ඇත.

අතුරුදන් වූ දෙදෙනා සහ තවත් අයෙක් එසේ ගල උඩ සිට සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී එක් වරම ගැසූ විශාල රළ පහරක් වැදී ඔවුන් තිදෙනාම වැටී ඇති අතර එක් අයෙක් ගලක එල්ලී දිවි බේරාගෙන ඇති අතර අනෙක් දෙදෙනා ජලයේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත.

පසුව නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායමක් පැමිණියද අතුරුදන් වූ අය සොයා ගැනීමට නොහැකිවූ අතර ඊයේ දහවල් ද කිමිඳුම් කණ්ඩායම් පැමිණියත් මුහුදේ පවතින ප්‍රචණ්ඩත්වය නිසා කිමිඳුම්කරුවන්ට මුහුදට බැසීමට නොහැකිවී තිබිණි.

අතුරුදන් වූ නීලංග මලිත් බද්දේගම වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුවන අයෙක් බවත් කවිඳු ප්‍රසාද් පාසල් අධ්‍යාපනය නිමවා සිටින අයෙක් බවත් පොලිසිය පවසයි. 

මෙම අනතුරින් විසින් අංජුල සහ සැලින්ද නිලුපුල් යන දෙදෙනා දිවි බේරාගෙන ඇත.

පසුගිය ජුනි 16 පසළොස්වක දිනයේද මෙම ස්ථානයේ මේ ආකාරයටම සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක්ද රළ පහරකට හසුවී මුහුදට වැටීමෙන් දෙදෙනකු මියගිය අතර තිදෙනෙක් දිවි බේරාගෙන ඇත. එසේ මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ කාන්තාවක් සහ උණවටුන පදිංචි යුද හමුදා සෙබළෙකි.

පොලිසිය සහ ආපදා

කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අනතුරුදායක ස්ථානවල දිය නෑමෙන් සහ සෙල්ෆි ඡායාරූප ගැනීමෙන්

වළකින ලෙස දැන්වීම් පුවරු සවි කිරීමට පියවර ගන්නා බවය.

අනතුර වන අවසථාවේ ඒ අසල සිට අයෙක් අපට මෙසේ පැවසීය.

“තරුණයන් කිහිප දෙනෙක් ජංගම දුරකථන අතේ තියාගෙන ගලක් උඩ සිටියා. ඒ සමඟ ඉන් දෙදෙනකු රළ පහරකට හසුවී මුහුදට වැටී තිබුණා. දිවි ගලවාගත් කෙනෙක් කෑගසා ඒ බව කීවා. එවිට හමුදා සෙබළුන් දෙදෙනෙක් එතැනට ආවත් මුහුද රළු නිසා බේරා ගැනීමට හැකි වුණේ නෑ. කිසිවකුට මුහුදට බැසීමට නොහැකි ලෙස මුහුද රළු අවස්ථාවක් නිසා කවුරුත් බැස්සේ නෑ.”

ඊයේ (17දා) සවස් වන විටත් තරුණයන් දෙදෙනාගේ සිරුරු හමුනොවූ අතර ඔවුන්ගේ සිරුරු සොයා කිමිඳුම් කණ්ඩායම්, හමුදා සෙබළුන්, පොලිස් නිලධාරීහු ඒ අසල රැඳී සිටිති.

හබරාදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඉමදූව - ටී. විතානවසම්,

මාපලගම - රසික සෙනවිරත්න,

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා,

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්,

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top