Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
1,264
Views
ෂාරුක් - ගෞරි ආදර කතාවට වසර 7යි!

මඟුල් ඇඳුම් ගන්නත් මුදල් හිඟවෙලා..
 
ෂාරුක් ඛාන් ඉතාම හොඳ සැමියකු සහ ඉතාම ආදරණීය පියකු බව ගෞරී ඛාන් සඳහන් කරනවා. 

එමෙන්ම මෙම සුපිරි නළුවාගේ බිරිය වීම තුළින් තමාට ලැබී ඇත්තේ බොහෝ ධනාත්මක දේ පමණක් බවත් ඇය පවසනවා. සුළු සුළු සෘණාත්මක කාරණා තිබුණත් ඒවා ප්‍රසිද්ධියේ බෙදාහදා ගැනීමට තමා සූදානම් නොමැති බවත් ගෞරි සඳහන් කර තිබුණා. 

නිතර සම්මුඛ සාකච්ඡා ආදියට සහභාගි නොවන ගෞරි මේ බැව් පවසා තිබුණේ පසුගිය දිනෙක පොත් එළිදැක්වීමේ උළෙලකට පැමිණි අවස්ථාවක මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි. එමෙන්ම තමා ෂාරුක්ගේ බිරිය වුවත් ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට කැමැති කෙනකු බවද ඇය පවසා තිබුණා.

වැඩ කරන බොහෝ කාන්තාවන්ගේ ජීවිත සහ තමාගේ ජීවිතය අතර ලොකු වෙනසක් නැති බවයි ගෞරි ප්‍රකාශ කර තිබුණේ.
 
ෂාරුක්ගේ බිරිය දක්‍ෂ ගෘහ අභ්‍යන්තර අලංකරණ ශිල්පිනියක බවත් බොහෝ දෙනකු දන්නා කාරණයක්. ඒ අංශයෙන් ඇය තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. 

මෙම ව්‍යාපාරය හැඳින්වෙන්නේ 'ගෞරි ඛාන් ඩිසයින්ස්' (Gauri Khan Designs) යන නමින්. මෙම ව්‍යාපාරය දියත් කිරීමේදී ෂාරුක් ඇයට විශාල සහයෝගයක් ලබා දුන් ආකාරය ගැනත් ඇය නිතර සිහිපත් කරනවා. 

බොලිවුඩයේ සුපිරි නළු නිළියන් සහ ශිල්පීන් බොහෝ දෙනකුගේ නිවෙස් ගෞරිගේ නිර්මාණශීලීත්වය නිසා හැඩ වී ඇති බව රහසක් නොවෙයි. ඒ අතර ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස්, කරන් ජොහාර්, වරුන් ධවාන්, රන්බීර් කපූර් වැනි අයගේ නිවාසවල ඇය විසින් කරන ලද අලංකරණයන් විශේෂයි.
 
ෂාරුක් සහ ගෞරි විවාහ වූයේ 1991 වසරේයි. (විවාහයට පෙර ගෞරිගේ නම ගෞරි චිබර් බවයි සඳහන් වන්නේ.) මේ වනවිට මේ අපූරු අඹු-සැමියන්ගේ යුග දිවියට වසර 28ක්. බොලිවුඩයේ ඉතාම සාර්ථක සහ ආදරණීය විවාහ ජීවිත ගත කරන ප්‍රසිද්ධ පුද්ගලයන් අතර මේ දෙදෙනාට විශේෂ තැනක් හිමිවන බව ඉතා ප්‍රසිද්ධයි. 

ඔවුන් දෙදෙනා දරුවන් තිදෙනකුගේ මවුපියන් වන අතර වැඩිමල් පුතු ආර්යන් උපන්නේ 1997 වසරේ යි. ආර්යන්ට අමතරව සුහානා නමින් දියණියකුත්, අබ්රාම් නමින් තවත් පුතෙකුත් සිටිනවා. ආර්යන් සහ සුහානා දෙදෙනාම සිනමා ක්‍ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් සිටින බවත් වරක් ෂාරුක් පවසා තිබුණා. 

ආර්යන් වඩාත් කැමැත්තක් දක්වන්නේ නළුවකු වීමට නොව තිර රචකයකු සහ අධ්‍යක්‍ෂවරයකු වීමට යි. ඔහු පසුගිය කාලයේ ඇමෙරිකාවේ සිනමා පාසලක සිනමාව ගැන හදාරමින් සිටියා. සුහානා ද වරක් ෂාරුක් රඟපෑ චිත්‍රපටයක (Zero) සහාය අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළා. ඇය නම් සිනමා රංගනයට වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙනවා. 

මේ වනවිට සුහානා බි්‍රතාන්‍යයේ ආයතනයක රංගනය පිළිබඳ හදාරමින් සිටින බවත් සඳහන්. පසුගිය දිනවල ඇය විසින් තනන ලද කෙටි චිත්‍රපටයක් ගැනත් මාධ්‍ය තුළ සඳහන් වුණා. එමෙන්ම ඇය වේදිකා නාට්‍යයක රඟපා ඇති බවත් පැවසෙනවා.
 
ෂාරුක් සහ ගෞරි ඛාන් දෙදෙනාගේ ආදර කතාවත් ඉතාම අපූරු තොරතුරුවලින් පිරි එකක් බව රහසක් නොවෙයි. ෂාරුක්ට පළමු වරට ගෞරි දැකගන්නට ලැබී ඇත්තේ ඔහුට වයස අවුරුදු 18දී එක්තරා සාදයකදීයි. 

ඒ වනවිට ඔහු අද මෙන් ප්‍රසිද්ධ පුද්ගලයකු නොවෙයි. ගෞරි ඒ වනවිට 14 හැවිරිදි නව යෞවනියක්. ඇය දුටු පළමු දිනයේම ෂාරුක් ඇයට වසඟ වූ බව ඔවුන්ගේ ආදර කතාවේ සඳහන් වෙනවා. වසර 7 ක ඇසුරකින් පසු ඔවුන් විවාහ වෙද්දී ෂාරුක් යම් යම් ආර්ථික අමාරුකම්වලින් පෙළෙමින් සිටි බවත් පැවසෙනවා. 

ඔහුට මඟුල් ඇඳුමක් ගැනීමට පවා මුදල් හිඟ වූ බවටත්, අවසානයේ චිත්‍රපටයකට ගෙනැවිත් තිබූ ඇඳුම් කට්ටලයක් ණයට ගෙන ඇන්ද බවටත් කතාවක් තිබෙනවා. එමෙන්ම ෂාරුක් චිත්‍රපටවල රඟපානවාට ගෞරි මුල් කාලයේ වැඩි කැමැත්තක් දක්වා නැති බවත් පැවසෙනවා. නමුත් පසුකාලයේ ඇයගෙන් තමාගේ සිනමා ජීවිතයට ලැබුණු සහයෝගය ගැන ෂාරුක් බොහෝ අවස්ථාවල සඳහන් කර තිබෙනවා. 

වරක් ගෞරි සඳහන් කර තිබුණේ ෂාරුක් 'චක් දේ ඉන්දියා' චිත්‍රපටයේ රඟ පෑ චරිතයට තමා බෙහෙවින් ඇලුම් කළ බවයි.
 
ෂාරුක් සම්බන්ධයෙන් ගෞරි කරන එක් චෝදනාවක් වන්නේ ඔහු නිසා දරුවන් නරක් වෙන බවයි. දරුවන්ට ඇති ආදරය නිසා ඔවුන්ට අවශ්‍ය හැම දෙයක්ම ලබා දීමට ඔහු පියවර ගැනීම ගැනයි ඇය චෝදනා කරන්නේ. ෂාරුක් ගැටවර වියේදීම (වයස අවුරුදු 15 දී) ඔහුගේ පියා අහිමි වුණා. 

තමාට අහිමි වූ පිය සෙනෙහස කිසිදු අඩුවකින් තොරව තම දරුවන්ට ලබා දීම ඔහුගේ අරමුණ බව පෙනෙනවා. 

කෙසේ වෙතත් ෂාරුක් මෑත කාලයේ රඟ පෑ චිත්‍රපට ආදායම් අතින් එතරම් සාර්ථක වුණේ නැහැ. මේ නිසා ඔහු අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වීම පිළිබඳව ටිකක් කල්පනා කරමින් සිටින බවකුත් පෙනෙනවා. 

තමා ටික දිනක් රංගනයෙන් විවේක ගන්නා බවත් පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට අදහස් කරන බවත් පසුගිය දිනෙක ඔහු සඳහන් කර තිබුණා.
 
සනත් වික්‍රමගේ
මව්බිම

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top