Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
1,686
Views

(බීබීසී පුවත් සේවයේ, යෝගිතා ලිමායේ සකස් කළ වාර්තාවක් ඇසුරිනි)

ආණ්ඩුවේ ඉහළ ස්ථරවල සිදුවන ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් ඇෆ්ගනිස්තානය තුළ යම් දෙදරීමක් හටගෙන ඇත. එසේ එල්ල වන චෝදනා නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුව ද, මේ සම්බන්ධයෙන් බීබීසී කළ විමර්ශනයකදී කාන්තාවන් මේ තත්ත්වය හැඳින් වූයේ අපයෝජන සංස්කෘතියක් ලෙසිනි.

කාබුල් නගරය වටකොට ඇති කඳු පන්තිය පාමුළ ඇති නිවසකදී මට හමුවූ ඇය කලින් ආණ්ඩුවේ සේවිකාවකි. සිය අනන්‍යතාව හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි ඇය ඒ සම්බන්ධයෙන් තමන්ට එල්ල විය හැකි ප්‍රතිරෝධය ඊට හේතුව ලෙස පෙන්වා දුන්නාය. නමුත් සිය කතාවට ලෝකයට කීමට ඇයට අවශ්‍යය.

තමන්ගේ කලින් ප්‍රධානියා වූ ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙකු නොකඩවා තමන්ට හිංසා කළ බව කී ඈ, දිනක් කාර්යාලයට ගිය තමන්ට ශාරීරිකව පහර දීමට ද තැත් දැරූ බව කීවාය.

"ඔහු කෙලින් ම මට ලිංගික හැසිරීමට යෝජනා කළා. මා ඔහුට කීවේ, මම සුදුසුකම් වගේ ම පළපුරුද්ද ඇති කෙනෙක්. ඔබ ඔවැනි දෙයක් මට කියයි කියා කවදාවත් හිතුවේ නැහැ කියා. එතනින් පිටවෙන්න මා නැගී සිටියා. මගේ අතකින් අල්ලාගත් ඔහු කාර්යාලයේ පසුපස ඇති කාමරයකට ගෙන ගියා. කාමරය ඇතුළට මාව තල්ලු කළ ඔහු කීවේ 'මේකට මිනිත්තු කිහිපයයි ගත වෙන්නේ, ප්‍රශ්නයක් කර ගන්න එපා, මාත් එක්ක එන්න."

ඔහුගේ පපුවෙන් අල්ලා තල්ලු කළ මා කීවේ දැන් ඇති කියායි. මට කෑගහන්න සලස්වන්න එපා. ඒ තමයි මා ඔහුව දුටු අවසන් අවස්ථාව. මා හුඟක් කෙන්තියටත් කනස්සල්ලටත් පත් වුණා."

මේ ගැන ඇය පැමිණිලි කළා ද?

"නැහැ, මා රැකියාවෙන් ඉල්ලා අස්වුණා. මට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. අධිකරණයට හෝ පොලිසියට ගියොත් ඔබට පෙනේවි ඔවුන් කෙතරම් දූෂිත ද කියා. ඔබ කතා කළොත් හැම දෙනා ම දොස් පවරන්නේ කාන්තාවට" ඈ මට කීවාය.

එම ඇමතිවරයා ම තමන්ව දූෂණය කළ බව වෙනත් කාන්තාවන් දෙදෙනෙකු තමන්ට කී බව ඇය කියා සිටියත් එම ප්‍රකාශය ස්වාධීනව තහවුරු කර ගැනීමට බීබීසීහට හැකි වී නැත.

"ඔහු ලැජ්ජාවක් නැතිව විවෘතවත්, කිසි ම බයක් නැතිවත් මේ දේවල යෙදෙන්නේ ආණ්ඩුවේ බලසම්පන්න කෙනෙක් නිසයි."

කාන්තාවක් ලෙස විසීමට ඇති ඉඩකඩ සැලකීමේදී වඩාත් නරක ම රටවල් අතරින් එකක් ලෙස ඇෆ්ගනිස්තානය නිතර ම කියැවේ. ලිංගික අපරාධවල හා ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් කාන්තාවට සිය පැමිණිලි ඉවත් කර ගන්නා ලෙසට පීඩනයක් එල්ල වී ඇත්තේ කෙසේ දැයි යන්න 2018දී නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් විස්තර කෙරේ. ඉන් බොහෝ සිදුවීම්වලදී, තමන්ට එරෙහිව එල්ල වූ ක්‍රියා සම්බන්ධයෙන් දෝෂාරෝපණයට ලක්වූයේ එම කාන්තාවන්ම ය.

මේ වාතාවරණය තුළ, බලවත් පුද්ගලයන්ගේ ලිංගික වශයෙන් නොමනා ක්‍රියා සම්බන්ධයෙන් හඬ නැගීම එතරම් පහසු දෙයක් නොවේ.

අප සමග කතා කළ කාන්තාවන් හය දෙනා අතරින් වැඩි පිරිස ඔවුන්ව උපුටා දැක්වීමට බිය වූයේ මේ හේතුව නිසාය. නමුත් ඔවුන් සමග කළ කතා බහේදී පෙනී ගියේ ඇෆ්ගන් ආණ්ඩුව තුළ ඇති ගැටලුවක් බවට පත්වී ඇති ලිංගික අඩන්තේට්ටම්, එක් පුද්ගලයෙකුට හෝ අමාත්‍යංශයකට සීමා වුවක් නොවන බවකි.

'සංස්කෘතියේ ම කොටසක් වෙලා'

රථ ගාලකට යාබද කාර්යාලයකදී මට හමුවූ තවත් කාන්තාවක් ඇයගේ කතාව බෙදා ගැනීමට කැමැත්ත දැක්වූවාය. ආණ්ඩුවේ රැකියාවකට ඉල්ලුම් කරන ලදුව එය දිනාගත් ඈ හට දැනුම් දීමක් ලැබුණේ ජනාධිපති අෂ්රෆ් ඝානිගේ සමීප සහායකයෙකු හමුවන ලෙසය.

"ඒ මනුස්සයා ජනාධිපතිවරයා සමග පින්තුරවලත් ඉන්නවා. තමන්ගේ පුද්ගලික කාර්යාලයට එන්නැයි ඔහු මගෙන් ඉල්ලුවා. ඇවිත් වාඩි වෙන්න. මම ඔයාගේ ලිපි සියල්ල අනුමත කරන්නම් යැයි ඔහු කීවා. මගේ ළඟට ම ආ ඔහු, අපි බීලා ලිංගිකව එක්වෙමු කීවා," යැයි ඇය කීවාය.


"මට තිබුණේ විකල්ප දෙකයි, එක්කෝ ඉල්ලීම පිළිගන්න එක, නැත්තම් පිටවෙලා යන එක. මම ඒක පිළිගත්තා නම්, ඔහු ළඟින් නතර වෙන්නේ නැහැ. තවත් මිනිස්සු බොහොමයක් මා සමග ලිංගිකව එක්වෙන්න ඉල්ලාවි. ඇත්තෙන් ම මා තැති ගැන්වුණා. බයට පත්වුණු මා එතැනින් පිටවුණා."

රැකියාවට මොක ද වුණේ? මම විමසීමි. ඒ පිළිබඳ විමසීමට ආණ්ඩුවේ අදාළ දෙපාර්තමේන්තුවට දුරකතනයෙන් කතා කළ විට දැන ගැනීමට ලැබුණේ "ඔබේ බැංකු ගිණුමට මුදලක් ලැබුණු විට එය නොගැනීමට ඔබ තීරණය කළොත් ඇති වන තත්ත්වය හිතන්න," යන්න බව ඈ කීවාය.

මේ කතා බහ අතරේ ඇගේ දෑසින් කඳුළු කඩා වැටිණි. "මේ සිදුවීම් නිසා මට නින්ද නැහැ. කෙන්තියටත්, කනස්සල්ලටත් පත්වෙනවා," ඇය තවදුරත් කීවාය.

"විනිසුරුවරයෙකු, පොලිසිය, චෝදනා පවරන නීතිඥයෙකුට ආදී ඕනෑ ම කෙනෙකුට මේ ගැන පැමිණිලි කරන්න ගියොත් ඔවුනුත් ලිංගික වාසිය ඉල්ලනවා. ඔවුනුත් මේ දේ කරනවා නම් කා ළඟට ද ඔබට යන්න පුළුවන්? මේක හරියට දැන් සංස්කෘතියේ ම කොටසක් වෙලා වගෙයි. ඔබ වටේ ඉන්න සෑම මිනිහෙකුට ම ඔබ සමග ලිංගිකව එක්වෙන්න ඕන"


පසුගිය මැයි මාසයේදී අවධානය යොමුවන තෙක් ම මේ කතා අසන්නට ලැබුණේ නැතිවා හෝ එළිපිට කතා නොවුණු සෙයකි. මේ සම්බන්ධයෙන් අවධානය යොමුවන්නට වූයේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙකුව සිට පසුව දේශපාලන එදිරිවාදියෙකු බවට පත් ජෙනරාල් හබිබුල්ලාහ් අහ්මද්සායි ඇෆ්ගන් පුවත් නාලිකාවක සහභාගි වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඒ ගැන කතා කිරීමත් සමගය.

"ගණිකා වෘත්තීය ප්‍රවර්ධනය" කරන බවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා දේශපාලනඥයින් වෙත එහිදී ඔහු චෝදනා එල්ල කළේය.

මේ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් සඳහා කළ ඉල්ලීම බැහැර කළ ජනාධිපති කාර්යාලය ඊමේල් මගින් යවන ලද ප්‍රශ්නවලට හෝ ප්‍රතිචාර නොදැක්වීය. ජෙනරල් අහ්මද්සායි නැගූ චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය වන අතර ඔහු බොරු කියන්නේ යැයි ද, සිය පුද්ගලික අභිමතාර්ථ අනුව ක්‍රියා කරන්නේ යැයි ද පවසමින් මීට පෙර නිකුත් කළ නිවේදනයකට ඔවුහු අපේ අවධානය යොමු කළහ.

ට්විටර් ඔස්සේ පණිවිඩයක් තැබූ අමාත්‍යවරියක වන නර්ගිස් නෙහාන් කියා සිටියේ "ජාතික සමගි රජයේ කැබිනට් සාමාජිකාවක ලෙස මට විශ්වාසයෙන් යුතුව කිව හැක්කේ මේ සියලු චෝදනාවල පදනමක් නැති බවය," යනුවෙනි.

එහෙත් මෑතක් වන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සිටි මුල් පෙළේ කාන්තා අයිතීන් පිළිබද ක්‍රියාකාරිනියක වන ෆවුසියා කූෆී පැවසුවේ වත්මන් ආණ්ඩුවේ පුද්ගලයන්ට එරෙහිව ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි ලැබී ඇති බවය.

"ආණ්ඩුවේ ප්‍රතිචාරය ආරක්ෂාකාරී එකක්. ඔවුන් මෙය දකින්නේ ඇෆ්ගනිස්තානයේ සියලු ම කාන්තාවන්ට අදාළ දෙයකට වඩා දේශපාලන ගැටලුවක් හැටියටයි."

"මෙහි මුක්තිය ලැබීමේ සංස්කෘතියක් තිබෙනවා. වැරදි කරන මිනිස්සු හිතන්නේ මේ ආණ්ඩුව තුළ තමන්ට ආරක්ෂාව තිබෙනවා කියලා. ඒ නිසාමයි එවැනි තවත් වැරදි කරන්නට ඔවුන් ධෛර්යය දෙන්නේ."


ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ආණ්ඩුව නියෝග දී ඇත. එම විමර්ශනය මෙහෙයවන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පුද්ගලයෙකු වන නීතිපතිවරයාගේ කාර්යාලයෙනි.

මා, නීතිපතිවරයාගේ ප්‍රකාශක ජම්ෂිඩ් රසූලි හමුවූයේ ඔහුගේ කාර්යාලයේදීය. ඔහුගේ කාර්යාල මේසයට පසුපසින් ඇති බිත්තියේ ජනාධිපති ඝානි ගේ සේයාරුවක් ද විණි.

මා ඔහුගෙන් ඇසුවේ, මේ විමර්ශනය අපක්ෂපාතී වේ යැයි ජනතාව විශ්වාස කරන්නේ ඇයි ද යන්න ය.

"ව්‍යවස්ථාව විසින් නීතිපතිවරයා වෙත ස්වාධීන වීමේ අයිතිය දී තිබෙනවා. අප අපක්ෂපාතී බව ජනතාවට තහවුරු කිරීම සඳහා මේ විමර්ශනයේ කොටස්කරුවන් වන ලෙස ක්‍රියාකාරීන්ගෙන්, මුස්ලිම් පූජකයින්ගෙන් හා මානව හිමිකම් සංවිධානවලින් අප ඉල්ලා තිබෙනවා." ඔහු කීය.

පැමිණිලි ඉදිරිපත් කරන්නට තරම් ආණ්ඩුවේ ආයතන කෙරෙහි විශ්වාසයක් අපට කතා කළ කාන්තාවන් තුළ නොවූ බව ඔහුට පැවසීමි.

ඊට ප්‍රතිචාර ලෙස, "සෑම පැමිණිලිකරුවෙකුගේ අනන්‍යතාව ආරක්ෂා කෙරෙන බව අප නිවේදනය කර තිබෙනවා" යැයි ඔහු කීය.

"අපට සහයෝගය දෙන අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආරක්ෂා කිරීමට අප පියවර ගන්නවා" යැයි ද ඔහු කියා සිටියේය.

ඇෆ්ගනිස්තානයට ප්‍රජාතන්ත්‍රවාදය එළැඹුණේ දස දහස් ගණනක් මරණයට පත්කළ යුද ගැටුමකිනි. යුද්ධයේ ප්‍රකාශිත ඉලක්ක අතරින් කොටසක් වුයේ තාලිබාන් පාලනය යටතේ කෘර සැළකුම්වලට බඳුන්වූ කාන්තාවන්ගේ අයිතීන් හා ගරුත්වය සහතික කිරීමය.

රට තුළ ක්‍රියාත්මක වන රිසලුට් සපෝර්ට් (Resolute Support) නම් වූ නේටෝ සංවිධානයේ මුලිකත්ව දරන ආයතනය ද ආණ්ඩුව තුළ ඇතැයි පැවසෙන ලිංගික අඩන්තේට්ටම් කිරීම් සම්බන්ධයෙන් යමක් පැවසීම බැහැර කළේ එය ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කරුණක් බව පවසමිනි. එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ (UN Women) ආයතනයෙන්ද ප්‍රතිචාර ලබාගැනීම සඳහා දිගින් දිගටම කළ ඉල්ලීම්වලට පිළිතුරු නැත. මේ පිළිබඳ යමක් පැවසීම බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ද බැහැර කළේය.

මෙය ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අනතුරුදායක අවස්ථාවකි. දැනට ඇමරිකාව හා තාලිබාන් සංවිධානය අතර පවතින සාකච්ඡාවලදී තමන්ට සුබදායි යමක් අපේක්ෂාවෙන් ඔවුහු පසුවෙති. 2001 දී පීඩාකාරී වූ තාලිබාන් පාලනය පෙරළා දැමුණු තැන සිට මේ දක්වා අඩුම තරමින් රටේ ඇතැම් කොටස්වල කාන්තාවන් දිගු ගමනක් පැමිණ තිබේ.

එහෙත්, ආණ්ඩුව තුළ ඇති ලිංගික අඩන්තේට්ටම්වලට දඬුවම් නොලැබෙන්නේ නම්, එසේ ලබා ඇති ප්‍රගතිය අනතුරේ හෙළනු ඇත.

"ජනාධිපතිවරයා හට මට කීමට තිබෙන්නේ, කාන්තාවන්ගේ හඬට කන්දී ඔවුන්ව පිළිගැනීම ඔහුගේ වගකීමක්. රට සුරැකීමට උත්සාහ දරනවානම් ඔහු මේ ගැටලුව විසඳිය යුතුයි." අප සමග කතා කළ එක් කාන්තාවක් පැවසුවාය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ "දවසක ඇත්ත එළිවේවි. නමුත් දැනට ඒක දුර තියා දකින හීනයක්"

bbc  සිංහල 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top