Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 12
817
Views

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් පිටියට දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහිකළ රටක්. ඒ අතුරින් සමහර ක්‍රීඩකයන්ගේ නම් ක්‍රිකට් වාර්තා අතර සැමදා රැඳී පැවතුණු නිසාම ඔවුන් පිළිබඳව ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ සැමදා රැඳී තිබෙනවා. නමුත් සමහර ක්‍රීඩකයන්ගේ නම් එලෙස වාර්තා අතර රැඳී නැති නිසාම ඔවුන් ක්‍රිකට් පිටියේ සිටි කාලය තුළ කරපු මෙහෙවර බොහෝ දෙනාට අමතක වනවා. මෙම ලිපියේ කථා නායකයාත් එලෙස බොහෝ දෙනෙකුගේ මතකයෙන් නික්ම ගිය කෙනෙක්. නමුත් ඔහු ක්‍රීඩාකළ කාල සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණ පිටුපස නිරන්තරයෙන්ම ඔහුගේ නම රැඳී තිබුණා. 2009 වසරේ අප්‍රේල් මාසයේ ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පවා ඔහු පැමිණියා. එම නිසාම නුවන් කුලසේකර නම් එම අසහාය පන්දු යවන්නාගේ එක්දින තරග දිවිය පිළිබඳව ඇගයීමක් කිරීම මෙම ලිපියේ අරමුණ යි.

එංගලන්තයට එරෙහිව ක්‍රීඩාකළ කුලසේකරගේ මංගල එක්දින තරගය 

2003 වසරේ අග භාගයේ දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළා. එහිදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය සහභාගි වුණු  එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46.1ක දී සියලු දෙනාම දැවී ලබාගත්තේ ලකුණු 88ක් පමණ යි. එහිදී චමින්ද වාස් ලකුණු 15කට කඩුලු 3ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් කුලසේකර ලකුණු 19කට කඩුලු 2ක් ලබාගත්තේ මංගල එක්දින තරගයට ක්‍රීඩා කරමින්.

කුලසේකර එංගලන්තයට එරෙහිව පන්දු යවමින් (gettyimages)

කුලසේකර දස්කම් අතර නොසිටි කාලය 

මංගල එක්දින තරගයේ දී දස්කම් අතරට පැමිණීමෙන් පසුව කුලසේකරට එක්දින තරග රැසක් සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණත් එම තරගවල දී ඔහුට සුපුරුදු දස්කම් පෙන්වීමට හැකිවුණේ නැහැ. එහිදී වසර 4ක පමණ කාලයක් තුළ එක්දින තරග 22ක් ක්‍රීඩාකළ කුලසේකරට දවාගැනීමට හැකිවුණේ කඩුලු 15ක් පමණ යි.

2007 ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ දී කුලසේකර විසින් ටෙන්ඩුල්කාර්ව දවාගත් අවස්ථාවක් (gettyimages)

කුලසේකර යළි දස්කම් අතරට 

2008 වසරේ අප්‍රේල් මස පැවති බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ සිට යළි දස්කම් අතරට පිවිසි කුලසේකර වසරක් තුළ එක්දින තරග 29ක් සඳහා සහභාගි වී කඩුලු 47ක් ලබාගත්තා. එහිදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 40කට කඩුලු 4ක් ලබාගනිමින් ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කුලසේකර සමත් වුණා. එම කාල සමය තුළ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගඩාෆි පිටියේ දී පැවති එක්දින තරගයක දී කුලසේකරගේ පන්දුවක් නිදැල්ලේ යැවීමට ගොස් අෆ්රිඩී දැවීගිය ආකාරය ක්‍රිකට් රසිකයන්ට අමතක නොවන සිදුවීමක්.

කුලසේකරගේ පන්දුවක් හමුවේ අෆ්රිඩි දැවීගිය අවස්ථාව (gettyimages)

කුලසේකර එක්දින පන්දු යවන්නන් අතර අංක 1ට 

වසරක පමණ කාලයක් තුළ කුලසේකර දැක්වූ දස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් 2009 වසරේ අප්‍රේල් මාසය වන විට ඔහු එක්දින පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණියා. කුලසේකරට පෙර 2002 වසරේ මැයි මාසයේ මුරලිදරන් සහ 2004 වසරේ සැප්තැම්බර් මාසයේ වාස් එම ශ්‍රේණිගත කිරීම්වල මුල් තැනට පැමිණියා.

 
කුලසේකර එක්දින පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 2009 මැයි මාසය වන විට (relianceiccrankings.com)

එලෙස එක්දින පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණි කුලසේකර 2009 වසරේ සැප්තැම්බර්  මාසය දක්වාම එම ස්ථානය රැක ගැනීමට සමත් වුණා.

කුලසේකර එක්දින පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 2009 සැප්තැම්බර් මාසය වන විට (relianceiccrankings.com)

ඉන්දියාවට තරු පෙන්වූ 2010 බංග්ලාදේශ තුන්කොන් කුසලාන අවසන් තරගය 

2010 වසරේ පැවති බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ මීර්පූර් නුවර ශෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ දී ගම්භීර්, ෂෙවාග්, සහ දෝනි යන මුල්පෙළ පිතිකරුවන් තිදෙනා දවාගනිමින් කුලසේකර කළ මනරම් පන්දු යැවීම නිසා ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 60ක් තුළ දැවීගියා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් එම තරගය ජයග්‍රහණය කරන විට තරගයේ වීරයා බවට පත්වුණේ ලකුණු 48කට කඩුලු 4ක් ලබාගත් කුලසේකර යි.

කුලසේකර කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

2013 වසරේ ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියේ වීරයා ඔහු යි.

2013 වසරේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඕස්ට්‍රේලියානු බිමේ දී පැවති එක්දින තරගාවලිය 2-2ක් ලෙසින් නිමාව දුටුවා. එහිදී තරගාවලිය තුළ කඩුලු 11ක් දවාගත් නුවන් කුලසේකර තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා. එම තරගාවලිය යටතේ බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ පැවති තරගයේ දී කුලසේකර ඉක්මනින්ම ලබාගත් කඩුලු 5 නිසා එක් අවස්ථාවක ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 30ක් ලබා ඉතාමත් අසීරු අඩියකට පත්ව සිටියා. අවසානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 74ක් ලබාගන්නා විට කුලසේකර ලකුණු 22කට ලකුණු 5ක් දවාගත්තේ ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්.

කුලසේකර ගැබා පිටියේ දී දස්කම් දක්වමින් (gettyimages)

අවශ්‍ය වෙලාවට ඔහුගේ පිත්තත් ක්‍රියාත්මක වුණා 

කුලසේකර එක්දින ක්‍රිකට් දිවියේ දී ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 4ක් පමණ යි. නමුත් එම ඉනිම් 4ම ඔහු ක්‍රියාත්මක කළේ තම කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවන්වල යි. එම නිසාම ඔහු ලබාගත් එම අර්ධ ශතක පිළිබඳව ක්‍රිකට් රසිකයන්ට ඇත්තේ හොඳ මතකයක්.

2009 වසරේ දී නවසීලන්තයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 57

2009 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරග වැදුණේ ජොහැනස්බර්ග් නුවර වොන්ඩරස් පිටියේ දී යි. එම තරගයේ දී ලකුණු 316ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 141/6ක් ලෙස අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු කුලසේකර පන්දු 56කින් නොදැවී ලකුණු 57ක් ලබාගත්තේ හයේ පහර 4ක් සමගින්. 

කුලසේකරගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2012 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් වේගවත් ලකුණු 73

2012 වසරේ පැවති ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ පළමු අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණේ බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 321ක් ලබාගත්තේ ඩේවිඩ් වෝනර් ලබාගත් ලකුණු 163 නිසා යි. ඉන්පසුව ලකුණු 322ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලබා සිටි අවස්ථාවේ පිටියට පිවිසි කුලසේකර පන්දු 43කින් ලබාගත් ලකුණු ප්‍රමාණය 73ක්.

කුලසේකර ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

2013 වසරේ දී එංගලන්තයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 58

2013 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය තරග වැදුණේ කෙනිංටන් ඕවල් පිටියේ දී යි. එම තරගයේ දී ලකුණු 294ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 187ක් ලබා සිටිය දී කුලසේකර පිටියට එවනු ලැබුවේ ලකුණු වේගය වැඩි කිරීමට යි. එදා තමන්ට පැවරුණු වගකීම මැනවින් ඉටුකළ ඔහු පන්දු 38ක දී නොදැවී ලකුණු 58ක් ලබාගත්තේ සංගක්කාර සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්.

 
කුලසේකර එංගලන්තයට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

2015 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 58

2015 වසරේ නවසීලන්තය සමග පැවති එක්දින තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 65ක් තුළ බිඳ වැටුණා. එම අවස්ථාවේ පිටියට පිවිසි කුලසේකර පන්දු 73ක් තුළ ලකුණු 58ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනංවමින්.

කුලසේකර නවසීලන්තයට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

සිය එක්දින දිවිය තුළ කඩුලු 199ක් ලබාගත් කුලසේකර 

2003 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කුලසේකර එම කාල සමය තුළ දවාගත් කඩුලු ප්‍රමාණය 199ක්. එහිදී 33.92ක පන්දු යැවීමේ සාමාන්‍යයක් රඳවාගත් ඔහු කඩුලු 4 බැගින් අවස්ථාවන් 5ක දී ලබාගත්තා. නමුත් සිය එක්දින ක්‍රිකට් දිවියේ 200 වැනි කඩුල්ල ලබාගැනීම සඳහා කුලසේකරට අවස්ථාවක් නොලැබීම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වුණා.

නව පන්දුවෙන් ඉතාමත්ම සාර්ථක අයුරින් පන්දු යැවූ නුවන් කුලසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය රැසකට දායකත්වය දැක්වූ පන්දු යවන්නෙක්. අද ශ්‍රී ලංකා කණ්ඩායම තරග පරාජය වන විට සමහර ක්‍රිකට් රසිකයන්ට ඔහුගේ නම මතකයට එන්නේත් ඔහු  දක්වා ඇති දස්කම් නිසා යි. එම නිසාම ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තත් ඔහු දැක්වූ දස්කම් ක්‍රිකට් ලෝලීන්ගේ මනසේ සදාකල් රැඳෙනු ඇති.

Nadun Liyanagedara
roar

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top