Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 11
297
Views

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග වරම සොයා යන එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තීරණාත්මක අවසන් පූර්ව තරගය අද (11 දා) බර්මින්හැම් හී පිහිටි එඩිබැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 3. 00 ට ආරම්භ වීමට නියමිතය. 

1975 වසරේ පැවැති සමාරම්භක ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයද එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණි. එදා ඔස්ට්‍රේලියාව එම තරගයෙන් ජය ගත්තද එතැන් සිට වසර 44 කට පසු දෙරට අවසන් පූර්ව තරගයකදී මුණ ගැසීම විශේෂත්වයකි. නමුත් මෙවර එංගලන්තය යනු ලොව අංක එකේ එක්දින කණ්ඩායම ලෙසින් කිරුළ දරා සිටින අතර අදාළ ශ්‍රේණියේ තෙවැනි තැන ඔස්ට්‍රේලියානුවන්ට හිමිව තිබේ. 

එංගලන්ත පිලේ ප්‍රධාන පිතිකරු ජවනිකාව රඟ දක්වන ජෝ රූට් මෙවර තරගාවලියේ තරග නවයකදී ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් සමග මුළු ලකුණු 500 ක් ලබා තිබේ. නමුත් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් ශතක තුනක් සහ අර්ධ ශතක තුනක් සමග මුළු ලකුණු 638 ක් ලබා පිතිකරුවන් අතර දෙවැනි තැන පසුවීම එංගලන්ත ප්‍රබල පන්දු යවන්නන්ට අභියෝගයකි. 

දෙපිලේම පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතින් සමබර කණ්ඩායම් දෙකක් සිටීම අවසන් පූර්ව තරගයේ තිව‍්‍ර කරවන්නක් බවට පත්ව තිබේ. ඔස්ට්‍රේලියානු තරග දිනවන පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් තරග නවයකදී කඩුලූ 26 ක් දවා ගෙන තිබේ. තරගාවලියේ වේගවත්ම පන්දු යවන්නෙක් වන එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් තරග නවයකදී කඩුලූ 17 ක් දවාගෙන ඇත. 

පසුගිය සිව් වසර තුළ ඔස්ට්‍රේලියානුවන් සමග ක්‍රීඩා කරමින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් තමා ඇතුළු කණ්ඩායම ලබා ඇති බව ජෝ රූට් පවසයි, ‘‘අපි පසුගිය අවුරුදු හතරේදී ඔවුන් සමග ඉතාමත් ධනාත්මක විදිහට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ මතකයන් අපිට අවසන් පූර්ව තරගයට එන විටත් තියෙනවා. අවසන් පූර්ව තරගයටත් අපි ඒක අරගෙන යන්නෙ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. මම හිතනවා මේ ලෝක කුසලානයේදී අපි හොඳ තැනක ඉන්නවා කියලා. මොකද අපි පළමු වටයේ අවසන් තරග දෙකත් ක්‍රීඩා කළේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් වගේ. ඒ නිසා අපි පීඩනය යටතේ පසුගිය කාලයේදීම ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා පීඩනය අපිට හුරුයි. ’’ යනුවෙන් රූට් පවසයි. 

ඉතිහාසයේදී ඔස්ට්‍රේලියානුවන් ලෝක කුසලාන අවසන් මහා තරග හතකට පිවිස දෙවතාවක් පමණක් අනුශූරයන් වෙද්දී අනෙක් සියලූම අවස්ථාවලදී ශූරතාව දිනාගෙන තිබේ. නමුත් එංගලන්තය ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණි අවස්ථා තුනේදීම අනුශූරතාව පමණක් දිනාගෙන ඇති අතර ඔවුන් මෙවර කෙසේ හෝ ලෝක ශූරයන් වනු ඇතැයි එංගලන්ත ජාතීන් බලාපොරොත්තු තබා තිබේ. 

එඩිබැස්ටන් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානුවන්ට ඇත්තේ 40% ක ජයග්‍රාහී ප්‍රතිශතයකි. ඔවුන් එහිදී තරග කළ අවස්ථා 15 කින් හයක් පරාජය වී තරග හතක් පමණක් ජය ගෙන තිබේ. නමුත් ක්‍රීඩාංගණයේ වාසිය අතින් එංගලන්තයට 63% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් තිබේ. සත්කාරකයන් වශයෙන් ඔවුන් එඩිබැස්ටන් හී තරග වැදුන අවස්ථා 39 කදී 23 වරක් ජය ගෙන තරග 13 ක් පමණක් පරාජය වී තිබේ. 2015 වසරෙන් පසුව එඞ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී එංගලන්තය තරග වැදුන සියලූම තරග ජය ගෙන තිබීමේ මානසික ශක්තියද ඔවුන් සතුව තිබේ. 

එංගලන්තය පළමු වටයේදී සහභාගි වූ තරග නවයේදී තරග හයක් ජයගෙන ප්‍රසාද ලකුණු 12 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැනට පත්විය. ඔවුන් පරාජයට පත්වුයේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාවට පමණි. ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී එංගලන්තයට ලකුණු 64 ක පරාජයක් අත්විඳීමට සිදුවූයේ තවත් පන්දුවාර 6. 2 ක් ඉතිරිව තිබියදී ඔවුන්ගේ සියලූ දෙනාම දැවී යාම හේතුවෙනි. 

තරග නවයකදී ජයග්‍රහණ හතක් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්වු ඔස්ට්‍රේලියානුවන් පළමු වටයේදී පරාජයට පත්වූයේ ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාවට පමණි. ලෝක කුසලාන පස්වරක් (1987, 1999, 2003, 2007 සහ 2015) දිනා සිටින ඔස්ට්‍රේලියානුවන් අවසන් පූර්ව තරගවලට පැමිණි සියලූම අවස්ථාවලදී ජයග්‍රහණය අත්පත්කර ගත්තද ඔවුන්ගේ ප්‍රතිවාදී එංගලන්තය මෙවර අවසන් පූර්ව තරග අවස්ථාව ලබා ඇත්තේ වසර 27 කට පසුවය. 

1975 වසරේ පැවැති පළමු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී එංගලන්තය එවර සත්කාරකයන් වුවද ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලූ 4 ක පරාජයක් අත්වින්දේය. යළිත් 1979 වසරේදී එංගලන්තයේදීම පැවැති ලෝක කුසලානයේදී අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය පරාජය කරමින් එංගලන්තය අවසන් මහා තරග අවස්ථාව උදාකර ගත්තේය. එහෙත් බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ඔවුන් අනුශූරයන් බවට එවරද පත්විය. 1983 දී පැවැති ලෝක කුසලානයේදී එංගලන්තය යළිත් වරක් අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේද පරාජයට පත්විය. 

1987 දී යළිත් අවසන් පූර්ව තරගයට පිවිසි එංගලන්තය එහිදී ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්විය. 1992 ලෝක කුසලාන තරගාවලියේදීද අවසන් පූර්ව තරගයට පැමිණි එංගලන්තය එහිදී දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණියත් පාකිස්තානය හමුවේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

අසේල විතාන එංගලන්තයේ සිට

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top