Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 10
806
Views
සැමියා හැර යාම නිසා දින ගණනාවක් තිස්සේ ආහාරක් නොමැතිව කුසගින්නේ සිටි මවක සහ ඇගේ දියණියක දුම්රියට පැන දිවි නසා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට හැකි වූ බව  ගල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය පවසයි.    

මෙසේ දිවි නසා ගැනීමට උත්සහ දරා ඇත්තේ ගල්ගමුව පොලිස් වසමට අයත් මහගල්ගමුව ප්‍රදේශයේ 38 හැවිරිදි එක්දරු මවක සහ දස හැවිරිදි එකම දියණියයි.

ගල්ගමුව වෙල්රොදවත්ත කැලෑ බද ප්‍රදේශයක දුම්රිය මාර්ගය ආසන්නයේ කාන්තාවක හා කුඩා දැරියක අඬමින් සිටින බවට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු දැනුම් දුන් බව පොලිසිය පවසයි. 

ගල්ගමුව ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල් ප්‍රියන්ත සෙනරත් බණ්ඩාර මහතාට ලැබුණු එම දුරකතන ඇමැතුමත් සමගම පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයට පිටත්ව ගොස් ඇත.

තමා එම ස්ථානයට යන විටත කාන්තාව හා ඇගේ දියණිය දුම්රිය මාර්ගයේ අඬමින් සිටි බව පොලිස් කොස්තාපල්වරයා කීය. ඔවුන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගත් සැණින් කොළඹ කොටුවේ සිට වවුනියාව දක්වා ධාවනය වූ දුම්රිය එම ස්ථානය පසු කර ගිය බව ද පොලිස් කොස්තාපල්වරයා පැවැසීය.     

පොලිස් කොස්තාපල්වරයා ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා ජීවිත දෙකක් ගලවාගත හැකි වූ බව  දුම්රිය සේවකයෝ පවසති. 

මෙම මව සහ දියණිය පොලීසියට රැගෙන ගොස් කරුණු විමසීමේ දී වඩු කාර්මිකයකු වන සැමියා දිනපතා අධික ලෙස බීමත්ව පැමිණ තමන්ට සහ දියණියට හිරිහැර සිදු කරන බවත් දරුපවුලට කෑමට බීමට අවශ්‍ය කළමනා ගැනීමට අවශ්‍ය වියදම් පවා ලබා නොදීමෙන් තමාත් දියණියත් නිතරම බඩගින්නේ සිටි බව කියා සිටියාය.

ඇය මෙසේ ද කීවාය.

මීට දින ගණනාවකට පෙර බීමත්ව පැමිණි සැමියා කුඩා දියණියට ද බලහත්කාරයෙන් කසිප්පු පෙවීමට උත්සාහ ගත්තා. මා ඊට විරෝධය පළකිරීමෙන් පසුව සැමියා මා සහ මගේ දරුවා දමා  නිවෙසින් පිටව ගියා. ඔහු නැවත ආවේ නෑ.

සැමියා එසේ අතහැර ගියාට පස්සේ අපට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. කිසිම ආදායමක් නෑ. මගේ දියණිය සහ වයෝවෘද්ධ ආබාධිත පියා ජීවත් කරවීම සඳහා කඩයප්පන් සකස් කළා. එය සාර්ථක වුණේ නෑ.  පස්සේ බඩ ගින්න ඉවසා ගන්න බැරිම තැන පාරේ යන එන අයට අත පා ජීවත් වීමට උත්සාහ ගත්තද අපට උදව් කරන්න කෙනෙක් හිටියේ නෑ. 

කන්න බොන්න දෙයක් නැතිව ජීවත්වන්න අසීරු නිසා අන්තිමේ දී දියණිය සමග දුම්රියට පැන දිවිනසා ගැනීමට තීරණය කළ බව ද ඇය කීවාය.

මේ කාන්තාවට සමෘද්ධි සහනාධාරය මුලින් තිබි ඇති බවත්, කුඩා කණ්ඩායම් ක්‍රමය යටතේ සමෘද්ධි බැංකුවෙන් ණය ලබාගෙන ඒ ණය නොගෙවීම නිසා සමෘද්ධි සහනාධාරය ද කපා හැර ඇතැයි දැන ගැනීමට ලැබුණු බවත් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත බණ්ඩාර මහතා කීය.    

මව හා දස හැවිරිදි දියණිය ජීවත් වන්නේ කටු මැටි ගැසු පැල්පතක බවත් එහි ආරක්ෂාවක් නොමැති බවත් දැරිය ප්‍රදේශයේ පාසලක පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් පොලිසිය සඳහන් කළේය.      

ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරි මහතාගේ උපදෙස් මත ඒ දෙදෙනාට දින කීපයකට සෑහෙන්න වියළි ආහාර ද්‍රව්‍යය ද සපයා දී ඔවුන් නිවෙසට කැඳවාගෙන ගියහ.

මේ සම්බන්ධයෙන් මහගල්ගමුව ග්‍රාම නිලධාරි ජේ.එම්. විජේදාස මහතාගෙන් විමසීමක දී මෙසේ කීය

”_ඔය කියන කාන්තාවගේ සැමියා ඇයව අතහැර ගිහින් ඉන්නේ. ඒ වාගේම ඇගේ පියා ඉන්නෙත් ඒ ගෙදර. ඔහුට වයස අවුරුදු හැත්තෑවක් විතර ඇති. යන්න එන්න බෑ. දැඩි ලෙස රෝගාතුරව ඉන්නෙ. දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්නත් හැකියාවක් නෑ. මේ නිසා ඇය මානසික පීඩනයකින් ඉන්න ඇති. මමත් ඒ නිවෙසට බොහෝ අවස්ථාවල ගිහින් ඇයට උපදෙස් දීලා තියෙනවා .”_                                                            
ඒ කාන්තාවගේ ගේ හදලා දෙන්න නිවාස සංවර්ධන අධිකාරියෙන් ණය ඉල්ලා තියෙනවා. හතර වන අදියරට තමයි ඒ ණය ලැබෙන්නේ. ටිකක් පමාවෙලා තියෙනවා. මම අදත් (09) නිවාස සංවර්ධන අධිකාරියට කතා කළා. අර වයසක පියා වැඩිහිටි නිවාසයකට අරන් යන්න අපි සුදානම් වුවත් ඒ කාන්තාව ඒකට කැමැති වුණේ නෑ. සමෘද්ධිය කැපිලා. ඒත් දැන් ඇයට රුපියල් 2000 දීමනාවක් අනුමත කරලා දීලා තියෙනවා. සමෘද්ධි බැංකුවට මුදල් ගිය සතියේ ඇවිත් තියෙනවා. ගම්වැසියන් උදවු කළත් පවුලේ අය උදවු නොකිරීම ගැනත් ඇය කනගාටුවෙන් හිටියා.”                                                 

මේ ගැන ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පතිරාජ මහත්මියගෙන් විමසු විට මෙසේ කිවාය.                                                              
 “ඔය සිද්ධිය දැන ගත් වහාම මම නිලධාරීන් ඒ නිවසට යැව්වා තොරතුරු සොයන්න. මම දැන් කාර්යාලයේ නෙමෙයි ඉන්නේ. උදෙන්ම රාජකාරියකට පිටතට ආවා. ඒ නිසා මට විස්තර අහන්න බැරි වුණා. එන වේලාවක් නම් කියන්න අමාරුයි. මං තවම හරි විස්තරයක් දන්නේ නෑ.”

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව, නිකවැරටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි උපුල් චන්දන මහතා මෙම සිද්ධිය පිළිබඳව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ද දැනුම්වත් කර, සැමියා නොමැතිව අසරණභාවයට පත්ව සිටින එම කාන්තාවගේ පවුල පිළිබඳව සොයා බැලීමට පියවර ගෙන තිබේ.
ලංකාදීප
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top