Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 09
851
Views
"මචං... පොඩ්ඩක් වරෙන් මට පොඩි ගමනක් යන්න තියෙනවා." යුද හමුදා විශේෂ බලකා පුහුණුවේ යෙදී සිටින අතරතුරේ නිවාඩුවක් ලබා නිවෙසට පැමිණ සිටි රොෂාන්, පසුගිය දෙවනි දා සිය ලඟම මිතුරෙකුට මෙලෙස පවසන්නේ මත් වතුර සාදයක් අතරතුරය. රොෂාන් මිතුරන් දෙදෙනෙකු සමග මත්වතුර තොලගාමින් සිටියේ නිවාඩු අවසන් කොට යළි කඳවුරට යාමට පෙර පවත්වන සමුගැනීමේ සාදයක් ලෙසටයි.

තමාට ගමනක් යාමට අවශ්‍ය බව හොඳම මිතුරාට කීවද ඒ කොහෙදැයි ඔහු පැවසුවේ නැත, සාදයට එක්ව සිටි අනෙක් මිතුරාටද කිසිවක් නොපැවසූ රොෂාන්, මිතුරා සමග එම ස්ථානයෙන් නික්මෙන්නේ පා ගමනිනි. ඒ වන විට වේලාව රාත්‍රී අටට ආසන්නවන් තිබුණා.

ඉලුක්, මානා පඳුරු අතරින් වූ අඩි පාරක් ඔස්සේ මිතුරා ද සමග ගමන් කරන ‍රොෂාන්, අතර මගදී තමන් යන කුමක්දැයි පැවසුවේය. 

" මචං... මම යාලුවෙලා ඉන්න කෙල්ල බලන්න යමු කීව්වේ. මට කෝල් එකක් දුන්නා එන්න කියලා." 

" ආ හරි හරි මචං යමු"

එලෙස කී මිතුරා රොෂාන් සමග ඉදිරියට ගමන් කරන්නට විය. පඳුරු සහිත අඩි පාර අවසානයේ ඇත්තේ වෙලට එගොඩිනි. එම නිවස පිටුපස විදුලි බුබුලක් දල්වා තිබූ අතර ඉන් විහිදුණ එළිය අවට පරිසරය හොඳින් නිරීක්ෂණය සඳහා හොඳින් නිරීක්ෂණය සඳහා කිසිසෙත්ම ප්‍රමාණාත්මක වූයේ නැත.

පෙම්වතියගේ නිවෙස පෙනෙන මානයට ගිය රොෂාන් සිය මිතුරා අමතා "මචං... උඹ මෙතන ඉඳපං...මම ගිහින් එන්නම්." ලෙස පවසා වෙල හරහා පෙම්වතියගේ නිවෙස බලා ගමන් ඇරඹීය. වෙල අද්දර නතර වූ මිතුරා කලුවරේ වටපිට බලමින් එම ස්ථානයට වී සිටියේය. 

විනාඩි දහයක් පමණ ගත වෙද්දී මිතුරාට යමකු කෑ ගසන හඬක් ඇසිණි. ඒ රොෂාන් ගිය වෙල දෙසිනි. "අයියෝ... අම්මෝ... ගහනවෝ" ආදී වචන කියමින් කෑ ගසාගෙන තමා ඉදිරියට දිව එන්නේ රොෂාන් බව දැනගත් මිතුරාට වෙලාවක් ගත වූයේ නැත. ඒ අඬ අඳුරේ, නිවෙස පිටුපස දැල්වෙන දැල්වෙන විදුලි බුබුලේ පඬු පැහැයෙන් මිතුරා දුටුවේ කෑ ගසමින් රොෂාන් දිව එන අයුරුත් පොල්ලක් අතැතිව පුද්ගලයෙකු ඔහු පසුපස හඹා එන අයුරුත්ය.

දුටු දෙයින් බියට පත්වන මිතුරා ද ආපසු හැරී දිවයන්නට විය. මානා පඳුරු සහිත අඩි පාර දිගේ ඔහු කෙලින්ම දිව ගියේ මිතුරන් සමග එක්ව මත් වතුර සාදය පැවැත්වූ ස්ථානයටය. ඔහු යන විට ඊට පෙර මිතුරත් සමග තවත් මිතුරෙකුත් එම ස්ථානයේ කතා බහ කරමින් සිටියේය. 

" මචං මාර වැඩේ වුණේ. රොෂාන්‍ට කවුද පොල්ලකින් ගැහුවා. ඌ කෑ ගහගෙන එද්දී ගහපු එකා උගේ පස්සෙන් පන්නාගෙන ආවා. මාත් ආපස්සට හැරිලා දුවගෙන ආවා. යමුද බලන්න රොෂාන්ට මොනවද වුණේ කියලා"

යුද හමුදා මිතුරාට සිදු වූ අනතුර ඇසූ අනෙක් මිතුරන් දෙදෙනා රොෂාන් සෙවීමට පිටත් වූහ. ඉලුක්, මානා පඳුරු අස්සෙන් වූ මාර්ගය ඔස්සේ වෙල දෙසට යාම එතරම් පහසු වන්නේ නැත. එබැවින්.... ඔවුන් ත්‍රී රොද රථයක් සොයාගෙන රොෂාන්ගේ පෙම්වතියගේ නිවසට යාමට තීරණය කරන්නේ කැලෑ මාර්ගයෙන් එම ස්ථානයට යාමට ටික වේලාවක් ගතවන බැවිනි.

එම නිවෙස දෙසට ඇති ප්‍රධාන මර්ගය ඔස්සේ මිතුරන් ත්‍රී රෝද රථයෙන් නිවසට යද්දී එහි විදුලි බුබුලු නිවා දමා තිබිණි. නිවෙස අසලට ගිය රොෂාන් ගේ මිතුරන් පිරිස දොරට තට්ටුකොට කත කරන්නට විය. එවිට එම නිවසේ ගෘහණිය එනම් රොෂාන්ගේ පෙම්වතියගේ මව නිවෙසේ දොර විවෘත කළාය.

"කෝ රොෂාන්"

මිතුරන්ගේ එම පැනයට ඇයගේ පිළිතුර වූයේ "මං දන්නෙ නැහැ" යන්නය.

ඉන්පසු මිතුරන් එම ගෙවත්ත හරහා නිවෙස පිටුපසින් වූ වෙලට ගොස් එය පරික්ෂා කරන්නට විය. එවිට බරපතල ලෙස තුවාල ලබා කතා බහ කිරීමට පවා නොහැකිව සිටි රොෂාන් සොයා ගැනීමට හැකි විය.

මිතුරන් එක්ව රොෂාන් රෝහලට රැගෙන යන අතර මිතුරා මාවනැල්ල පොලීසියට ගොස් මේ බව පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය. ඒ වන විට වෙලාව රාත්‍රී නවය හමාර පමණ වී තිබුණි. 

ඔහු පැමිණිල්ල කරමින් කියා සිටියේ මාලියද්දේ වෙලක් අසල දී තමන් ගේ මිතුරාට යම් පුද්ගලයෙකු කෙටූ බවය.

පැමිණිල්ල ලද වහාම අපරාධ අංශයේ කණ්ඩායමක් එම ප්‍රදේශය බලා පිටත්ව ගිය අතර ඒ වන විටත් රොෂාන්ගේ පෙම්වතියගේ නිවෙස වසා විදුලි බුබුලු නිවා දමා තිබිණ. දොරට තට්ටු කොට කතා කිරීමෙන් අනතුරුව, මවත් දියණියත් දෙදෙනා එළියට පැමිණි අතර ඔවුන් පවසා සිටියේ මෙවැනි පහර දීමක් තමන් කිසිවක් නොදන්නා බවයි. 

ඉන් අනතුරුව පොලීසිය යන්නේ මාවනැල්ල රෝහලටය. ඒ වන විට තුවාලකරු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූ නමුත් ඔහු වචනයක්වත් කතා නොකොට පසු දින අළුයම් කාලයේදී ජීවිතයෙන් සමුගෙන යන්නට ගියේය. 

විමර්ශන ඇරඹූ පොලීසිය සිද්ධිය වූ වෙල සෝදිසි කළේය. එවිට රොෂාන්ට පහර දුන් බවට සැකකෙරෙන පොල්ල මඩ වගුරක තිබී සොයා ගැනීමට හැකිවිය. කෑගල්ල අපරාධ අංශයේ නිල සුනඛයා කැඳවා පොල්ල ඉව ඇල්ලීමට දුන් අතර එය ඉව කළ සුනඛයා කෙලින්ම ගියේ රොෂාන්ගේ පෙම්වතියගේ නිවෙස දෙසටය. සිද්ධිය වූ දිය රාත්‍රියේ මේ නිවෙසේ මව සහ දියණියන් දෙදෙනෙකු සිටියත් පසුදින විමර්ශනය සඳහා පොලීසිය යන විට එම නිවෙස වසා නිවැසියන් ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටියා. 

විමර්ශනවලදී හෙළි වූ තොරතුරුවලට අනුව රොෂාන්ගේ පෙම්වතියගේ පියා එම පවුලෙන් වෙන්ව වෙනත් විවාහයක් කරගෙන ජීවත් වෙයි. මේ පවුලේ වැඩිමල් පුත්‍රයාද යුධ හමුදා සෙබළෙකි. පොලීසිය ඔහු පිළිබඳව තොරතුරු සොයද්දී දැනගන්නට ලැබුණේ ඔහු නිවාඩු ලබාගෙන කඳවුරෙන් පිටව ගොස් ඇති බවයි. එහෙත්... ඔහු ආගිය අතක් පිළිබඳව තොරතුරක් නැත.

පෙම්වතිය දැක බලාගැනීමට ගොස් නාඳුනන පුද්ගලයෙකුගේ පොලු පහරට ගොදුරුව මියගියේ මාකෙහෙල්වල දිනුගම අංක බී 17/2 ලිපිනයේ පදිංචිව සිටි හොරතල් පේඬිගේ රොෂාන් සෝමතිස්ස නම් වූ 23හැවිරිදි යුද හමුදා සෙබළෙකි. මොහු යුද හමුදාවට බැඳී ඇත්තේ මීට වසර තුනකට පමණ ඉහතදීය.

වෙනත් රෙජිමේන්තුවකට බැඳී පුහුණුව ලබා හමුදා සේවයේ යෙදී සිටින අතරතුරේ ඔහු විශේෂ කාර්ය බලකායට තේරෙන අතර පසුව පුහුණුව සඳහා මාදුරු ඔය විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරට ඇතුලත් විය. මොහු නිවාඩු ලබා නිවෙසට එන්නේ පුහුණුව ලබන අතරතුරේය. ඝාතනය වන විට ඔහු ලාන්ස් කෝප්‍රල් තනතුරට පත්ව සිටියේය.

රොෂාන්ගේ ප්‍රේම සම්බන්ධය ගැන ඔහුගේ පවුලේ අය දැන සිටි අතර ඔහුගේ වැඩිමහළ් සහෝදරයා පොලීසියට පවසා තිබුණේ එම සම්බන්ධය නවතා දමන ලෙසට තමා රොෂාන් මල්ලීට අවවාද කර තිබූ බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ පෙම්වතිය ඇතුලු පවුලේ අය ආගිය අතක් නැත. රොෂාන් ඝාතනය කාගේ වුවමනාවට කා විසින් සිදු කළාද යන්න තවමත් අබිරහසකි. එය ක්ෂණිකව සිදු වූවක්ද සැලසුම් සහගත ක්‍රියාවක්ද යන පැනයද මතුව ඇත. 

රොෂාන් ගේ දේහය පිළිබඳව පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වුයේ මොට ආයුධයකින් හිසට එල්ල වූ පහරකින් හිස අභ්‍යන්තරයේ ඇති වූ රුධිර වහනය හේතුවෙන් මොහු මිය ගොස් ඇති බවය. 

මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපති ජී.ජී නිලංගගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති මංජුල පියතිස්ස ඇතුළු කන්ඩායමක් විමර්ශනවල නිරතව සිටී.

"දිනමිණ"
තක්ෂිලා ජයසේකර
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top