වර්ෂ 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව සතු කරගත් පසුව ඔහු ගැනත් බොහෝ දෙනෙක් කතා කළා. පැන්සල් කුමාරයා නමින් අන්වර්ථ නාමය ලබන්නට තරම් ඔහුට ක්‍රීඩා ලෝලීන්ගෙන් ආදරේ ලැබුණේ ඒ නිසයි. ළාබාල ක්‍රිකට් විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තරයට ගිය පසු ඔහු ගැන යළිත් ලෝකයම කතා කරන්න පටන්ගත්තා කිව්වොත් වරදක් නැහැ. ඔහු නමින් කුමාර් ධර්මසේන.
තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව වර්ෂ 2004 දී අවසන් ටෙස්ට් තරගය නියෝජනය කළා. ඒ වගේම කුමාර් එම වර්ෂයේම ඕස්ට්‍රේලියාව සමග අවසන් එක්දින තරගය ක්‍රීඩා කරමින් ක්‍රීඩා දිවියට සමු දුන්නා. පිතිකරුවෙක් ලෙස සමු දුන්නත් ඔහු විනිසුරුවරයෙක් ලෙස පිටියට එන්නේ යළිත් බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ චරිතයක් වෙමිනුයි.
වර්ෂ 2009 දී මුලින්ම ජාත්‍යන්තර තරගයක විනිසුරුවරයෙක් හැටියට කටයුතු කරන්න වරම් හිමි කර ගත් ඔහු එතැන් පටන් මේ දක්වා ඔහුගේ දක්ෂතා ජාත්‍යන්තර පිටිය තුළින් දැකගන්න ලැබීම ශ්‍රී ලංකාවටත් අභිමානයක්. පන්දුවාර 20- 20, එක්දින හා ටෙස්ට් තරග සදහා විනිශ්චය ලබා දෙන ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ විනිසුරුවරයෙක් හැටියට කටයුතු කරනවා. ඒ ගැන හා ක්‍රිකට් ගැන කුමාර් කියන්නේ මෙවැන්නක්.
කුමාර් වර්ෂ ගණනාවක සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරු තනතුර අත්පත් කරගත් දක්ෂ විනිසුරුවරයෙක් , මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ ඔබත් කොටස් කරුවෙක්. ඒ ගැන මොකද හිතන්නේ ..?
ලෝක කුසලාන තරගාවලියක විනිසුරුවරයෙක් හැටියට කටයුතු කරන්න ලැබීම ඇත්තටම සතුටක්. අවසන් පූර්ව තරගාවලියේ 11 දා පැවැත්වෙන එංගලන්ත හා ඕස්ට්‍රේලියා තරගයේ තමයි මම විනිසුරුවරයෙක් හැටියට කටයුතු කරන්නේ. ඒක හොද අත්දැකීමක් වෙයි. ඒ වගේ අවස්ථාවක් ලැබුණු එකත් හොද දෙයක් හැටියටයි මම දකින්නේ. මගේ සේවාව සාධාරණව අපක්ෂපාතිව ඉටු කරන්න මම උත්සහ කරනවා. ඒක මගේ වගකීමක්. ඒ වගේම කියන්න ඕන මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. මම ලෝක කුසලානය නියෝජනය කරනවා කියන්නේ මගේ රටත් නියෝජනය වීමක් වෙන්නේ. ඒක ඇත්තටම අභිමානයක්.
වර්ෂ 2015,2016 යන වර්ෂවල ඔබ පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගවල විනිසුරුකරුවෙක් ලෙස කටයුතු කළා. ඒ වගේම ඔබ ජාත්‍යන්තර තරග බොහෝමයක් නියෝජනය කරමින් ඔබේ විනිශ්චය ලබා දී තිබෙනවා. එවැනි අත්දැකීමක් තිබුණු නිසා මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවරයෙක් හැටියට කටයුතු කරන්න ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණද ..?
පසුගිය අවුරුදු හතරක කාල සීමාව තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග මම කොයි විදිහටද විනිශ්චය ලබා දුන්නේ, මගේ හැකියාව කොහොමද ප්‍රදර්ශනය වුණේ කියලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දකින්න ඇති. ඒ හැකියාව මත තමයි මට මේ අවස්ථාව ලබා දෙන්න ඇත්තේ. බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ කියන්නත් බැහැ. පොඩි බලාපොරොත්තුවක් තිබ්බා.
වර්ෂ 1994 සිට වර්ෂ ගණනාවක් පුරා ඔබ ජාත්‍යන්තර තරග බොහොමයක ක්‍රීඩකයෙක් හැටියට කටයුතු කළා. ඒ වගේම වර්ෂ 10ක් පුරා ඔබ විනිසුරුවරයෙක් හැටියට කටයුතු කළා. තවමත් ඔබ ක්‍රීඩාව සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙක් හැටියට අවසන් පූර්ව වටයටවත් ඇතුළත් වෙන්න බැරි වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ගැන මොකද හිතන්නේ..?
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය කාලයේ තිබුණු තත්ත්වය ගැන බොහෝ දෙනෙක් දන්නවා. අසීරූ මට්ටමක තිබුණේ. කොහොම නමුත් ලෝක කුසලාන තරග හතකින් තුනක් ජය ගන්න පුළුවන් වුණා. ඕස්ට්‍රේලියාව සමග පැවති තරගය එහෙම ජයගන්න පුළුවන් මට්ටමක තිබ්බේ. මැද පෙළ පිතිකරුවන් තවත් ශක්තිමත් වෙන්න තිබුණා කියලා මට හිතෙනවා. ඇත්තම කිව්වොත් මම ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ. මේ උත්තරය ලබා දුන්නේ ප්‍රේක්ෂකයෙක් විදිහට හිතලයි.
96 ලෝක කුසලානයත් ඉන් පසුව තරග බොහොමයක් ජය ගත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය කාලයේ බරපතල ලෙස කඩා වැටීමකට ලක් වුණේ මොන වගේ හේතු නිසා කියලද ඔබ හිතන්නේ..?
96 ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර බොහෝ තරග ප්‍රමාණයක් ජය ගත් අපිට කොතනද වැරදුනේ කියලා බලන්න ඕන. ඒ වැරදුණු තැන් හොයලා ඊට ප්‍රතිකර්මයක් කරන්න ඕන මුලින්ම. අනෙක් කණ්ඩායම් ඉදිරියට යද්දී අපේ කණ්ඩායම ජාත්‍යන්තර තරග ඉදිරියේ මුහුණපාන තත්ත්වය හිතන්න වෙනවා. මේ විදිහට ගියොත් ඉදිරි ජාත්‍යන්තර තරග ජය ගන්න එක ලේසී නැහැ.
තරග ජය ගන්න කණ්ඩායමම ශක්තිමත් වෙන්න ඕන කියලයි මත පළවෙන්නේ. 96 න් පසුව වර්ෂ ගණනාවක් යනතෙක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ රැසකට හිමිකම් කිව්වේ කණ්ඩායමේ එකමුතුකම කිව්වොත්..?
ලෝක කුසලානය මුල් වරට ලංකාවට රැගෙන ඇවිත් දැන් වර්ෂ 20 ටත් වැඩියි. අපි හැමෝම ඒ කාලේ ක්‍රීඩා කළේ කණ්ඩායමක් විදිහට. මොන ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න පිට තියලයි අපි ක්‍රීඩා පිටියට ගියේ. කවදාවත් ප්‍රශ්න අරගෙන පිට්ටනිය ඇතුළට ගියෙත් නැහැ. ප්‍රශ්න තියාගෙන ක්‍රීඩා කළෙත් නැහැ. හැමදේම අමතක කරලා තරගයට අවතීර්ණ වුණා. කණ්ඩායම් හැගීම තිබුණා. ඒ ඒ ක්‍රීඩකයා තම තමන්ගේ දක්ෂතා පෙන්වමින් වගකීම් ඉටු කළා. ප්‍රධානම තුරුම්පුව තමයි පන්දුව හදුනා ගැනීම. පන්දුව හදුනාගෙන ඒ අනූව ලකුණු රැස් කළා. ඒ වගේම අපිට කරන්න පුළුවන් මොනවාද කරන්න බැරි මොනවාද කියන එක තේරුම් ගන්න ඕන. කරන්න බැරි දේට මුලිකත්වය නොදී කරන්න පුළුවන් දේ හරියාකාරව කරන්න වෙහෙස ගත්තා. කණ්ඩායමේ සමගිය හා කණ්ඩායමේම වගකීම කණ්ඩායමටම දැනුණු නිසා හැමෝම තම තමන්ගේ වගකීම් ඉටු කළා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ප්‍රවීණ ක්‍රීඩකයින්ට අපි ගරු කළා. ඔවුන්ගෙන් ඉගෙන ගන්න පුළුවන් දේ ඉගෙන ගත්තා.
හර්ෂණී වීරරත්න