Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 09
940
Views
එදා ඇය එම ක්‍රීඩකයා වෙනුවෙන් මෙයට වඩා තද තීරණයක් ගත්තා නම් එම ක්‍රීඩකයා සම්බන්ධයෙන් අපට කතා කිරීමටවත් එම ක්‍රීඩකයාගේ දස්කම් ලොවටම බලා ගැනීමටවත් අවස්ථාව නොලැබෙන්නට බොහෝ දුරට ඉඩ තිබිණි.

මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය සමඟ චෙස්ටර් ලී ස්ටී්‍රට්හි රිවර්සයිඩ් පිටියේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් ලකුණු 3කට දැවී ගොස් තිබූ අවස්ථාවක ජොෆ්රා ආචර්, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්, ප්ලන්කට්, බෙන් ස්ටොක්ස් වැනි පන්දු යවන්නන් තුට්ටුවකටවත් මායිම් නොකරමින් අත දිගහැර පහර දෙන මෙම යෞවනයා දෙස තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ද බලා සිටියේ පුදුමයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ වී ඇති මොහොතක 21 හැවිරිදි අපේ මෙම කථානායකයා පන්දු 39කදී හතරේ පහර 6ක් හා හයේ පහර දෙකක්ද සමඟින්  ලකුණු 49ක් රැස් නොකරන්න ශ්‍රී ලංකා කණ්ඩායම අත්වන ඉරණම ශෝචනීය වීමට ඉඩ තිබිණි. එම තරගයේ අර්ධ ශතකය අහිමි වුවද කොදෙව්වන් සමඟ පැවැති තරගයේදී ශතකයක් කරා ගිය මෙම ක්‍රීඩකයා අද වනවිට මුළු ලෝකයේම කතාබහට ලක්ව තිබේ.

ඔහුගේ මෙම දක්‍ෂතාව නිසාම මේ දෙස බලා සිටි ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවකු වූ රොබින් උතප්පා මෙම ක්‍රීඩකයාට ලබාදුන් චරිත සහතිකයෙන් මුළු ලෝකයම හෙල්ලී ගියේය. “ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා නැවතත් ඇවිල්ලා. බලන් ඉන්න එයා ගහන පහරවල්. පිත්තේ හරි මුහුණතට පන්දුව අරන් ගහන්න ලංකාවේ හිටියේ අරවින්ද විතරයි. ඒ තැනට මේ ක්‍රීඩකයාත් කවදා හරි යාවි” යනුවෙන්ද උතප්පා සඳහන් කර තිබුණේ අපේ මේ කථානායකයාගේ වටිනාකම හොදාකාරවම දන්නා බැවිනි.

වීරහෙන්දිගේ ආනෝල් අවිශ්ක ප්‍රනාන්දු යන නමින් මේ වන විට ලොවම හඳුනන අවිශ්ක ප්‍රනාන්දු සා. සෙබස්තියන් විදුහලෙන් ක්‍රිකට් පිටියට අත්පොත තබා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම ඔහුගේ දක්‍ෂතාවට කදිම සාක්ෂියක්ද සපයයි.

අවිශ්කගේ පාසල් අවදිය, පෞද්ගලික සිදුවීම් සම්බන්ධයෙන්ද විමසා බැලීමට අවශ්‍ය වූ හෙයින් ඒ පිළිබඳව ඔහුගේ මවුපියන් මුණගැසීමට අපි තීරණය කළෙමු.

“අවිශ්ක කියන්නේ හරිම අහිංසක දරුවෙක්. කවදාවත් පාසලෙන්වත් පැමිණිල්ලක් අපට ලැබුණේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම පුතාගේ අතේ තිබුණේ බැට් එක නිසා ගෙදර බඩු ටික නම් අපිට පරිස්සම් කරගන්න බැරි වුණා” යැයි පැවැසූ අවිශ්කගේ මව ශිරාණි සිරිවර්ධන මහත්මිය අප සමඟ කතාබහට එක්වූවාය.

“මම නම් ඉස්සර ක්‍රිකට්වලට කැමැතිම නැහැ. එයා බැට් එක අතට ගත්තහමත් පාඩම් කරන්න කියලා මම බනින නිසා වෙන්න ඇති මට වැඩිය පුතා සමීප එයාගේ තාත්තට තමයි. හැම දෙයක්ම කියන්නේ තාත්තාට. මම ටිකක් නපුරු නිසා වෙන්න ඇති. මම එහෙම කළේ එයත් එක්ක කේන්තියකට නෙවේ කියලා පුතා දන්නවා. මට හිතෙනවා පුතා ගත්ත තීරණය හරි කියලා. දැන් නම් මට එයා ගැන ලොකු සතුටක් තියෙනවා”

පාසලේ පුහුණුවීම් කරන අවස්ථාවලදී අවිශ්ක ගහන පහරවලින් ළඟ ගෙදරකට අලාභ හානි සිදුවෙනවා කියලා ආරංචියක් තියෙනවා ඒක ඇත්තද?

ඔව් නේ.  හැමදාම මෙයා ගහන පහරවල් ඒ ගෙදර වහලට තමයි වැටෙන්නේ. තමන්ගේ ගෙදර ෂීට්වලට හානි වන අවස්ථාවක කවුද නිකන් ඉන්නේ. ඒත් ඒ මහත්මියගේ නිහතමානිකම නිසායි පුතා එදා බේරිලා තියෙන්නේ. එදා එයා ඇවිල්ලා තියෙන්නෙ මේ අලාභහානිය පිළිබඳව ප්‍රින්සිපල්ට කියලා දැඩි තීරණයක් ගන්නවා කියලායි. ඒත් අපේ පුතා දැක්කහම ඒ තරහව නිවිලා එයා යන්න ගියා කියලා මට එතැන හිටිය අය කිව්වා.

එයා කාටවත් හිරිහැර කරන කෙනෙක් නොවෙයි. වර්ල්ඩ් කප් එකට යන ශ්‍රී ලංකා කණ්ඩායමට තේරුණා කියලා අපිට හරි සන්තෝසෙන් කිව්වා. එයා නිතරම කිව්වේ ලංකාව වෙනුවෙන් මොනවා හරි දැනෙන්න දෙයක් කරනවා කියලා. ඒත් එයා එංගලන්තයට ලකුණු 49න් අවුට් වුණාම අපි එයාට කිව්වා අපරාදේ 49න් අවුට් වුණේ කියලා. ‘අම්මලා නෙවෙයි නේ බැට් කරන්නේ මමනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් මැච්වලදී ගහනවා’ කියලා. ඒ වෙලාවෙ පුතා ටිකක් සැරෙන් කිව්වත් එයාගේ හිතේ ටිකක් හරි දුකක් තිබුණු බව අපිට තේරුණා.

කොහොමද අවිශ්කට ගමේ තියෙන සැලකීම?

ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.  ගමේ අය මෙයාට ගොඩක් ආදරෙයි. ගමනක් යන්න එළියට බැස්සොත් හැම කෙනා එක්කම කතා කරලා යන්නේ. අපිට ඒ ගමන යන්න පැයක් යනවා නම් මෙයාට පැය තුනක් විතර යනවා. පාසලේ ගුරුවරු සියලු දෙනාමත් මෙයාට ආදරෙයි. මෙයා ගමේ අයගෙන් නෙවෙයි පරිස්සම් කරන්න බැරි වෙන්නේ ගැහැනු ළමයින්ගෙන් තමයි.

අවිශ්කගේ එහෙම සම්බන්ධයක් තියෙන බව ආරංචි වුණාද?

මෙයා නම් එහෙම මුකුත්ම කිව්වේ නැහැ. ඒත් අපිට ආරංචි වුණා එහෙම දෙයක් තියෙනවා කියලා. ඒ ගැන මම ඇහුවාම කිව්වේ “නැහැ අම්මේ එහෙම එකක් නැහැ. ඔය බොරු” කියලයි. කොහොම වුණත් අවිශ්කගේ මේ ගමන ගැන අපිටත් හරි පුදුමයි. ඉස්සර අපිට යම් යම් ආර්ථික ප්‍රශ්න තිබුණා. තවමත් මම පෞද්ගලික රෝහලක වැඩ කරනවා. පුතාගේ තාත්තා හෝටලයක වැඩ කරනවා. ඒ මොන දේ වුණත් අපිට ගොඩක් අය උදවු කළා. පුතාගේ හැම දෙයක්ම මගේ මහත්තයයි කළේ. එයා ලබාගත්ත හැම දේකටම මහත්තයා තමයි ළඟ හිටියේ. ඒක නිසා එයාගෙන්ම පුතා ගැන අහන එක හොඳයි” යැයි පවසමින් අම්මා අවිශ්කගේ පියා වන කොලින් ප්‍රනාන්දු මහතාව අපිට හදුන්වා දුන්නාය.

“පුතා හරිම නිශ්ශබ්ද චරිතයක්. වැඩිය යාළුවොත් නැහැ. එයා මට තමයි වැඩියෙන්ම ආදරේ. ඒක නිසා හැම දෙයක්ම මට කියනවා. වයස අවුරුදු 1 1/2 ඉඳලාම එයාගේ අතේ තිබුණේ බැට් එකයි, බෝලෙයි විතරයි. වෙන කිසිම සෙල්ලම් බඩුවක් ගෙදර තිබුණේ නැහැ.

සමහර දවස්වලට බෝලෙ වැදිලා ගෙදර ටී.වී. එක කැඩුණා, වීදුරු එහෙම කැඩෙනවා, ඒ වෙලාවට ගෙදර හැම දෙනාම මෙයාට බනිනවා. ඒත් මම බනින්නේ නැහැ. මම මෙයාව බේරාගන්නවා” යැයි පැවසූ කොලින් මහතා අවිශ්කට උදවු උපකාර ලබා දුන් පිරිස ගැනද සඳහනක් කිරීමට අමතක නොකළේය.

“ඉස්සර අපිට පුතාගේ වැඩ කටයුතු කරන්න ලොකු හයියක් තිබුණෙ නැහැ. හැබැයි මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ විදුහල්පති බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා වගේම පාසලේ හිටිය සියලුම ගුරුවරුන්, නෑදෑ හිතමිතුරන් සියලු දෙනාම අපිට උදවු කළා. මගේ අක්කා තමයි (අවිශ්කගේ නැන්දා) සමහර වෙලාවට පුතා ළඟම හිටියේ. ඒ වගේම පුතාගේ පාසලේ රෂාන් පීරිස් සර් තමයි පුතාගේ මේ හැකියාව මුලින්ම දැක්කේ. ඒ සර් පුතාට හැම දෙයක්ම කියා දුන්නා. රෂාන් මහත්මයයි, නිශාන්ත වීරසිංහ මහත්මයයි පුතාට අවශ්‍ය ක්‍රිකට් බඩු එහෙමත් අරන් දුන්නා. පුතා මුල ඉඳන්ම ගියේ ශා. සෙබස්තියන් විදුහලටමයි. 6 වසරේ සිටම එයා අවුරුදු 13න් පහළ කණ්ඩායමේ හිටියා. අවුරුදු 6ක්ම එයා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළා. ඒකත් වාර්තාවක් වෙන්න ඇති. ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් කණ්ඩායමට 100ක් ගැහැව්වහම අපිට කතා කළේ හරිම සතුටෙන්. ලංකාව සහභාගි වන මැච් ලංකා වේලාවෙන් 3.00ට පටන්ගත්තත් අපි 12.00 ඉඳන්ම ටී.වී. එක ළඟ තමයි ඉන්නේ. පුතාට නංගි කෙනෙකුත් ඉන්නවා. එයාගේ නම ෂෙහාරා ප්‍රනාන්දු. කවදා හරි දවසක පුතා ශ්‍රී ලංකාව ලෝකෙ ඉහළටම ගෙනියයි කියලා මට විශ්වාසයක් තියෙනවා. හැම අතින්ම ශක්තිමත් නිසා එයා ඒ දේ කරාවි. පුතාට උදවු කළ විශාල පිරිසක් ඉන්නවා. ඒ හැමකෙනාවම මම මතක් කරන්න ඕන. ක්‍රිකට් ආයතනයේ ඉන්න සියලුම දෙනා පුතා ගැන බලනවා. ඒ සියලු දෙනාටම ස්තුතියි.

විචිත්‍ර වීරසිංහ

මව්බිම
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top