Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 09
1,851
Views
ලෝක ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ (Forbes) සඟරාව සෑම වසරකම ලොව ධනවත්ම පුද්ගලයන්, වැඩිම ආදායම් උපයන පුද්ගලයන් ආදීන් පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කරයි. 2019 වසර වෙනුවෙන්ද ඔවුන් පසුගියදා මෙවැනි වාර්තා ප්‍රසිද්ධියට පත්කර තිබිණි. මේ වනවිට ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයන් පිළිබඳ ලැයිස්තුවක්ද එම වාර්තාවලට ඇතුළත් විය. එයට අනුව ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි ද වැඩිම ආදායම් උපයන මුල් සියදෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටියි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් මෙම මුල් සියදෙනා අතරට ඇතුළත්ව සිටින එකම ක්‍රීඩකයා කෝලි වීමයි. 

මේ වනවිට ලොව දක්ෂතම පිතිකරුවා ලෙස බොහෝදෙනා විසින් සලකනු ලබන විරාත් කෝලිගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් බව එම වාර්තාවේ සඳහන් වෙයි. එය ලංකාවේ මුදලින් ගණන් බැලුවහොත් රුපියල් කෝටි 430කට ආසන්නය. මෙම මිලියන 25න් 21ක්ම ඔහු විසින් උපයනු ලබන්නේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම වැනි කටයුතුවලින්. වැටුප් සහ ක්‍රිකට් ක්‍රීඩා තරගවලින් ලැබෙන ආදායම ලෙස සටහන් වන්නේ ඩොලර් මිලියන 4ක් පමණි. 2018 වසරේ ඔහු පසු වූයේ මෙම ලැයිස්තුවේ 83 වැනි ස්ථානයේයි. ඒ වනවිට ඔහුගේ වාර්ෂික ආදායම ලෙස සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 24කි. මේ වසරේ කෝලිගේ ආදායම තවත් ඩොලර් මිලියනයකින් වැඩිවී ඇතත් ඔහුගේ ස්ථානය තරමක් පහත වැටී ඇති බව පෙනී යයි. 

කෝලි ලෝකයේ වැඩිම ආදායම් උපයන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙද්දී ඒ අතින් දෙවැනි තැන දිනා සිටින්නේද ඉන්දියානු පිලේම ක්‍රීඩකයෙකි. ඒ අන් කිසිවකු නොව කෝලිට කලින් ඉන්දීය පිලේ නායකත්වය දැරූ එම්.එස්. දෝනිය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ලොව වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතර තුන්වැනි ස්ථානය දිනා සිටියි. 

සියලුම ක්‍රීඩාවන් සම්බන්ධයෙන් සලකන විට ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයා ලෙස කිරුළ දිනා සිටින්නේ පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීය. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 127ක් ලෙස සඳහන් වෙයි. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2,200 ඉක්මවයි. දෙවැනි සහ තුන්වැනි තැන් දිනාගෙන සිටින්නේද පාපන්දු ක්‍රීඩකයන්මය. පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙවැනි තැනද බ්‍රසීල ක්‍රීඩක නේමාර් තුන්වැනි තැනද දිනාගෙන සිටිති. ඔවුන්ගේ ආදායම් පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 109 (රු. කෝටි 1,900) සහ ඩොලර් මිලියන 105 (රු. කෝටි 1,800) ලෙස සඳහන් වේ. 

කාලයකට ඉහත පාපන්දු ක්‍රීඩකයන් අතර වැඩිම ආදායම් ඉපැයූ ක්‍රීඩකයා ලෙස වැජඹුණේ රොනාල්ඩෝය. නමුත් දැන් මෙසී රොනාල්ඩෝ පසුකර යෑමට සමත්ව සිටියි. අප දන්නා ක්‍රීඩකයන් අතරින් ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් (මිලියන 93) පස්වැනි ස්ථානයේද ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් (මිලියන 64) 11 වැනි ස්ථානයේද පසුවෙති. තවත් ප්‍රකට ටෙනිස් ක්‍රීඩකයකු වන රෆායල් නඩාල්ට හිමිව ඇත්තේ 37 වැනි තැනයි. ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 35කි. සෙරීනා විලියම්ස් (මිලියන 29) 63 වැනි ස්ථානය දිනාගෙන සිටියි.

ක්‍රීඩා ලොව මෙම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ලැයිස්තුවේ සිටින එකම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට කෝලිට හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව පෙනේ. මෙම ලැයිස්තුවේ සිටින වැඩි දෙනා පාපන්දු, ටෙනිස්, ගෝල්ෆ්, බොක්සිං වැනි ක්‍රීඩා නියෝජනය කරන අයයි. 

මේ වනවිට 30 වැනි වියෙහි පසුවන කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූයේ 2008 වසරේයි. ඒ ඉන්දියාව සහ ශ්‍රී  ලංකාව අතර පැවැති එක්දින තරගයකිනි. 2010 වසරේ සිම්බාබ්වේ සමඟ තරගයකින් විස්සයි විස්ස තරගවලට එක්වූ ඔහු පළමු ටෙස්ට් තරගයට සහභාගි වූයේ 2011 වසරේය. මෙම ටෙස්ට් තරගය පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගය. කෝලි මේ වනවිට මෙම තරග මාදිලි තුනේම සුවිශේෂී දක්ෂතා දක්වන පිතිකරුවෙක් බවට පත්ව සිටියි. 

ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස යන මාදිලි තුනේදීම 50ට වැඩි ලකුණු සාමාන්‍යයක් (average) වාර්තා කරන ලොව එකම පිතිකරුවා ලෙසද කෝලි විශේෂ වාර්තාවක් පිහිටුවා තිබේ. මෙම සටහන ලියන අවස්ථාව වනවිට ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස සඳහා ඔහුගේ ලකුණු සාමාන්‍යයන් සටහන් වූයේ පිළිවෙළින්  53.76, 59.67 සහ 50.28 වශයෙනි. 

සනත් වික්‍රමගේ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top