Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 08
991
Views

කුරුණෑගල ශික්ෂණ රෝහල සහ දඹුල්ල මූලික යන රෝහල් හි ප්‍රසව හා නාරිවේද ඒකකවලට අනුයුක්තව සේවය කළ ෂාෆි ෂෙහාබ්ඞීන් මොහොමඞ් නමැති වෛද්‍යවරයා විසින් සිදු කරනු ලදැයි කියන සිසේරියන් සැත්කම් අටදහසක් සහ එම සැත්කම් අතර අදාළ කාන්තාවන්ගේ පැලෝපීය නාළ හානියට ලක් කරමින් ඔවුන් වඳ භාවයට පත් කරන ලදැයි කියන චෝදනා සම්බන්ධව මේ වනවිට අප රට තුළ පමණක් නොව ජාත්‍යන්තරව ද මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.
ජාතිවාදය පදනම් කර ගනිමින් සිදු කරන ලදැයි කියන වඳ සැත්කම්වලට වඩා වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනිව ඔහු කටයුතු කර ඇතැයි යන චෝදනාව ඉතා බරපතළ කරුණක් බවට පත්ව තිබේ.
වෛද්‍ය ආචාර ධර්මවලට අනුව කිසියම් රෝගියකුට ප්‍රතිකාරයක් සිදු කිරීමට පෙර එම රෝගියාට අදාළ ප්‍රතිකාරය පිළිබඳව දැනුවත් බවක් ලබාදිය යුතුය.
රෝගියාගේ දැනුවත් බවින් සහ අවසරයකින් තොරව කිසිදු ප්‍රතිකාරයක් සිදු කළ නොහැකි බව පිළිගත් වෛද්‍ය ආචාර ධර්මයකි.
ඒ අනුව වෛද්‍ය ෂාෆි විසින් මවුවරුන්ගේ අවසරයකින් තොරව ඔවුන් සිසේරියන් සැත්කම්වලට භාජන කර ඇත්නම් සහ ඔවුන්ගේ කැමැත්තකින් තොරව පැලෝපීය නාළ අවහිරයට ලක් කිරීමක් සිදු කර ඇත්නම් එය බරපතළ වරදකි.
මේ වන විට මෙම සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමඟ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් මේ පිළිබඳව සෙවීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇත.
එම විශේෂඥ කමිටුව මගින් සිදු කිරීමට සූදානම් වන්නේ මෙම සිසේරියන් සැත්කම්වලට ලක්වූ මවුවරුන් වෛද්‍ය තාක්‍ෂණික පරීක්ෂණවලට භාජන කිරීමය.
ඒ සඳහා කොළඹ ද සොයිසා මාතෘ රෝහල සහ කාසල් වීදිය මාතෘ රෝහලේදී පැලෝපීය නාළවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට තීරණය කර ඇත.
වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම් මගින් තම පළමු දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු නැවත දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවුණා යැයි පැමිණිලි කර සිටින මවුවරුන් දහසකට අධික පිරිස මෙම පරීක්ෂණ සඳහා යොදා ගැනීමට අදාළ විශේෂඥ කමිටුව යෝජනා කර ඇත.
මෙම පරීක්ෂණය මගින් පැමිණිල්ල ඉදිරිපත් කළ මවුවරුනුත් චෝදනාවට ලක්වූ වෛද්‍යවරයාත් පොදුවේ සෞඛ්‍ය පද්ධතියත් අගතියට ලක් විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් පත් කළ පංච පුද්ගල විශේෂඥ ර්‍ණ වෛද්‍ය කමිටුව මගින් කරුණු පහක් මගින් නිර්දේශ කර ඇත.

එම නිර්දේශ මෙසේය.

1. තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීම සඳහා ගනු ලබන නියැදි මත පමණක්ම විශ්වාසය තබමින් අදාළ වෛද්‍යවරයා වැරදිකරු හෝ නිවැරදිකරු කිරීම නිවැරදි නොවීම.

2. රටේ ජනතාවට ලබාදිය යුතු සෞඛ්‍ය සේවාවන් සඳහා වෙන් කර ඇති සම්පත් නිෂ්ඵල ලෙස නාස්තියට ලක් වීම.

3. මවුවරුන්ට සිදු කළ යුතු වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අධික කාලයක් ගත වීම මගින් සාධාරණයක් ඉෂ්ට වනු දැකීම පිණිස දෙපාර්ශවයටම දීර්ඝ කාලයක් බලා සිටිය යුතු වීම සහ මවුවරුන්ට එම පරීක්ෂණවල සංකූලතාවලට මුහුණ දීමට සිදු වීම.

4. පැලෝපීය නාළවල ව්‍යුහාත්මක අවහිරයක් නොමැති බව ඔප්පු කළ පමණින් ඒවායේ ක්‍රියාකාරිත්වය යථා පරිදි සිදු වන බවට තහවුරු කළ නොහැකි වීම.

5. පරීක්ෂණ මණ්ඩලයේ අපක්ෂපාතී බව තහවුරු නොවීමෙන් පැමිණිලිකරුවන්, චූදිත වෛද්‍යවරයා සහ මුළු සෞඛ්‍ය පද්ධතියම අගතියට පත් වීම සහ එමගින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කෙරෙහි ජනතා විශ්වාසය බිඳී යෑම.
මෙම නිර්දේශ අනුව සෞඛ්‍ය ඇමැතිවරයාගේ අදාළ විශේෂඥ වෛද්‍ය කමිටුව මගින් වෙන් වෙන් පුද්ගල නියෝජනයක් සහිත පරීක්ෂණ කමිටුවක් වෙනුවට අදාළ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥතාව දරන විද්‍යායතනයන්හි සෘජු නියෝජනය සහිතව ස්වාධීන ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කළ යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුව නිර්දේශ කර ඇත.
එම නිර්දේශ අනුව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය, අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ විද්‍යායතනය, ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්ගේ විද්‍යායතනය සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ විද්‍යායතනය යන ආයතනයන්හි විශේෂඥයන්ගෙන් සමන්විතව මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කළ යුතු වේ.

මෙම කොමිසම පියවර දෙකක් ඔස්සේ මේ පිළිබඳව විමර්ශනය කළ යුතුය.
පළමු පියවර ලෙස අදාළ සිද්ධිය (True Significant) සැබැවින්ම සැලකිය යුතු මට්ටමක :ඔරමැ ීසටබසසෙජ්බඑ) පවතී ද නැති ද යන්න ප්‍රජා සෞඛ්‍ය පරීක්ෂණයක් මගින් තහවුරු කරගත යුතු වේ. (Research)
දෙවැනි පියවර වනුයේ එසේ පවතී නම් ඒ සඳහා වූ හේතු සාධක කවරේද යන්න වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ (Medical Testing) ආධාරයෙන් තාක්ෂණිකව තහවුරු කළ යුතුය. (Technical Evalution)
මෙහිදී පළමුව අදාළ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද සියලූම සිසේරියන් සැත්කම් (ද්විතීයික මඳසරු භාවයට පත් වූ සහ පත් නොවූ) සංඛ්‍යාව ශල්‍යාගාර සටහන් ඇඳ ඉහපත් සහ රෝහල් දත්ත ආධාරයෙන් ලබාගත යුතුය.
අනතුරුව පැමිණිලි කළ සියලූම මවුවරුන් අතරින් සත්‍ය වශයෙන්ම ද්විතීයික මඳසරු භාවයට පත්වූ මවුවරුන්ගේ සංඛ්‍යාව ද්විතීයික මදසරු භාවය පිළිබඳ වන වෛද්‍ය විද්‍යාත්මක නිර්වචනයන්ට (Definition) අනුකූල වන ලෙස ඔවුන්ගේ සායනික ඉතිහාසය පාදක කරගෙන නිවැරදිව ගණනය කළ යුතුය.
මෙසේ ද්විතීයික මඳසරු භාවයට පත්වූ මවුවරුන්ගෙන් ලබාගනු ලබන සායනික ඉතිහාසයට ඔවුන් ඒ බවට පත් වීමට හේතු විය හැකි වෙනත් සාධක පිළිබඳව විස්තර අඩංගු විය යුතුය.
මේ දත්ත උපයෝගී කර ගනිමින් සිසේරියන් සැත්කමින් පසු ද්විතීයික මඳසරු භාවයට පත්වූ සියලූම මවුවරුන්ගේ ප්‍රතිශතය ද සිසේරියන් සැත්කම් හේතුවෙන්ම ද්විතීයික මඳසරු භාවයට පත්වූ මවුවරුන්ගේ ප්‍රතිශතය ද වශයෙන් අගයන් වෙන් වෙන්ව ලබාගත යුතුය.

අනතුරුව මෙම ප්‍රතිශතයන් පහත අවස්ථා සමග සංසන්දනය කළ හැකිය.

1. සිසේරියන් සැත්කමින් පසු සහ සැත්කම හේතුවෙන්ම ද්විතීයික මඳසරු භාවයට පත්වූ මවුවරුන්ගේ ප්‍රතිශතය ඒ සම්බන්ධ වූ පර්යේෂණ මගින් මින් පෙර එළිදක්වා ඇති අන්තර් ජාතික හා දේශීය දත්ත හා (Literature Surver) සමඟ සංසන්දනය

2. කුරුණෑගල රෝහලේ වෙනත් ප්‍රසව හා නාරිවේද අංශයක අදාළ ප්‍රතිශතයන් සමඟ සංසන්දනය

3. කුරුණෑගල රෝ්හලේ වෙනත් ප්‍රසව හා නාරිවේද අංශයත් රටේ තවත් රෝහල් කිහිපයක ප්‍රසව හා නාරි අංශයන්ගේ අදාළ දත්ත සමග සංසන්දනය

මෙසේ සංසන්දනය කිරීමෙන් සත්‍ය වශයෙන්ම සැලකිය යුතු ද්විතීයික මඳසරු භාවයක් තිබේ ද නැද්ද යන්න සම්බන්ධව නිගමනයකට එළැඹිය හැකිය. එයින් අනතුරුව එවැනි සැලකිය යුතු වෙනසක් තිබේ නම් පමණක්.

(True Significant Different) විමර්ශනයේ දෙවැනි පෙළ ක්‍රමවේදයන් ලෙස මදසරු බව ඇති විය හැකි ආකාරයන් සම්බන්ධව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා මවුවරුන් භාජන කළ හැකිය.

තම නිර්දේශ පිළිබඳව මෙම පංච පුද්ගල කමිටු සාමාජිකයන් දෙදෙනකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැපසූහ.

පටක විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා,
වෛද්‍ය ෂාෆිට එරෙහි මවුවරුන් දහසකට අධික පිරිසක් කුරුණෑගල සහ දඹුල්ල රෝහලට පැමිණිලි කර තිබෙනවා. ඊට අමතරව පොලිසියට සහ වෛද්‍ය සභාවට ද පැමිණිලි කර තිබෙනවා.
මෙලෙස එක් වෛද්‍යවරයකුට එරෙහිව මෙතරම් පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවටයි.
ලංකාවේ මීට පෙර එක් පුද්ගලයකුට විරුද්ධව මෙතරම් විශාල පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වූයේ සක්විති රණසිංහට එරෙහිව පමණයි.
ඉතින් මෙතරම් පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති විටෙක එක් රෝගියකු සඳහා සිදු කරන පරීක්ෂණයක් රෝගීන් සියලූ දෙනාට සිදු කිරීමෙන් තාක්ෂණික වශයෙන් ගැටලූ මතු වෙනවා.
එසේම තෝරා ගත් නියැදියක් මත පමණක් පරීක්ෂණ කිරීම සාධාරණ නැහැ.
අනෙක මෙම පැමිණිලි කර ඇති මවුවරුන් රෝගීන් නොවෙයි.
ඒ නිසා රෝගීන් නොවන පිරිසකට රෝගීන්් සඳහා කරන පරීක්ෂණවලට යොමු කිරීමෙන් එම මවුවරුන් අගතියට ලක් වෙනවා.
ඒ නිසා නිවැරදි නොවන ආකාරයෙන් පරීක්ෂණ සිදු කිරීමෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්‍ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමින් ගැටලූ සහගත තත්ත්වයකට ලක් විය හැකියි.
දැනටමත් එය සිදු වෙමින් පවතිනවා. ඒ නිසා දීර්ඝ කාලයක් යොදාගෙන සිදු කරන පරීක්ෂණ මගින් සිදු වන්නේ රටේ ජනතාව තුළ අදාළ වෛද්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධව සැකයක් මතු වීමයි. එය ඉතා භයානකයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ පොදු අදහස වී ඇත්තේ මෙවැනි පැලෝපීය නාළ සම්බන්ධව සිදු කරන පරීක්ෂණ මගින් පැලෝපීය නාළයේ අවහිරතාවක් තිබූ පමණින් හෝ නොතිබූ පමණින් එම පැලෝපීය නාළය හරිහැටි ක්‍රියා කරනවා දැයි කියා නිවැරදිව කිව නොහැකි බවය.
ව්‍යුහාත්මක වෙනසක් සහ ක්‍රියාකාරිත්වයේ වෙනසක් සම්බන්ධව මෙම පරීක්ෂණ මගින් නිගමනයකට පැමිණිය නොහැකි බව ඔවුන්ගේ පොදු අදහසයි.
අධිකරණ මනෝ් වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා –
සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත් කර ඇති විශේෂඥ කමිටුව මගින් සිදු කරන්න උත්සාහ කරන්නේ අග සිට මුලට විමර්ශනය කිරීමකි.
පළමුව අගතියට පත්ව සිටින මවුවරුන් පරීක්ෂණයකට ලක් කරන්න සූදානම් වනවා. මෙය නොවෙයි, මුලින්ම සිදු කළ යුත්තෙ. මොකද මේවා පරීක්ෂණ ලෙස සඳහන් කළාට මේවා සැත්කම්. ඉතින් අගතියට පත්ව සිටින සෑම මවක්ම සැත්කමකට යොමු කිරීම සාධාරණ නැහැ.
මුලින්ම කළ යුත්තේ මෙම මවුවරුන්ට දරුවන් බිහි වීමේදී සිසේරියන් සැත්කම් කළ යුතුව තිබුණා දැයි කියා විමර්ශනය කිරීමයි.
ඒ අනුව එසේ සිසේරියන් සැත්කම් නොකළ යුතු මවුවරුන්ට මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් කර ඇත්නම් එවැනි මවුවරුන් පැලෝපීය නාළ අවහිරතා සම්බන්ධව සොයා බැලීමට සිදු කරන පරීක්ෂාවන් නමැති ශල්‍යකර්මවලට ලක් කළ යුතුයි.
මෙම ශල්‍යකර්ම සඳහා විශාල මුදලක් වැය වෙනවා. එසේම එම ශල්‍යකර්මවලින් පසු වුව මවුවරුන්ගේ පැලෝපීය නාළවලට හානි සිදුවිය හැකියි.
එසේම මෙම මවුවරුන්ට වරදක් සිදු වූවා ද නැති ද කියා විමර්ශනය කළ යුත්තේ අධිකරණ මගිනි. එය තාක්ෂණික පරීක්ෂණ මගින් සිදු කරන්න බැහැ.
මෙම මවුවරුන් වින්දිතයො. එවැනි වින්දිතයන් මෙලෙස පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් නැවත වරක්් ඔවුන් අගතියට ලක් කරනවා.
තාක්ෂණික තොරතුරු මත අධිකරණමය තීන්දු තීරණ ගැනීම වැරදියි. ඉන් සිදු වන්නේ නීතිය අවනීතිය බවට පත් කිරීමයි.
මේ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වීමක් සිදු වෙනවා. ඔවුනට මීට මැදිහත් වන්න බැහැ. ඔවුන් විසින් සිදු කළ යුත්තේ සිද්ධියට අදාළ තොරතුරු සොයා දීමයි. ඒ අය මෙම පරීක්ෂණ සඳහා මැදිහත් වීමෙන් සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
මේ සියලූ කරුණු කාරණා අනුව පැහැදිලි වන්නේ වෛද්‍ය ෂාෆි විසින් සිදු කළේ යැයි චෝදනා එල්ල වී ඇති සිසේරියන් සැත්කම් සහ පැලෝපීය නාළ අවහිර කිරීම යළි පහසුවෙන් නිවැරදි කළ නොහැකි බරපතළ වරදක් බවය.
යුගදිවියට පත් යුවළක් දරු සම්පතක් ලබා ගැනීම වෙනුවෙන් අපමණ වෙහෙසක නිරත වෙති.
එක් දරුවකු දෙදෙනකු නොව දරුවන් දහය දොළහ වැදූ මවුවරුන්ගේ ඉතිහාසයකින් පැවත එන ශ්‍රී ලාංකික මවුවරුන් ජාති ආගම් බේදයකින් තොරව වෛද්‍යවරයකු වෙත යන්නේ උතුම් වූ සේවාවක් ලබා ගැනීම සඳහාය. එම උතුම් සේවාව තම පටු අරමුණ වෙනුවෙන් කෙළෙසාලයි නම් එවැනි වෛද්‍යවරුන් සිදු කරනුයේ වෛද්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා රෝහල්ගත වන මවකට ඇති වන හදිසි තත්ත්වයක් මත වෛද්‍ය නිර්දේශය මත සිසේරියන් සැත්කමක් සිදු කළ හැකිය. නමුත් සිසේරියන් සැත්කමක් සිදු නොකළ යුතු මවකට නිරපරාදේ එය සිදු කිරීම බරපතළ වරදකි.
මෙය අපරාධ නීතිය යටතේ දඬුවම් ලබාදිය හැකි වරදකි.
වෛද්‍ය මතය අනුව සිසේරියන් සැත්කමක් සිදු කළ යුතු හදිසි අවස්ථා කිහිපයක් ඇත. මව හෘදයාබාධයකට ලක් වීමේ අවදානමකට පත් වීම, දරු කළලය සාමාන්‍ය ප්‍රසූතිය සඳහා හැඩ ගැසී නොතිබීම, දරුවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වර්ධනය වී තිබීම, දරු ප්‍රසූතිය තෙක් දරුවා ගර්භාෂයේ රැඳී සිටින පැස (water bag) කැඞී යෑම බහුලව දකින්නට ලැබෙන හදිසි අවස්ථාවන්ය.
එවැනි අවස්ථාවකදී ප්‍රසව හා නාරි වෛද්‍යවරයා විසින් අදාළ මවට ඒ බව දැනුවත් කර ඇයගේ දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමකින් සිදු කරන බවට පවසා ඒ සඳහා මවගේ කැමැත්ත ලබාගනු ලබයි.
ඒ අනුව මව අදාළ සැත්කමට තමා කැමැත්ත ප්‍රකාශ කරන බවට ඊට අදාළ ලියකියවිලිවලට අත්සන් තැබිය යුතුය.
එසේ නොමැතිව මව සැත්කමකට ලක් කිරීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනිය. එවැනි අවස්ථාවකදී අදාළ මවට වෛද්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවට යා හැකිය.
එසේම ප්‍රසව හා නාරිවේද වෛද්‍ය පර්යේෂණවලට අනුව වර්තමානයේ හෙළි වී ඇත්තේ සිසේරියන් සැත්කමකින් පසුව එම මවට නැවත දරු පිළිසිඳ ගැනීමක් සඳහා වූ අවස්ථාව සාමාන්‍ය දරු ප්‍රසූතියක අවස්ථාවකට වඩා සියයට තිහකින් (30%) පමණ අඩු වන බවය.
සිසේරියන් සැත්කමකදී මවගේ උදරයේ සැත්කම මගින් විවර කළ ස්ථානය යළි මැහුම් දමා වසා දැමීමේදී ස්ථර කිහිපයක් යටතේ මැහුම් දැමීම සිදු කරයි. එම මැහුම් දමන ක්‍රමයන් අනුව ද නැවත දරු ප්‍රසූතියක් ඇති වීම වළක්වාලීම සිදු කළ හැකි බව වෛද්‍ය මතයයි.
ඒ නිසා වෛද්‍ය ෂාෆිට එරෙහි චෝදනා සම්බන්ධව පරීක්ෂා කිරීමේදී මවගේ පැලෝපීය නාළයේ ක්‍රියාකාරිත්වය ගැන පමණක් පරීක්ෂාවට ලක් කිරීම මගින් නිවැරදි තීන්දුවක් ගත නොහැකිය.
මේ වනවිට රටේ ජනතාව තුළ මතුව ඇති බරපතළ සැකයට වෛද්‍ය සභාව ද වගකිව යුතුය.
මෙතරම් චෝදනා රැසක් එල්ල වී ඇති වෛද්‍ය ෂාෆිගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය තාවකාලිකව හෝ් අත්හිටුවීමට පියවර ගෙන නැත.
වෛද්‍ය ෂාෆි විසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා හමුවේ තමා සිසේරියන් සැත්කම් අටදහසක් සිදු කළ බවට පිළිගෙන ඇත.
එක් වෛද්‍යවරයකුට තනිව මෙතරම් සැත්කම් සංඛ්‍යාවක් සිදු කළ නොහැකි බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු පවසති.
නමුත් වෛද්‍ය ෂාෆි එසේ කළ බවට පිළිගෙන තිබේ. එසේ නම් ඔහු අසත්‍යය පවසමින් වෛද්‍ය වෘත්තිය හෑල්ලූවට ලක් කර ඇත. එවැනි වෛද්‍යවරයකු තවදුරටත් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු ලෙස තබා ගැනීම තුළින් ද අනෙකුත් නීතිගරුක වෛද්‍යවරුන් අගෞරවයට ලක් වේ.
වෛද්‍ය ෂාෆි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් නොවේ.
ඔහු ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකි. ඒ නිසා ඔහුට තනිව සැත්කමක් සිදු කළ නොහැකිය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ එය කළ යුතුය.
ඔහු සැත්කම් අටදහසක් කළ බවට පිළිගන්නේ නම් ඒ සඳහා අවසර ලබාදුන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳව ද විමසා බැලිය යුතුය.
එසේ නොවුණහොත් අවසානයේ වැරදිකරුවන් බවට පත් වන්නේ කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවුවරුන් සහ එම මවුවරුන්ට දරු පිළිසිඳ ගැනීමකට සම්බන්ධ වූ පියවරුන්ය.
මගේ නෝනාට සිසේරියන් සැත්කමක් කරන්න වුණේ මගෙන් එයාට දරුවෙක් ලැබෙන්න සිදු වූ නිසා බව පවසමින් පියාට වරද භාර ගැනීමට සිදු වේ.
මට දරු පිළිසිඳ ගැනීමක් සිදු වූ නිසා රෝහල් ගත වීමෙන් සිසේරියන් සැත්කමකට ලක් වීමට සිදු වූ බව පවසමින් මවට ද වරද භාර ගැනීමට සිදු වේ.
ඉන්පසු මෙවැනි සිද්ධීන් හෙළි කළ මාධ්‍යවේදීන් හිරේ විලංගුවේ ලෑමට සිදු වේ.
විශ්වකර්ම වැඩ සිදු කළ පුද්ගලයන්් ලෙස වෛද්‍ය ෂාෆිලා වැනි පුද්ගලයන් අප වැනි රටවල ප්‍රසිද්ධියට පත්වනු ඇත.
එවන් අවාසනාවන්ත තත්ත්වයකට පත් නොවීමට වග බලා ගැනීම ජනාධිපති, අගමැති ඇතුළු රටේ නායකයන්ගේ වගකීමය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top