Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 07
1,939
Views

නීතියේ දෙවඟන කාන්තාවකි. එහෙත් ඇය නිරුවත් නැත. ඇයට සාරිපටක් පටලවා ඇත්තේ යම් හෙයකින් ඇය නග්න වූයේ නම් අෑ දුටු කල නීති ක්‍රියාත්මක කරන්නන් නොමඟ යා හැකි බැවිනි. නීතියේ දෙවඟනටත් කරන්නට බැරි වූ දෑ කරන්නට මේ සුසිරි ලංකාවේ පොලිස් කුමාරියකට හැකිව තිබේ. ඇය “පොත්තේ පාට” නාස් ලණුව කරගනිමින් ඇතැම් පොලිස් ලොක්කන්ගේ පටන් පොඩ්ඩන් දක්වාම සිය බල පරාක්‍රමයෙන් නීතිය නවන ඇය කුමාරියකි.

ඇයට “කුමාරියක” යැයි කිව්වාට පාඩු නැත. වඩාත් සාධාරණය කරන්නේ  නම් අපි ඇයට කිව යුත්තේ රැජන කියාය. ඒ ඇය අන්ධ නීතිය මැද, තම බලය සිවුදිග පතුරවන බැවිනි. 

කුමාරියට හය හතර කියා දෙන්නේ කටුවන පැත්තේය. කුමාරිය මුලින්ම පොලිසියකට යන්නේ මේ කියූ පාසලේ ඉගෙනුම ලබනා සමයේය. ඒ පාසලේ ඇති වූ විනය හේතුවක් මුල්කරගෙනය. අපි ඇගේ කතාව සොයමින් කටුවන දක්වා ගියෙමු. 

අයියේ, මේ අර ආනන්ද කුලරත්න මහත්තයාගේ ගම නේද...? අපි මඟ අයිනේ සිටි මැදි වයසේ අයකුගෙන් විමසුවෙමු. ඒ ඔහුව කතාවට සම්බන්ධ කරගනු පිණිසය. ආනන්ද කුලරත්න යනු හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු වන අතර කටුවන ඇතුළුව දකුණු පළාතට මහත් සේවයක් කළ අයෙකි. 

“ඒ කවුද මහත්තයා. ඒ... දන්නේ නෑනේ...” වැඩිහිටියාගේ පිළිතුර මොහොතකට කටඋත්තර නැති කළද දැන් කරන්නට දෙයක් නැති බැවින් අසන්නට අවශ්‍ය දෙයම ඇසුවෙමි.

 “අයියේ, එහෙනම් අර පොලිස් කුමාරියගේ ගෙවල් මෙහේද?” තත්පරෙන් ඇසිල්ලෙන් පංගුවට ඔහුගේ දෑස් කුඩා විය. ඔහු උපහාසාත්මක සිනහවක් නැඟීය. අප පිරිස “ස්කෑන්” කර බැලීය.

“ඔව්. ඔව් එයා මෙහේ තමයි. ඔතැනින් ගියාම ඒ පැත්තට යන්න පුළුවන්. 

අප මේ කුමාරිය ගැන මෙතරම් උනන්දු වන්නට හේතු ගණනාවක්ම තිබිණි. ආසන්නම හේතුව වූයේ හමුදා කෝප්‍රල්වරයකුට පහරදීමය. 

ඒ කතාව මෙසේය.

මේ කුමාරිය කළේ ගමේම හමුදාවේ  මල්ලී කෙනෙක්ට හොඳටම ගහපු එකය. ඔය කුමාරියගේ  සොයුරිය ඉන්නේ හමුදාවේය. ගමේ හමුදාවේ මල්ලී ඉන්නේ ඒ කුමාරියගේ නංගී ඉන්න කෑම්ප් එක ආසන්නයේ. ඒ නංගී කියලා කුමාරියගේ ගෙදරට ගිහින් එයා විදුලි ඉස්ත්‍රික්කයක් ගත්ත බිලක් ඉල්ලගෙන එන්න කියලා. මේ මල්ලීලාට දුරින් නෑදෑයොත් වෙනවා මෙයා. ඒ නිසා ඉතින් මල්ලී වැඩේ භාර අරගෙන. කොහොමත් හමුදාවේ කොල්ලෝ කාට හරි උදව්වක් කරන්න තියෙනවා නම් ආයෙ දෙසැරයක් හිතන්නේ නෑනේ. මල්ලී ගිහින් බිල ඉල්ලන්න. ගෙදරට ඇවිත් කතා කළාට සද්දයක් නැති නිසා මල්ලී පොඩ්ඩක් වටේ ඇවිදල කෑ ගහලා කතා කරලා. මෙන්න එක පාරටම කුමාරිය මතුවෙලා කෑහන්න අරගෙන උඹ ආවද යකෝ මම නානවා බලන්න කියලා. ඒකි නාපු බවක් නම් පෙනිලා නෑ. සමහරවිට ගේ ඇතුළෙත් කවුරු හරි හිටියද දන්නේ නෑ. පස්සේ මේ කොල්ලා ආපු විස්තරේ කියලා එන්න ඇවිත්. ඒ එක්කම කුමාරිය මල්ලීත් එක්ක ක්ෂණිකව ඇවිත් අර හමුදාවේ මල්ලීගෙ ගෙදරට. ඇවිල්ල ඒ මල්ලී එක්ක රණ්ඩු වෙලා. ඒ මල්ලීගෙ ෂර්ට් එකත් ඉරලා හිටපන් උඹට හොඳ පාඩමක් උගන්නන්නම් කියලා ගිහින්.  ඒ මල්ලීගේත් අතේ පයේ හයිය නැතිව නෙවෙයිනේ. ඒත් උෟ උගේ හමුදාවේ රස්සාවට ගරු කරලා මේ කුමාරිය පොලිසියේ නිසා මොකුත් කරලා නෑ...”

ඉන් අනතුරුව කුමාරිය තම බලයෙන් උපකාර ලබාගැනීම සිදුකරයි. කටුවන පොලිසියේ ස්ථානාධිපති මහත්තයා වහාම පොලිසියේ පිරිසක් හමුදා සෙබළාගේ නිවෙසට එවන්නේය.  පොලිසිය තමන් සොයනා බව දැනගත් සෙබළා නීතිඥවරයෙක් සමඟ ගොස් පොලිසියට භාර වෙයි.

“තාත්තා නීතිඥවරයෙක්  එක්ක මාව අරන් ගිහින් පොලිසියට භාරදුන්නා. එදා හවස ඉඳන් පහුවදා උදේ වෙනකන් මම කූඩුවේ හිටියේ. උසාවි දාන්න කලින් මාව ඕ.අයි.සී.ගේ කාමරේට අරන් ගියා. ඕ.අයි.සී. මහත්තයා මට මුකුත් නොකියා එක පාරටම කොන්දට ගැහුවා. ගහපු පාරට මම කිසි සූදානමක් නැතිව හිටිය නිසා මම බිමට වැටුණා. මම බිම වැටිලා දඟලද්දී පොලිසියේ කුමාරියත් ඒ කාමරේට ආවා.  මම බිම ඉද්දීම, මගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙක අස්සේ හිරකරගෙන ඔයාට ඇතිවෙනකම් ගහන්න කියලා පොලිසියේ ලොක්කෙක් කුමාරියට කිව්වා.  කුමාරිය මගේ මුත්‍රාශය, යටිබඩ පැත්තට පයින් ගහගෙන ගහගෙන ගියා. තොගේ ආමි එක මට ලොකු නෑ. තොගේ ආමි එවුන්ටත් වැදෙන්න මේ ගහන්නේ කිය මට ගහගෙන ගහගෙන ගියා. පස්සේ ආපහු කූඩුවට දැම්මා. මගේ ගමේම, මගෙත් නෑදෑයෝ වෙන මෙයා මට ලැජ්ජාවට හිනා වෙවී පොලිසියේ එහාටයි මෙහාටයි යනවා මට බලන් ඉන්න වුණා. කමක් නෑ මම ගුටි කෑවාට. ඒත් මට මගේ යුද හමුදාවට කිව්ව වචන ටිකට ඔක්කොමට වඩා හිත රිදිලා තිබුණේ. මට කූඩුවේ  ඉද්දීත් කෑම්ප් එකේ කොල්ලෝ මතක් වුණා. අපි අපේ එකෙක්ට කොච්චර ෆිට්ද කියලා මතක් වුණා. පස්සේ මාව වලස්මුල්ල උසාවියට දැම්මට පස්සේ ඇප දුන්නා. ගෙදර එද්දී අමාරු වුණු නිසා වලස්මුල්ල රෝහලට ඇඩ්මිට් වුණා. පොලිසියේදී පහරදුන්නා කිව්වට මාතරින් අධිකරණ වාර්තාව ගන්න පොලිසිය ඉඩ දුන්නෙත් නැහැ. ටිකට් කපලා කෑම්ප් එකට යද්දී අයෙත් අමාරු වුණා. මාව නාරාහේන්පිට ආමි හොස්පිට්ල් එකේ තියාගෙන දවස් අටක් ප්‍රතිකාර කළා. එතැනින් ජාතික රෝහලට යවලා අධිකරණ වෛද්‍ය නිලධාරිට යොමුකළා..”

පහර දීමට ලක්වූ කෝප්‍රල් තුෂාර ඉන්දික ප්‍රතිකාර ලබා පලාලි යුද හමුදා කඳවුරට යන විට එහි තත්ත්වය තවත් දරුණු විය.

“පොලිසියෙන් මැසේජ් එකක් ගහලා තිබුණා මම පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අඩන්තේට්ටම් කළ නිසා අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා කියලා. හමුදාවේ අපේ විනය තමයි අංක එක. එහෙම පොලිස් මැසේජ් එකක් ආවාම ඔක්කොම ඉවරයි. හැබැයි පලාලි කඳවුරේ නිලධාරි මහත්වරු මගෙන් කොනක ඉඳලා සිද්ධිය ඇහුවා. එයාලා තේරුම් ගත්තා මෙතැන වෙලා තියෙන දේ. එයාලා ඒ නිසා මට නැවත නිවාඩු දීලා ගෙදර ගිහින් ප්‍රතිකාර ගන්න කිව්වා. පොලිසියේ ඉන්න අසමජ්ජාති කෙනෙක්ගේ හැසිරීම නිසා යුද හමුදාවේ ගෞරවයට හානිවෙන්න දෙන්න බෑ කියන එකයි ඔවුන් කිව්වේ. මටත් ගහ මරාගන්න පුළුවන් වුණත් ඒ මොහොතේ මගේ ඉවසීම හා හැසිරීමත් ඔවුන් අගය කළා...” යුද හමුදා වෛද්‍ය බළකායේ කෝප්‍රල් තුෂාර තමන්ගේ අත්දැකීම සිහිකළේ එලෙසය.

තුෂාරට සිදුවූ අසාධාරණය දකුණේ නීතියෙන් කිසිදු සහායක් නොලැබෙනා විටදී තුෂාර හා ඔහුගේ සහෝදරයා ප්‍රභාත් ගොස් සිය අවනඩුව කියන්නේ පොලිස්පති සහන මැදිරියටය. 

ඔහු පොලිස්පති සහන මැදිරියට මෙම පැමිණිල්ල කළේ 2019 මාර්තු 01 වැනිදාය. පැමිණිලි අංක ධ්ට්ර්ථී/ර්ථීඒඛ්/0/192/19 යන්නය.

වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝගය වහාම පොලිස්පති සහන මැදිරියේදී විමර්ශන සිදු කෙරුණේය. පොලිස් කුමාරිය පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා ඉදිරියේ විමර්ශන කරන්නේ ඇය සේවය කරන පොලිසියේ ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරි මෙන්ම දකුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයාවද කැඳවමින්ය. පොලිස් කුමාරියගේ වුවමනාවට සිදුවූ පහරදීම ගැන පැමිණිල්ල මාස ගණනක් පොලිස් මූලස්ථානයේ පල් වෙද්දී දකුණේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කලක් සේවය කළ වැඩ බලන පොලිස්පතිවරයා වහාම පොලිස් කාන්තාවට ස්ථාන මාරුවක් දී තිහගොඩ පොලිස් ස්ථානාධිපති ලවා රහසිගත විමර්ශනයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් දෙන්නැයි පොලිස් ලොක්කන්ට නියෝග ලැබෙන්නේ පසුගිය ජුනි මස 21 වැනිදාය.

ඇය වහාම මාරු කරන්නේ වලස්මුල්ල පොලිසියටය. වලස්මුල්ල පොලිසියට මේ කුමාරිය සැපත් වන විට ඇය ඊට පෙර මිද්දෙණිය හා ඇල්පිටිය පොලිස් ස්ථානවල සිය හපන්කම් පෙන්වා තිබිණි. වලස්මුල්ල පොලිසියේ දැනට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා හමුවූ ඇය පොලිසියේ සේවයට පැමිණි දාම ලෙඩ නිවාඩු දමා පිටව ගියාය. තිහගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා සිදු කරගෙන යන පරීක්ෂණවලදී හෙළිවන කරණා අනුව බලන කල මේ කුමාරිය සිය රටේ නීතිය බල්ලාට දමා ඇති ආකාරය අපූරුවට පැහැදිලි වන්නට විය.

ඇයගේ පොලිස් රාජ්‍යයේ කිරුළු දරා සිටි එක් අයකු වන්නේ තංගල්ල කොට්ඨාසයේ සිටි එක්තරා ලොක්කෙකි. ඔහු පොලිසියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් ඇයට මහ පාරේ රියැදුරු පුහුණුව ලබාදෙන විට ඩිෆෙන්ඩර් රථය වීරකැටිය තංගල්ල අතර බැදිගම ප්‍රදේශයේදී කුඹුරකට පෙරළී ගියේය. සිරුරම මඩින් නැහැවී ගිය පොලිස් ලොක්කා සියල්ලට පළමුව කළේ කුඹුරෙන් ගොඩ පැමිණ කුමාරිය වහාම එම ස්ථානයෙන් පිටමං කිරීමය. නමුත් ඔහු නොදන්නා කරුණ වූයේ ඒ වනවිටත් දකුණේ පොලිස් පොඩ්ඩන් මේ රහස් පැණි කෑම දන්නා බවය. 

කුමාරියට අමතරව ඇයගේ නිවෙස ආසන්නයේම තවත් තරුණියක මේ නග්නව නීතිය නැවීමේ කටයුත්තේ යෙදී සිටින බව ගම්මානයේදී අපිට දැනගන්නට ලැබිණි. 

ඔතැන තව කෙල්ලෙක් ඉන්නවා. ගමේ කොල්ලෝ එක්කම වොලිබෝල් එහෙම ගහන අමුතු භාණ්ඩයක්. කුමාරියට අදාළ රහස්‍ය වීඩියෝ හොරාට ගන්නේ ඔය කෙල්ල තමයි. ඒ කෙල්ල ඕ.අයි.සී. මහත්වරුන්ට එහෙම එක දශමයක් බය නෑ. බල්ලෝ, බළල්ලු ගානට දාලා බනින්නේ. එහෙම කරන්න හයිය තියෙන්නේ අර වීඩියෝ නිසා.........” 

වීඩියෝ පටිගත කිරීම් ගැන කියූ විට සිහිවන තවත් අපූරු සිදුවීමක් වේ. කුමාරිය කලක් ඇල්පිටිය පොලිසියේ සේවය කළාය. ඇගේ කල්කිරියාව හේතු කොටගෙන පොලිසිය තුළම ඇතිවූ විනය ප්‍රශ්නයක් හේතු කොටගෙන ඇල්පිටිය පොලිසියේ ඉහළ නිලධාරීන් වහාම ඇයව මාතර කොට්ඨාසයට තාවකාලිකව මාරු කරනු ලබයි. 

ඇය ඇල්පිටිය පොලිසියට එන්නේද තවත් අපූරු සිදුවීමක් හේතුවෙනි. ඇල්පිටියට පැමිණෙන්නට පෙර ඇය සේවය කළේ මිද්දෙණිය පොලිසියේය. මිද්දෙණියද, කටුවන අප සිටි ප්‍රදේශයට මහ දුරක් නොවීය. 

අම්මෝ ඔය අම්මණ්ඩි මෙහේ මිද්දෙණිය පොලිසිය වැඩ කරද්දී මාර මාර සෙල්ලම් දැම්මේ. මෙහේදි දවසක් මේ කෙනා පාරේ යද්දී කොල්ලෝ කට්ටියක් සූ.......ගෑවා කියලා ඒ වෙලේම පොලිසියට ඇවිත් ඕ.අයි.සී. මහත්තයාට කියලා ටීම් එකක් අරගෙන ගිහින් ඒ කොල්ලෝ අල්ලාගෙන ආවා. කොල්ලෝ පහක්ද කොහේද. මෙහෙ අරන් ඇවිත් උන්ට හොඳටම ගැහුවා. මෙයත් ගැහුවා. අන්තිමට මෙයාට කලගුණ සලකන්න කොල්ලොන්ට ගැහුව. ඕ.අයි.සී.ගේ වැඩ තහනම් වුණා. පස්සේ කුමාරියට මේ හතර මායිමේ ඉන්න බැරි වුණා. 

අප එන්නට සූදානම් වන මොහොතේ තවත් ඉතා සංවේදී කාරණයක් අසන්නට ලැබිණි. 

“මෙහේ ඉන්නවා විශ්වවිද්‍යාලයේ ගිහින් උපාධියක් අරගෙන ආපු දරුවෙක්. ඒ දරුවා රස්සාවක් ලැබෙනකම් වාහනයක රියැදුරු රස්සාවක් කළා. හොඳට ඉගෙන ගත්ත, ගමට ආඩම්බරයක් වුණු ළමයි. පස්සේ දවසක් ඒ ළමයා පදවන වාහනේ ගිය කෙනෙක් වැරැදියට බැලුවා කියලා අර කැම්පස් ළමයා කටුවන පොලිසියට අරගෙන ගිහින් හොඳටම ගහලා තිබුණානේ මහත්තයෝ. අහස පොළොව උහුලන්නේ නැති අපරාධ මේවා. අර අහිංසක දරුවා මොන වරදක් කළාටද. පස්සේ ඉතින් පැමිණිලි කරලා කළු ගලේ ඔළුව ගහගන්න බැරි නිසා ඒ ළමයා පාඩුවේ හිටියා.

මේ කුමාරිය පොලිස් සේවයේ මතක ඇති කාලයකින් නිල ඇඳුම් පැලඳ නැත. ඇය එන්නේ කාර් රථයකින්ය. ඒවායින් අපට වැඩක් නැත. නමුත් ශ්‍රී  ලංකා පොලිසියේ මෙවැනි මහානුභාවසම්පන්න බලයකින් හැසිරෙන්නට ඇයට පිහිට ආරක්ෂාව සපයන පොලිස් දෙවියන් කවුදැයි පොලිසියේම යහගුණ ඇති නිලධාරීන්ට නම් රහසක් නොවේ. එබැවින් මේ වනවිට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පවත්වනු ලබන පරීක්ෂණයේ සර්ව සාධාරණ බවක් මේ වනවිටත් පැහැදිලි වෙමින් තිබේ. සමස්ත පොලිසියේම විනය ආරක්ෂා කර ගැනීම කෙරෙහි මේ කුමාරියගේ සාධකයේ පරීක්ෂණයේ ප්‍රතිඵලය බලපානු ඇති බව නම් කිව යුතුය. ඉදින් ඒ ප්‍රතිඵලය නිකුත් වන තුරු අපිදු විමසිල්ලෙන් බලා සිටිමු. 

 

ප්‍රසාද් අබේවික්‍රම
මව්බිම 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top