Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 01
2,341
Views
  • එ.ජා.ප. අපේක්ෂකත්වය සඳහා රනිල් ඉදිරියට
  • අරලියගහ මැඳුරේ නාට්‍යයක් ගැන ජනපති හෙළිදරව්වක
  • වෙල්ගම ගෝඨාට එරෙහි සටනේ: ඒකාබද්ධය වෙල්ගමට එරෙහි සටනේ
  • ජනපති මැඳුරට ජ්‍යොතිෂවේදීන් කැඳවයි.
  • වතුකර නායකයෝ කැබිනට්ටුවේදී ගෝරියක් අදිති.
  • ජ.වි.පෙ. රාජ්‍ය දේපොළ විකිණීමට එරෙහිව පාරට

පසුගිය මාස කිහිපය තිස්සේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආන්දෝලනාත්මක කතා රාශියක් ප්‍රකාශ කළේය. එවැනි කතාවක් පසුගිය ඉරිදා බණ්ඩාරනායක සමරුහළේ පැවති උත්සවයකදීත් ජනාධිපතිවරයා විසින් සිදුකර තිබිණි. එහිදී හෙතෙම කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 සංශෝධන දෙක විසින්ම රට අවුල් කළ බැවින් මේ දෙකම දේශපාලන පිළිකාවක් බවයි. මේවා ඉවත් නොකර කිසිසේත්ම රට ඉදිරියට නොයන්නේ යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද ඉදිරියේ තබාගෙනය. පසුගිය අවුරුදු 4 ½ ආණ්ඩු කාලය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතු යැයි කී ජනාධිපතිවරයා 19 වැනි සංශෝධනය නොතිබෙන්නට මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් වනවා යැයිද කීය. අගමැතිතුමා සහ තමන් දෙපැත්තට අදිමින් ප්‍රශ්න ඇතිකරන බව ජනතාව කියන්නට පටන්ගෙන ඇතැයි කී හෙතෙම එයට හේතුව 19 වැනි සංශෝධනය යැයි පැවසීය. එසේම ගිය රජය සම්මත කළ 18 වැනි සංශෝධනය මෙරට ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයකට පාර කැපූ නිසා තමන් ඊට එරෙහිව එළියට බැස්ස බවද ජනාධිපතිවරයා මතක් කළේය.

ජනාධිපතිවරයාගේ මෙම කතාව බෙහෙවින් ආන්දෝලනයට මෙන්ම වාද විවාදවලට තුඩු දුන් එකකි. මෙම කතාවේ උණුසුම යන්නත් කලින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙයට පිළිතුරු දුන්නේ ගාල්ලේදීය. එහිදී රාජපක්ෂ මහතා කීවේ ජනාධිපතිවරයා කියන විදියට 18 වැනි සංශෝධනයේ අඩුපාඩුවක් නැති බවයි. එහෙත් 19 වැනි සංශෝධනය රට අවුල් කළ බව පමා වී හෝ තේරුම් ගැනීම ගැන තමන් සිරිසේන මහතාට ස්තූති කරන්නේ යැයිද මහින්ද කීය. එසේ වුවත් මේ කෙටි කාලය තුළ 19 වෙනස් කරන්නට ඉඩක් නැතැයිද හෙතෙම කීය. අද 18 වැනි සංශෝධනය විවේචනය කරන ජනාධිපතිතුමා තමාගේ ආණ්ඩුවේ සිටිමින් එයට පක්ෂව ඡන්දය දුන් බවද ඔහු මතක් කළේය. ඒ නිසා මේක තනිකරම ඉල්ලන් කාපු එකක් යැයිද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. කෙසේ හෝ ජනාධිපති මෛත්‍රීගේ මෙම සැර කතාව ගැන තවත් නොයෙක් දේශපාලන අදහස් උදහස් රාශියක් මේ සතියේ ප්‍රකාශ විය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන තිබෙන උනන්දුව දිනෙන් දින ඉහළ නගිමින් තිබේ. විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවෙන් ජනපති සටනට ඉදිරිපත් වන්නේ කවුද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නට යන්නේ කුමක්ද, යන්න ගැනත් මේ සතිය පුරාම විවිධ ආරංචි පැතිර යමින් තිබිණි. ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයට පෙර හදිසියේ ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ ඇතැයි යන ආරංචිය මේ සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ තදින්ම පැතිර ගියේය. මෙයට බලපෑ ප්‍රධාන හේතුව ජූලි මාසයේ (ලබන මාසයේදී) ජනාධිපතිවරයා එවන් කටයුත්තක් කරනවා නම් කිරීමට ඉතා සුබ දවස් දෙකක් ජ්‍යොතිෂවේදීන් විසින් සපයා තිබීම බවද පැවසුණි.

එහෙත් ව්‍යවස්ථාව අනුව නිල කාලය හමාර වීමට පෙර හදිසි ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ වත්මන් ජනාධිපතිවරයාම ඡන්දයට තරග කරන්නේ නම් පමණි. ජනාධිපතිවරයා මේ ගැන ඔහුගේ සමීපතම දේශපාලන උපදේශකයන් සමඟ සාකච්ඡා කොට තිබිණි. එහිදී ඔහුට උපදෙස් දුන් ඇතැමුන් කියා තිබුණේ පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය අසනීප තත්ත්වයෙන් පසුවන නිසා දැන්ම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ පොහොට්ටුවට පෙන්වා නැවත වරක් වත්මන් ජනාධිපතිවරයාටම විපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත හැකි බවය. ඒ ගැන ජනාධිපතිවරයාද කිසියම් උනන්දුවක් දක්වන බව ජනාධිපති මන්දිරයේ ආරංචි මාර්ග කියයි. දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක වැනි අය ඍජුවම රාජපක්ෂ කඳවුරට පහර දෙන්නට පටන්ගෙන ඇත.

කුමන කඳවුරේ සිටින්නේ දැයි අපහැදිලි කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයාද ගෝඨාභය රාජපක්ෂට විරෝධය පළ කරමින් කීවේ රෙද්ද බැනියම අඳින කෙනෙක් පොහොට්ටුවේ අපේක්ෂකයා විය යුතු බවයි. තමන් වැනි ජ්‍යෙෂ්ඨයන් අමතක කොට වෙනත් කෙනකුට අපේක්ෂකත්වය දුන්නොත් තමන් තීන්දුවක් ගන්නා බවද හෙතෙම පැවසීය. වෙල්ගමගේ ඒ කතාවට මහින්ද පාර්ශ්වයෙන් පිළිතුරක් දීමටත් පෙර ඔහු තවත් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මෙරට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් බව සමහරු කියන බවයි. නමුත් එය ඇත්ත නොවේ යැයිද යුද්ධයෙන් රට නිදහස් කර ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට යැයිද ඔහු කීය. අද වනවිට මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින දක්ෂතම පුද්ගලයා ඔහු යැයි කී වෙල්ගම මහතා ගෝඨාභය යුද්ධය සමයේ අමෙරිකාවට පලා ගොස් සිටියේ යැයි වැඩිදුරටත් කීය.

කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනය කරමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පසුගියදා විශේෂ සාකච්ඡාවක් කළෝය. මෙතෙක් කල් ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සලකමින් මේ ප්‍රකාශවලට පිළිතුරු දීමෙන් වැළැකී සිටියත් ඉදිරියේදී වෙල්ගම මන්ත්‍රීවරයාට දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතු බවට ඔවුහු තීරණය කළහ. ඒ අතර බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම කීවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පක්ෂයේ අපේක්ෂකයා බවත් තමන් ඔහුගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන බවත්ය. හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂද ඊට සමාන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා බව කීය. මෙම ප්‍රකාශ දෙකම හදිසියේ නිකුත් වූයේ රාජපක්ෂ පවුලේ ඇතැමුන් ගෝඨාගේ අපේක්ෂකත්වය අනුමත නොකරන බවට සමහරුන් කරන ප්‍රකාශවලට පිළිතුරු වශයෙනි.

එ.ජා.පයේ ජනාධිපති ධුර අපේක්ෂකයා කවුද යන්නත් දැනට පුළුල් සාකච්ඡාවකට බඳුන් වී ඇති කරුණකි. රනිල්, සජිත්, කරු යන නම් තුන ප්‍රධාන වශයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කියැවෙන අතර දෙවනුව චම්පික රණවක, රාජිත සේනාරත්න හා අලුතෙන්ම සරත් ෆොන්සේකාගේ නමද මෙම ලැයිස්තුවට එක්ව ඇත. පසුගියදා දෙමළ සන්ධාන නායකයන් හමුවේ මෙන්ම තමන්ගේ සමීපතම දේශපාලන සගයන් සමඟ ද අගමැති රනිල් ප්‍රකාශ කර තිබුණේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේ එ.ජා.ප අපේක්ෂකත්වය දරණ බවයි. ඇතැම් සමාජ මාධ්‍ය ජාලා වාර්තා කළේ මේ තමන්ට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නට ලැබෙන අවසන් අවස්ථාව නිසා එය තමන්ට හිමිවිය යුතු බවය. එහෙත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ ගැන කිසිවක් ඍජුව කියා නැත. ඔහු තමන්ගේ හිතවත් දේශපාලන සගයන්ට ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකත්වය සමඟ අපේක්ෂකත්වය ලැබේ නම් තමන් ඡන්ද සටනට සූදානම් බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට එකඟද යන්න ප්‍රකාශ වී නැත. එහෙත් එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් සෑහෙන සංඛ්‍යාවක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරති.

අගමැති රනිල් පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නියම කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරෙන තෙක් එ.ජා.ප. අපේක්ෂකත්වය ගැන කතා නොකර සිටින ලෙසයි. එහෙත් ඊට පසු තලතා අතුකෝරාළ, චන්ද්‍රානි බණ්ඩාර, අශෝක් අබේසිංහ ආදී මැති ඇමැතින් ගණනාවක් විවෘතව කීවේ එ.ජා.පයේ අපේක්ෂකත්වය සජිත්ට හිමිවිය යුතුය කියායි. මෙයට පෙර දිලිප් වෙදආරච්චි, අජිත් පී. පෙරේරා, චමින්ද විජේසිරි ආදීන්ද එලෙසම යෝජනා කර තිබිණි. එසේ වුවද රවි කරුණානායක ඇතුළු මන්ත්‍රීන් ගණනාවක් සජිත්ගේ අපේක්ෂකත්වයට දැඩි විරෝධය පළ කරති. එක් අවස්ථාවක රවි කියා තිබුණේ එක් එක් පුද්ගලයාගේ පුතා වූ පමණින් රජයේ ඉඩම්වල නිවාස හැදූ පමණින් රටක් පාලනය කළ හැකිද කියායි. කෙසේ හෝ රවි කරැණානායක අමාත්‍යවරයා සමඟ ද මන්ත්‍රීන් ගණනාවක් ඒකරාශි වී සිටිති. මේ ආකාරයට එ.ජා.ප. අපේක්ෂක සටන කලඑළි බසිද්දී විකල්ප නම් ගණනාවක්ද මේ සඳහා යෝජනා වී ඇත.

එ.ජා.පයේ ඉහළම තනතුරක් දරන තරුණ අමාත්‍යවරයෙක් ජාතික හෙළ උරුමය පක්ෂයේ මුල් නිර්මාතෘ තිලක් කරුණාරත්න මහතා අමතා පසුගියදා අමුතු ප්‍රශ්නයක් ඇසීය. එ.ජා.පයේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන පක්ෂ අභ්‍යන්තරයේ වාද විවාද හා ගැටලු පවත්නා නිසා ජාතික හෙළ උරැමයේ වත්මන් නායක චම්පික රණවක මහතා ඉදිරිපත් කළහොත් ප්‍රශ්නය විසඳේද? චම්පික එ.ජා. පෙරමුණු අපේක්ෂකයා වන්නේ නම් ඔහුට සිංහල බෞද්ධ බලවේග සහාය දේද යන්න ආණ්ඩුවේ ඇමැති තිලක්ගෙන් ඇසූ සෙසු ප්‍රශ්න විය. මෙම ප්‍රශ්නයට තිලක් කරුණාරත්න දී තිබුණේ ඉතා සැර පිළිතුරක් බව කියැවුණත් එය හෙළිදරව් වී නැත.

ඒ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ මහා සංඝරත්නය තමන්ගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ඉල්ලන බවය. ඒ සඳහා තමන්ට ප්‍රබල ඉල්ලීම් ලැබී ඇතැයිද ඔහු කීය. පොහොට්ටුවෙන් ගෝඨාභය ඉදිරිපත් වන්නේ නම් ඊට ගැලපෙන එ.ජා.ප. චරිතය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව තවත් සමහරුන් කියන බව සඳහන්ය. ඒ හැර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාද මේ සඳහා තමන් සුදුසු බව මාධ්‍යයට කියා තිබුණේ මහනුවරදීය. මේ ආකාරයට එ.ජා.පයේ ජනාධිපතිවරණ අපේක්ෂක කතාව නිසා දැන් හොද්ද බොර වී තිබේ. අමාත්‍ය චම්පික රණවක පමණක් අපේක්ෂකත්වය සම්බන්ධව කිසිවක් නොකියා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. තතු දත් අය කියන්නේ එය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන කරන්නක් බවයි.

කෙසේ හෝ එ.ජා.පයේ අපේක්ෂකත්වය පිළිබඳ පවත්නා ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ප්‍රශ්නයට විසඳුමක් ලෙස එ.ජා.ප. අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාටම හිමිවනු ඇතැයි රනිල්ගේ දේශපාලන සටහන් පොත හොඳින් කියවන්නට දන්නා අය කියති. මෙම අපේක්ෂක අර්බුදය හිතාමතාම පක්ෂය තුළ නිර්මාණය කර ඇති බව කියන්නෝද වෙති.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව ගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී මෙතෙක් කල් යමින් තිබූ අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට අදාළ යෝජනාවට අනුමැතිය හිමි විය. අදියර තුනක් යටතේ එය ඉටුකරන හැටියට කැබිනට්ටුව තීන්දු කළේය. ඒ අනුව පළමු වරට ජාතික පාසල්වල සිසු සිසුවියන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට නියමිතය.

රාජ්‍ය සේවක නිලඇඳුම ගැනද කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළේය. ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාරයි. ඒ අනුව කලින් ගෙන තිබූ තීන්දුව වෙනස් කර රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සාරිය හා ඔසරියට අමතරව වෙනත් ඕනෑම සංවර ඇඳුමක් අඳින්නට අවසරය ලැබේ. එහෙත් එම කිසිදු ඇඳුමකින් මුහුණු ආවරණය නොවිය යුතු යැයිද සඳහන්ය.

මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී මතුවූ ආවේගශීලී කතාව කල්මුණේ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් කෙරෙන අඛණ්ඩ උපවාසයයි. එහි වෙසෙන දෙමළ ප්‍රජාව වෙනුවෙන් වෙනම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම උපවාසය පැවැත්වෙයි. ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳා දෙන බව ප්‍රශ්නය ගැන කතාබහ ඇරඹෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය. එවිට මනෝ ගනේෂන් අමාත්‍යවරයා පැවසුවේ “ඔබතුමාල හැමදාම ප්‍රශ්නය විසඳන බව කියනව.. මම සුමන්තිරන් මන්ත්‍රීතුමා එක්කත් කතා කළා. හැමෝගෙම මතය අපට මේක දෙනව දෙනව කියල රවට්ටන්න හදනව කියන එකයි.. ඒ නිසා ප්‍රශ්නය විසඳනව නම් හරියට ඒක කරන්න...” එවිට රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ තමන් මේ ගැන ඉක්මන් පියවර ගන්නා ලෙස අමාත්‍ය වජිර අබේවර්ධනට උපදෙස් දුන් වගයි. තවත් මාසයක කාලයක් තුළ ප්‍රශ්නය විසඳිය හැකි වෙතැයි විශ්වාස කරන්නේ යැයි අගමැතිවරයා වැඩිදුරටත් කීය. මෙහිදී තරමක් ආවේගයෙන් කතා කළ මනෝ ගනේෂන් අමාත්‍යවරයා කීවේ “අගමැතිතුමනි අපිට ඔය කතාව ආණ්ඩුව කී පාරක් නම් කියල තියෙනවද? දෙමළ ජනතාව මෝඩයන් කරන්නට බැහැ. දැන් බලන්න තමුන්නාන්සෙලගෙ ආණ්ඩුව පොරොන්දු වුණා මෙයට අවුරුදු ගණනාවකට කලින් වතුකර ජනතාවගෙ පඩියට රුපියල් 50ක් එකතු කරන්න. කෝ ඒකවත් තවම වුණේ නැහැනේ...”

වතුකර අමාත්‍ය පී. දිගම්බරම්ද ඒ සමඟ කතා කරන්නට විය. &නමුත් ඔය කිසි දෙයක් අපේ ජනතාවට මේ රජයෙන් ලැබෙයි කියල විශ්වාසයක් නැහැ.. එහෙම වුණොත් මම ඔය වගකිව යුතු අයට කියන්න කැමතියි නැවතත් වතුකරේ ඡන්ද නම් ඉල්ලන්න එපා... ඇමැතිලත් අහන්නෙ වතුකර අපි කියන දේ නෙවෙයි හාම්පුතුන් කියන දේ ගැනයි.” කල්මුණේ උපවාසය වතුකරයට ඇදගත් දිගම්බරම් අමාත්‍යවරයා තවදුරටත් කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ ගිය බදාදා විශේෂ හමුවක් පැවැත්වීය. එහිදී ඔහු ප්‍රකාශ කළ වඩාත් ආන්දෝලනාත්මකම කතාව වූයේ ඉතා ඉක්මනින් 4 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරවන බවය. තමන් එයට අදාළ මරණ වරෙන්තු අත්සන් කළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ඉදිරි සති දෙකක කාලය තුළ මෙම දඬුවම ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා දින නියම කර ඇති බවත් ජනාධිපතිවරයා කීය.

19 වැනි සංශෝධනය ගැන මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා මෙය සකස් කර ඇත්තේ නීති විශාරදයන් නොව මකබාස්ලා රැලක් විසින් යැයිද ඔවුන් එන්.ජී.ඕ. කාරයන් යැයිද පැවසුවේය. ස්වාධින කොමිෂන් සභාවලින් ද රටට වැඩක් නොවූ වග ඔහු මතක් කළේ ඒ අතරය. රජයේ තිබෙන ප්‍රශ්න ගැන මාධ්‍ය ප්‍රධානීහු කරුණු විමසූහ. ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා කීවේ ඩ්‍රැයිවර්ලා දෙන්නෙක් රජය කරන විට එහෙම වන බවයි. තමන්ට ඒ සඳහා රටේ ලක්ෂ 62ක ජනතාවකගෙන් ලයිසන් ලැබුණු බවත් පාර්ලිමේන්තුවෙන් ලයිසන් ගත් අගමැතිතුමාද තමාගේ රියැදුරු අසුන අසල සිට වාහනය පදවන්නට හැදීමෙන් අවුල් ඇතිවූ බවත් පැවසීය. ඊළඟට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පාස්කු බෝම්බ තේරීම් කමිටුව ගැන කරුණු දැක්වූ ජනාධිපතිවරයා තමන් ඊට කැඳවන්නට යන බව සමහරු කියතත් තමන් එයට කිසිසේත්ම නොයන බවත් ඒ අයට තමන් කැඳවීමට බලයක් නොමැති වගත් කීය. මේ තේරුම් කමිටුව නාට්‍යයක් වැනි යැයි කී ජනාධිපතිවරයා පෙර දින හැන්දෑවේ අරලියගහ මැඳුරේ පෙර පුහුණුවීම් සිදුකර පසුදා එය පාර්ලිමේන්තුවේ රඟ දක්වන්නේ යැයි කීය.

රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සටනක් ආරම්භ කර තිබේ. ඒ ගැන කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය වෙත කරුණු දැක්වීම පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනකුට පවරා ඇත.

මෙහිදී මූලිකත්වය ගත් බිමල් රත්නායක මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩුව එදා වේල සොයාගන්නට මාසයකට වරක් රාජ්‍ය දේපොළක් විකුණමින් සිටින බවය. පසුගියදා පැලවත්ත ජ.වි.පෙ. මූලස්ථානයේදී මාධ්‍යයට කරුණු දැක්වූ හෙතෙම කීවේ පසුගිය මාසයේ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට විකුණා දැමූ ආණ්ඩුවේ අලුත්ම ගොදුර වී ඇත්තේ මහජන බැංකුව බවය. ඉන් අනතුරුව ඉතිරිකිරීමේ බැංකුව හා ලංකා බැංකුවද විකුණා දමන්නට සැරසෙන වග මන්ත්‍රීවරයා කීය. සෙවණගල සීනි කම්හල ආණ්ඩුවේම අමාත්‍යවරයකුට ලබාගත හැකි වන සේ නීති සම්පාදනය කළේ යැයිද ඔහු කීය. ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල කියන විදියට රටේ ආර්ථිකය නටවා දැන් එය නටබුන් කර ඇතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය බදාදා රාත්‍රියේ ජනාධිපති නිලනිවසේදී රුස් විය. එහිදී සාකච්ඡා කළ ප්‍රධානම කරැණ වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන කාරණයයි. ඒ අවස්ථාවේ බොහෝ දෙනාගේ එකඟතාවයෙන් ශ්‍රී.ල.නි.පයේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දුවක් ගත් අතර එහිදී වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා යෝජනා කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ශ්‍රී.ල.නි.ප ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවය. එය ස්ථිර කළේ බස්නාහිර හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසිනි. ඒ අනුව ශ්‍රී.ල.නි.ප ජනාධිපතිධූර අපේක්ෂකත්වය ජනාධිපතිවරයාට හිමිවිය. මෙම තීරණයට අමතරව ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව අතර සාකච්ඡා ගැන පූර්ණ විමර්ශනයක් කොට පක්ෂයට කරුණු වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත්කැරිණි.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

දේශය 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top