Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
3,009
Views

"අපේ මධුසමය දවසේ එයා මා ඉදිරියේ නිරුවත් වෙනකොට මට විශාල බයක් ඇති වුණා," ඇය අතීතය සිහිපත් කළාය.

"මම දන්නවා දැන් මම විවාහකයි කියල. මධු සමය දවසෙ මේ දේ සිද්ධ වෙනවා කියලත් මම දැනගෙන හිටියා. ඒත් ඒ වෙලාවේ මට හිත හදා ගන්න බැරි වුණා. දැන් මමත් ඇඳුම් ගලවන්න ඕන නේද? කියන එක විතරයි මගේ ඔළුවට ආවේ."

එල්මිරා (ඇයගේ සැබෑ නම නොවේ) එවකට 27 හැවිරිදි ය. සරසවි අධ්‍යාපනය නිම කර රැකියාව ආරම්භ කළා පමණි.

ඇයට ස්වාමි පුරුෂයා සොයා දෙන ලද්දේ ඇයගේ දෙමාපියන් විසිනි.

"මගේ අම්මව සතුටු කරන්න ඕන නිසා මම ඒ විවාහයට කැමති වුණා," එල්මිරා පවසන්නීය.

"ඒයි... සද්දේ අඩු කරපන්. හරිම අසික්කිතයි!"

"එයා අපේ අසල්වාසියෙක්. මට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. එයා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. කිසි ම ගැලපීමක් නැහැ."

"මගේ සහෝදරයා මාව එයාට හඳුන්වල දුන්න. මම අසල්වැසියෙක් විවාහ කර ගන්න එක ගැන අම්ම හරිම සතුටින් හිටියේ. ළඟ පාත නිසා අම්මට මාව නිතර ම දකින්න පුළුවන් නේ."

විවාහයක් කර ගැනීම සඳහා තව ම සූදානමක් නොමැති බව එල්මිරා සිය මවට දැනුම් දුන්නාය. මව ඒ බව සිය ඥාතීන්ට දැනුම් දුන්නාය.

ඇය කන්‍යාභාවය අහිමි කර ගෙන ඇති හෙයින් එම තීරණයට පැමිණ ඇතැයි යන සැකය ඔවුන් තුළ මතු වීම නිසා එල්මිරා ට දැඩි පීඩනයක් එල්ල විය.

නමුත්, ඇත්ත වශයෙන් ම ඇය මුලින් ම ලිංගිකව එක් වී ඇත්තේ මධුසමයේ පළමු රාත්‍රියේ ය.

එය තමන් ගේ පළමු අත්දැකීම බව තම ස්වාමි පුරුෂයා දැන සිටියේය. නමුත්, ඒ මොහොතේ එල්මිරා ගේ හැඟීම් පිළිබඳව ඔහු ගේ තැකීමක් නොවීය. මේ ඇයගේ පැහැදිලි කිරීමයි.

ඔහු එක් වරම ඇය පෙරළා ගත්තේය. ඔහු ලිංගික ක්‍රියාවේ යෙදී සිටිය දී එල්මිරා ගේ හිස නොකඩවා බිත්තියේ වදින්නට පටන් ගත්තේය. අල්ලපු කාමරයෙන් කිසිවකු තට්ටු කරනු ඇසිණි.

"ඒයි... සද්දේ අඩු කරපන්. හරිම අසික්කිතයි!" ඒ ස්ත්‍රී කට හඬකි.

අල්ලපු කුටියේ ස්ත්‍රිය

අල්ලපු කුටියේ ස්ත්‍රීන් කිහිප දෙනෙක් ම සිටියහ. එල්මිරා ගේ මව සහ නැන්දම්මා සමඟ තවත් නැන්දනියන් දෙදෙනෙකු ද දුරස්ථ ඥාති ස්ත්‍රියක ද ඒ කුටිය තුළ වූහ.

බිත්තියට තට්ටුවක් දමා තරවටුවක් කර ඇත්තේ දුරින් නෑකමක් ඇති ඒ ස්ත්‍රිය යි.

නව යුවළ ගේ පළමු එක්වීම සහ මනාලියගේ කන්‍යාභාවය වෙනුවෙන් සාක්ෂි දැරීම සඳහා ඉහත කී ස්ත්‍රීන් ගේ සහභාගිත්වය සම්ප්‍රදායානුකූලව සිදු විය.

"හැම දෙයක් ම ඒ අයට ඇහෙනවා. ශාරීරික වේදනාවයි ලැජ්ජාවයි නිසා මගේ ඇඟ වෙව්ලන්න ගත්ත. මට හිතුණ 'ඇත්තට ම මේක ද විවාහය කියන්නේ?' කියල." එල්මිරා අතීතය ආවර්ජනය කළාය.

අල්ලපු කුටියේ සිටි, දූරස්ථ ඥාතිත්වයක් ඇති ස්ත්‍රිය සතු සාම්ප්‍රදායික රාජකාරියක් වෙයි. විවාපත් යුවළකගේ පළමු රාත්‍රිය ගෙවෙන්නේ එම ස්ත්‍රිය අල්ලපු කුටියේ සිටියදී ය.

අත්දැකීම් රහිත මනාලියට උපදෙස් දීම ඇයගේ රාජකාරියෙන් කොටසකි. ලිංගික කර්තව්‍යය පිළිබඳව යම් ගැටළුවක් මතු වුවහොත් අල්ලපු කුටියට දිව ගොස් මනාලියට ඇයගෙන් උපදෙස් පැතිය හැකිය.

"අභිරහසක් හෙළිවන රැයක්"

රැය පහන් වූ විගස නව යුවළ සිටි කුටියට පැමිණ ඇඳ ඇතිරිලි රැගෙන යාම මේ ස්ත්‍රියට පැවරුණු තවත් රාජකාරියකි.

එම ඇඳ ඇතිරිල්ල ඥාතීන්ට ප්‍රදර්ශනය කිරීම ඇයගේ රාජකාරියේ අවසන් ජවනිකාවයි.

(මෙය එල්මිරා ජීවත් වන 'කොකේසස්' (Caucasus) කඳුවැටියට පමණක් ආවේණික වූ චාරිත්‍රයක් නොවේ. වෙනත් ආසියාතික ප්‍රජාවන් තුළ ද තවමත් එය සිදු වෙමින් පවතී.)

ඇඳ ඇතිරිල්ලේ පවතින 'ලේ පැල්ලම' සාක්ෂි දරන්නේ මනාලියගේ පාරිශුද්ධභාවයයි. ඇඳ ඇතිරිල්ලේ 'රතු පැල්ලම' දුටුවේ නම් ඥාතීහු නව යුවළට ශුභාශිංසනය කරති.

එම විවාහය සම්පුර්ණ වූ බවට සැලකෙන්නේ ඉන් අනතුරුවය.

"මේ නිසා තමයි පළමු රාත්‍රිය අභිරහසක් හෙළිවන රැයක් බවට පත් වෙලා තියෙන්නේ. ඇඳ ඇතිරිල්ල කුමක් කියාවි ද?" ශක්ලා ඉස්මායිල් පවසන්නීය. ඇය අසර්බයිජානයේ කාන්තා අයිතීන් පිළිබඳව හදාරන්නීය.

ඇඳ ඇතිරිල්ලේ ලේ පැල්ලමක් නොමැති නම් මනාලිය සිය දෙමාපියන් වෙත නෙරපා හරිනු ලබන්නේ එය "දෝෂ සහිත විවාහයක්" ලෙස සලකාය.

ඉන් අනතුරුව ඇය දික්කසාද වූ කාන්තාවක ලෙස සැලකේ. නැවත විවාහයක් කර ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි.

තම දෙමාපියන්ගෙන් මෙන් ම ඥාතීන්ගෙන් ඇය අවමානයට සහ හිරිහැරයට ලක් වන්නීය.

'ඇඳ ඇතිරිල්ලේ සාක්‍ෂිය' රටවල් 20ක

පළමු රාත්‍රියට සාක්ෂි දැරීම සහ ඇඳ ඇතිරිල්ල 'පෙරෙට්ටුවට' තැබීම අසර්බයිජානයේ පිටිසර පෙදෙස්වල බහුලව දක්නට ලැබෙන චාරිත්‍රයක් බව එරට මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

ඇතැම් විට විවාහ මංගලෝත්සවයට පෙර "විශේෂඥයෙකු" විසින් මනාලියගේ කන්‍යාභාවය පරීක්ෂා කරනු ලැබේ.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංවිධාන මෙම පිළිවෙත ප්‍රශ්න කරති. ඊට තිත තැබිය යුතු බව එක්සත් ජාතීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇඳ ඇතිරිල්ලේ සාක්‍ෂිය සොයන සම්ප්‍රදාය තවමත් රටවල් 20ක පමණ ක්‍රියාත්මක වන බවත් එය කාන්තාවට නින්දා පමුණුවන අප්‍රසන්න දෙයක් බවත් එම සංවිධාන පවසති.

ඔවුන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ "කන්‍යාභාවය" (virginity ) නමින් කිසිදු සංකල්පයක් වෛද්‍ය විද්‍යාවේ නොමැති බවත් සමාජයීය, සංස්කෘතික සහ ආගමික චින්තනය මත පමණක් එම සංකල්පය පවතින බවත්ය.

එල්මිරා සිය මධුසමයේ පළමු රාත්‍රිය පුරා වින්දේ බිය, ශාරීරික වේදනාව සහ ලජ්ජාව පමණි.

"මම හොඳට ම බය වෙලා කිසි ම දෙයක් කියා ගන්න බැරිව තනි වෙලා හිටියා. මුළු රෑ ම මම නිදි නැහැ. ඒත් එයා ගණන් ගත්තේවත් නැහැ. අන්තිමේදී හොඳට නිදා ගත්තා."

උදෑසන ම ඇඳ ඇතිරිල්ල රැගෙන යාම සඳහා "සාක්ෂිකාරිය" කාමරයට පැමිණියාය.

"මම දැනගෙන හිටියා දැන් හැමෝම මේ බෙඩ් ෂීට් එක පරීක්ෂා කරනවා කියල," එල්මිරා ඒ බියකරු රාත්‍රිය සිහිපත් කළාය.

"විකෘති ආශාවන් ඇති කාමාතුරයන්"

නේගාර්, අසර්බයිජානයේ පිටිසර ගම්මානයක තරුණියකි.

විවාහ මංගලෝත්සවයෙන් පසුව ඇයට පළමු රාත්‍රිය ගත කිරීමට ලැබුණේ අල්ලපු කාමරයේ "උපදේශිකාවක" හෝ කිහිප දෙනෙකු පමණක් සිටියදී නොවේ. "මුළු ගම ම" නේගාර්ගේ කුටියේ දොර අබියසට රොක් වී සිටියහ.

"මගේ ජීවිතේ ඒ තරම් ලැජ්ජාවට පත් වූ තවත් දවසක් නැහැ. ඒත් මං හිතුව මේක සාමාන්‍ය දෙයක් කියල."

තම ස්වාමි පුරුෂයා සමග ලිංගිකව එක්වීම සඳහා කිසිදු ආශාවක් ඇති නොවූ බව පවසන ඇය කියා සිටියේ, කාමරයේ වසා තිබුණු දොර අද්දරට වී සිටින පිරිස "හුස්ම ගන්නා ශබ්දය පවා" තමන්ට ඇසුණු බවය.

පසු දා උදෑසන ඇයට ද ඇඳ ඇතිරිල්ල ප්‍රදර්ශනය කිරීමට සිදු විය.

එවකට නේගාර් 18 වන වියට පා තැබුවා පමණි. තිස් හැවිරිදි ඇය දැන් දික්කසාද වූ කාන්තාවකි.

තම මංගල රාත්‍රිය පුරා අල්ලපු කාමරයේ සිටි තම ඥාතීන් "විකෘති ආශාවන් ඇති කාමාතුරයන්" බව නේගාර් පවසන්නීය.

"රතු ඇපල්" චාරිත්‍රය

අසල්වැසි ආමේනියාවේ ද මීට සමාන විවාහ චාරිත්‍රයක් පවතී. ඇතැම් විට එය ජෝර්ජියාවේත්, කොකේසස් කඳුවැටියේ උතුරුකරයේ පවතින රුසියානු ගම්මාන තුළත් දැකිය හැකිය.

මෙම චාරිත්‍රය හැඳින්වෙන්නේ "රතු ඇපල්" නමිනි. මෙහිදී "සාක්ෂිකාරියක" අල්ලපු කාමරයට පැමිණෙන්නේ නැත.

"රතු ඇපල්" චාරිත්‍රයේදී, තම දියණිය "පතිවත රැකි පිරිසිදු" තරුණියක බව ඔප්පු කිරීම සඳහා මනාලියගේ වැඩිහිටියන්ගෙන් අනෙකුත් ඥාතීන් සහ අසල්වැසියන්ට ආරාධනාවක් ලැබෙනු ඇත.

"ඉතින් මුළු ගම ම එකතු වෙනවා මේ 'නින්දාසහගත චාරිත්‍රය' ඉටු කිරීමට" මානව හිමිකම් ක්‍රියාධාරිනී නිනා කාරාපෙටීයාන්ස් පැවසුවාය.

ආමේනියාවේ පිටිසර පෙදෙස්හි දෙමාපියෝ බොහෝ විට තම දියණිය 18 වියට පා තබද්දී දීග දීමට පෙළඹෙති.

"ඇපල් පරීක්ෂාවෙන්" අසමත් වුවහොත් එම තරුණිය පවුලෙන් ද නෙරපා හැරීමට ඉඩ තිබේ.

ආමේනියාවේ පිටිසර බද ගම්මානයක සිදු වූ එක්තරා සිද්ධියක් එලාඩා ගොරීනා බීබීසීයට විස්තර කළාය.

"මංගල රාත්‍රියේදී ඇඳ ඇතිරිල්ල බලද්දී ඒකෙ ලේ පැල්ලමක් තිබිල නැහැ. ඉතින් මහ රෑ මැදියමේ මනාලයාගේ පවුලේ අය එකතු වෙලා මනාලියව දොස්තර කෙනෙක් ළඟට අරගෙන ගිහින් තියෙනවා ඇය කන්‍යාවක් ද කියල දැන ගන්න."

මෙවැනි සිදුවීම් නිසා ඇතැම් කාන්තාවන් දීර්ඝ කාලීනව ප්‍රචණ්ඩත්වයට පවා මුහුණ දෙන බවත් ඇය පවසන්නීය.

රූ රටා: මැගිරම් සෙයිනලොෆ්

bbc සිංහල 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top