Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
1,764
Views

ප්‍රහාරයට පෙර මරාගෙන මැරෙන්න ප්‍රතිඥාවත් දීලා

පාස්කු ප්‍රහාරයදා නඩයක් එක්ක මක්කම වන්දනාවේ

සහරාන්ගේ කල්ලියේ සන්නද්ධ අංශයේ ප්‍රධානියා බව කියන හයාතු මොහොමඩ් අහමදු මිල්හාන් හෙවත් අබු සීලන් දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. සෞදි අරාබි ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටි ඔහු මෙරටට රැගෙන ඒමට හැකි වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් ලද සුවිශාල ජයග්‍රහණයකි. ඊට අන්තර්ජාතික පොලිසියෙන් ලැබී තිබුණේ දැවැන්ත සහායකි. ඒ බව අන්තර්ජාතික පොලිස් සංවිධානයේ මහා ලේකම් යෝගන් ස්ටොක් මහතාද සදහන් කර තිබිණි.

සහරාන්ගෙන් පසු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා බවට පත් වන්නට සිටි පුද්ගලයා ලෙස බුද්ධි අංශ විසින් හඳුනාගෙන සිටියේ තිස් හැවිරදි මිල්හාන්ය. කාතන්කුඩියේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් මිල්හාන් මරාගෙන මැරෙන අයි. එස්. ප්‍රතිඥාව පවා සහරාන් ඉදිරියේ ලබාදී සිටියෙකි. එහෙත් ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ වූයේ නැත. ඔහු පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව එල්ල වන විට සිටියේ මක්කම වන්දනාවේය. මක්කම වන්දනාවේ ඔහු යන්නේ තනිවම නොව, නඩයක් සමඟිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ ගැන අනතුරු අඟවමින් රෝ ඔත්තු සේවය මෙරටට ලබාදුන් බව කියන බුද්ධි වාර්තාවේද මිල්හාන්ගේ නම සඳහන් වී ඇතැයි කියන්නේ ඉහළිනි. සහරාන්ගේ කල්ලියේ සැඟවුණු ප්‍රබල චරිතයක් වන මිල්හාන් එළියට එන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සතියක් ඉක්ම ගිය තැනය. ඒ කාතන්කුඩිය පොලිසියේ නිලධාරීන් විසින් සහරාන්ගේ කල්ලියට සම්බන්ධවූවන් සොයා කරනු ලැබූ මෙහෙයුමකදීය. සහරාන්ගේ කල්ලියට ගෑවුණු අන්තවාහු ගොන්නක්ම එම මෙහෙයුමේදී කාතන්කුඩි පොලීසියට කොටු වූහ. ඒ අය අතර සහරාන්ගේ කල්ලියේ ප්‍රබලයන් කිහිප දෙනෙක්ම සිටියහ. සහරාන්ගේ රියැදුරා බව සදහන් මොහොමඩ් ෆරීඩ් ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා ද සිටියේ ඒ ගොන්න අතරය. ඔහුව අත්අඩංගුවට ගන්නේ කාතන්කුඩි ධිවර සංස්ථා පාරේ පිහිටි නිවසේදීය. ගෆුර් මාමාගේ පුතුන් දෙදෙනාද සිටියේ සහරාන්ගේ අන්තවාදී කල්ලියට එක්ව මරාගෙන මැරෙන්නට සූදානමිනි. විමර්ශකයන් පවසන ආකාරයට අනුව ඒ අය පුහුණුව ලබා තිබුණේ හම්බන්තොට සිප්පිකුලමේ පිහිටි සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානයේදීය.

එල්.ටී.ටී.ඊ.යේ ගිණුමට බැර වී තිබුණු වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සැබෑ ඝාතකයන් කවුරුන්දැයි හෙළි වන්නේද ගෆුර් මාමාගෙනි. ඊට අනුව වව්නතිව් හී මාර්ග බාධක මුර පොළේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් වන නිරෝෂන් සහ ගනේෂ් 2018 නොවැම්බර් 30 වෙනිදා වෙඩි තබා කපා කොටා ඝාතනය කරන්නේ මොහොමඩ් මිල්හාන්ය. එදා ඔහුගේ සහායට යතුරු පැදි දෙකක නැඟී සහරාන්ගේ කල්ලියේ තිදෙනෙක් එහි ගොස් සිටියහ. ඒ අය අතර ගෆුර් මාමාද සිටියේය. පොලිස් නිලධාරීන් දෙදෙනා එදා ඔවුන් ඝාතනය කරන්නේ ගිනි අවි කොල්ලකන්නටය. එය සහරාන්ගේ කල්ලියේ පළමු මෙහෙයුමය.

හිටපු ඇමතිවරයෙකු වන කබීර් හෂිම් මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකු වූ මොහොමඩ් නස්ලිම්ට ඉකුත් මාර්තු 09 වැනිදා වෙඩි තබන්නේද වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර කොල්ලකෑ අවියකිනි. මාවනැල්ලේ පිහිටි නිවසේ නිදා සිටි නස්ලිම්ට වෙඩි තබන්නේද මොහොමඩ් මිල්හාන්ය. එම වෙඩිල්ල නස්ලිම්ට පත්තු වන්නේ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම් ගැන විමර්ශනයේ නිරතව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වනාතවිල්ලුවේ පිහිටි සහරාන්ගේ පුහුණු කදවුර ගැන තොරතුරු ලබාදීම නිසාය.

වෙඩි වැදී සිහිසුන්ව මහනුවර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස ගණානාවක්ම ඔහු සිටියේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතවය. ඔහු සුව අතට පත්වෙමින් සිටින්නේ දැන්ය. ඔහුට සිහිය එන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟිනි.

වව්නතිව් ද්විත්ව ඝාතනයත් නස්ලිම්ට තැබූ වෙඩිල්ලත් පමණක් නොව, බොහෝ තොරතුරු ගෆුර් මාමා කාතන්කුඩි පොලිස් නිලධාරීන් හමුවේ හෙළි කරනු ලැබීය. එකී තොරතුරුවලට අනුව කාතන්කුඩි පොලිසිය විසින් එම ඝාතනවලට සහ ඝාතන තැත් කිරීම්වලට සම්බන්ධ වූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අබ්දුල් මනාෆ් සහ හම්සා මොහිදීන්ය. මොහිදින් යැයි කියන්නේ ආමි මොහිදින් නැමැති සහරාන්ගේ කල්ලියේ සිටි ප්‍රබලයෙකි. හමුදාවේද සේවයේ නිරතව සිටියෙකු වන ආමි මොහිදින්ද සිටියේ මරාගෙන මැරෙන ප්‍රතිඥාව දීය. ඉන්දියා බුද්ධි තොරතුරේද මොහිදින්ගේ නම සටහන්ව තිබුණේ ඉහළින්මය.

කාතන්කුඩි පොලිසියේ නිලධාරීන් විසින් එසේ සහරාන්ගේ කල්ලියට සම්බන්ධ ප්‍රබලයන් අත්අඩංගුවට ගන්නා විට මොහොමඩ් මිල්හාන් සිටියේ මක්කම වන්දනාවේ ගොසිනි. ඒ බව හෙළිවන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙනි. ඒත් සමඟ ඉදිරි විමර්ශන කටයුතු පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ ගෆුර් මාමා ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් රැසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙමිනි.

එතැන් සිට මක්කම වන්දනාවේ ගොස් සිටි මොහොමඩ් මිල්හාන් කොටු කරගැනීමේ මෙහෙයුම ඉතා රහසිගතව සිදු කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු වගබලා ගත්හ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සැලසුම වූයේ මක්කම වන්දනාව නිම කොට පැමිණෙන විට ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට ගන්නටය. මක්කම වන්දනාවේ ගිය එම නඩය නැවත මෙරටට පැමිණීමට නියමිත වූයේ අප්‍රේල් 30 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නොඉසිලිමත්ව බලා සිටියේ එම දිනය උදා වන තුරුය.

එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරීන් කිහිප දෙනෙකුම රැඳී සිටියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරීශ්‍රයේය. ඒ එදින උදෑසන සෞදියේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබුණු ගුවන් යානාවේ මඟී නම් ලැස්තුවේ මිල්හාන්ගේ බවට සැක කළ හැකි නමක්ද සටහන් වී තිබුණු බැවිනි. ඒ අනුව මිල්හාන් එම ගුවන් යානාවේ රැඳී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු විශ්වාස කළහ. එම ගුවන් යානාව ගොඩ බැස්සවූ සැණින් ඔහු අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සූදානම් විය. එහෙත් ඒ සියල්ල ව්‍යර්ථ වන්නේ එම ගුවන් යානාවේ මිල්හාන් නොසිටි බැවිනි.

එකී ගුවන් යානාවේ පැමිණී මඟීන් අතර මිල්හාන් නොසිටීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට ගෙන දෙන්නේ ප්‍රහෙලිකාවකි. සෞදියේ සිට මෙරටට පැමිණි එම ගුවන් යානාව අතරමඟ වෙනත් ගුවන් තොටුපොළකට ගොඩ බස්සවා නොතිබිණි. එබැවින් මිල්හාන් අතරමඟදී පැන ගියා යැයි සිතන්නට නොහැකිය. එසේ නම් සිදු වී ඇත්තේ ඔහු ගුවන් යානාවට ගොඩ වී අවසන් මොහොතේ ඉන් පිටතට එන්නට ඇතැයි සැක කිරීම පමණි. එබැවින් වහාම ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් අන්තර්ජාතික පොලිසියත් අන්තර්ජාතික ඔත්තු සේවාත් මඟින් සෞදි ආරක්ෂක බලධාරීන්ගෙන් සහාය ඉල්ලන්නේ ගුවන් තොටුපොළේදී අතුරුදන් වූ මිල්හාන් කොටු කරගන්නටය. සෞදි අරාබි ආරක්ෂක අංශ අත්අඩංගුවට මිල්හාන් පත්වන්නේ ඒ අනුවය. සෞදියේ සිට මෙරටට පැමිණෙන ඊළඟ ගුවන් යානාවට ගොඩකර මිල්හාන්ව මෙරටට එවනු ඇතැයි බොහෝ අය බලා පොරොත්තු වූවත් එය එසේ නොවීය. එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වන්නේ අන්තර්ජාතික පොලිසිය සහරාන් රාජ්‍ය තාන්ත්‍රික ලෙසත් ඔහුව මෙරට ගෙන ඒමට මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නටය.

මිල්හාන් මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් සෞදිය බලා පිටත්ව යන්නේ ඒ අනුවය. ඔවුන් සෞදියට ගොස් දින කිහිපයකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබලයන් දෙදෙනෙකු සෞදියේදි අත්අඩංගුවට ගෙන ඇති බවකි. එම ත්‍රස්තවාදීන් දෙදෙනා මෙරටට ගෙන එන බවට ඉඟියක්ද එහිදී ජනාධිපතිවරයා විසින් පළ කරනු ලැබීය.

ඒ අතර ඉන්දියා මාධ්‍යවල වාර්තා පළ වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙක් සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බවය. එම මාධ්‍ය වාර්තාවලට අනුව සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවට සිටියේ මොහොමඩ් රිලා නැමැත්තෙක් සහ ඔහු සමඟ සිටි තවත් අයෙකි. අනතුරුව ඔවුන්ගේ තොරතුරු මත සෞදි ආරක්ෂක අංශ සහරාන්ගේ කල්ලියට සම්බන්ධයැයි සැක කරන තවත් කිහිප දෙනෙකුම එරටදී අත්අඩංගුවට ගත්තේය. ඉන්දියානු මාධ්‍යවල සඳහන් වූ ආකාරයට අනුව රිලා නැමැත්තා සහරාන්ගේ මස්සිනාය.

රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම අන්තර්ජාතික පොලිසියේ මැදිහත්වීම් මත සෞදි බලධාරීන් තීරණය කරන්නේ අත්අඩංගුවට ගත් සියලු දෙනා මෙරටට භාර දෙන්නටය. එය සිදු විය යුතු වූයේ යම් නීතිමය රාමුවකට අනුවය. ඒ සඳහා යම් කාලයක් සෞදි බලධාරීහු මෙරටින් ඉල්ලා සිටියහ. එකී නීතිමය කටයුත්ත සම්පූර්ණ කිරීමට මිල්හාන්ට අන්තර්ජාතික පොලිසිය මඟින් රතු නිවේදනයක් පවා නිකුත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වග බලා ගත්තේය.

ඒ අනුව මිල්හාන් ඇතුළු සෞදි අත්අඩංගුවේ සිටි ත්‍රස්තයන් මෙරටට රැගෙන ඒමට නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සෞදිය බලා පිටත්ව යන්නේ සෞදියෙන් කළ දැනුම් දීමකට අනුවය. සහකාර පොලිස් අධිකාරිවරයෙකු පොලිස් පරීක්ෂවරයෙකු ඇතුළු පිරිසකගෙන් සමන්විත එම පොලිස් කණ්ඩායම දින දෙක තුනක්ම සෞදියේ රැදී සිටියේය. මිල්හාන් ඇතුළු සෞදි අත්අඩංගුවේ සිටි සහරාන්ගේ ගෝල බාලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදෙන්නේ ඉකුත් 13 වෙනිදාය. එරට වේලාවෙන් එදින රාත්‍රී 7.20 ට ජෙඩා ගුවන්තොටුපොළින් ගුවන් ගතවන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 282 අංකය දරන ගුවන් යානාවේ ඒ වන විටත් ඔවුන් වෙනුවෙන් ආසන පවා වෙන්ව තිබිණි.

මිල්හාන් ඇතුළු පිරිස ගුවන්තොටුපොළ වෙත රැගෙන එන්නේ සෞදි පොලිසිය විසිනි. ගුවන්යානාවට ඔවුන් ගොඩ කරන්නේද සෞදි පොලිස් නිලධාරීන්මය. ඒ අවශ්‍ය සෑම ආරක්ෂක පියවරක්ම අනුගමනය කරමිනි. ගුවන් යානාව තුළද ඒ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. ගුවන් නියමුවාගේ සිට කාර්ය මණ්ඩලයේ සෑම අයෙක්ම එම ආරක්ෂක වැඩපිළිවෙළ කෙරෙහි සිටින්නේ නිසි අවබෝධයකිනි. එය සාමාන්‍යයෙන් අපරාධකරුවෙකු හෝ ත්‍රස්තවාදියෙකු ගුවන්යානාවකින් රැගෙන යන විට අනුගමනය කරන ආරක්ෂක වැඩ පිළිවෙළකි. ඩුබායි සිට මාකඳුරේ මධුෂ් මෙරටට රැගෙන එන විටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනුගමනය කරනු ලැබුවේ එකී ආරක්ෂක වැඩපිළිවෙළමය.

මිල්හාන් ඇතුළු පිරිස රැගත් එම ගුවන් යානාව කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගොඩ බස්සවන්නේ 14 වැනිදා අලුයම 4.15ට පමණය. ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ගුවන්තොටුපොළ තුළ රැදී සිටියේ ඔවුන් භාරගෙන ආරක්ෂා සහිතව කොළඹට රැගෙන යන්නටය. මාකඳුරේ මධුෂ් මෙරටට රැගෙන එන වීඩියෝවක් මාධ්‍යට නිකුත් වී තිබුණු බැවින් මිල්හාන් ඇතුළු ත්‍රස්තයන්ගේ ඡායා රූපයක්වත් මාධ්‍යයට ලබා ගැනීමට නොහැකි වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු වගබලා ගත්හ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අය කොළඹට රැගෙන එන්නේද මාකඳුරේ මධුෂ් රැගෙන ආ ආකාරයට ආරක්ෂාවක් යොදාය.

මිල්හාන් සමඟ සෞදියේ සිට එසේ රැගෙන ආ සෙසු සහරාන්ගේ ගෝලබාලයන් අතර මරදමුණේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් මර්ෂුක් මොහොමඩ් රිලා , වැල්ලම්පිටිය සාරාස් ගාඩ්න් හී පදිංචිකරුවෙකු වන මොහොමඩ් මොහිදීන් මොහොමඩ් ෂන්වාන් සබ්රි, කාතන්කුඩියේ කඹුරටි පාරේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් ස්මයිල් මොහොමඩ් ඉල්හාම් සහ කැබතිගොල්ලෑව ඇල්ලවැව පදිංචිකරුවෙකු වන අබුසාලි අබුබකර් යන සිවු දෙනා ඒ අතර සිටියහ.

ඉන්දියාවේ ඔත්තුවෙන් අල්ලාගත්තේ යැයි කී රිල්වාන් ඒ අය අතර සිටියේය. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකු බව සඳහන් ඔහු මරදමුණේ සම්සම් පාර් පදිංචිකරුවෙකි. සැබෑ ලෙසම ඔහු සහරාන්ගේ මස්සිනාදැයි පැහැදිලිවම හෙළි වී නැත. ඒ ගැන ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සවිස්තර වාර්තාවකින් කරුණු හෙළි කරනු ඇත. එහෙත් ඔහු මරාගෙන මැරෙන්නට සහරාන් ඉදිරියේ ප්‍රතිඥා දී ඇති අයෙකු බව නම් බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

නිළියන් පරදවන සුරූපී බිරියක්ද සිටින තිස් හතර හැවිරිදි රිල්වාන් අන්තවාදී ත්‍රස්තවාදියෙකු බවට පත්ව ඇතැයි පැවසෙන්නේ සහරාන්ගේ දේශනවල වහ වැටීය. රිල්වාන් සමග අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් සබ්රි වැල්ලම්පිටියේ සාරාස් ගාඩ්න් හී පදිංචිකරුවෙකි. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයේ සිය වෘත්තිය ලෙස සඳහන් වී ඇතැයි කියැවෙන්නේ රූම් ඇටෙන්ඩර් යැයි කියාය.

සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිට රැගෙන පැමිණි සෙසු අය අතර සිටින මොහොමඩ් ඉල්හාම් කාතන්කුඩියේ කඹුරඩි පාරේ පදිංචිකරුවෙකි. ඔහුගේ රැකියාව ලෙස සැලකෙන්නේ කම්කරු වෘත්තියයි. අබුසාලි අබුබකර් කැබතිගොල්ලෑවේය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top