Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 19
861
Views

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් 2016 වර්ෂයේදී මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු යැයි ප්‍රසිද්ධ දේශනා තුනකදී ප්‍රකාශ කළත්, කිසිදු බලධාරියකු ඔහුට විරුද්ධව කටයුතු නොකළ බව සුෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මවුලවි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (18) පැවැසීය.

සියලු මුස්ලිම් පල්ලිවල අන්තවාදය නැතත්, සමහර පල්ලිවල දැඩි මතවාදයට ඉඩක් තිබෙන හෙයින් ඒ තත්ත්වය අනාගත පැවැත්මට තර්ජනයක් බව කී සයිලාන් මවුලවි, කාත්තන්කුඩියේ වහබ්වාදය අනුගමනය කරන මුස්ලිම් පල්ලි පහළොවක් පමණ තිබෙන බව ද ප්‍රකාශ කළේය.

වහබ් යනු අන්තවාදී ස්ථාවරයක් බවත්, අන්තවාදය ළඟ ත්‍රස්තවාදයට ඉඩක් තිබෙන බවත් ඔහු කීය.

සහරාන් මියගිය පසු කාත්තන්කුඩියේ යම් නිහඬතාවක් ඇතිවී තිබුණ ද සහරාන් මග ගිය පිරිස් තවදුරටත් සැඟවී සිටිය හැකි හෙයින් ඔවුන් ගැන රජය අවධානයෙන් පසු විය යුතු බව ද ඔහු පැවසීය.

පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) පස්වරුවේ රැස්විය.
සුෆි මුස්ලිම්වරුන් වෙනුවෙන් මොහොමදු සයිලාන් මවුලවි සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

අපි සුෆි ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ. පාරම්පරික මුස්ලිම්වරුන්, සුෆිත් කියන්නේ හොඳ ගතිගුණ කියන එකයි. සුෆිත් ජුම්මා සිදු නොවූ පල්ලියක්. සහරාන් ඉස්ලාම් මධ්‍යස්ථානය සමග එක්වී කටයුතු කළා. පසුව අර්බුදයක් නිසා ඉන් ඉවත් වුණා. ඊට පසු ඔහු දාරුල් අදුවියා කියන අන්තවාදී සංවිධානයක් පිහිටුවා ගත්තා. 2011දී ඔහු ජාතික තවුහිත් ජමාත් පිහිටුවා ගෙන කටයුතු කළා. ආරම්භ කළේ පැල්පතක. ඔහු සුෆී ප්‍රතිපත්තිය විවේචනය කළා. තවුහිද් නමින් මාසික සඟරාවක් 2013දී ප්‍රසිද්ධ කළා. ඒ සඟරාවෙනුත් පහර ගැසුවේ සුෆි මුස්ලිම්වරුන්ටයි.

අප මොවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කාත්තන්කුඩි පොලිසියට පැමිණිලි 11ක් පමණ ඉදිරිපත් කළා 2013 - 2015 අතර කාලයේදී. ඔහු සුෆි මුස්ලිම්වරුන්ට පහර ගහන එක නැවැත්තුවේ නැහැ.

සරත් ෆොන්සේකා මහතා:- ඔහු ජනාධිපතිවරණයේදී කොහොමද වැඩ කළේ.

සයිලාන් මවුලවි:- ඔහු වැඩ කළේ මහින්ද රාජපක්ෂට විරුද්ධවයි.

එම්.ඒ. සුමන්තිරන් මහතා:- සුෆි ප්‍රතිපත්තිය අනුගමනය කරන කී දෙනකු කාත්තන්කුඩියේ ජීවත් වෙනවාද?

සයිලාන් මවුලවි:- දස දහසක් විතර.

සුමන්තිරන් මහතා:- සහරාන් සමග ගිවිසුම් ගැසුවේ කවුද?

සයිලාන් මවුලවි:- ෆිබිලි ෆාරුක්, හිස්බුල්ලා, එල්.එම්. රුබි, අබ්දුල් රහුමාන්. මේක සුෆිවරුන්ට විරුද්ධ ගිවිසුමක්. 2016දී ඔහු කතෝලික ජනතාවට විරුද්ධව කතා කළා. නත්තල් උත්සවයට විරුද්ධවත් කතා කළා.

සරත් ෆොන්සේකා මහතා:- බෞද්ධ අයට විරුද්ධව කතා කළේ නැද්ද?

සයිලාන් මවුලවි:- මට ඒක මතක නැහැ. සහරාන් ජිහාද් ගැනත් කතා කළා. මුස්ලිම් නොවන අය මරන්න ඕන කියලත් ඔහු දේශනාවලදී කිව්වා. රැස්වීම් තුනකදී කිව්වා. ඔහු මේ වගේ කතා කිව්වේ 2016න් පස්සෙයි. මේ කතාව කළේ පොදු තැනක. හිස්බුල්ලා සංස්කෘතික කේන්ද්‍රයේ.

සරත් ෆොන්සේකා මහතා:- ඒ ප්‍රකාශය ගැන ඔබලා පැමිණිලි කළාද?

සයිලාන් මවුලවි:- ඔව්. පැමිණිලි කළා. ඔහු නිතර සඳහන් කරන්නේ අයි.එස්.අයි.එස්. ගැනයි. ජාතික කොඩිය ඉස්ලාමීය රාජ්‍යයට ප්‍රශ්නයක් බවත් කිව්වා. මුස්ලිම්වරුන් ලංකාව අල්ලා ගත යුතු බවත් ඔහු දේශනා කළා. මුස්ලිම්වරුන් ජිහාද් කිරීම අනිවාර්යයි කියල ඔහු 2017.3.2 දින ප්‍රකාශ කළා. අප ජනාධිපති කාර්යාලයටත්, අගමැති කාර්යාලයටත්, විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිතුමාටත්, ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමාටත්, සාගල රත්නායක ඇමැතිවරයාටත් මේ ගැන පැමිණිලි කළා. වීඩියෝ ඉදිරිපත් කළා. ඩී.අයි.ජී. නාලක සිල්වාටත් බාර දුන්නා.

සරත් ෆොන්සේකා මහතා:- සහරාන්ගේ ඒ කතාවලින් පසුව කවුරුන් හෝ ඊට එරෙහිව පියවර ගත්තද?

සයිලාන් මවුලවි:- නැහැ. කවුරුත් පියවරක් ගත්තේ නැහැ. 
සහරාන් වගේම නියාස් කියන පුද්ගලයාත් එවැනි විනාශකාරී ප්‍රකාශ නිකුත් කළා. ඔහු ජාතික තවුහිද් ජමාත් සාමාජිකයෙක්. මම සුෆි මුස්ලිම්වරයෙක්. අපිට ලොකු හිරිහැර සිදුවුණා. (සයිලාන් මවුලවි හඬා වැටෙයි)

ආශු මාරසිංහ මහතා:- කාත්තන්කුඩියේ වහබ්වාදය අනුගමනය කරන පල්ලි කීයක් තියෙනවාද?

සයිලාන් මවුලවි:- දහයක් පහළොවක්. අන්තවාදය තියෙනවා නම් එතැන ත්‍රස්තවාදයට ඉඩක් ඇති වෙනවා. වහබ් කියන්නේ අන්තවාදී ස්ථාවරයක්. වහබ්වාදය අනුගමනය කරන ඔක්කොම අන්තවාදීන් නොවෙයි.

එම්.ඒ. සුමන්තිරන් මහතා:- අනෙකුත් මිනිසුන් මරන්න ඕන කියන වහබ්වාදීන් තවත් ඉන්නවාද?

සයිලාන් මවුලවි:- මම හිතන්නේ සහරාන්, නියාස් වගේ අය තමයි එහෙම කිව්වේ. කිසිම ආගමකට මූලධර්මවාදය තියෙන්න බැහැ.

එම්.ඒ. සුමන්තිරන් මහතා:- කොහොමද මේ ප්‍රශ්නය විසඳන්නේ?

සයිලාන් මවුලවි:- ඒකට ලොකු වැඩපිළිවෙළක් අවශ්‍යයි. ක්‍රෝධය, වෛරය නැති කළ යුතුයි. රජය උපදේශන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. කෲර සිතුවිලි ජනතාවගෙන් බැහැර කළ යුතුයි. මෙම විපත ඇති වුණේ තරුණයන්ගේ මොළ සේදීම් නිසයි.

නලින් ද ජයතිස්ස මහතා:- ශ්‍රී ලංකා තවිහිද් ජමාත් ගැන අදහස කුමක්ද?

සයිලාන් මවුලවි:- ඔවුන් ළඟ තියෙන්නේ අන්තවාදී අදහස්. නමුත් ත්‍රස්තවාදයට ගිහින් නැහැ.

ආශු මාරසිංහ මහතා:- සහරාන් මැරුණට පස්සේ සුෆි අයට තිබුණු තර්ජනය අඩුවෙලා තියෙනවාද?

සයිලාන් මවුලවි:- ඔව්. දැන් නිහැඬියාවක් තියෙනවා. නමුත් ඒ කල්ලියේ අය තවත් හැංගිලා ඉන්න පුළුවන්. සියලු පල්ලි අන්තවාදය ගෙන යන්නේ නැහැ. නමුත් සමහර පල්ලිවල දැඩි මතයට ඉඩක් තියෙනවා. ඒක අනාගතයේදී තර්ජනයක් වෙන්න පුළුවන්.

කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කස්තුරිආරච්චි මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය.

විශේෂ කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා:- ඔබ කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති ලෙස වැඩ බාර ගත්තේ කවදාද?

2017දී.

ආනන්ද කුමාරසිරි මහතා:- ඔබ සහරාන් දන්නවාද?

කස්තුරිආරච්චි මහතා:- ඔව්. නමුත් මා රාජකාරියට වාර්තා කර ටික දවසකින් ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් තිබුණා. ඔහුට විවෘත වරෙන්තුවක් තිබුණා. නමුත් අධිකරණය ඉදිරියේ පෙනීසිටියේ නැහැ.

රාජිත සේනාරත්න මහතා:- ඔහු අත්අඩංගුවට ගන්න ගත්තු ක්‍රියාමාර්ග මොනවාද? ඔහුට චෝදනා ගොඩක් තිබුණා.

කස්තුරිආරච්චි මහතා:- ඔහු සිටින තැන් සොයා බැලුවා. නමුත් සොයාගන්න බැරිවුණා.

රාජිත සේනාරත්න මහතා:- ඔහු යන එන තැන් ගැන තොරතුරු තිබුණා.

කස්තුරිආරච්චි මහතා:- මා උපරිම ක්‍රියාමාර්ග ගත්තා. ඔහු ආවා නම් ගම්මු තොරතුරු දෙනවා.

රාජිත සේනාරත්න මහතා:- කාත්තන්කුඩි පොලිසිය සහරාන් සමග කටයුතු කළා කියලා මෙතැනදී සමහර සාක්ෂිකරුවන් පැවසුවා.

කස්තුරිආරච්චි මහතා:- මම රාජකාරි බාරගත්තට පසුව සහරාන් කාත්තන්කුඩියේ හිටියේ නැහැ. මගේ කාලයේ තිබුණේ සාමකාමී තත්ත්වයක්.

රාජිත සේනාරත්න මහතා:- සහරාන් මවුලවි කෙනෙක් ද?

කස්තුරිආරච්චි මහතා:- මවුලවි කෙනෙක් නොවෙයි. ඔහු ඒ සුදුසුකම් සපුරා තිබුණේ නැහැ.

නලින්ද ජයතිස්ස මහතා:- ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ.

කස්තුරිආරච්චි මහතා:- ඒක වැරැදියි. අප විවිධ ක්‍රියාමාර්ග ගත්තා.

සරත් ෆොන්සේකා මහතා:- සහරාන්ගේ මල්ලි රිල්වාන් කොහේද හිටියේ.

කස්තුරිආරච්චි මහතා:- එයත් පැනලා හිටියේ.

ආශු මාරසිංහ මහතා:- පහළමුණේ සිද්ධියක් වුණා.

කස්තුරිආරච්චි මහතා:- යතුරුපැදියක් පිපිරුණා. 17 වැනිදා රාත්‍රි අපට පැමිණිල්ලක් ලැබුණා වත්තේ අයිතිකරුගෙන්. ඒක පැහැදිලි පිපිරීමක්.

මාරසිංහ මහතා:- ඊට මොනවාද භාවිතා කරලා තිබුණේ?

කස්තුරිආරච්චි මහතා:- රස පරීක්ෂක වාර්තාව තවමත් ලැබිලා නැහැ.

සරත් ෆොන්සේකා මහතා:- අත්අඩංගුවට ගත් අය කවුද?

කස්තුරිආරච්චි මහතා:- දැනට 64 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සහරාන් සමග පුහුණුව ලැබූ අය.

ෆොන්සේකා මහතා:- අපරාධකරුවන්ට ඇප දෙනවා. පොලිසියටත් ඇවිල්ලා පොත අස්සන් කරනවා. නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා දිගටම කරනවා. එතකොට අස්සන් කරලා වැඩක් තියෙනවාද? ඒක අන්තිම අසාර්ථක වැඩක්. ඊට පස්සෙ හොයලා බලන්නෙ නැද්ද?

(ස්ථානාධිපතිවරයා නිහඬයි)

ජයම්පති වික්‍රමරත්න මහතා:- මේ ප්‍රහාරය ගැන ඔබ දැනුම්වත්ව හිටියේ නැද්ද?

කස්තුරිආරච්චි මහතා:- මට කවුරුත් දැනුම් දීල තිබුණේ නැහැ. ඉහළ නිලධාරින් කරුණු වාර්තා කළේ නැහැ.

නලින්ද ජයතිස්ස මහතා:- බුද්ධි තොරතුරු ලැබිලා තිබුණේ නැහැ.

කස්තුරිආරච්චි මහතා:- නැහැ.

නලින්ද ජයතිස්ස මහතා:- මේ අන්තවාදී කණ්ඩායමට එරෙහිව පැමිණිලි ලැබිලා තිබුණද?

කස්තුරිආරච්චි මහතා:- අන්තවාදී දේශන ගැන සාකච්ඡා වුණා. නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදුවුණේ නැහැ.
සහරාන් ගියාට පසු කාතන්කුඩියේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් අද වනතුරු සිදුවෙලා නැහැ.

සරත් ෆොන්සේකා මහතා:- පොලිසියට පැමිණ අත්සන් කිරීමට අවස්ථාව දීමෙන් වෙන්නේ ඔවුන්ට ආරක්ෂාව සැලසීමයි. ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. වෙනත් ප්‍රදේශවලට ගොස් ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා.

(පොලිස් ස්ථානාධිපතිවරයා නිහඬයි)
එම්.ඒ. සුමන්තිරන් මහතා:- පුහුණු මධ්‍යස්ථානයක් ඇල්ලුවා කවුද ඒ වැටලීම් කළේ.

කස්තුරිආරච්චි මහතා:- මම. ඒ වත්තේ හිමිකරු අත්අඩංගුවට ගත්තා. සහරාන්ගේ මල්ලිත් එතැනට ගොස් ඇති බව ආරංචි වුණා. හිමිකරු දැන් රිමාන්ඞ් කරලා ඉන්නේ.

සුමන්තිරන් මහතා:- රිල්වාන් ආවා නම් සහරාන්ටත් කාතන්කුඩියට ඇවිත් යන්න පුළුවන්.

කස්තුරිආරච්චි මහතා:- ආපු බවට තොරතුරක් නැහැ.

නියෝජ්‍ය සභාපති ආනන්ද කුමාරසිරි මහතා:- දහතුන් දෙනෙකු උසාවියාට ගෙනගියේ මොන චෝදනාවලටද?

කස්තුරිආරච්චි මහතා:- පහරදීම්වලට, පැට්‍රල් බෝම්බ ප්‍රහාර සිද්ධීන්වලටයි.

සරත් ෆොන්සේකා මහතා:- ඔබ කියන්නේ ඔබතුමාගේ ප්‍රදේශය සාමකාමී කියලයි. නමුත් බෝම්බ පිපිරුවා.

කස්තුරිආරච්චි මහතා:- බෝම්බ පිපිරුවේ සයින්ද්‍රමරුදු.

එම්.ඒ. සුමන්තිරන් මහතා:- බයිසිකලය පිපුරුවේ.

කස්තුරිආරච්චි මහතා:- ඔව්. ඒක කාතන්කුඩියේ.

ජයම්පති වික්‍රමරත්න මහතා:- විසිඑක් වැනිදා ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු ලැබුණේ නැහැ.

කස්තුරිආරච්චි මහතා:- නැහැ. කවුරුවත් කිව්වේ නැහැ. ඒ නිසා අප සීරුවෙන් හිටියේ නැහැ.

ජයම්පති වික්‍රමරත්න මහතා: කාතන්කුඩියේ තරුණ අය හෙල්මට් දාන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා.

කස්තුරිආරච්චි මහතා:- හෙල්මට් නීතිය ඉගැන්නුවේ මමයි. මම ඒක නතර කළා.

රාජිත සේනාරත්න මහතා:- ඕක කාතන්කුඩියේ නොවෙයි බේරුවලත් තියෙනවා. මම මැදිහත් වෙලා ඒක නැවැත්තුවා.

කස්තුරිආරච්චි මහතා:- වැඩිහිටියෝ ඒකට විරුද්ධයි. එහෙම හැසිරෙන්නේ තරුණ අයයි.

විශේෂ කාරක සභාවේ සභාපති:- සහරාන්ට එරෙහිව ගමේ ලොකු විරෝධයක් තිබුණා.

කස්තුරිආරච්චි මහතා:- පැහැදිලිවම. ගමම විරුද්ධයි.

එම්.ඒ. සුමන්තිරන් මහතා:- හිටපු ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයෙන් උණ්ඩ වගයක් සොයා ගත්තා.

කස්තුරිආරච්චි මහතා:- ඔව්. එක්කෙනෙකු අත්අඩංගුවට ගත්තා. විමර්ශන යනවා. පතුරම් විසි ගණනක් සොයාගෙන තිබුණා.

විශේෂ කාරක සභාවේ සභාපති:- කාතන්කුඩියට විදේශ සංචාරකයන් වැඩිපුර එනවාද? අරාබියේ අය

කස්තුරිආරච්චි මහතා:- විශාල වශයෙන් එන්නේ නැහැ. කාතන්කුඩියේ තියෙන්නේ රළු මුහුදක්.

ආශු මාරසිංහ මහතා:- අරාබි භාෂාවෙන් ලියැවුණු පුවරු තියෙනවා.

කස්තුරිආරච්චි මහතා:- ගොඩක් තියෙනවා. 

කාතන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.බී. වෙදගෙදර මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය.

මම කාතන්කුඩි පොලිසියට ගියේ 2014දීයි. අවුරුදු තුනක් එහි සේවය කළා. 2017 දී බිබිල ප්‍රදේශයට මාරු වී ගියා.

සභාපති ආනන්ද කුමාරිසිරි මහතා:- ඔබ රාජකාරි කාලයේදී අන්තවාදී ක්‍රියාකාරකම් තිබුණද?

වෙදගෙදර මහතා:- එවැනි දේවල් ගැන පැමිණිලි ලැබුණේ නැහැ. නමුත් මුස්ලිම් නිකායන් අතර ගැටුම් තිබුණා. මුස්ලිම් දේවස්ථාන නිකාය අනුව බෙදී තිබුණා.

සභාපති:- සාම්ප්‍රදායික මුස්ලිම් අය අලුත් කණ්ඩායමට විරුද්ධව හිටියද.

වෙදගෙදර මහතා:- ඔව් අනෙක් සියලුදෙනා මෙයාල එක්ක (තවුහිද් ජමාත්) තරහයි.

රාජිත සේනාරත්න මහතා:- සහරාන් ප්‍රදේශයේ පාසලකට ගොස් ගැටුමක් ඇති කළා. ඔබලා ඒ ගැටුම සමථයට පත්කළා.

වෙදගෙදර මහතා:- සිද්ධීන් ගොඩක් වුණා. නමුත් ඔය සිද්ධිය ගැන මට මතක නැහැ.

රාජිත සේනාරත්න මහතා:- මේ තරුණ රැල්ල ගැන ඔබලා ඉහළට වාර්තා කළද?

වෙදගෙදර මහතා:- යම් යම් දැනුම් දීම් කර තිබුණා. ලැබුණු පැමිණිලි ගැන ක්‍රියාමාර්ග ගත්තා. යූ.පී. මුස්ලිම්වරුන්ට ගහපු සිද්ධියට නව දෙනෙකු අත්අඩංගුවට ගත්තා. විශාල පිරිසක් හිටියා. සහරානුත් හිටියා. එතැන තිබුණේ දෙපාර්ශ්වය අතර ගැටුමක්. මම සහරාන් පෞද්ගලිකව දන්නවා.

එම්.ඒ. සුමන්තිරන් මහතා:- සහරාන් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි?

වෙදගෙදර මහතා:- සෙව්වා. නමුත් පසුව ඔහු පැනගියා තවත් අය පැනගියා.

නලින්ද ජයතිස්ස මහතා:- මහ මැතිවරණය කාලයේ සහරාන්ට තිබූ බලය කුමක්ද?

වෙදගෙදර මහතා:- එහෙම ලොකු බලයක් තිබුණේ නැහැ. ඡන්ද කාලෙදි එක එක නිකායයන් බලවත් වෙනවා.

එම්.ඒ. සුමන්තිරන් මහතා:- සහරාන් පොලිසියෙන් ශබ්ද විකාශන බලපත්‍ර ලබාගෙන වෛරී ප්‍රකාශ නිකුත්කර තිබූ බව ප්‍රකාශ වුණා.

වෙදගෙදර මහතා:- හැම නිකායක්ම ලවුඞ්ස් පීකර් පර්මිට් ඉල්ලනවා.

නලින්ද ජයතිස්ස මහතා:- ඔබගේ කාලයේ පල්ලි වැඩිවුණාද?

වෙදගෙදර මහතා:- 2017 වෙනකොට පල්ලි 54යි. 

රවි කරුණානායක මහතා:- පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැ කියල චෝදනාවක් තියෙනවා. කලීල් මවුලවිතුමාත් ඒ ගැන කියෙනවා. ඉතින් පොලිසිය මොකක්ද කළේ.

හිටපු ස්ථානාධිපතිවරයා නිහඬයි.

වෙදගෙදර මහතා:- මේකත් සුනාමිය වගේ ප්‍රශ්නයක්. ආවට පස්සෙයි බරපතළකම දැනුණේ.

රාජිත සේනාරත්න මහතා:- ඔබට යම් බලපෑමක් තිබුණද?

වෙදගෙදර මහතා:- නැහැ මම ඔය සහරාන්ගේ මීටින් හතරක් නැවැත්තුවා. අධිකරණ නියෝග පවා ලබාගත්තා.
පොලිසිය අප ඔවුන්ට කිසිම සහායක් දුන්නේ නැහැ.

ආශු මාරසිංහ මහතා:- සහරාන් ගෙවල් 120ක් ගිනි තිබ්බා කියල අසාද් සාලි හිටපු ආණ්ඩුකාරතුමා කිව්වා.


වෙදගෙදර මහතා:- මගේ සේවා කාලයේදී එහෙම දෙයක් වුණේ නැහැ.

නලින්ද ජයතිස්ස මහතා:- ඔබ මාරුකළේ සහරාන් අල්ලන්න ගිය නිසාද?

වෙදගෙදර මහතා:- නැහැ එහෙම දෙයක් නිසා නොවෙයි. සාමාන්‍ය ස්ථාන මාරුවක්. සහරාන් අනෙක් අය විවේචන කළා. එතකොට ඒ අය සහරාන්ගේ රැස්වීම්වලට ගල්ගහනවා.

නලින්ද ජයතිස්ස මහතා:- ශ්‍රී ලංකා තවුහිද් ජමාත් ගැන දන්නවාද.

වෙදගෙදර මහතා:- ශ්‍රී ලංකා තවුහිද් ජමාත් හා ශ්‍රී ලංකා තවුහිද් ජමාත් දෙගොල්ලම එක වගෙයි. එක වගේ වැඩ කළේ.

සරත් ෆොන්සේකා මහතා:- අබ්දුල් රසාක් ගැන දන්නවාද?

වෙදගෙදර මහතා:- නැහැ

සරත් ෆොන්සේකා මහතා:- ජනාධිපතිවරණ කාලයේදී සහරාන් මොකද කළේ, ඔබ නොදැන ඉන්න විදියක් නැහැ. (වෙදගෙදර මහතා නිහඬයි)

නලින්ද ජයතිස්ස මහතා:- කාතන්කුඩියේ අරාබිකරණයක් තියෙනවාද?

වෙදගෙදර මහතා:- ඔව්. එහෙම වෙනසක් තියෙනවා. රට ඉඳි ගස් හැදුවා. අරාබියේ ඉඳල කට්ටිය එනවා.

රාජිත සේනාරත්න මහතා:- ඕවා කළේ සහාරාන්ලාද?

වෙදගෙදර මහතා:- ඒවා හැමෝම කළා.

ජයම්පති වික්‍රමරත්න මහතා:- හිස්බුල්ලාගේ ව්‍යාපෘතියක්ද?

වෙදගෙදර මහතා:- එහෙ ඉන්නෙ හිස්බුල්ලා විතරයි.

නලින්ද ජයතිස්ස මහතා:- ආමි මොහිදීන් ගැන දන්නවාද?

වෙදරගෙදර මහතා:- ඔව්. එයා නම් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වුණා. එයා ආමි එකේ තොරතුරුකරුවෙක්. මැතිවරණ ගැටුම්වලදීත් ඔහුගේ නම එළියට ආවා. ඔහු හිටියේ ශිබ්ලි ෆාරුක් කියන පළාත් සභා මන්ත්‍රීවරයා ළඟයි.

සරත් ෆොන්සේකා මහතා:- ශිබ්ලි ෆාරුක් ප්‍රචන්ඩ ක්‍රියාවලට සම්බන්ධ වුණාද?

වෙදගෙදර මහතා:- නැහැ. එහෙම පැමිණිලි නැහැ.

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top