Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
766
Views

කිතුනුවන්ගේ ජීවිතයේ සුබ දිනය ලෙස සලකන පසුගිය අප්‍රේල් 21 වැනිදාට උදාවී තිබුණු පාස්කු ඉරිදා දින කටුවපිටිය ප්‍රදේශයේ සියලුම කිතුනුවන්ගේ හිත් කීතු කර තම දරුවා, තම මව, තම පියා තමන්ගේ ඥාතීන් කුරිරු ලෙස අමු අමුවේ වනසා ලංකාවම කම්පනයට පත්කළා.

එදා ඒ සිදුවීමෙන් මගේ අම්මා මට නැති වුණා. මගේ මල්ලීට එයාගේ බිරියත් එකම දුවත් නැති වුණා. මගේ නංගීට ඇහැක් වගේ සිටි වසර 12ක ලොකු පුතාව නැති කළා. එකම පවුලේ හතර දෙනකු ඒ කාලකණ්ණි මුස්ලිම් අන්තවාදියාගේ බෝම්බයේ ගොදුරක් බවට පත්වුණා. 

තම මව, නෑනණ්ඩිය සහ තම නෑනාගේ දියණිය, නැඟණියගේ පුතා සදහටම වෙන්වී යෑමේ වියෝවෙන් තැවෙන 44ක්වූ ඩබ්ලිව්.ඒ. ශාමලී මහත්මිය තම ඇස්දෙකෙන් දුටු සිදුවීම ‘මව්බිම’ට මෙලෙස විස්තර කළාය.

මේ වන විට අපේ ඇස්වලින් එළියට පනින්නේ කඳුළු නෙවෙයි. අපගේ සිරුර රත්කරමින් නැඟෙන වේදනාව තමයි කඳුළු විධියට පතිත වෙන්නේ. ඒ තරමටම අපි එදා සිට මේ දක්වා මැරි මැරී උපදිනවා. එලෙස උපදින හැම වාරයකදීම අපේ නැතිවී ගිය ඥාතීන් මැවි මැවී පෙනෙනවා. 

තවමත් හිත හදාගන්න බැරිව පිස්සුවෙන් වගේ ජීවත් වන ජනක හිමාර වන මගේ මල්ලීට දුවකුයි පුතකු තමයි හිටියේ. එයා යුද හමුදාවේ සේවය කර දැනට මාස කීපයකට ඉහතදී විශ්‍රාම අරන් ඉන්නේ. දරුවන් දෙන්නයි තම බිරියයි එක්ක එකට ඉඳිමින් හොඳ ජීවිතයක් ගොඩනඟාගන්න ඕනේ කියා සිතමින්. ඒත් ඒ දේ ඉටුකරගන්න එයාට වාසනාව තිබුණේ නැහැ. දරුවෝ දෙන්නයි මල්ලීයි නෑනයි අපේ අම්මයි තාත්තයි එකටමයි අපේ මහගෙදර වන නොම්බර 545/1 නුගවැල පාර කටුවපිටිය, මීගමුව යන ලිපිනයේ තමයි පදිංචිව සිටියේ.

පසුගිය 21වන පාස්කු ඉරිදා වන තුරුම ඒ ගෙදර එකට විසූ ඇන්ටනී යන අපේ පියා සමඟ පිරිමි තුනයි ගැහැනු තුන්දෙනා අතරින් අම්මා ඇතුළු ගැහැනු තුන්දෙනාම මෙලොව හැරදා ගියා. ඔවුන් අපිවත් අපේ පියා සහ මල්ලීවත් පුතාවත් හැරදා ගොස් හමාරයි. 

මේ අය මැරෙන්න හිතාගෙන පල්ලියට ගියානම් අපිට දුකක් නැහැ. මගේ අම්මා පල්ලියට සහ කිතු දහමට ඉතා ළැදි අපිවත් පල්ලිවලට ගෙනියන්න උනන්දු වන අම්මා කෙනෙක්. ඇය ජීවත් වුණේ කටුවපිටිය පල්ලියට පිටිපස්සට වෙන්න හුණුපිටිය කියන ගමේ. අම්මා 60 වන වියේ පසුවූ එතල් අයිරාංගනී. අම්මා සමඟින්ම සමුගෙන ගිය නෑනණ්ඩිය වන 41 වන වියේ පසුවූ නිල්මිණි රේණුකා සහ ඇගේ දියණිය වූ මීගමුව සාන්ත ජෝශප් විදුහලේ අටවන වසරේ ඉගෙනුම ලබන ‍ෙදාළොස් වන වියේ පසුවන නෙත්මි තරුෂිකා. ඒ අයට මඳක් එහාට වෙන්න සිටි ඥාති සොහොයුරා වූ වයස 12ක් වන තම පාසලේම ඉගෙනුම ලැබූ ජනිත විදුෂාන්ද ඒ මොහොතේ පල්ලිය තුළදීම ඒ අය සමඟින්ම අවසන් සුසුම් හෙළුවා.

 

මියගිය නෙත්මි තරුෂිකාට එක් අයියා කෙනෙක් පමණයි තමන්ගේම සහෝදරයකුට ඉන්නේ. ඔහුත් කටුවපිටිය පල්ලියේ පූජා සමිතියේ සහාය වන දරුවන් අතර එක්දරුවෙක්. ඔහු නමින් ජනිත පියුමාල්. 

 

සෙනසුරාදා රාත්‍රියේ අම්මා මටත් මගේ නංගිලා දෙන්නාටත් දුරකථන ඇමතුමක් දීලා ඉරිදා පල්ලියට යන්න අනිවාර්යයෙන්ම එන්න කියා කිව්වා. මම සතියේ දිනවල පල්ලියට යන කෙනෙක් නෙවෙයි. නිතර නිතර අම්මා වගේ පල්ලියට යන කෙනකුත් නෙවෙයි. මම පල්ලියට යන්නේ ඉතා විශේෂ දිනයන්වලදී පමණයි. එය මා ගැන හොඳටම දන්නවා.

 

ඒ නිසා අම්මා මට පැවසුවා ඔයාලා එන්න ඕනෙමයි කියා. මම කිව්වා මමයි දුවයි එන්නම් හැබැයි මහත්තයට එන්න විධියක් නැහැ. එයාට කැරකිල්ල වගේ හැදිලා නිදිමයි වැඩේ කියලා.

 

අම්මා එවිට කිව්වා මම තාත්තාව එවන්නම් ඔයා තාත්තත් එක්ක එන්න කියා. හැමදාම අපේ තාත්තාගේ ඩියුටිය තමයි අපේ දරුවන්ව එහා මෙහා ගෙන යන එන එක. එයා ඒක හරි ආසාවෙන් කරන්නේ. අපේ තාත්තාත් මම වගේමයි පල්ලියට යන්න හරි අකැමැතියි.

 

පසුව නැවත සැරයක් අම්මා අපිට කිව්වා ඔයාලා එන්නම ඕනේ එදාට ක්‍රිස්තියානිය අලුත් කරගන්න ඕනෙ නිසා ඉටිපන්දම් පත්තු කර ක්‍රිස්තියානිය අලුත් කරගන්න එන්නම කියා. මම ඔයාලටත් බංකුවේ ඉඩ අල්ලාගෙන ඉන්නම් කියා. මගේ අම්මා එතරම් බර කර කියන්න ඇත්තේ තම ලොකු දුවගේ ඉදිරිපිටදීම මෙලොව හැර යන දසුන දකින්න සලස්වන්න හිතාගෙන නැතිව වෙන්න ඇති. ඒත් සිදුවුණේ එලෙසමයි.

 

මමත් දුවත් අක්කරපනහ පාරෙන් යන විට එම පාර හරහා ඇති කරන්ට් කම්බිවල කපුටෙක් වැදිලා විශාල ගින්නක් අරගන්නවා. ඒ නිසා අපිත් තවත් කීපදෙනෙක් එතැනින් යෑමට නොහැකිව මඳක් නැවතී සිට තමයි ගියේ. සමහර විට එලෙස නොවුණා නම් මමයි දුවයි වෙලාවට ගිහින් අම්මලා ගාව ඉඳගන්නවා. එහෙම වුණානම් අපි දෙන්නටත් ඒ ටිකම සිදුවෙනවා. දුවට එහෙම වෙන්නේ නැතිව මටත් ඒ ටික සිදුවූවානම් හොඳයි කියා දැන් හිතෙනවා. ඒ තරමටම අපිට ඒ දුක විඳදරාගන්න තවමත් බැහැ. අපි දෙන්නා ප්‍රමාද වෙලා පල්ලියට යනකොට ඉටිපන්දම් පත්තු කර ක්‍රිස්තියානිය අලුත් කර අවසානයි.

 

ඒ නිසා අපි දෙන්නම අම්මට පේන දුරින් පල්ලියේ ‍ෙදාර කෙළින්ම හිටගත්තා. අම්මා අපිව දුටුවා. අම්මා හරි සන්තෝෂයෙන් එයාගේ කණ්ණාඩිය උස්ස උස්සා බලනවා මට මැවි මැවී පේනවා. පසුව අම්මා අත්දෙක බැඳගෙන වෙනදාට වැඩිය උනන්දුවකින් පූජාවට සවන් දුන්නා වගේ මට දැනුණා. මගේ දුව අර බලන්න අම්මේ ආච්චි අම්මා හරි ආඩම්බරයෙන් අද පූජාවේ ඉන්න හැටි කියා මට පෙන්නුවා.

 

ඒ සමඟම මඳ වේලාවකින් ගිහි ස්තුති කතාවත් ආරම්භ වූවා. එම කතාව වැඩිවෙලා කරන්න ලැබුණෙ නෑ. එක පාරට දඩෝං ගාලා කනට අමිහිරි හඬක් නිකුත් වූවා. අහසේ කුරුල්ලන් කපුටන් කෑගහන්න පටන් ගත්තා. මම එක පාරටම ඇස් දෙක වහගෙන දුවව බදාගත්තා. යළිත් ඇස් ඇර බලන විට ඒ එක්කම මහ මූසල දුමාරයක් පල්ලියෙන් එළියට ආවා. මඳකට මුළු පල්ලියම නිහඬ වුණා.

 

අපේ අම්මලා ඉඳගෙන සිටියේ පල්ලියේ ඉදිරිපස සිට තුන්වැනි බංකුවේ. අනේ මම පල්ලිය දිහා බලනවිට අම්මලා හිඳගෙන සිටි තැන තිබූ පල්ලියේ ජනේලය නැහැ. පල්ලිය ඇතුළේ එකම මරළතෝනියයි. ඒ එක්කම මට තුරුල්වෙලා සිටි මගේ දුව අම්මේ අපේ ආච්චි අම්මා කියලා ඒ පැත්තට දිව්වා.

 

ඒ මෙහොත වනවිටත් පල්ලියේ වහලේ උළුකැට එක දෙක වැටෙනවා. පසුව බලනකොට අම්මා බිම වැටිලා අත දිගහැර ගෙන ලේ විලක් මැද නිදාගෙන වගේ හිටියා. නෑනයි එයාගෙ දුවයි එක ගොඩේ වැටිලා හිටියා. එතැනම තවත් අයගේ තුවාල ඇති සිරුරු ගොඩ ගැහිලා තිබුණා. පල්ලියට දුවගෙන එන අය වැටිලා හිටපු අය ඔසවාගෙන දුවනවා. ඒ අය අපේ නෑනාවත් දෝණිවත් ඔසවාගෙන අරන් ගියා. මමත් සුන් බුන් සහ වීදුරු, උළු කෑලි මැද්දෙන් අම්මා ගාවට කිට්ටු කරලා බැලුවා. 

 

ඔසවන්න හැදුවා. බලනකොට අනේ අපේ අම්මාගේ ඔළුවෙ කෑල්ලක් ගැලවිලා ගිහිල්ලා. මට තේරුණා වැඩක් නෑ අම්මා මැරිලයි කියා. පසුව මම ඒ අතරතුර නංගීගේ දරුවෝ දෙන්නාවත් හෙව්වා. බැලුවා. ඒ ගොල්ලන්ව දැක්කේ නැහැ. මගේ දුවගේ කන ඇහීම අඩුවෙලා වගේ කියලා කිව්වා. මට මෙලෝ සිහියක් තිබුණේ නෑ. පිස්සුවෙන් වගේ විලාප දෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේම නැහැ. අපිට මේ විපත කළ උන්ට සාප වෙන්න ඕනේ කියා මම එතැනදීත් අද වගේම මහ හයියෙන් කෑගැසුවා. ඉන්පසු අපේ මල්ලී පල්ලියට දුවගෙන ඇවිත් දෝණිවයි නෑනාවයි හොයන්න පටන් ගත්තා. එවිට මම කිව්වා එයාලව රෝහලට ගෙන ගියා කියලා. අපි රෝහල වෙත දුවගෙන යන්න යන විට නෑනාවත් පල්ලියේ තියලා ගිහිල්ලා තිබුණා දැක්කා. දෝණිව පමණක් ඒ අය අරගෙන ගිහින්, එහෙම නෑනාව තියලා ගොස් ඇත්තේ නෑනත් දිවියෙන් සමුගෙන නිසා වෙන්න ඇති. රෝහල වෙත ගියාම එහි සිටි අය කිව්වා දෝණිත් මියගියා කියලා. 

 

මෙම අවස්ථාවට මියගිය නිල්මිණි රේණුකාගේ ස්වාමිපුරුෂයා වූ විශ්‍රාමික යුද හමුදා සෙබළ ජනක හිමාරව සම්බන්ධ කර ගැනීමට කෙතරම් වෙරදැරුවත් තම වේදනාව ගැන කරුණු විමසීමෙන් මැරි මැරී ඉපදෙන බැවින් ඉල්ලීමට ඉඩ නොදී අපට මඟහරිමින් තම මව, දියණිය සහ බිරියගේ වියෝව ගැන තවමත් දුක්වෙමින් ඡායාරූපයකටවත් පෙනී නොසිට මඟහැරියේය. ඔහු සිටින්නේ තම දෝණිව කෙලෙස හෝ ලැබේවි කියන මවාගත් විශ්වාසයෙන්ය. පියකු ලෙස එය ඉතා සාධාරණ යැයි ඔහුගේ කතාව මඳකට හෝ සවන්දුන් කෙනකුට වැටහෙනු නියතය. 

 

මියගිය මේ අය ඇති හැකි අය නෙවෙති. එහෙත් ඔවුන්ට මුදලට වඩා තවමත් ඉල්ලා සිටින්නේ මියගිය තමන්ගේ ඥාතීන්ම පමණකි. 

 

සීදුවේ - නිශ්ශංක

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top