Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
1,241
Views
රූපවාහිනියෙන් ඔබේ  ආලින්දයට පැමිණි ඇය කටකාරය. කෙළිලොල්ය. විටෙක දඟකාරය. ඇඳුමෙන් පැළඳුමෙන් කතාබහෙන් කට පුරවාගත් ලෙංගතු සිනහවත් සමග මතකයේ රැඳුනු නිරෝෂා පෙරේරාව හඳුන්වා දීමට තවත් කරුණු අවැසිද?

නිවේදිකාවක් ලෙසින් ඇයව හඳුනාගෙන සිටියත් නිරෝෂා අද වනවිට එම වෘත්තියට අමතරව මනස සුවපත් කරන මනෝවිද්‍යා උපදේෂිකාවකි. එපමණක් නොවේ ඉන්දියාවේදී ‘යෝග ශිරෝමනි’ පදවියෙන්ද පිදුම් ලබා ඇති දක්ෂතා රැසකින් පරිපූර්ණ යුවතියකි. මා ඇය මුණගැසුණේ ලස්සනට තරුණව සිටීමේ රහස ලබාගැනීමටය. 

ඇත්තටම නිරෝෂා ලස්සනට ඉන්න මොනවද කරන්නේ?

මොකුත් විශේෂයෙන් කරන්නෑ. සතුටින් ඉන්න එක තමයි මම හිතන්නේ. මගේ නිරෝගිකමේ රහස ඔබ ඔය කියනා ලස්සනත් මා තුලින් මතුවී ඇත්තේ එම නිසයි.

හැමදාම සතුටින් ඉන්න පුළුවන්ද?

ඇයි බැරි. අපි හැම වෙලාවේම අපේ සතුට තීරණය කර තියෙන්නේ වෙන අය මතට. තමන්ව සතුටින් තබාගැනීමේ වගකීම පැවරෙන්නේ තමන්ටම. අරයා මාව සතුටින් තියයි. මෙයා මාව හිත නොරිදවයි කියලා හිතාගෙන ඉන්න අයට විරුද්ධව ලැබෙන ප්‍රතිචාරයන්ට ක්ෂණිකව මුහුණ දෙන්න බැරි වෙනවා. ක්ෂණිකව අපි කලබල වෙනවා. කඩා වැටෙනවා. හඬා වැලපෙනවා. දුක්වෙනවා. අපිත් දන්නෙම නැතුව අපේ සතුට ගිලිහිලා ගිහින්.

හිත සතුටින් තියා ගන්න ඔබ  මොකද කරන්නේ?

කා මතවත් යැපෙන්නේ නැතුව ඉන්න උත්සාහ ගැනීමයි ප්‍රධානම දේ. ඊට අමතරව පුළුවන් හැම වෙලාවකම මෛත්‍රී භාවනා වඩලා සියලූ සත්වයන්ට මෙත් වැඞීම මගේ ජීවිතයේ කොටසක්. හිත් සුවපත් කරන්න පුළුවන් දිව්‍ය ඖෂධයක් මෛත්‍රී භාවනාව. අනිත් දේ තමයි සම්මා දිට්ඨියෙන් ජීවිතය දෙස බලන්න පුරුදු වෙලා ඉන්න එක. නිවැරදි දැක්මක් අපි හැමෝටම තිබිය යුතුයි. එවිට  ජීවිතය  හරිම සරලයි. ඒ වගේම සැහැල්ලූයි.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

‘ලස්සන’ කියන වචනය තීරණය වන්නේ සාපේක්ෂවනේද? ඒ නිසා මම කැමතියි ‘රූපය’ කියා එය හඳුන්වන්න. අපේ රූපය කෙනෙකුට වැදගත් වෙන්නේ අපි ජීවත් වෙන විදිහ අනුව කියලයි මට හිතෙන්නේ. අපි සමාජයට වැඩදායි  විදිහට ජීවත් වෙනවා නම් අපි හැමෝටම ආදරය කරනවා නම් අපිව සුන්දර මතකයක් ලෙසින් අනිත් අයගේ මතකයේ රැඳෙයි. පුද්ගලයකුට අප දක්වන කැමැත්ත. අකමැත්ත මතත් අපගේ ජීවිත බොහෝ සෙයින් වෙනස් වෙයි.

කෙනෙකුට සුන්දර රූපයක් ලැබෙන්නේ පෙර පින නිසා ඒ වගේම ජානමය හේතූත් එයට බලපානවා.

 තරුණකම රැක ගැනීමේ රහස මොකක්ද?

මා හිතන්නේ එය පෙර පිනක්. එහෙම නැතුව තත්ත්පරයක් තත්ත්පරයක් ගානේ වයසට යන මේ හම ඇදලා බැඳලා තියා ගන්න මම මොකුත් කරන් නෑ. අපිට එහෙම කරන්නත් බෑ. පොඞ්ඩක් හිතන්න බිලිඳෙකුව උපන් අපේ හම, ළමා අවධිය වෙනකොට පෙනුම  වෙනස්. නව යොවුන් විය පහුවෙලා තරුණ වෙනකොට රූපයට ලැබෙන්නේ තවත් පෙනුමක්. මැදිවයසේදී මහළු වයසේදී තවත් පෙනුමක්. ඒ විතරක් නෙමෙයි. අපි නිරෝගීව ඉන්නකොට තියෙන පෙනුම නෙමෙයි රෝගී වුනාම තියෙන්නේ. මේ තරම් වෙනසක් අපේ හමේ සිද්ධ වෙනවා.

වර්තමානයේ බොහෝ දෙනෙක් රූපය ලස්සන කරන්න බොහෝ දේ කරනවා. ඔබ ඒවා අනුමත කරනවාද?

කොහෙත්ම නැහැ. කොච්චර දේවල් කළත් මිනිසුන්ගේ ලොකු වෙනසක් ඇතිවෙලා තියෙනවද?  නැහැ නේද?

සම පැහැපත් කෙනෙක් අරං මම මේවා බීලා හම පැහැපත් වුණේ කියලා සල්ලි දීලා කියලා මුදල් හම්බ කිරීමයි බොහෝ නිෂ්පාදනවලින් සිද්ධ වෙන්නේ. උපතින්ම කොණ්ඩෙ දිග කෙනෙකුට සල්ලි දීලා අරව මේවා ගාලා මේවා බීලා කොණ්ඩෙ ආවා කියලා. ප්‍රසිද්ධ කරනවා. පොඞ්ඩක් හොයලා බලන්න ඔය කියන දේවල් ඇත්තටම නිෂ්පාදන වෙනුවෙන් පෙනී සිටින්නේ, භාවිතා කරන්නේ වෙන කෙනෙක්. අනුකරණය කරන්න ගියොත් සිද්ධවෙන්නේ අපි නොදැනුවත්ම අපි අපිටම හානියක් කර ගැනීම. ඇයි අපි අපි නොවී වෙන  කෙනෙක් වීමට අපේක්ෂා  කරන්නේ. එය ගැඹුරින් අධ්‍යයනය කළොත් අනුකරණය මානසික ලෙඩක් හොඳේ.

සුන්දර සිරුරක් තියා ගන්න ඔබ මොකද කරන්නේ?

මා නියැලෙන වෘත්තිය අනුව ප්‍රියමනාප අයෙකු ලෙසින් සිටීම වැදගත්. ඒ නිසා මා නිතර වතුර ගොඩක් බොනවා. බඩගිනි වුණාම කනවා. තෝරලා බේරලා කන්නෑ. තියෙන දෙයක් කනවා. මා ඉන්දියාවේ යෝග ශිරෝමනියක් ලෙසින් පිදුම් ලබා සිටින්නේ ප්‍රසිද්ධියේ කතා නොකළත් දෛනිකව මම යෝග මෙඩිටේෂන් කරනවා. යෝග කියූ සැනින් බොහෝ දෙනකු හිතා සිටින්නේ ඇඟ හදා ගන්න දෙයක් කියලා. නැහැ. යෝග විෂයක් ලෙසට ගැඹුරින් අධ්‍යයනය කළ අයකු යෝගවලට ගොඩක් ඇලූම් කරන්නේ එය භාවනාවක් ලෙසින් මනස සුවපත් කරන නිසා. ශාරීරිකව මෙන්ම මානසික නිදහස් බවක් යෝගවලින් නිරතුරුවම ලැබෙනවා.

මේකප් දැම්මාම ලස්සන වහගන්න පුළුවන්ද?

ම්... මම මෙහෙම කියන්නද? ගොඩක් මේකප් දැම්මාම ගොඩක් කැතයි කියලා පේනවාද? නැද්ද?

මේකප් දැමීමෙන් සිද්ධ වෙන්නේ අපිට තියෙන සුන්දරත්වය අපි නොදැනුවත්ම ගිලිහී යන එක. මම මගේ ජීවිතයේ අකමැතිම දේ තමයි මේකප් දාන එක. වෘත්තියේදී අවශ්‍යතාව අනුව මේකප් කළත් රාජකාරිය නිමවූ වහාම ඒ සියල්ල ඉවත් කරනවා. සමට ආදරේ නම් බාහිර ආලේපන වලින් තොරව සම නිදහසේ තබා ගැනීමයි වැදගත් වන්නේ.

 
ඇත්තටම සුන්දරව ඉන්න මොනවද කරන්න  ඕනේ?

පිරිසිදු රෙදි කඩක කුණු ගෑවුනොත් අපි පිරිසිදු කාරක දාලා හොඳට හෝදලා ආයේ තිබුණ තත්ත්වයටම පත්කර ගන්නවා. අපිත් කරන්න  ඕනෑ අපේ හිත පිරිසිදුව තියා ගන්න හිත කිලූටු කරන ක්‍රෝධය, වෛරය, තරහව, තන්හාව, ආසාව පුළුවන් තරම් අපේ ජීවිත වලින් අයින් කරන එක. මේවා අයින් කරගෙන බලන්න අපි දන්නේම නැතුව ලස්සන වෙන හැටි.

 
බොහෝ දෙනෙක් ඔබව අනුකරණය කරන්න උත්සාහ කරනවා නේද?

ඔව්. මාව හම්බවෙලා සමහර ගැහැනු ළමයි කියනවා අනේ අක්කේ මට ඔයා වගේ වෙන්න  ඕනේ කියලා. මට ඔයා වගේ කෙට්ටු ඇඟක් තියා ගන්න  ඕනෑ කියලා. ඇයි ඔයා මං වගේ වෙන්න හදන්නේ. ඔයා ඔයාම වෙන්න උත්සාහ කරන්න. ඔර්ජිනල් කෙනෙක් විදිහට ඉපදීලා ඩුප්ලිකේට් කෙනෙක් විදිහට මියයන්න  ඕනේ නැහැ නේද?

 
ඔබ කියූ යථාර්ථය සැබෑවක්. අවසාන වශයෙන් කෙනෙකුට ලස්සනට ඉන්න ඔබට කියන්න පුළුවන් මොනවද?

 ඕනෑම කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. පිරිසිදුකම තමයි අංක එක. පිරිසිදුකම රැක ගන්න පුළුවන්නම් අපිට නිරෝගී ජීවිතයක් අත්පත් කර ගැනීම ගැටලූවක් වන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවෙම ස්වභාවික දේවල්වලට මුල්තැන දීලා වැඩ කරන්න පුළුවන්නම් ඒක හරිම වැදගත්. කෘත්‍රිම ආහාරපාන, බීම වර්ග ආදියෙන් මිදී ස්වභාවික දේවල් විශේෂයෙන්ම වතුර සහ තැඹිලි වතුරවලට බොන්න උෂ්ණාධික  ආහාර පාන ගැනීම ශරීරයට අහිතකර වන නිසා ඒවා අත්හරින්න.

පුළුවන් හැම වෙලවකම කාටහරි  උදව් කරන්න. සියලූ සත්වයන්ට මෛත්‍රී කරන්න. වරදින හැම වෙලාවකම නිවැරදි කර ගන්න උත්සාහ කරන්න. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. එහෙම ජීවත් වෙන්න  පුළුවන්නම්  ජීවිතය ඇත්තෙන්ම සුන්දරයි. ලස්සනයි.

 

අසුන්තා එදිරිසූරිය

ඡායාරූපය - මීෂා ගුණවර්ධන 

Image result for nirosha perera

20190613Nirosha-2
Image may contain: 1 person, standing and outdoor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top