Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
554
Views

රුසියාව තුළ 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීම සඳහා චීනයේ ‘හුවාවි‘ (Huawei) සමාගම රුසියානු MTS නම් විදුලි සංදේශ සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව ලබන වසර ඇතුළත සමාගම් 02 රුසියාව තුළ 5G ජාලය වර්ධනය කිරීමට කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සමාගම් මේ ගිවිසුමට එළඹුණේ චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින අතරවාරයේයි.

ඔවුන් අතර මෙම එකඟතාවය ඇති වූයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් අමෙරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල් චීනයේ ‘හුවාවි‘ සමාගමට බාධක පණවා තිබෙන පසුබිමකයි.

රුසියානු විදුලි සංදේශ සමාගම නිකුත් කර තිබූ නිවේදනයක් උපුටා දක්වමින් AFP පුවත් සේවය සඳහන් කළේ ගිවිසුම ප්‍රකාරව ඉදිරියේදී රුසියාව තුළ 5G තාක්ෂණය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන අතර 2019 – 2020 අතර කාලය තුළ 5G ජාලය ද වැඩිදියුණු කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරෙන බවයි.

මාස කිහිපයක සිට ජාත්‍යන්තර පරීක්ෂාවකට ලක්ව සිටින ‘හුවාවි‘ සමාගමට මෙම ගණුදෙනුව යම් අස්වැසිල්ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වෙළෙඳ ක්‍ෂේත්‍රයෙන් ඇරඹි චීන – අමෙරිකා බල අරගලයේ කේන්ද්‍රස්ථානයක් බවට අද ‘හුවාවි‘ සමාගම පත්ව ඇති අතර එම අරගලය තාක්ෂණික ක්‍ෂේත්‍රය තුළට ද පිවිස තිබෙනවා.

ලොව විශාලතම දුරකථන උපාංග නිෂ්පාදකයා ලෙස සැලකෙන ‘හුවාවි‘ සමාගම සිය 5G ජාලවලින් අවහිර කිරීමට පියවර ගන්නා මෙන් එක්සත් ජනපදය සිය මිත්‍ර රටවල උනන්දු කරමින් සිටිනවා.

සිය ‘‘රහසිගත නිරීක්ෂණ” සඳහා චීනය හුවාවී උපාංග යොදාගැනීමට ඉඩ තිබෙන බවයි අමෙරිකාවේ තර්කය වී ඇත්තේ.

නමුත් මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරන ‘හුවාවි‘ සමාගම පවසන්නේ, තමන් රජයෙන් පරිබාහිර ස්වාධීන සමාගමක් බවයි.

දැනටමත් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ඇතැම් රටවල් 5G ජංගම දුරකථන ජාල සඳහා උපාංග සැපයීම ‘හුවාවි‘ (Huawei) සමාගමෙන් ඉවත්කර තිබෙනවා.

‘‘හුවාවි‘ සමාගම එක්සත් ජනපදය සමග වෙළෙඳ ගණුදෙනුවල නියැලීමට අවශ්‍ය බලපත්‍ර නොමැති සමාගම් අතරින් එකක් ලෙස ලැයිස්තුගත කිරීමට ජනාධිපති ට්‍රම්ප් පාලනය ඉකුත් මාසයේ පියවර ගැනීමෙන් පසු, හුවාවී සමඟ ගණුදෙනු තහනම් කිරීම සඳහා වොෂින්ටනය ගන්නා උත්සාහය තවත් උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයා වන‘හුවාවි‘ දුරකතනවල ඇන්ඩ්‍රොයිඞ් (Android) තාක්ෂණයට අදාළ යම් යාවත්කාලීන කිරීම් නතර කිරීමට ගූගල් සමාගම පසුගිය දා පියවර ගනු ලැබුවා.

මේ හේතුවෙන් ‘හුවාවි‘ සමාගමේ නවතම ජංගම දුරකතන නිෂ්පාදනවල සමහර ගූගල් ඇප් වර්ග ඇතුළත් නොවෙනු ඇති.

නමුත්, දැනට විකිණී අවසන් සහ වෙළෙඳපොළෙහි පවතින ‘හුවාවි‘( Huawei) සහ Honor ජංගම දුරකතන සහ ටැබ්ලට් උපකරණවල ආරක්ෂණ ඇප් යාවත්කාලීන කිරීම් සහ විකිණීමෙන් පසු ලබාදෙන සේවාවන් දිගින් දිගටම සිදුකරන බව එහිදී (Huawei) සමාගම පවසනවා.

දැනට ‘හුවාවි‘ Huawei) ජංගම දුරකතන භාවිත කරන්නන්ට ආරක්ෂණ මෘදුකාංග ඔස්සේ ගූගල් ඇප් සහ Google Play (ගූගල් ප්ලේ) යාවත්කාලීන කිරීමේ හැකියාව පවතිනවා.

නමුත් මෙම වසර අවසානයේ ගූගල් සමාගම එළිදක්වන ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණයේ නවතම මාදිලිය ‘හුවාවි‘ (Huawei) උපාංගවලට නොලැබෙනු ඇති අතර යූ ටියුබ් සහ ‘ගූගල් මැප්ස්‘ වැනි ඇප් ඉදිරි කාලයෙහි ‘හුවාවි’ ( Huawei) උපාංගවල ක්‍රියාත්මක නොවෙනු ඇති.

මේ අතර, ‘හුවාවි‘ Huawei උපාංග සහ ඒවා අමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩකර ඇත්දැයි යන්න පිළිබඳ ඉතා සියුම් ලෙස පරීක්ෂා කර බලන බව ජපානයේ පැනසොනික් (Panasonic) සමාගම මැයි 23 වනදා ප්‍රකාශ කර තිබෙනවා.

හුවවි සමාගම වසරකට ඩොලර් බිලියන 67කට ආසන්න වටිනාකමකින් යුත් තාක්ෂණික උපාංග මිලට ගන්නා අතර, මින් පසු ඒ සියල්ල සිය සමාගම තුළම වැඩිදියුණු කර ගැනීමට ක්‍රියාකරන බව සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු රජය සමග පවතින ඝට්ටන සමථයකට පත් නොවුනහොත් ඉදිරියේ දී එළිදක්වන ‘හුවාවි‘ (Huawei) උපාංගවල ක්‍රියාකාරකම් අඩු වීමට ඉඩකඩ ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එසේ නොමැතිනම් ‘හුවාවි‘ (Huawei) ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඔවුන් විසින්ම නිර්මාණය කරන නව තාක්ෂණයක් හඳුන්වා දීමට ද ඉඩ තිබෙනවා.

හුවවි (Huawei) සහ ගූගල් සමාගම අතර ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යෑමට අදාළ බලපත්‍රය නිකුත් කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ සහ ආරක්ෂණ කාර්යාංශයට හැකියාව ඇති අතර එසේ නොමැතිනම් සියලූ වාරණ ඉවත් කර පෙර තිබූ තත්ත්වයට නැවත යෑමේ හැකියාව ද පවතිනවා.

කෙසේ වෙතත්, බටහිර වෙළෙඳපොළ තුළ ‘හුවාවි‘ (Huawei) සමාගමට කෙටි කාලීන දැඩි අලාභවලට මුහුණ පෑමට සිදු වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top