Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
1,055
Views
ඉන්දීය කාශ්මීරයේ දී අට හැවිදිරි දැරියක් වධහිංසා පමුණුවා, දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් අට දෙනාගෙන් හය දෙනෙකු වරදකරුවන් ලෙස විශේෂ අධිකරණයක් මගින් තීන්දු කරනු ලැබ ඇත.

ඉන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි දැරියගේ මළසිරුර 2018 ජනවාරි මස 'කතුවා' නගරය අසල කැලෑවක තිබී හමුවිය.

එහෙත් ඇය දූෂණය කර මරා දැමීම ප්‍රධාන පුවතක් බවට පත්වූයේ, ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හින්දු පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් සහ නීතිවේදීන් පිරිසක් විරෝධය පළකිරීමත් සමගය.

සැකකරුවන් සියලුදෙනා ඔවුන්ට එරෙහිව තිබූ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළහ.

සිදු වූයේ කුමක්ද?

2018 ජනවාරි මස වයස අවුරුදු අටක් වයසැති දැරියක් දින ගණනාවක් නිවසින් අතුරුදහන් වී සිටි අතර, සති තුනකට පමණ පසු බැඳ දමා තිබුණු ඇයගේ මළසිරුර කැලෑ ප්‍රදේශයක තිබී හමුවිය.

ප්‍රදේශයේ කෝවිලක දැරිය සඟවා තබා දින ගණනාවක් ඇයට මත් ද්‍රව්‍ය ලබා දීමෙන් සිහිනැති කර තිබෙන බව පරීක්ෂකයෝ පැවසූහ.

"දින ගණනාවක් ඇයව දූෂණය කර, වධහිංසා පමුණුවා අවසානයේ මරා දමා තිබුණා" යැයි චෝදනා පත්‍රයේ සඳහන් වී තිබිණි.

වරදකරුවන් කවුද?

චෝදනාවලින් නිදහස් කෙරුණ දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් එක් වරදකරුවෙකුගේ පුතෙකි. ආණ්ඩුවේ විශ්‍රාමික නිලධාරියෙක්, පොලිස් භටයන් හතර දෙනෙක් සහ බාල වයස්කාරයෙක් චූදිතයන් අතර සිටිති.

බාලවයස්කාර වරදකරුවන් සම්බන්ධයෙන් ඉන්දියාවේ ක්‍රියාත්මක වන පනතට අනුව එම තැනැත්තා විශේෂ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දුන් අතර, සඳුදා දින (ජුනි 10) තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ අධිකරණය තුළ සිටියේ චූදිතයන් හත් දෙනෙකු පමණි.

චූදිතයන් අතර සිටින ආණ්ඩුවේ විශ්‍රාමික නිලධාරියෙකු වන සංජී රාම් සහ පොලිස් නිලධාරී දීපක් කජුරියා මෙම අපරාධය පිටුපස සිටින "මහ මොලකරුවන්" වීම හේතුවෙන් ඔවුන්ට මරණ දඬුවම් ලබා දෙන ලෙස දැරියගේ මව ඉල්ලා සිටී.

අද (ජුනි 10) සවස් කාලයේ දී වැරදිකරුවන්ට හිමි දඬුවම් අධිකරණය ප්‍රකාශයට පත් කළේය.

මෙම නඩුව "පරිවේෂණ සාක්ෂි" මත පදනම් වීම හේතුවෙන් වැරදිකරුවන්ට අවම දඬුවම ලබා දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, සියලු වරදකරුවන් සිය පවුල් නඩත්තු කරන එකම මුදල් උපයන්නන් වීම වැනි කරුණු සැලකිල්ලට ගන්නා ලෙස ද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

මේ අතර, දැරියගේ මව බීබීසීයට පැවසුවේ, "මගේ දුවගේ මුහුණ මට තවමත් මැවිලා පේනවා. ඒ දුක කවදාවත් නැති වෙන්නේ නැහැ. එයාගේ වයසේ අනික් දරුවන් සෙල්ලම් කරනවා දකිනකොට මගේ හදවත රිදුම් දෙනවා" යනුවෙනි. තීන්දුව ප්‍රකාශ කරන දවසේ අධිකරණයට නොයා සිටීමට දැරියගේ පවුලේ අය තීරණය කර තිබිණි.

"මෙය ඇත්තටම එකට එක් වී ලබා ගත් ජයග්‍රණයක්. ආගම් භේද නැතුව මුළු රටම මේ අපරාධයට එරෙහිව සටන් වැදුණා" යැයි දැරියගේ පවුලේ අය නියෝජනය කරන නීතිඥවරයෙකු බීබීසී වෙත පැවසීය.

දැරියට සිදුව තිබූ අතිශය දරුණු තුවාල ගැන විස්තර ඇසීමෙන් බොහෝ ඉන්දියානුවෝ කම්පනයට පත් වූහ.

චූදිතයන්ට සහයෝගය දක්වමින් පැවැත්වුන රැස්වීමකට ඉන්දියාවේ පාලක හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ඇමතිවරුන් දෙදෙනකු ද සහභාගී වීම මහජනතාව කුපිත කිරීමක් විය.

සැකකරුවන් දැරිය දූෂණය කොට මරා දමා ඇත්තේ එම දැරිය අයත් ගෝත්‍රික ජනයා ඔවුන්ගේ වාසස්ථාන වලින් නෙරපා හැරීමේ අටියෙන් බව පරීක්ෂණ පැවැත්වෙන කාලයේ දී පොලිසිය පැවසීය.

ජම්මු සහ කාශ්මීර අධිකරණවලින් ඉවත් කර අදාළ නඩුව පංජාබ් ප්‍රාන්තයේ 'පතන්කොට්' (Pathankot) උසාවියක විභාග කළ යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිණි. එමෙන්ම, එය 2018 ජූලි නව වෙනිදා ආරම්භ කර අවසානය තෙක් දෛනික මට්ටමින් විභාගයට ගන්නා ලෙස ද නිර්දේශ කර තිබිණි.

බීබීසී සංදේශය
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top