Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 03
2,456
Views
කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජන කොටස් අතර ආගම්වාදී සිද්ධාන්ත මුල්කරගෙන ආරවුල් ගැටුම් හට ගැනීමට දීර්ඝ ඉතිහාසයක් ඇත්තේය.
මුස්ලිම් ආගමික මතවාදයන් හා න්‍යායන් හේතු සාධක කර ගනිමින් ගැටුම් හටගෙන ඇත්තේ 1980 වසරේ පමණ සිටය.


ඒ 1980 වසරේදී වහාබ්වාදය පැතිරයාමත් සමගය.


වහාබ්වාදීන් දැඩි ලෙස විශ්වාස කරනුයේ සුපිරිසිදු මුස්ලිම් ධර්මය අදහන්නේ තමන් යැයි කියාය.


වහාබ් කියන්නේ පිරිසිදු මුස්ලිම් ධර්මයටය එයට පිටින් ක්‍රියා කරන මුස්ලිම් ජාතිකයන් සිටින්නේ නම් ඔවුන් මිත්‍යා දෘෂ්ඨිකයෝය.


වහාබ්වාදීන්ගේ නියමයන්ට අනුව මියගිය ඇත්තන්ට පිං පෙත් පැමිණවීම සොහොන් කොත් තනා ඒවාට වැඳුම් පිදුම් කිරීම හා දන්දීම කිසිම තේරුමක් නොමැති දේවල්ය.
ඒවා පිරිසිදු මුස්ලිම් ආගමට හාත්පසින්ම විරුද්ධ ක්‍රියාවන් බව වහාබ්වාදී අදහස් දරන මුස්ලිම් ජාතිකයන්ගේ දැඩි විශ්වාසය වී පවතී.


වහාබ්වාදීන්ගේ න්‍යායන්ට මතවාදයන්ට පටහැනිව ක්‍රියාකරන මුස්ලිම් ජාතිකයන්ව එම අන්තවාදී අදහස් දරන අයගේ නිතර හිංසා පීඩාවලට ලක් කරනු ලබති. වහාබ්වාදය පැතිරයාමට මත්තෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවතියේ සාමකාමී වටපිටාවකි.


සාම්ප්‍රදායික මුස්ලිම් භක්තිකයෝ අන් මතවාදයන් දැරූ අයට පහර දීමට, හිංසා පීඩා කිරීමට හෝ ඔවුන් සමග ගැටුම් ඇති කර ගැනීමට ගොස් නොමැත.


මේ සාමකාමී වාතාවරණය කණ පිට හැරුණේ වහාබ්වාදීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතු කරගෙනය.


වහාබ්වාදය කාත්තන්කුඩිය ප්‍රදේශයේ හිස එසවීමත් සමගම ඒ ප්‍රදේශයේ එතෙක් කාලයක් පැවති සාමකාමී වාතාවරණය උඩුයටිකුරු කරමින් ප්‍රචණ්ඩත්වය කරා ක්‍රමයෙන් ඇදී යන්නට පටන්ගෙන ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය ද අවුල් කරමිනි.


වහාබ්වාදීන් ඔවුන්ගේ මුල්ම ගොදුරු බවට පත් කර ගත්තේ කාත්තන්කුඩියේ පදිංචිව සිටි මොහොමඩ් ෆාරුක් මවුලවිවරයාය.


ඒ මීට වසර 21 කට පමණ ඉහත දී ය.


මොහොමඩ් ෆාරුක් මවුලවිවරයා රට පුරා යමින් වහාබ්වාදයට විරුද්ධව මුස්ලිම් ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ පවත්වා ඇති අතර ඔහුට ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ වහාබ්වාදයට එරෙහිව නොබියව කටයුතු කිරීම නිසාය.


මොහොමඩ් ​ෆාරුක් මවුලවිවරයා වහාබ්වාදීන්ට මහත් හිසරදයක් වී ඇත.


මක්කම වන්දනාවේ යාමට ෆාරුක් මවුලවිවරයාට වීසා බලපත්‍රය ලබා නොදෙන තැනට වැඩ කර ඇත්තේ ද වහාබ්වාදීන්ගේ මැදිහත්වීමෙනි.


කාත්තන්කුඩිය ප්‍රදේශයේ දී අපට හමු වූ මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙක් හරිම අපූරු කතාවක් හෙළි කර සිටියේ ඔවුන්ගේ නම් හෝ ඡායාරූප පළ නොකරන ලෙස ඉල්ලීමක් කරමිනි. ඔවුන් එවැනි ඉල්ලීමක් කළේ වෙන කිසිවක් නිසා නොව අනවශ්‍ය කරදරවලට මුහුණදීමට සිදුවෙතැයි කියන බිය නිසාය.


2004 වසරේදී විතර කාත්තන්කුඩිය ප්‍රදේශයේ ෆයිල්වාන් නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. මෙහි නායකයා ලෙස කටයුතු කළේ අබ්දුල්ලා කියන පූජකවරයෙක්. ඔහු කල්මුණේ, මරඳමුණේ ප්‍රදේශයේ පදිංචි කෙනෙක්. කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් මෙම සංවිධානයට බැඳුණා. රටේ ඉන්න නම ගිය කෝටිපති ව්‍යාපාරිකයන් ගණනාවක් ද (ඔවුන්ගේ නම් කියයි) පසුව මේ සංවිධානයට සම්බන්ධ වුණ.


ඒ කෝටිපති ව්‍යෘපාරිකයන් ෆයිල්වාන් කියන සංවිධානයට විශාල වශයෙන් මුදල් අාධාර කරන්න පටන් ගත්තා. මේක ආගමික සංවිධානයක්. නීතිඥවරු වෛද්‍යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු බුද්ධිමතුන් පවා මේ සංවිධානයට සම්බන්ධවෙලා සිටියා.


කාත්තන්කුඩි මුහුදු මාවතේ ඉඩමක් මිලදී අරගෙන ඒ ඉඩමේ පල්ලියක් හැදුවා. ෆයිල්වාන් කියා පල්ලියට නම තිබ්බා. ෆයිල්වාන් සංවිධානයට සම්බන්ධ අය ඒ පල්ලියට අැවිත් වැඳුම් පිදුම් කරන්න පටන් ගත්තා. මුස්ලිම් ආගමේ අවසන් නායකයා ලෙස සැලකෙන්නේ මොහොමඩ් නබිනායක තුමා. එතුමා තමා අල්ලා දෙවියන්ගේ අවසන් දේව දූතයා. මක්කම ඉපදිලා හිටිය මොහොමඩ් නබි නායක තුමා මීට වසර 1500 කට විතර කලින් මියගියා. ඒක ෆයිල්වාන්වාදීන් විශ්වාස කළේ ඉස්ලාම් ආගමේ අවසන් නායකයා අබ්දුල්ලා කියා. ඔහුත් දේශනාවල දී කිව්වේ තමා අල්ලා දෙවියන්ගේ අවසන්​ දේව දූතයා කියා. ඒ නිසා තමා අබ්දුල්ලාට වැඳුම් පිදුම් කරන්න පටන් ගත්තේ.


අල්ලා දෙවියන්ගේ අවසන් දේව දූතයා ලෙස පෙනී සිටි අබ්දුල්ලා 2007 වසරේදී මියගොස් ඇත.


අල්ලා දෙවියන්ගේ අවසන් නායකයා මොහොමඩ් නබි නායක තුමා නොව අබ්දුල්ලා කියන පූජකවරයා බව විශ්වාස කළ අනුගාමිකයෝ ඔහුගේ සිරුර ලෝක අවසානය දක්වා සුරක්ෂිත කර තබා ගැනීමට තීරණය කළහ.


අබ්දුල්ලාගේ සිරුර සුරක්ෂිත කර තබාගෙන එයට වන්දනාමාන කිරීමට ඔහුගේ අනුගාමිකයන් පටන්ගෙන ඇත.


අල්ලා දෙවියන්ගේ අවසාන නායකයා මොහොමඩ් නබි නායක තුමා යැයි විශ්වාස කරන මුස්ලිම් ජාතිකයන් මේ වැඩේ රිස්සුවේ නැත.


මෙය කෙලවර වූයේ දෙපාර්ශ්වය අතර ගැටුමක් දක්වා දුරදිග යාමෙනි.


මේ ගැන අප හා වැඩිදුරටත් තොරතුරු හෙළි කර සිටි මුස්ලිම් ජාතිකයන් මෙසේද පැවසීය.


ෆයිල්වාන් පල්ලියේ ප්‍රධාන පූජකවරයා මියගියාට පස්සේ ඔහුගේ අනුගාමිකයන් එකතු වෙලා පල්ලිය ළඟ ලොකු කොන්ක්‍රීට් වළක් හැදුවා. ඒ කොන්ක්‍රීට් වළේ අබ්දුල්ලාගේ සිරුර තැන්පත් කළා. අබ්දුල්ලාගේ සිරුර මතට මී පැණි ලීටර් 110 ක් පමණ වත් කළා. එහෙම කළේ ලෝකයේ අන්තිම දවස වන තුරු ඔහුගේ සිරුර නරක් නොවී සුරක්ෂිත කර තබා ගන්නයි. මී පැණි වත්කළාට පස්සේ කොන්ක්‍රීට් වළට උඩින් ඝනකම් වීදුරුවක් සවි කළා. ඒ වීදුරුවෙන් සිරුර දැක බලා ගැනීමට පුළුවන්කම තිබුණා. ලංකාවේ ඉන්න ලොකු ලොකු කෝටිපතියන් තමා මේ වැ​ෙඩ්ට මුල් වුණේ.


ඊට පස්සේ ෆයිල්වාන් පල්ලියට සම්බන්ධ වෙලා හිටිය කට්ටිය ඔහුගේ සිරුරට වන්දනා මාන කරන්න පටන් ගත්තා. දවස් දෙක තුනකට වඩා වේ විදිහට වන්දනා මාන කරන්න ඉඩ ලැබුණේ නැහැ. අල්ලා දෙවියන්ගේ අවසන් දේව දූතයා නායකයා මොහොමඩ් නබි නායක තුමා යැයි විශ්වාස කරන මුස්ලිම් බැතිමතුන්ට මේ ගැන ආරංචි වුණා. හොඳටම කුපිත වෙලා හිටිය මුස්ලිම් ජාතිකයින් පිරිසක් රෑක ෆයිල්වාන් පල්ලියට කඩා වැදිලා එතැන හිටිය කට්ටියට ගහලා පන්නා දැම්මා. ඊට පස්සේ මොකද දන්නවාද කළේ අබ්දුල්ලාගේ සිරුර වළෙන් ගොඩ ගත්තා. ගොඩට ගත්ත සිරුර ඔසවාගෙන ගිහින් කාත්තන්කුඩි කුරිච්චි ප්‍රදේශයේ තියෙන නුරානියා කියන මුස්ලිම් සොහොන් පිට්ටනියට වළ දැම්මා.
මේ ප්‍රශ්නය කරගෙන දෙපාර්ශ්වය අතර ලොකු ගැටුමක් ඇති වුණා. කඩු වලින් කපා කොටා ගත්තා. සෑහෙන ගණනක් තුවාල වුණා. පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇවිත් ගැටුම මැඩපැවැත්තුවේ. දවස් දෙක තුනක් යන යනකම්ම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ යුද හමුදාව ආරක්ෂාවට යෙදෙව්වා. අබ්දුල්ලාගේ සිරුර වළ දමා තිබූ නුරානියා සොහොන් පට්ටනියට විතරක් හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් 100 කට වැඩි සංඛ්‍යාවක් ආරක්ෂාවට යොදවා සිටියා අපට මතකයි. අබ්දුල්ලාගේ අනුගාමිකයෝ කණ්ඩායමක් මිනී පිට්ටනියට කඩා වැදිලා අබ්දුල්ලාගේ සිරුර ගොඩ ගන්න හාරන්න පටන් ගත්තා. සිරුර ගොඩට අරගෙන අායෙත් ෆයිල්වාන් පල්ලියට අරගෙන ගිහින් මී පැණි ගල්වා සිරුර තැන්පත් කරන්න තමා කට්ටිය උත්සාහ කළේ. ඒත් ඒ වැඩේ කරන්න බැරිව ගියා. පොලිසිය හමුදාව ඇවිත් සිරුර ගොඩ ගන්න එක නවතා දැමුවා. මිනි පිට්ටනියට ආරක්ෂාව ද යෙදෙව්වා.


ආගමික කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක් නිසා මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පොලිසිය අධිකරණයේ පිහිට පතා ඇත්තේ සොහොන් භූමි ආඥා පනත යටතේය.
අධිකරණයේ තීන්දුව වී ඇත්තේ අබ්දුල්ලාගේ සිරුර ගොඩගෙන මී පැණිවල ගල්වා පල්ලියේ තැන්පත් කිරීමට අවසර ලබා දිය නොහැකි බවය.


​ෙපාලිසිය මේ ප්‍රශ්නය විසඳා ගත්තේ අධිකරණයේ පිහිට පතාය.



මෙම මුස්ලිම් පූජකයා නබි නායක තුමාගෙන් පසු බිහි වූ අවසන් දේව දූතයා කියා පිරිසක් විශ්වාස කළා. ඒ මතයට විරුද්ධ තවත් පිරිසක් ඇවිත් සිරුර ගොඩගෙන වෙනත් තැනක වැළලුවා.


අධිකරණ තීන්දුවෙන් පස්සේ ෆයිල්වාන් නිකායේ අනුගාමිකයෝ අබ්දුල්ලාගේ සිහිවටනයක් පල්ලියේ හැදුවා. ඊට පස්සේ ඔවුන් ඒ සිහිවටනයට වන්දනාමාන කරන්න පටන්ගත්තා. ඔවුන් එහෙම කළේ අල්ලා දෙවියන්ගේ අවසන් දේව දූතයා අබ්දුල්ලා නබි තුමා කියා විශ්වාස කරලයි.


ෆයිල්වාන් නිකායේ පූජක අබ්දුල්ලා ජීවත්ව සිටියදී ඔවුන්ගේ අනුගාමිකයින්ට දේශනා කළේ මුස්ලිම් ජාතිකයන් පල්ලි වලට ගිහින් යාච්ඤා කරන්න ඕනෑ නැහැ. මක්කම යන්නම ඕනෑත් නැහැ. භාවනා කළාම හොඳටම ඇති කියා. නමුත් අබ්දුල්ලා මියගියාට පස්සේ ඔවුන්ගේ අනුගාමිකයෝ ඔහුගේ සිරුරට මී පැණි ගල්වා ආරක්ෂා කර ගෙන වන්දනා මාන කරන්න පටන් ගත්තේ ඔහු අල්ලා ​ෙදවියන්ගේ අවසන් දේව දූතයා කියා තිබෙන විශ්වාසය නිසයි.


මේ නිකායට දුප්පත් මිනිස්සු හුඟ දෙනෙක් බැඳුණා. ඒ ඔවුන්ට මුදල් ආධාර අත දිග හැර ලබා දෙන නිසා සහ බඩුමුට්ටු දෙන නිසයි. තෑගි බෝග දීලා තමා හුඟ දෙනෙක් මේ නිකායට බඳවා ගත්තේ.


කාත්තන්කුඩියෙ ඩීන් පාරෙ තවත් පල්ලියක් තිබී ඇති අතර එය බදුරියා මස්ජිඩ් පල්ලිය ලෙස හැඳින්වේ.


බදුරියා මස්ජිඩ් නිකායේ නායකයා රවුෆ් මවුලාවිය.


මෙම නිකායේ අය විශ්වාස කරන්නේ අල්ලා දෙවියන් සෑම තැනකම ජීවත් වෙනවා කියාය.


අල්ලා දෙවියන්ට සිරුරක් තිබෙන බවද ඔවුන් විශ්වාස කරන අතර සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතුන් විශ්වාස කරන්නේ අල්ලා දෙවියන්ට සිරුරක් නොමැති බවත් ඔහු උඩ සිට ලෝකය පාලනය කරන බවත්ය.


බදුරියා මස්ජිඩ් නිකායට ද ලක්ෂ ගණනක් මුදල් ආධාර එම නිකායට සම්බන්ධ ධනපතින්ගෙන් ලැබෙන බව අප දැන ගත්තේ කාත්තන්කුඩියේ මුස්ලිම් ජාතිකයින්ගෙනි.
මුස්ලිම් කාන්තාවන් රවුෆ් මවුලවිට වඳින බවත් අපට දැනගැනීමට ලැබුණි.


මුස්ලිම් ආගමේ ඉගැන්වීම් අනුව මනුස්සයන්ට වඳින්න කියා උගන්වා නැහැ. ඒත් ගෞරව කරන්න කියා උගන්වා තිබෙනවා. දෙවියන්ට විතරයි වඳින්නේ. කාන්තාවන්ට විතරක් නොවේ කිසිම කෙනෙකුට වඳින්න එපා කියා ඉස්ලාම් ධර්මයේ කියා තිබෙනවා. නමුත් රවුෆ් මවුලවි පිරිමි හා කාන්තාවන්ගේ වැඳුම් ලබාගන්නවා. මේ වැඩේට ඔහුත් එක්ක රටේ බහුතරයක් මුස්ලිම් ජනතාවට තරහයි.


මේ වෙන කොට ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුව සිටි සහරාන් (මරාගෙන මැරුණු බෝම්බකරු) එම සංවිධානයෙන් ඉවත් කර තිබුණා. ඊට පස්සේ ඔහු ජාතික තවුහිත් ජමාත් සංවිධානයට එක්වෙලා හිටියේ. මේ සංවිධානයේ මවුලවි කෙනෙක් විදිහට සහරාන් තමන්ගේ න්‍යායන්ට විරුද්ධව කටයුතු කරන මුස්ලිම්වරුන් වුවත් මරා දැමීම පාපයක් නොවන බවට ඒ වෙනකොටත් ඔහු දේශනා කරමින් සිටියා. මියගිය ඇත්තන් සිහි කිරීම ඔවුන්ට පින්දී,ම දාන මාන දෙන මුස්ලිම් ජාතිකයෝ සහරාන් තද බල ලෙස විවේචනය කළා.


අපිත් එක්ක එහෙම කිව්වේද සහරාන් ගැන තොරතුරු දන්නා මුස්ලිම් ජාතිකයින් කිහිප දෙනෙකි.


සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් කණ්ඩායමක් හා රවුෆ් මවුලවිගේ පිරිසක් සමග ගැටුමක් 2011 වසරේදී ඇති කරගෙන ඇත.


දෙපිරිස අතර ඇති වූ මෙම ආරවුල සමථයකට පත් කිරීමට පොලිස් කණ්ඩායම් ද ගොස් තිබේ.


ගැටුම ගැන සොයා බැලීමට ගිය පොලිස් කණ්ඩායම් අතර මඩකළපුව කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් කණ්ඩායමක් ද සිට ඇත.


මේකට පොලිසිය මැදිහත් වෙන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නය ආගමික නිකායන් දෙකක් අතර ගැටුමක්. ඇයි පොලිසිය ආවේ යැයි කියමින් පොලිස් නිලධාරීන්ට සහරාන් බැන වැදීමට පටන් ගෙන තිබේ.


පොලිස් නිලධාරීන් සහරාන්ට කට පියාගෙන ඉන්නා ලෙස අවස්ථා කිහිපයකදීම කියා ඇතත් ඒ ගැන තුට්ටුවකටත් මායිම් නොකර පොලිස් නිලධාරීන්ට බැණ වැදීම නතර කර නොමැත.


ඉවසීමේ සීමාව ඉක්ම ගිය මඩකළපුව කොට්ඨාස බුද්ධි අංශයේ එවකට රාජකාරි කළ මුස්ලිම් ජාතික පොලිස් කොස්තාපල්වරයෙකු වැරෙන් කනට ගැසූ පහරකින් සහරාන් කැරකී ගොස් බිම ඇද වැටී ඇත. මුස්ලිම් ජාතික පොලිස් නිලධාරියා එල්ල කළ කනේ පහරෙන් පසු සහරාන් ආයෙත් පොලිස් නිලධාරීන් එක්ක එකට එක කියමින් බැණ වැදීමට නම් ගොස් නොමැත.


‘අනේ සර් ගහන්න එපා මට සමාවෙන්න’ යැයි කියමින් සහරාන් එතැනින් මාරු වී ගොස් තිබේ.


කාත්තන්කුඩි හා මඩකළපුව යන ප්‍ර​ෙද්ශවල ක්‍රියාත්මක වූ අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය ගැන ඉහළ නිලධාරින් මඩකළපුව කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් බුද්ධි තොරතුරු වාර්තා ගණනාවක්ව සපයා ඇත.






මඩකළපුව කොට්ඨාස බුද්ධි අංශයේ එවකට ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රහීම්, පොලිස් සැරයන්වරුන් වන සුගත් (63959), බදුර්දීන්, පොලිස් ​ෙකාස්තාපල්වරුන් වන මොහොමඩ් රාජා (61217), මජීඩ් (80044), ප්‍රියංකර (66487), ෂාරුක් (64764) මහින්ද සහ පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු එම බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් අන්තවාදී මුස්ලිම් සංවිධාන ගැන තොරතුරු සෙවීමට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබූහ.


මඩකළපුව කොට්ඨාස බුද්ධි අංශයේ එවකට රාජකාරි කළ මුස්ලිම් ජාතික පොලිස් නිලධාරීන්ගෙන් ඉටු වූ සේවාවද සුළු පටු නොවේ.


ඒ මක්නිසාද කියනවා නම් මුස්ලිම් පොලිස් නිලධාරින්ට මුස්ලිම් ප්‍රජාව හරහා ඕනෑම තොරතුරක් කල් තියා දැන ගැනීමට හැකියාව ඇති නිසාය.


මඩකළපුව කොට්ඨාස බුද්ධි අංශයේ එදා රාජකාරි කළ නිලධාරීන් සියලු දෙනාම මීට වසර කිහිපයකට ඉහත දී සීසීකඩ මාරු කර යවා ඇති බව කියන්නේ කිසිදු වග විභාගයකින් තොරව බව කියති.


කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි රවුෆ් මවුලවිගේ පල්ලියේ 2017 වසරේදී සමුළුවක් පවත්වා ඇත.


එදා වෙච්ච සිද්ධියක් ගැන අප සමග තොරතුරු පවසා සිටියේ කාත්තන්කුඩියේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි.


රවුෆ් මවුලවිගේ පල්ලියේ ලොකු සමුළුවක් 2017 වසරේ පැවැත්වුවා. මමත් ඒ සමුළුවට ගියා. ඒ වෙලාවේ තැඹිළි පාට ටී ෂර්ට් ඇද ගත්ත කොල්ලෝ ගොඩක් පල්ලිය ළඟට ආවා. සහරාන් තමා නායකත්වය දුන්නේ. පල්ලිය ඉස්සරහ රතිඤ්ඤා පත්තු කරමින් කලහකාරී ලෙස උන් හැසිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සහරාන්ගේ කීමට ඌත් එක්ක තැඹිලි පාට ටී ෂර්ට් ඇදගෙන ආව කොල්ලෝ කඩු වලින් සමුළුවට ඇවිත් හිටිය රවුෆ් මවුලවිගේ අයව කපන්න පටන් ගත්තා. හුඟ දෙනෙකුට තුවාල සිදුවෙලා රෝහල් ගත කළා.


මේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ඒ මොහොතේ සහරාන්ගේ ගෝලයෝ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.


අධිකරණයට ඉදිරිපත් කළ 11 දෙනා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූ අතර ඔවුන්ට ඇප ලැබී තිබුණේ මාස හයකට පමණ කාලයකට පසුවය.


මෙම ගැටුම සම්බන්ධයෙන් සහරාන් අල්ලා ගැනීමට පොලිසියට නොහැකි වී තිබුණේ ඔහු පලා යාම නිසාය.


සහරාන් ගැන ද අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබිණි.


අධිකරණය මගින් 2017 වසරේ වරෙන්තු නිකුත් කළ මො​හොමඩ් හෂීම් මොහොමඩ් සහරාන් කොටු කර ගැනීමට පොලිසියට නොහැකි විය.


පසුගිය පාස්කු ඉරිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි නසා ගන්නා තෙක්ම සහරාන් සිටියේ සැඟවීය.


සැඟවී සිටි කාලය තුළ ඔහු රටේ තැනින් තැන යමින් මුස්ලිම් මූලධර්මවාදී න්‍යායන් ගැන දේශන පවත්වා ඇත.


සහරාන් එක්ක කාත්තන්කුඩි අරාබි විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙනුම ලබා ඇති අයෙක් සමග ද කතා බහ කිරීමට අවස්ථාව ලැබුණේ අපේ මඟ පෙන්වන්නාගේ උදව් උපකාර නිසාය.


සමකාලීන පාසල් මිතුරා සහරාන් ගැන මතකය අවදි කළේ මෙසේය.


‘සහරාන් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම නැහෙට අහන්නේ නැහැ. ගුරුවරු එක්කත් වාද කර ගන්නවා ගුරුවරු කියා දේ එක පාරටම පිළිගන්න එයා සූදානම් නැහැ. පන්තියේ එකට ඉගෙන ගන්න ළමයි එක්කත් එයා වාද කර ගන්නවා. සහරාන් කියන දේවල් ළමයි පිළිගන්න ඕනෑ. එයාගේ කිමට විරුද්ධව අදහස් ඉදිරිපත් කළොත් එහෙම අල්ලාගෙන ගහනවා. කටුවලින් අනිනවා. ඒවගේ අවස්ථා ඒ කාලයේ ඕනෑ තරම් තිබුණා. සහරාන් නිතරම කිව්වේ තමා කියන දේ තමා හරි කියා. සහරාන්ගෙන් තාඩන පීඩනවලට ලක් වූ සිසුන් ඒ ගැන ගුරුවරුන්ට පැමිණිලි කළ අවස්ථාත් තිබුණා. එතකොට ගුරුවරු සහරාන්ට දඬුවම් දෙනවා. සහරාන්ට විරුද්ධව ගුරුවරුන්ට පැමිණිලි කළ සිසුන්ට පාරෙන් අල්ලාගෙන පහර දීමද සිදු කළා.


පාසල් කාලයේ සිටම රැඩිකල්වාදී මත දැරූ සහරාන් අවසානයේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි නසා ගත්තේ ඔහු දැරූ උමතු විශ්වාසයක් වෙනුවෙනි.




ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top