Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 23
1,127
Views
මෙම සිදුවීම වාර්තා වන්නේ වීරවිල ප්‍රදේශයෙනුයි. පසුගිය මැසි දෙවනදා රාත්‍රීයේ පොලිසියට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබුණා.
 
"සර් වීරවිල වැව් බන්ට් එක ළඟ කවුදෝ මිනිහෙක් වැටිලා ඉන්නවා. ඇගේ හැමතැනම ලේ. මම හිතන්නේ මිනිහා මැරිලා කියලා..."
 
පොලීසියට දුරකථන ඇමතුම දුන් පුද්ගලයා කී තොරතුරු ඒ මොහොතෙම වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා. පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමුදු කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් වහා මේ සිද්ධිය වී ඇතැයි කියන ස්ථානයට යන විටත් වෙලාව රාත්‍රී එකොළහට ළඟා වී තිබුණා.

වීරවිල වැල්ලවාය ප්‍රධාන පාර වැටි ඇත්තේ වීරවිල වැව මැදින්. පොලිස් නිලධාරින් එතනට යන විටත් පන්නෙගමුව හන්දියට මීටර් 300ක් දුරින් වැව් කණ්ඩිය පාමුල පිහිටි පලුගහක් යට උඩුබැලි අතට පුද්ගලයෙක් වැටී සිටියා.
 
ඝන අඳුරේ එල්ල වූ විදුලි පන්දම් එළියෙන් මේ පුද්ගලයා නිරීක්ෂණය කළ ස්ථානාධිපතිවරයාට වැටහුණේ ඒ වන විටත් ඔහු මරණයට පත් වී ඇති බවයි.
 
මේ පුද්ගලයා වැටී සිටි ස්ථානයට යාබඳව කොළ පැහැති ත්‍රිරෝද රියක් තිබුණා. එය ඔහුට අයත් එකක් යැයි සිතිය හැකියි.
 
තවදුරටත් විමසිලිමත් වෙද්දි ඒ ආසන්නයේම මුගුරක් ද තිබෙනු පොලිස් නිලධාරින් දුටුවා. එය අපරාධයට යොදාගත් එකක් බවට සැක කළ පොලිස් නිලධාරින් සොකෝ නිලධාරින් වෙත ඒ මුගුරු යොමු කළා.
 
පසුදින මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 51, කුඩා ගම්මාන 8 නව නගරයේ පදිංචි රුවන් වනිගසේකර නැමැත්තකු බවට හඳුනාගනු ලැබුවා. ඒ ඔහුගේ සොහොයුරෙක් විසිනුයි. පිරිමි සහෝදරයෙන් හා ගැහැනු සහෝදරයින් දෙදෙනකෙුගෙන් සමන්විත පවුලක බාලයා වන රුවන් මිය යන විට අවිවාහකයෙක්.
 
රැකියාව ලෙස ඔහු කළේ ත්‍රීරෝද රථ ධාවනයයි. වීරවිල නගරයේ ත්‍රිරෝද රථ ගාලේ සිය ත්‍රිවිලරය නතර කරගෙන කුලී ගමන් යාම ඔහු දෛනිකව සිදු කළේ කීයක් හෝ හම්බකරගැනීමේ අරමුණ ඇතිවයි.
 
මේ ඝාතනය සම්බන්ධයෙන් වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයා යටතේ විමර්ශන ඇරඹුණද රුවන්ගේ ඝාතනය පිළිබඳ කිසිම හෝඩුඩාවක් සොයා ගැනීමට නොහැකි වුණා.
 
''රුවන් වනිගසේකරගේ ඝාතකයින් නිදැල්ලේ.." යන හිසින් යුතුව මාධ්‍ය වාර්තා ද පළ වුණා. මේ ඝාතනය ගැන ඒ වන විටත් තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා දැනුවත් වී තිබුණා. ඔහුගේ අධීක්ෂණය යටතේ එම ඝාතනයේ විමර්ශන පොලිස් අධිකාරිවරයා විසින් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශනයට පවරනු ලැබුවා.
 
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරත දක්ෂ නිලධාරින් කණ්ඩායමක් වූ ඔවුන් එතැන් සිට මේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කළ අතර සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධරයින් වීරවිලට ගියේ කිසිවකුට තමන් හඳුනා ගත නොහැකි අයුරිනුයි.
 
"අපි මුලින්ම කළේ මේ මිය ගිය පුද්ගලයාට කවුරු හෝ තරහාකාරයින් ඉන්නවද? ඉන්නව නම් ඒ වෛරයට හේතු මොනවද? මේ පුද්ගලයාව මරා දමන්නට තරම් වෛරයක් තිබුණේ කාටද? ඇයි ඒ? මේ පුද්ගලයා මරා දැමුවේ කවුද? අන්න ඒ කරුණු කාරණා සොයා ගන්න එකයි.."
 
"ඔහොම කරුණු සොයා බලද්දි අපිට දැනගන්න ලැබුණා, මේ පුද්ගලයා වීරවිල නගරයේ පදිංචි බැඳපු ගෑනු කෙනෙක් එක්ක අනියම් සබඳකමක් තියෙනවා කියලා. තවදුරටත් හොයලා බලද්දි ඒ කාන්තාවගේ ස්වාමියා මේ පුද්ගලයා එක්ක කීප වතාක්ම ගැටුම් ඇතිකරගෙන තිබෙන බවත් ඒ කාන්තාවයි සැමියයි අතරත් ප්‍රශ්න ඇති වෙලා තිබුණ බවත්, කාන්තාව 'ඩිවෝස්' වෙන්න යන බවටත් තොරතුරු දැනගත්තා..."
 
මෙවන් තොරතුරු නිසා පොලිස් නිලධාරින්ට කාන්තාවගේ සැමියා ගැන ඇති වූයේ සැකයක්. ඒත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු නොකළ අතර මෙම තොරතුරු තහවුරු කරගැනීම සඳහා දිගින් දිගටම සාක්කි සෙවීම සඳහා විමර්ශන කණ්ඩායම් පරීක්ෂණවල නිරත වුණා.
 
ත්‍රීවිල් රියදුරා වන රුවන් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවද වීරවිල ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ නැගණියයි. ඒ් නිසා ඇයද අතමිට සරු තැනැත්තියක්. ප්‍රේම සබඳතාවයක් මත ඇය විවාහ වී සිටියා. ඇගේ සැමියා දිලිප්. ඔහු ඇය හඳුනා ගන්නේ වීරවිල ගුවන් හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදීයි.
 
කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරත කොස්තාපල් මංජුල දක්ෂ නිලධාරියෙක්. ඒ නිසා මෙහි විමර්ශන වල වැඩි බරක් ඔහු මත පැවරුණා.
 
"ඔහොම තොරතුරු හොයද්දි මට තොරතුරක් ලැබුණා... ඇඹිලිපිටියේ පදිංචි පුද්ගලයෙක් ගැන. ඒ පුද්ගලයා ඔය කාන්තාවගේ විවාහක සැමියාගේ ඥාතියෙක්. අපිට දැනගන්න ලැබුණේ ඔය රුවන් ඝාතනය වන්නට කලියෙන් එයා වීරවිල කීපවතාවක් ඇවිත් තියෙන බව..."
 
මේ අනුව ඔහු සිද්ධිය වූ දින වීරවිලට පැමිණ ඇති බවත් ඒ අතරතුර ඔහු වීරවිල පදිංචි දිලීප් සමඟ දුරකථනයෙන් කතාබහ කර ඇති බවත් තහවුරු කරගැනීමට පොලීසියට හැකිවුණා.
 
ඒ අනුව පොලිස් කණ්ඩායම රුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇඹිලිපිටියේ පදිංචිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් අතර ඒ අනුව සිදුකළ පරීක්ෂණවලින් පසු දිලිප් අත්අඩංගුවට ගැණුනා.
 
අත්අඩංගුවට ගත් දීලිප්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහුට පොලීසිය ඇසු සමහරක් ප්‍රශ්නවලට හරි හැටි පිළිතුරු දීමට නොහැකි වුණු නිසා අවසානයේ රුවන්ගේ ඝාතනය සුලමුල පොලිස් නිලධාරින් හමුවේ අනාවරණය කිරීමට සිදු වුණා. ඒ අනුව අපරාධ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්ට රුවන් වනිගසේකර රියදුරාගේ ඝාතනය සිදුවූ ආකාරයක් ඊට සම්බන්ධ අයත් සොයා ගැනීමට ගත වී තිබුණේ දින 11 ක පමණ කාලයක්.
 
පසුව තවදුරටත් කාරණා විමසද්දි මෙහි ප්‍රධාන සැකකරු වන දිලිප් නැමැත්තාගේ බාල මල්ලි ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා.
 
ඒ අනුව රුවන්ගේ ඝාතනය සිදු වී ඇති ආකාරය හෙළිදරව් වුණා.
 
ත්‍රිවිල් රියදුරෙකු වූ රුවන් වීරවිල පදිංචි දිලිප්ගේ බිරිය සමඟ කාලයක් තිස්සෙ අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එය වැඩිකල් නොගොස් දිලීප්ට ද ආරංචි වී ඇති අතර ඔහු බිරියගේ අනියම් ප්‍රේම සබඳතාවය නතර කරන්නට නොයෙකුත් උත්සහයින් ගෙන තිබෙනවා. මේ හේතුව නිසාම දිලිප් බිරිය සමඟ මෙන්ම රුවන් සමඟින්ද ආරවුල් ඇති කරගෙන තිබෙනවා. මේ සම්බන්ධය වීරවිල පදිංචි බොහෝ දෙනා දැනගෙන සිටි නිසා දිලීප්ට ඒ පිළිබඳ මහත් ලැජ්ජාවක් ඇති වී තිබුණා.
 
මේ නිසා දිලිප්ගේ සොයුරන්ටද ඇති වී තිබුණේ කණගාටුවක්. දිලිප් අයියාගේ දරු පවුල විනාශ වන්නට ඉඩ නොදීමට උපදෙස් දුන්නද එයින් ඵලක් වුණේ නැහැ.
 
දිලිප් හා බිරිය අතර ඇති වූ පවුල් ආරවුල් හේතුවෙන් බිරිය ඔහුගෙන් දික්කසාද නඩුවක් අධිකරණයේ ගොනුකර තිබීම දිලීප්ගේ පවුලේ අයට ඉවසුම් නොදුන් දෙයක් වුණා. අධිකරණයේ විභාග වූ මේ නඩුවේ තීන්දුව ලබන මස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
 
මෙවන් නොයෙකුත් හේතුන් මත දිලිප්ගේ පාර්ශවය රුවන් ඝාතනයට සැලසුම් සකස් කළා. පසුගිය මස 30 වැනිදා ඔහු ඝාතනය කිරීමට සැලසුම් සකස් වුවද කුමක් හෝ හේතුවක් නිසා එය සිදුවුණේ නැහැ. රුවන්ගේ ජිවිතය එදා බේරුණේ හාස්කමක් ලෙසිනුයි.
 
දෙවන වර උත්සහයට දිලිප්ගේ බාල සොහොයුරා සහ ඇඹිලිපිටියේ පදිංචි පස් දෙනෙකු ද සම්බන්ධ කරගත්තා.
 
ඝාතනය සඳහා යන පිරිස වීරවිලට යාම සඳහා වෑන් රියක් කතා කරගෙන තිබුණේ මළ ගෙදරකට සහභාගි වීම පිණිස තංගල්ලට යන බව පවසමිනුයි.
 
ඒ සඳහා වෑන් රියේ හිමිකරුගේ පුතා ද එක්කරගෙන තිබුණද ඔහු මේ පිරිස යන්නේ පුද්ගලයෙකුට පහර දීම සඳහා බව දැනගත්තේ අතරමඟදීයි. අවසානයේ ඔහුද ඊට එකඟ වී තිබෙනවා.
 
ඒ අනුව ඉකුත් දෙවැනිදා ඇඹිලිපිටියේ පදිංචි චින්තක සිය මිතුරන් දෙදෙනෙකු සමඟ වීරවිලට එන්නේ මිත්‍රයෙකුගේ මළ ගෙදරට යන බව කියමිනුයි.
 
ඒ එන අතරමඟදී පන්නගමුවේ එක් ස්ථානයක වාහනය නතර කර මේ පිරිස එහිදී මත්පැන් පානය කර තිබෙනවා. එහෙත් චින්තක මත්පැන් පානය කර නැහැ. පදමට වෙරි වූ මිතුරන්ට ඉන්පසු චින්තක පවසා ඇත්තේ, "මගේ අයියගේ පවුලට ත්‍රිවිල්කාරයෙක් බැල්ම දානවා. ඌට අද වැඩක් දෙන්න ඕනි..." යනුවෙනුයි.
 
"හැබැයි මරන්න බැහැ.. අතපය කැඩෙන්න ගහලා එමු..."
 
චින්තකගේ කීමට සෙස්සෝ කැමති වුණා. ඒ මොහොතේ මෝටර් සයිකලයකින් එතනට පැමිණෙන දිලීප් හා තව අයෙකුද ඔවුන්ගේ සාකච්ජාවට එක්වන අතර එසේ පැමිණී එක් අයෙකු කියන්නේ තමන් 'හයර්' එකක් යන බව කියමින් රුවන් අවශ්‍ය තැනට උපක්‍රමශීලිව කැඳවාගෙන එන්නම් යනුවෙනුයි.
 
සැලසුමට අනුව වීරවිල ත්‍රිරෝද නැවතුම් පොළට යන එක් අයෙකු "පන්නෙගමුව කෑම්ප් එකට හයර් එකක් යමු.." කියා රුවන්ව කැඳවාගෙන යන අතරමඟදී ඊට මිතුරන් දෙදෙනකුද නංවාගෙන තිබෙනවා. පසුව ඇරඹෙන ගමන අතරමඟදී එකෙකු 'මුත්‍ර කිරීම' සඳහා ත්‍රිරෝදය නතර කර ඉන් පිටතට යද්දි අනෙකා ද බැස යන අතරේ එක් අයකු ත්‍රිරෝද රියේ සිටි රුවන්ගේ මුහුණ වැසෙන සේ කොට්ට උරයක් දමා තිබෙනවා.
 
ඒ සමඟම මේ පිරිස පසුපසින් පැමිණි මෙහි ප්‍රධාන සැකකරු වන දිලීප් අනෙක් අයගේද දැඩි විරෝධය මත පොල්ලක් රැගෙන රුවන්ට පහර දී ඇත්තේ ඔහු කෑ ගසද්දියි.
 
"තෝ මගේ පවුල් ජිවිතය විනාශ කළා මදිවට මගේ ගෑනිවත් කසාඳ බඳින්න හදනවා... මම තොට ජිවත් වෙන්න දෙන්නේ නෑ.."
 
එසේ කියමින් රුවන්ට පිට පිට පොලු පහර එල්ල කළ දිලීප් මොහොතකට පසු එතැනින් පිටව යන්නේ රුවන් අවසන් හුස්ම හෙළිමෙන් පසුවයි. ඉන් අනතුරුව ඔවුන් ඇඹිලිපිටිය බලා පිටත්ව යන්නේ කිසිවක් සිදු නොවූ ලෙසිනුයි.
 
ඒ අනුව රුවන් වනිගසේකර ඝාතනය දින 11කදී අනාවරණය කරගෙන ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් ඔවුන් පැමිණි වෑන් රිය හා රුවන්ට පහරදීමට උපයෝගී කරගත් මුගුර සොයා ගැනීමට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට හැකිවීම ගැන තංගල්ල පොලිස් අධිකාරි හා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේද පැසසුමට ලක්වුණා.
 
සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
'කීර්ති මෙන්ඩිස්'
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top