Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 16
3,427
Views

"කටුවපිටිය බෝම්බයත් සමග මගේ චූටි දුව අපිව තනිකර යන්න ගියා. එදා මමත් චූටි දුවත් පල්ලියේ සිටියේ ඉමහත් භක්තියකින් නමුත් කුරිරු ත්‍රස්තයාගේ බෝම්බයේ එම භක්තිය තිබූ බවක් දැනුණේ නැහැ. මගේ දුව බයිබල් දිනපොතත් පපුවෙ තුරුලේම තියාගෙන උඩින් විසිවී ගොස් මඳක් ඈතින් වැටුනා. මම අනෙක් පසට වැටුනා." යැයි තම දියණියක් අහිමි වී තමන්ද බරපතල ලෙස අනතුරටපත් වැලිසර නාවික හමුදාවේ මහසෙන් බලකා සෙබල රජිත දනුෂ්ක රත්නායක මහතා කඳුල සිරකරගෙන තමන් ඇස් පනාපිට මෙලොව හැරගිය අවුරුදු නමයක් වූ රෝචනා සත්රුවනි රත්නායක දියණියගේ වියෝව ගැන තම දුක මෙලෙස කතාවට නගන්නට විය.  

කටුවපිටිය දෙවස්ථානයේ 21 වෙනිදා පාස්කු ඉරිදාවේ දිව්‍යමංගල  පූජාවට සහභාගිවී සිටි අවස්ථාවේ අවසාන යාච්ඤාව කර ස්තූති කතාව කරමින් තිබූමොහොතට එළෙබ සිටියේය.

"විසි වන සෙනසුරාදා අප පවුලම පාස්කු ආලේලූයියා පූජාවට ගොස් සහභාගි වී සිටියදී මාගේ දියණිය දහම් පාසලේ තවත් දරුවන් සමග කතාබහක් නිරත වනවා මම දුටුවා. ඒ කතාබහෙන් පස්සේ මා ළඟට දුවගෙන ඇවිත් අප්පච්චි අපි හෙටත් පල්ලියට එමු නේද කියා ඇඟ දැවටෙමින් මගෙන් ඇසුවා. මම ඇහැව්වා ඇයි පුතේ අද අපි ආවනේ හෙටත් එන්න ඕනේමද කියලා.  ඔව් ඔව් මගේ දහම් පාසලේ යාලූවෝ ඔක්කොම හෙට එනවා කියලා ඒ වෙලාවේ එයා කිව්වා. අර ඉන්නෙ අරයත් එනවා කියලා තව මිතුරියක්ව මට පෙන්නුවා. ඒ දරුවත් මේ කුරිරු බෝම්බෙට බිලි වුනා කියලා පසුව අපිට දැන ගන්න ලැබුනා. 

මේ ළමයි ඔක්කෝම වගේ පැමිණෙන්නේ ඉරිදා පැවැත්වෙන උට්ටාන පෙරහැර බලන්නයි. මගේ දුවට එය අලූත් අත්දැකීමක්  වුවත් අනිත් ළමයින්ට එය දැක පුරුදු එකක්.'' 

"අපි සිදුවේ පදිංචිකරුවන්. නමුත් මීගමුවේ කටුවපිටිය පල්ලියට ආසන්න මැන්ඩිස් මාවතේ පදිංචියට ඇවිත් මාස තුනහමාරක් පමණ වෙනවා. ඉන් අනතුරුව තමයි කටුවපිටිය පල්ලියේ බැතිමතුන් වන්නේ. ඒ නිසා අපි  කටුවපිටිය පල්ලියට අලූත්  බැතිමතුන්. පසුගිය ජනවාරි කටුවපිටිය පල්ලියේ පැවැති ජුබිලියට සහභාගී වීමත් සමග දැන් අපේ පල්ලිය කටුවපිටිය පල්ලියයි. අපේ දුව පල්ලියේ  දහම් පාසලේ  හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවා. පල්ලියේ දහම් ළමා  සමාජයෙත් ඉන්නවා. 

දුවගේ බලවත් ඉල්ලීම මත 21වැනි දින ඉරිදා නැවතත් පෙරවරු පූජාවට සහ පෙරහරට සම්බන්ධ වන්න මමත් මගේ පන මෙන් සිටි ආදරණීය දියණියත් කැටුව මම පල්ලිය වෙත යාමට තීරණය කළා. ඉරිදා අපි කාටත් කලින් මගේ  දුව අවදි වෙලා මාවත්    අවදිකර ගත්තා. දුවගේ අම්මා දුවට  කිව්වා අද ඔයාලා දෙන්නා ගිහින් එන්න  මම මල්ලිව බලාගෙන ගෙදර ඉන්නම්. ඔයාලා එනකොට හොඳට කෑම හඳල තියන්නම් කියලා. ඇය ගෙදර නතර වුණා. මමත් මගෙ රත්තරං  සිගිතත් පල්ලි යන්න ලෑස්ති වුනා. දුවට අම්මා ගෙනවිත් තිබූ අලූත් ගවුමක් අල්මාරියේ තිබී අරන් දුන්නා.  දුව එය අතට ගෙන අම්මේ මේක එදා මමයි ඔයයි ගිහින් තෝරපු ගවුම් නේද. කෝ අප්පච්චිට අපි තෝරාගෙන ගෙනාපු ඇඳුම් එයාට දෙන්න. මම මේ ගවුම් උපන්දිනේ දාට අඳින්න තියා ගන්නම්. මම ඊයෙ ඇඳපු ගවුමම අදත් අඳින්නම් කියලා ඇය කීවා."

"පසුව මගේ බිරිඳගේ අම්මාගේ ඉල්ලීමට ඇය එම අලූත් ගවුම් අඳින්න එකඟ වුණා. ඒ ගවුම ආච්චි අම්මාටම කියලාම දුව අන්දවා ගත්තා. ආච්චි අම්මාටත් අම්මටත් වැඳ මා සමඟ අතේ එල්ලී අම්මලාට අත වනමින් පල්ලියට යන්න පිටත් වුනා.

දුව අධ්‍යාපනය ලබන්නේ මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ. මෙම පාසල බෞද්ධ පාසලක්. මගේ දුව කිතුණු දහම වගේම බුදු දහම ඉතා හොඳින් දන්නවා. එයට හේතුව පාසලෙන් බුදු දහම ඉගෙන ගැනීම්යි. ඇයට  සෑම පොහෝ දිනකම පන්සලට යන්න  ඕනේ. පන්සලට ගියාම සියලූම වතාවත් කරන්න එයා හොඳටම දන්නවා. සියලූම ගාථාවන්  මහා හයියෙන් හඬ නගා කියවනවා. අපි දන්නේ නෑ අපිටත් වඳින්න කියා කියනවා. අපිත් ඔහේ වැඳගෙන ඉන්නවා. අපේ දුව මීගමුවේ අඟුරුකාරමුල්ල මහා විහාරයට යන්නට හරිම කැමතියි. එම පන්සල තියෙන්නේ හරිශ්චන්ද්‍ර ජාතික පාසල ඉදිරිපිටමයි. ඒ වගේම සීදුව ලියනගේ මුල්ලේ සුවිසුද්ධාරාමය විහාරයටද  සීදුව මූකලන්ගමුව සුගතාරාම විහාරයටද යාමට ඉතා කැමැත්තෙන් තමයි යන්නේ. දුව එක එක පෝය දිනකට එක එක පන්සල් අපිට නම් කරනවා. මම හිතන්නේ දුව සමග ඉන්න ගොඩක් යහළුවෝ බෞද්ධ දරුවෝ. එනිසා ඒ අය කියන විදියට දුව අපිව කැමති කරගන්නවා ඇති. එයා කියන  ඕනෑම දෙයක් අපි කරලා දෙනවා. එයා අපිට කරදර නොවෙන දරුවෙක් නිසා."

"සෑම  ඉරිදාවකම පල්ලි යනවා. මොන දහම්ටත් හරියට ගරු කරනවා.  ඕනෑම කෙනෙකුට ඉතා ගරු කරනවා. හැමෝටම සිනහමුසු මුහුණෙන් තමයි කතා කරන්නේ. අපිටත් එහෙමයි ඉගෙන ගන්න හරිම දක්ෂයි. පන්ති භාර ගුරුතුමිය ඇයට හරි ආදරෙයි. පලවන ශ්‍රේණියේ සිට හතරවන ශ්‍රේණිය දක්වාම ඇය පහෙන් ඉහළ ස්ථානයට සරිලන ලකුණු මට්ටමේ හැමදාම හිටියා. පසුගිය වාර පරීක්ෂණයේ දී බුද්ධදර්මයට ලකුණු අණු හතරක් ලබාගෙන තිබුණා. කිතුනු සිසුවියක් හැටියට මෙතරම් ලකුණු ලබාගත්තා කියා පන්ති භාර ගුරුතුමිය ප්‍රශංසා කළා කියා දුව අපිට කිව්වා. අනෙකුත් සෑම වැඩකටම අසුවූවෙන් ඉහළ ලකුණු ලබාගෙන තිබුණා." 

"අපි මීගමුවේ  කුලී පද පදනමට පදිංචියට ආවේම දුවගේ  අධ්‍යාපන කටයුතු වලට ලේසි වෙන්නයි. අපි හැමවිටම දුවගේ අධ්‍යාපනය ගැන පමණමයි බැලූවේ. දුවට හොඳින් ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්. දුව නිතරම කියන්නේ මට යාළුවෝ ගොඩක් ඉන්නවා. මම යාළුවන්ට හරි ආදරෙයි. මගේ යාළුවොත් මට හරිම ආදරෙයි. මගේ යාළුවෝ ගොඩාක් දෙනෙක් බෞද්ධ ළමයි. එනිසා ඒ අය මට හරි ආදරෙයි. අප්පච්චි අපේ පල්ලියේ මෙවර මංගල්ලේදාට ඒ අයට එන්න කියමුද කියා මගෙන් ඇහුවා. මම කිව්වා එන්න කියන්න කියා. ඒඅයත් ඔයාට අවුරු දුන්නනේ. අපි ඔයාගේ යාලූවන්ටත්  එන්න කියමු. දුවගේ ලොකු  ආසාවක් ඒ ගැනත් හිතේ තියෙන්න ඇති."

"එදා අවසන් වරට මාත් එක්ක මගේ අතේ එල්ලිලා මල්ලිටත් අම්මටත් අත වනමින් පල්ලයිට ගියේ නැවත ගෙදර ඇගේ මිතුරියන් සමග සෙල්ලම් කරමින් විනෝද වී කාලය ගත කරන්න හිතේ තියාගෙන වෙන්න ඇති. අපිට එහෙම ආසාවන් තිබුණාට කුරිරු  බොම්බ කරුවා අපි එනකම් මඟ බලා ඉන්නා බවක් අපිට දැනුණේනෑ. අපි දෙන්නා පල්ලියට  ඇතුළු වී පිටිපස්ස දොර ළඟ  ඉදිරියෙන් ඇති අනෙකුත් ඇතුළු වීමට තිබෙන දොර ලග  පඩියේ  වාඩි උනා. ඒ තරම්ට එදා සෙනගින් පල්ලිය ඇතුල පිරි තිබුණා. අප ඉස්සරහෙන් ලොකු බරක් ඇති බෑග් එකක් කරේ දාගත් විදේශිකයෙකුට සමාන පුද්ගලයෙක් යනවා මම දැක්කා. ඔහු  සෙනග අතරින් පල්ලිය ඇතුලට ගියාම කවුද මේ පුද්ගලයා ඇයි මේ බෑග් එකක් කරේ දාගෙන  යන්නේ  කියා මට හැඟීමක් මතු වුණා. නමුත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන වසර දහයකින් මෙහාට අපට කන් වැටීනොතිබී තිබූ නිසා එතරම් සැක හිතුවේ නෑ. අනික කිසිම ත්‍රස්ත අවදානම්ක් විශාලෙට නොතිබූ නිසා ආරක්ෂක අංශ වලටත් එහෙම නොදැනු නිසා මම නාවික සෙබළෙක් වෙලත් එතරම් සැකයක් මතුවූවේ නැහැ. ඒ වුණාට මට පොඩි අවදානමක් තෙරුණා. මුස්ලිම් අන්තවාදී කොටස් ලංකාවේ යම් වැරදි ක්‍රීයා දාමයන් වල යෙදෙන බවට කන වැටුනත් කවුරුත් ඒ  ගැන සෙවීම්ට පෙළඹී සිටියේ නැහැ. එනිසා මේ අවස්ථාව වෙනතුරුම අපි කිසිවෙක් දැනුවත් කමක් තිබුණේ නැහැ. එහෙම දැනුවත් කමක් තිබුණා නම් මම මගේ ජීවිතය පරදුවට තබා ඒ පුද්ගලයා සෝදිසි කර මම මැරුණත් අනිත් අයව ආරක්ෂා කරගන්න ඉදිරිපත් වෙනවා. නමුත් නොසිතූ නිමේෂයක ඒ බෝම්බකරුවා පල්ලියට ඇතුළුවී බෝම්බය පුපුරවා ගත්තා.

මම හමුදා සෙබලෙක් බව ඇත්ත වුණත් එදා ඒ සිදුවීම් මතක් වෙනකොට කම්පනයක් සහ තිගැස්මක් මටත් තවමත් ඇතිවෙනවා. එදා මහා විශාල හඬක් මතු උනා ක්ෂනිකයකින් විශාල රතු එළියක් සමග කළු දුමක් ඇවිදින් මුළු පල්ලිය සහ වටපිටාවමත් වසා ගත්තා."

 

"පසුව මොහොතකට මගේ දෑස් නොපෙනී ගියා. ඉන්නේ කොහෙද  කියාද අමතක උනා. ඒ සමඟම කවුරුන් හෝ කෑගැහුව්වා බෝම්බ පිපුරුවා  කියා.  ඒ සමගම  එකා පිට එකා වැටෙන්න පටන් ගත්තා. එකිනෙකාගේ සිරුරු කොටස් එකිනෙකාගේ ඇඟමත වැටෙන්න ගත්තා.ඒ සියල්ල මම දැක්කා. හැබැයි මට හරි හැටි කල්පනාවක් තිබුණේ නැහැ. සියල්ල මට තේරෙනවා. සියල්ල මම දකිනවා. මම ඒ සමගම  ඔලූව උස්සලා බැලූවා කෝ මගෙ ළඟ හිටපු දුව කොහෙද කියා. ඇය මදක් ඈතට විසිවෙලා උඩු බැලි අතට ඉන්නවා  දැක්කා. මාව තරමක් මෑතකට විසිවෙලා.  පස්සේ  මම දුවගේ නම කියා කෑ ගැහැව්වා. දුව නිසොල්මනේ  හිටියා. මම නැගිටින්න හැදුවාට නැගිටින්න බැහැ. මගේ කකුලක් කැඩිලා වගේ තේරුණා. පස්සේ බඩ යටින්   ලේ වැහැරෙනවා දුටුවා. ඉන් අනතුරුව මම උදව් කරන්න කියා කීප දෙනෙකුටම කීවා. කීපදෙනෙක්ම දරුවා සිටින තැනට ආවා. මගේ දුවදිහා බලලා තව තව අය ගාවට ගොස් උස්ස උස්ස බැලූවා දුටුවා. ඒ හේතුව පන තියෙන අයව ප්‍රථමයෙන් ගෙනියන්න වෙන්න ඇති. එය ඉතා සාධාරණයි. මට මගේ දරුවාව ලොකුයි තමයි. ඒත් හැමෝම තමතමුන්ගේ අයව ඉස්සෙල්ලා ගෙනියන්නයි හදන්නේ.  පසුව මම බඩගාගෙන දුව ගාවට ගියා. මම දුවේ කියා කතා කරා නම කියා කතා කරා ඇස් ඇරලා බැලූවෙ නෑ. සිනා පිරි මූහුනෙන් ඇය අහස දෙස බලාගෙන ඉන්නවා වගේ මට දැනුනා. පස්සේ පිරිසක් මා ඔසවාගෙන යන්න හැදුවා. මම කිව්වා මාව තියලා යන්න මගේ දුවව අරන් යන්න කියලා. පසුව ඒ අය මාවත් මගේ දුවවත් වාහනයක දමා ගත්තා මතකයි. ඉන්පස්සෙ අපි දෙන්නාවත් තවත් කීපදෙනෙක්වත් මීගමුව රෝහලට ගෙනගියා.

ට්‍රොලියක් මත  අපි දෙන්නාවම දමලා මගේ දුව  වෛද්‍යවරුන් ඔඹලා ඔඹලා හුස්ම අරගන්න උත්සාහයක යෙදුණා. පසුව   දුවව අතහැර  දැම්මා. මට ඇහුනා මේ දරුවාට මහන්සි වෙලා පලක් නැහැ ඒ වෙලාවේ තවත් දරුවෝ දහදෙනෙක් ගොඩගන්න පුළුවන් මේ දරුවා  ඉවරයි කියා. මම අනිත් පැත්ත බලා ගත්තා පසුව මාව සේලයින් දී වාට්ටුවකට ඇතුලත් කරා. මීගමුවෙන් උපරිම ප්‍රතිකාර කළා. දින හතරක් තබාගෙන ප්‍රථිකාර කළා. අනතුරුව මාව ශෛලකර්මයකට නාවික හා හමුදා රෝහලට ගෙන ගියා. දින හතරක් මම එහි නවතාගෙන සිටියා."

 

"මට මගේ දියණිය ගේ අවමඟුලට වත් සහභාගී වන්නට ඉඩක් ලැබුණේ නැහැ. දානෙ දෙනදවසෙත්  මම රෝහල්් ගතවයි හිටියේ. මේ කුරිරු බෝම්බ කාරයා තාත්තලාට දරුවෝ දකින්න නැති කරා. අම්මලාට අවසන් මොහොතේ දරුවෝ දැක ගන්න නැති කරා. දරුවන්ට අම්මව තාත්තා දකින්න නැති කරා. අම්ම තාත්තා නෑ කියා නොදන්නා දරුවන් සිටිනවා. දරුවෝ නෑ කියා නොදන්නා අම්මලා තාත්තලා කීදෙනෙක් ඉන්නවද අපි දන්නේ නැහැ. මේ විපත කරන්නට කලින් ජනතාව දැනගෙන සිටියා නම් මෙතරම් විපතක් වන්නේ නැහැ.  අද සමහර දේශපාලන නායකයින් කිඹුල් කඳුළු හෙළනවා. සමහර වගකීිය යුතු ඇමතිවරු දරුවාගේ රක්ෂණය ගැන කටමැද දොඩවනවා. මගේ දරුවා මිය ගිහින් සති තුනක් ගත වුණත් තවමත් සුරක්ෂා  කියන  රක්ෂණයේ ප්‍රතිලාභ අපිට ලැබිලා  නැහැ. එසේනම් අනතුරුට පත් දරුවෙකුට කොයි කාලෙක එම සුරක්ෂා රක්ෂණ වාරය ලැබේවිද කියා කවුරුත් දන්නේ නැහැ. ඒවා හොයන්න කෙනෙකුත් නැහැ. විපතක් වූ විට විපතෙන් විපතට වැටෙනවා මිස එයින් ගැලවීමක් මේ සමාජයේ නැහැ."

දරුවෙක් මැරිල සල්ලි වලින් ඵලක් නැහැ. ඒ  තනිකම ඒ  පාඩුව ලක්ෂවලට හෝ ලකෂ ගණනාවකට මිල කරන්න බැහැ.   මෙම මුස්ලිම් අන්තවාදීන්  විසින් සිදුකළ ප්‍රහාරය   පල්ලි එල්ල කළ ප්‍රහාරයක් බව  පැහැදිලි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින් සිංහල බෞද්ධයන්ට ප්‍රහාර එල්ල කරා. පන්සල් වලට ප්‍රහාර එල්ල කළා. මුස්ලිම් අන්තවාදීන් සිංහල  කිතුනුවන්ට ප්‍රහාර එල්ලකරනවා. මෙහි විශාල කුමන්ත්‍රණයක් ඇති බවක් පැහැදිලියි.  මෙම කාරණයේදී අපේ රට පාලනය කරන්ක  හැකි එකම නායකයෙක් බිහි වී තිබුණා. ඒ  නායකයා ට හැකි වුණා බෞද්ධ සිංහල ජනයාවත් කිතුනු සිංහල ජනයා වත්  මෙල්ල කරගන්න.  ඒ වෙන කිසිවෙක් නෙවෙයි අති උතුම් අදරදගුරු රංජිත් මැල්කම් කාඳිනල් තුමා විතරයි. උන්වහන්සේගේ කීමට ජනතාව කන් දුන්නා. තවත් ඉදිරියට  බෝලය එහාට මෙහාට දමා ඉන්නෙ නැතුව නිසි පිළිතුරුක් සෙවීමේ කාර්යය ඉටුනොකලොත් කාඳිනල් තුමාගේ වචනයටත් පිටින් ජනතාව යන්න ගත්තොත් ලොකු ව්‍යසනයක් වෙලා තමයි අපේ රට පස්ස බලන්නේ. එහෙම වෙන්න ඉඩ තියන්න එපා."

අපේ රටේ මව්වරුන්ට මටයි මගේ බිරිදටයි වගේ දරුවන් අහිමි කරන්නත් එපා. අපේ රටේ දරුවන්ට දෙමවුපියන් අහිමි කරන්නත් එපා. දෙමව්පියන්ට දරුවන් අංගවිකල කරන්න එපා. වගකීමෙන් අහිංසක අපි වගේ ජනතාවගේ දුක ගැන ඉතා ඕනෑකමින් බලන්න. විපතක් සිදු වුණාම මුදල් කොළ දික්කරලා අපිට අහිමි වූ දේවල් කිසිදා ලබාදෙන්න නොහැකි බව  තේරුම් ගන්න. ඒ් මොනවා උනත් අවසානයේ දුව අපිව දාලා මිතුරියන් වත් හඬවලා ඔවුන්ගෙන් වෙන්වෙලා ස්වර්ග ලෝකෙට ගියා කියා සිතනවා. ඒ මගේ ඒකායන හැගීමයි. ඒ  තරමටම මගේ දුව පොඩි උනාට හරිම ධර්මානුකූල දරුවෙක්. කුරිරු ත්‍රරස්තයා නොදන්නා වූ වාට එදා කටුවපිටිය පල්ලිය සිටියේ සැබැවින්ම ධර්මානුකූල මිනිසුන් පිරිසක්ම පමණි.  ඒ අන්තවාදී තිරිසන් කාලකන්නීන් කාගේදෝ    බහකට මුලා වෙලා දිව්‍ය සැප විඳීමට මෙලෙසින් ලේසිම මාර්ඟයක් සොයා ගත්තා. අපි සැවොම දුකකට පත්කරලා."

මේ මොහොතේ මීගමුව රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයත් සියලූම සේවකයින්ද වැලිසර නාවුක හමුදා රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයත් ඉමහත් සේවාවක් ඉටුකලා. මීගමුව රෝහලේ කාර්යය මණ්ඩලය තවත් සුවිශේෂ වූ කාර්යයක් ඉටුකලා මියගිය අයගේ සිරුරුවල තිබූ සියළුම රන් ආභරණ සිරුරට දී ඇති අංකයත් සමග අංක කර පැකට්කර තබා මරණ සහතිකයත් සමඟ හිමිකරුවන්ට ලබාදීමට කාරුණි වුනා ඒ අයව අගය කළ යුතුයි. 

සීදූවේ - නිශ්ශංක
මව්බිම 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top