Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 15
2,449
Views
"ඉන්දියානු පොලීසිය ගැන විශ්වාසයක් නැහැ..."
 
"මේ නඩු විභාගය ලොකු හාස්‍යජනක නාට්‍යයක්.."
 
ලැට්වියානු සම්භාවයක් ඇති 33 හැවිරිදි ලීගා ස්කෝමනේ අයර්ලන්තයේ සිටි තම සොයුරිය සමඟ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට පමිණියේ ආතතිය නිසා ඇතිව තිබූ මානසික අවපාතයට ප්‍රතිකාර ගැනීම සඳහායි.
 
ඒ සඳහා කේරළයේ සුප්‍රකට ආයුර්වේද ශරීර සුවතා මධ්‍යස්ථානයකට ඇතුළුව ඇය හිටිහැටියේ අබිරහස් ලෙස අතුරුදහන් වනවා. මෙය ඇගේ සොයුරියටත් ඇයගේ පෙම්වතා වූ ඇන්ඩෲ ජෝඩන්ටත් මහත් ප්‍රහේළිකාවක් වනවා.
 
කේරළ පොලිසියට ඇගේ අතුරුදහන් වීම පිළිබඳ හෝඩුවාව දැන්වුවද ඉන් ප්‍රථිපලයක් ලැබුණේ නැහැ. අවසානයේ ඇගේ සොහොයුරියත්, පෙම්වතාත් එක්ව ලීගාගේ රුව සහිත දැන්වීම් තැන් තැන්වල අලවා දැමූ අතර, ඇය පිළිබඳ තොරතුරක් ලබා දුනහොත් ඒ සඳහා රුපියල් ලක්ෂයක් දෙන බවට ද ඔවුන් එම දැන්වීම්වල සඳහන් කර තිබුණා.

ඇය පිළිබඳව අවසන් තොරතුර වන්නේ ඇය සිගරට් මිගදී ගැනීම සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් බැහැරට ගිය බව පමණයි.
 
මෙම ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය විදේශිය සංචාරකයින් අතරේ මහත් ජනප්‍රිය ස්ථානයක් වුණා. මුහුදු වෙරළක් අසළ එය පිහිටා තිබීම නිසා විදේශ සංචාරකයින් එම ප්‍රදේශයේ බහුලව දක්නට ලැබුණු අතර නොයෙකුත් මත්ද්‍රව්‍ය හා ඒවාට සම්බන්ධ අපරාධකරුවන්ද එම ප්‍රදේශයේ බහුලව සිටියා.
 
දින හතළිහකට පසු ධීවරයෙකුගෙන් ලැබුණු තොරතුරක් අනුව කේරල මුහුදු වෙරළට ආසන්නව පිහිටි වගුරු බිමක තිබූ රූස්ස ගහක එල්ලෙමින් තිබූ ලීගාගේ හිස සුන් මළසිරුර සොයා ගැනීමට පොලීසියට හැකිවුණා.
 
ඇගේ මළසිරුර නරක් වෙමින් තිබූ අතර ඇගේ සොහොයුරිය හා පෙම්වතා විසින් එය ලීගාගේ බවට හඳුනාගනු ලැබුවා.
 
මෙම අපරාධය පිළිබඳව ප්‍රදේශයේ පොලීසිය ඉතා මන්දගාමී ක්‍රියාවලියක් දියත් කර ඇති බව ඇගේ සොහොයුරියත් ලීගාගේ පෙම්වතාත් දොස් නඟා තිබූ නමුත් කේරල පොලීසිය විසින් එම ප්‍රදේශයේ ගැවසෙන සැක කටයුතු පුද්ගලයින් 200 කගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
උමේෂ් හා උදයන් යන නම්වලින් හඳුන්වනු ලැබූ මේ දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගෙන් ලබා ගත් තොරතුරකට අනුවයි. උමේෂ් හා උදයන් කේරල මුහුදු වෙරළේ විදේශිකයින්ට මත්ද්‍රව්‍ය ආදිය ලබාදීම සිදු කරන අය බවත් විදේශිකයින්ගේ ඕනෑ එපාකම් ගැන සොයා බලමින් මුදල් උපයා ගන්නා අය බවටත් පොලීසියට තොරතුරු ලැබී තිබුණා.
 
විමර්ශනයේදී උමේෂ් නැමැත්තා ස්ත්‍රී දූෂකයෙකු ලෙස සිද්ධීන් ගණනකට සම්බන්ධ වී තිබූ බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අයකු බවත් පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.
 
ලීගාගේ මළසිරුර පිළිබඳ මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ මොට ආයුධයකින් ඇගේ ගෙල ප්‍රදේශයට දැඩි පහරක් එල්ල කිරීම නිසා ඇය මරණයට පත්ව ඇති බවයි. එසේම ඇය දැඩි අපයෝජනයට ලක්වී ඇති බවද මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා.
 
අත්අඩංගුවට ගනු ලැබූ උමේෂ් හා උදයන් විසින් ලීගා දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව මරණයට පත් කරනු ලැබූ බව ඔවුන් ලබා දුන් පාපොච්චාරණයේ සඳහන් බව කේරල පොලීසිය කියා සිටියා.
 
සිගරට් මිලදී ගැනීම සඳහා වෙරළට පැමිණි ලීගා මරිජුවනා ලබාදීම සඳහා පාළු තැනකට ගෙන ගොස් දෙදෙනා විසින්ම ඇයව අපයෝජනයට ලක් කළ බවත් ඒ අතරතුර ඇයව මෙල්ල කිරීම සඳහා ගෙල වට අතක් දැමූ අවස්ථාවේ ඇය මරණයට පත් වූ බවත් ඔවුන් පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
 
ඉන්පසු සියදිවි හානිකරගැනීමක් ලෙස පෙන්වීම සඳහා ඇයගේ සිරුර ගසක එල්ලා දැමූ බවද ඔවුන් විසින් පාපොච්චාරණය කර තිබෙනවා.
 
ස්ත්‍රී දූෂණය හා මිනීමැරීමේ චෝදනා මත මොවුන්ට එරෙහිව නඩු පවරනු ලැබූ අතර එම නඩු විභාගය සඳහා ඇන්ඩෲ සහ ලීගාගේ සොහොයුරිය අයර්ලන්තයේ සිට කේරලයට පැමිණ සිටියා.
 
එහෙත් අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප ලබා දීමට අධිකරණය තීරණය කිරීම කාගේත් විමතියට හේතු වුණා.
 
එසේම මෙම අපරාධකරුවන් ඉන්පසුව අධිකරණයේ පෙනී නොසීටිම ගැන මහත් සේ කෝප වූ ඇන්ඩෲ ජෝර්ඩන් හා ලීගාගේ සොහොයුරිය ඒ පිළිබඳව තම විරෝධය අධිකරණය හමුවේ පළ කර සිටියා.
 
නඩු විභාගය තමන් දෙදෙනා සඳහා අයර්ලන්තයේ සිට පැමිණියද අපරාධකරුවන් අධිකරණයට නොපැමිණිම නිසා නඩු විභාගය කල් දැමීමට පිටුපස පොලීසියේ ඉහළ බලපෑමක් ඇති බවත්, ඒ නිසා තමන්ට අධිකරණය කෙරෙහි විශ්වාසයක් නොමැති බවත් ඔවුන් මාධ්‍යට ප්‍රකාශ කළා.
 
"අපරාධකරුවන්ට එරෙහිව සියලුම සාක්ෂි තිබියදී ඔවුන්ට ඇප ලබා දීම සිදු වුණේ කෙසේද යන්න දැවැන්ත ප්‍රශ්නයක්. දැන් පෙනෙන විධියට මේ නඩු විභාගයත් ලොකු හාස්‍යජනක නාට්‍යයක්..." යැයි ජෝර්ඩන් මාධ්‍ය හමුවේ ද ප්‍රකාශ කර සිටියා.
 
ලීගා පිළිබඳව තමා තුළ පවතින මතකය අතිශයින්ම වේදනාජනක බවත්, එසේම ඇයට මුහුණ දීමට සිදුවූ අපචාර හා කටුක අත්දැකීම් ගැන සිහිවන විට ඇතිවන වේදනාව හා කෝපය මෙතකැයි කිව නොහැකි බවත් ජෝර්ඩන් වැඩිදුරටත් සඳහන් කළා.
 
ලීගාගේ අකල් මරණය සම්බන්ධයෙන් පැවති විමර්ශන දිනෙන් දින කල් යැවීම පොලීසිය විසින් සිතා මතාම සිදු කරනු ලබන බව පවසන ඔවුන් මේ නිසා අපරාධකරුවන්ට දඬුවම් ලැබීම මඟහැරී යනු ඇතැයි ද පවසන්නට වුණා.
 
දින 40 ක කාලයක් ගහක එල්ලා තිබූ මළසිරුරක් හමුවූ විට එහි තිබූ තත්ත්වය ඉතාමත් සැක සහිත බවත් අධිකරණ වෛද්‍යවරුන් ඉදිරිපත් කරනු ලබන කරුණු අනුව ඇගේ සිරුර මීට වඩා නරක් වූ තත්ත්වයක පැවතිය යුතු බවත් ලීගාගේ පෙම්වතා මාධ්‍යයට පැවසුවා.
 
ඒ අනුව මළසිරුර අධික ශීතල වූ ස්ථානයක සඟවා පසුව එම ගසේ එල්ලා තබන්නට ඇතැයි සැකයක් පවතින බව ද ජෝර්ඩන් වැඩිදුරටත් සඳහන් කළා.
 
එසේම ලීගාගේ සිරුරේ දක්නට ලැබුණු තුවාල අනුව වැරදීමකින් ගෙල මිරිකා ඇති බවත් නොහැඟෙන බව ද පැවසූ ඔහු මෙම අපරාධය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කිරීම නිසා ලීගාට සාධාරණයත් ඉටුවන බවක් දැකිය නොහැකි බව ද හෙතෙම අවධාරණය කළා.
 
ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළා.
 
"ඉන්දියානු පොලීසිය ගැනත් අධිකරණ කටයුතු ගැනත් මට කිසිම විශ්වාසයක් නැහැ.... ඒත් මගේ පෙම්වතියට සාධාරණයක් ඉටු විය යුතුයි. ඒ නිසා මම අන්තර්ජාතික පිහිට පැතීමට කටයුතු කරනවා...."
 
"මෙම අබිරහසට සම්බන්ධ සියලු කරුණු කාරණාත් පොලීසියේ හා අධිකරණයේ කටයුතුත් එකතු කොට ග්‍රන්ථයක් හා චිත්‍රපටියක් තැනීමටත් මම බලාපොරොත්තු වෙනවා, ඒ වගේම එකක් කිව යුතුයි... ලීගාට සාධාරණයක් ඉටුවන තුරු මගේ සටන අත්හරින්න කිසිදු අදහසක් නැහැ..."
 
'රෝහණ ආර්යරත්න'
 


අපයෝජනය කර මරා දැමුණු ලීගා ස්කෝමනේ.... 



ලීගා සිය සොහොයුරිය සමඟින්...



ලීගාගේ සොහොයුරියත්, පෙම්වතාත් එක්ව ලීගාගේ රුව සහිත දැන්වීම් තැන් තැන්වල අලවා දැමූ අතර, ඇය පිළිබඳ තොරතුරක් ලබා දුනහොත් ඒ සඳහා රුපියල් ලක්ෂයක් දෙන බවට ද ඔවුන් එම දැන්වීම්වල සඳහන් කර තිබුණා.



 
ලීගාගේ මළසිරුර හමු වූ තැන..


 
ලීගාගේ සොහොයුරිය සොවින් තැවෙමින්...


 
ලීගාව දූෂණය කර මරා දැමූ බවට පාපොච්චාරණය කළ උමේෂ් හා උදයන් යන දෙදෙනා...
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top