Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 14
2,511
Views

තම පෙම්වතිය හමුවූ අවස්ථාවල නිතරම තමා සමඟ රණ්ඩුසරුවල් කිරීම කරදරයක් වූ නිසා ඇය මරා දැමීමට තීරණය කළ බව පොළොන්නරුව, පුලස්තිගම බී.ඕ.ජී. 317 ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි ඇඟලුම් සේවිකාවගේ ඝාතකයා බව කියන විවාහක එක්දරු පියකු වන සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පසුගිය අප්‍රේල් මස 10 වැනි දින පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශයේ පිහිටි වෙල්යායක් අසල පාළු තැනකට තමාත් තම පෙම්වතියත් කතාබහ කිරීම සඳහා පැමිණි බවත් එහිදී ඇය තමා සමඟ රණ්ඩු කළ විට පිහියකින් ඇයගේ බෙල්ල කපා සිරුරේ කිහිප පොළකට පිහියෙන් ඇන මරා දමා පසුව පෙට්රල් වත්කර ගිනි තැබූ බව සැකකරු වැඩිදුරටත් පවසා තිබේ.

ඒ සිද්ධියෙන් දින තුනකට පසුව එනම් අප්‍රියෙල් 13 වැනි දින ඒ ස්ථානයට පැමිණ බැලූ විට මළ සිරුරේ හිස්කබළ සහ ඇටකටු ඉතිරිවී තිබූ බවත් ඒවා නැවත ගිනි තබා විනාශ කළ බවද සැකකරු පොලිසියට කියා ඇත.

පොළොන්නරුව, පුලස්තිපුර බී.ඕ.ජී. 317, අංක 03 ලිපිනයේ පදිංචි අවිවාහක තරුණියක වන ඩබ්ලිව්.එල්.එම්.ඒ.ජී. අයේෂා කෞෂල්‍යා (23) යන අය මෙසේ ඝාතනයට ලක්ව තිබිණි.

ඇය පොළොන්නරුව නගරයට නුදුරුව පිහිටි ඇඟලුම් කම්හලක රැකියාව කරමින් සිටියදී එහිම සේවය කළ විවාහක එක්දරු පියකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

පසුගිය අප්‍රේල් 10 වැනි දින සිට ඇය නිවෙසින් අතුරුදන්ව ඇතැයි ඇගේ පියා 13 වැනි දින පුලස්තිපුර පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ පුලස්තිපුර පොලිසියේ කණ්ඩායමක් මේ තරුණිය සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පාපෝච්චාරණයක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් ඇය ඝාතනය කර මළ සිරුර පුලුස්සා විනාශ කළ බවය.

තමන් ඒ අපරාධය කළ ස්ථානයද සැකකරු පොලිසියට පෙන්වා තිබෙන අතර පොළොන්නරුව, ලක්ෂ උයන ප්‍රදේශයේ වෙල්යායක් අසල පිහිටි ඒ ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේදී ඝාතනයට ලක්වූ තරුණියගේ මළ සිරුරේ අස්ථි කොටස් බවට සැක කෙරෙන අවශේෂ හමුවූ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ අතර ඒ ස්ථානයේ තිබී හමුවූ බව කියන පාවහන් යුගලයක් තම දියණියගේ බවට ඇගේ පියා විසින් හඳුනා ගන්නා ලැදැයිද පොලිසිය සඳහන් කළේය.

මේ අපරාධය සිදුව ඇත්තේ පොළොන්නරුව පොලිස් බල ප්‍රදේශයේ හෙයින් වැඩිදුර විමර්ශන කටයුතු කිරීම පොළොන්නරුව මූලස්ථාන පොලිසිය මඟින් කරන ලෙසට පොළොන්නරුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව පොළොන්නරුව පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.එම්. ජරූල් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.

පොළොන්නරුව - අනුරාධ විශ්වනාත් හිඟුරක්ගොඩ ප්‍රියා, තමන්කඩුව - ගාමිණී ඔබේසේකර

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top