Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 11
4,530
Views

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු බවට හඳුනාගෙන සිටින සහරාන් ඉතා කෙටි කාලයක් තුළ ඔහුගේ මතවාදය රට පුරාම ව්‍යාප්ත කරමින් අනුගාමිකයන් සිය ගණනක් බිහි කර ඇති බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළි වී තිබේ. සහරාන් සිය අනුගාමිකයන්ට සටන් පුහුණුව ලබාදෙන්නට රට පුරාම පුහුණු කඳවුරු පවා ඉදි කරමින් සිට ඇත. ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ දේවස්ථාන රට පුරාම ඉදි වෙමින් තිබිණි. විමර්ශනවලින් පෙනී යන්නේ සහරාන් දීර්ඝ කාලීන සැලසුමකට අනුව සිය සංවිධානය වර්ධනය කරමින් ප්‍රබල තැනකට ගෙන ඒමේ උත්සහායක නිරත ව සිට ඇති බවය. එසේ තිබියදී හදිසියේම පාස්කු ඉරිදා දේවස්ථාන සහ සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කරමින් ඔහුත් මරාගෙන මැරෙන්නේ ඇයි දැයි අපේ රටේ විමර්ශකයන්ට පමණක් නොව, ඒ ගැන අධ්‍යයනය කරන්නට මෙරටට පැමිණ සිටින ඇමරිකාවේ එෆ්.බී.අයි. ඇතුළු විදෙස් විමර්ශකයන්ටත් පැන නැඟී ඇති ගැටලුවකි.

ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ප්‍රහාර විස්සකට වැඩි ප්‍රමාණයක් එල්ල කරන්නටය. ඊට ඉඩක් නොලැබෙන්නේ සහරාන්ගේ කල්ලිය අවසාන මොහොතේ දෙකඩ වීමය. විමර්ශකයන් අනුමාන කරන්නේ සහරාන්ටත් මරාගෙන මැරෙන්නට සිදු වන්නේ ඒ නිසා වන්නට ඇති බවය.

රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම විදෙස් බුද්ධි සේවාවන්ට අනුව අයි.එස්. ත්‍රස්තයන්ට එක් වී සිරියාවේ ශ්‍රී ලංකිකයෝ රැසක් සිටිති. 2013- 2014 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ පවුල් තුනක සාමාජිකයන් 35 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්. ත්‍රස්තයන්ට එකතු වී ඇති බවද සඳහන්ය. ඒ අයගෙන් කිහිප දෙනෙක්ම දැන් අයි.එස්. සංවිධානයේ ප්‍රබලයෝය. සහරාන් හසුරුවන්නට ඇත්තේ ඒ අය ද යන සැකයක් පවතී.

අයි.එස්. ජාලයේ මෙරට සම්බන්ධකම් නිරීක්ෂණයේදී පෙනී යන්නේ සහරාන්ගේ කල්ලිය පමණක් නොව, මෙරට තවත් පිරිසක් අයි.එස්. ජාලය සමඟ සම්බන්ධ වී සිටින බවය. සහරාන්ගේ කල්ලිය හඳුනාගෙන ඒ අය අත්අඩංගුවට ගත් පමණින් හෝ දේවස්ථාන සහ මුස්ලිම් වැසියන්ගේ නිවෙස් පරීක්ෂා කර කඩු, කිණිසි, ගිනි අවි සොයාගත් පමණින් අනාගත තර්ජනයක් අපට නැතැයි සඳහන් කරන්නට බැරිය. බුද්ධි අංශ රහස් මෙහෙයුම් දියත් කර ඇත්තේ එවැනි කණ්ඩායම් හඳුනාගන්නටය.

රට ඇවිළූ පාලම් පිපිරවීමේ කතාවේ ඇත්ත නැත්ත

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ජනතාව ආරක්ෂාව ගැන භීතියකින් පසුවන්නේ තහවුරු නොවූ බුද්ධි තොරතුරු මඟින් ත්‍රස්ත භීතිය දිනෙන් දින තීව්‍ර කිරීමට ඇතැම් පුද්ගලයන් සංවිධානාත්මක ව ක්‍රියාත්මක වූ බැවිනි. පොලිසියේ බුද්ධි තොරතුරු වාර්තා පවා සමාජ ජාල මාධ්‍යවල පවා සංසරණය වූයේ ඒ අනුවය. රට අරාජික කිරීමේ යම් සැලසුමක් ඒ පිටුපස තිබුණේද? නැති නම් එම ත්‍රස්ත ප්‍රහාරය කල් තියා වළක්වා ගැනීමට පියවර නොගෙන සිය රාජකාරි පැහැර හරින ලද පුද්ගලයන් ආරක්ෂා කරගැනීමට සැලසුම් සහගතව රට ඇවිස්සීමට යම් පිරිසක් කටයුතු කළේද? යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි.

කොළඹට ඇතුළු වීමට ඇති පාලම් සහ ගුවන් පාලම් පිපිරවීමේ ත්‍රස්තයන්ගේ සූදානමක් ගැන සඳහන් කරමින් නිකුත් වූ බුද්ධි තොරතුරක් යැයි සදහන් තොරතුරද රට ඇවිළූ එවන් තොරතුරකි.

ඒ ගැන සොයා බැලීමේදී හෙළි වන්නේ එය සැබෑ බුද්ධි තොරතුරක් නොවූ හිතළුවක් බවය. එම හිතළුව කැලණිය පොලිස් කොට්ඨාසයේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙකුට ලැබෙන්නේ ඉතාලියේ රැකියාවක නිරතව සිටින සිය හිතවතෙකුගෙනි. ඔහු සඳහන් කර ඇත්තේ කොළඹට ඇතුළු වන පාලම් සහ ගුවන් පාලම් පිපිරවීමට අයි.එස්.ත්‍රස්තයන්ගේ සැපසුමක් ඇති බවය. ඒ සදහා ඔවුන් කිලෝ 3000ක සී 04 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය යොදාගැනීමට සූදානම් බවද ඔහු පොලිස් පරීක්ෂකවරයාට කීවේය.

එය හුදෙක් පිටරටකින් ලද දුරකතන ඇමතුමක් පමණි. ඒ ගැන වැඩිදුර සොයා බැලීමක් හෝ එවැන්නක් සිදු වන්නට හැකියාවක් තිබේදැයි තාර්කිකව කල්පනා නොකළ පොලිස් පරීක්ෂකවරයා තමාගේ ප්‍රධානියා වන බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඒ ගැන දැනුම් දෙන්නේ තමන්ගේ විශ්වාසවන්ත ඔත්තුකරුවෙකු විසින් ලබාදුන් ඔත්තුවක් බව සඳහන් කරමිනි. ඒ මැයි 01 වැනිදාය.

ගිනි පෙනෙල්ලෙන් බැටකෑ මිනිසා කණාමැදිරියටත් බිය යැයි කියන පැරණි කියමන තහවුරුකරමින් දේශබන්ධු තෙන්නකෝන් මහතා ඒ මොහොතේම එම තොරතුර ලබාදෙන්නේ තමන්ගේ ප්‍රධානියා වන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහටය. ඒ වන විට මුණසිංහ සිටින්නේ හිටපු ජනපති ප්‍රේමදාස ගුණසමරු උත්සව භුමියේය. දේශබන්දු තෙන්නකෝන්ගෙන් ඔහු විමසන්නේ තොරතුර විශ්වාසවන්තමදැයි කියාය. එසේ නම් එය ලිඛිතව තමන්ට දැනුම් දෙන ලෙස ඔහු දේශබන්දු තෙන්නකෝන්ට කීවේය.

පොලිස් පරීක්ෂකවරයා ගැන පූර්ණ විශ්වාසය තැබූ දේශබන්දු තෙන්නකෝන් බුද්ධි තොරතුරක් යැයි කී තහවුරු නොවූ එම තොරතුරේ වගකීම භාරගත්තේය. ලිඛිතව නන්දන මුණසිංහට ඔහු ඒ බව දැනුම් දුන්නේය.

එම ලිඛිත පණිවිඩය තමන් අතට පත් වීමෙන් පසු නන්දන මුණසිංහ දුරකතන ඇමතුමක් ගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ පුපුරන ද්‍රව්‍ය විශේෂඥයා වන සහකාර පොලිස් අධිකාරී දිමුතු සමරනායකටය. පාලමක් පිපිරවීමට අවශ්‍ය පිපිරුම් ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණදැයි ඔහුගෙන් විමසුවේය. සමරනායකගේ පිළිතුර වන්නේ කැලණි පාලම වැනි පාලමක් පිපිරවීමට සී 04 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය ග්රූම් 500ක් වූවත් සෑහෙන බවය. එම ප්‍රමාණයෙන් පාලමක් පුපුරවා හරින හැටි විද්‍යාත්මක විග්‍රහයක්ද කරමින් ඔහු නන්දන මුණසිංහ දැනුවත් කළේය.

එම බුද්ධි තොරතුර ගැන සෑහීමකට පත් වීමට නොහැකි බව නන්දන මුණසිංහටද පෙනී ගියත් ඒ ගැන වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නව ලිඛිතව දැනුවත් කරන්නේ වෙන කරන්නට යමක් නොවූ තැනය. එය තහවුරු නොවූ තොරතුරක් බව නිල වශයෙන් පොලිසිය මැයි 05 වැනිදා රටට කියන විට සියල්ල වී හමාරය. 06 වැනිදා පාසල් විවෘත කරන විට පැමිණි ශිෂ්‍ය සංඛ්‍යාවෙන්ම එකී තහවුරු නොවූ බුද්ධි තොරතුරේ හානිය සිතා ගන්නට පුළුවන.

රට වටේම පුහුණු කඳවුරු

පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ගේ පුහුණු කඳවුරු දැන් රට වටෙන්ම මතු වීමට පටන්ගෙන ඇත. පුත්තලම වනාතවිල්ලුවේ තිබුණේ ඔවුන්ගේ ප්‍රධාන පුහුණු කඳවුරයි. පසුගිය ජනවාරි 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් එම පුහුණු කදවුර වැටලූ අතර ත්‍රස්තයන්ට සටන් පුහුණුව මෙන්ම බෝම්බ ඇටවීමට පුහුණුව දුන්නේ එම කඳවුරේදීය. අක්කර 80ක් පුරා විහිදුණු එකී ඉඩම ඔවුන් මාසිකව රුපියල් ලක්ෂ දෙකහාමාරක කුලියකට ගන්නේ ගොවි පොළක් පවත්වාගෙන යෑමේ මුවාවෙනි. මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ විමර්ශන ඔස්සේ හෙළි කරගත් එම පුහුණු කඳවුරේ සඟවා තිබී ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයෝ සොයා ගත්හ. එහි තිබුණු ඇතැම් පුපුරන ද්‍රව්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ටද ආගන්තුක විය. රජයේ රස පරීක්ෂකවරයාට එය ඉදිරිපත් කරන්නේ ඒ නිසාය. එම පුපුරන ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවකට ලක් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවය. ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි පිටියකදීය.

වනාතවිල්ලුවේ පමණක් නොව, සහරාන් රට වටේම පුහුණු කඳවුරු රැසක්ම පවත්වාගෙන ගොස් තිබිණි. ඒ දීර්ඝ සැලසුමක් ඇතිවය. එම පුහුණු කඳවුරු ගැන තොරතුරු හෙළි වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් අන්තවාදීන්ගෙනි. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු වැටලෙන අන්තවාදීන්ගේ පළමු පුහුණු කඳවුර වන්නේ කාතන්කුඩිය ඔල්ලිකුලම ප්‍රදේශයේ පිහිටි රහස් කඳවුරය. අක්කර 10ක් පුරා විහිදුණු එම කඳවුර පවත්වාගෙන ගොස් ඇත්තේද ගොවිපොළක් ලෙසිනි. එකී කඳවුර ගැන තොරතුරු හෙළි කරන්නේ කදුරුවෙලින් සැකපිට අත්අඩංගුවට ගන්නා යාසිත් බාවා අබ්දුල්ලාය. ඔත්තු බැලීමට තෙමහල් අට්ටාලයක්ද කඳවුරු භුමියේ ඉදි කර තිබිණි.

කාතන්කුඩි පොලිසියත් විශේෂ කාර්ය බළකායත් එම කඳවුර වටලන්නේ මැයි 05 වැනිදාය. විවිධ රසායනික ද්‍රව්‍ය එක් කරමින් පුපුරන ද්‍රව්‍ය සකස් කිරීම් එම කඳවුරු භුමියේ සිදු කර ඇතැයිද විමර්ශනයේදී පෙනී ගියේය. කල්මුණේ සයින්දුමරුදු සුනාමි ගම්මානයේ නිවසක් තුළ බෝම්බ පුපුරවාගෙන මරාගෙන මැරුණු කණ්ඩායමේ සිටි සහරාන්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාගේ ඇසක් සහ අතක ඇඟිලි කිහිපයක් අහිමි වී ඇත්තේද එම කඳවුරේදී බෝම්බයක් ඇටවීමට යෑමේදීය. ඒ 2018 වසරේදීය.

එම පුහුණු කඳවුර කාතන්කුඩිය පොලිසිය වටලන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් තවත් පුහුණු කඳවුරක් වටලන්නේ මඩකලපුව පොලොන්නරුව මාර්ගයේ වැලිකන්ද රිදීතැන්න ප්‍රදේශයේදීය. එම පුහුණු කඳවුර ද අක්කර 25ක් පුරාවට විහිදුණු එකකි. ගොවිපොළක් ලෙස එම පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් තිබුණේ සහරාන්ගේ දෙවැනියා ලෙස සැලකූ “කාදර්“ නැමැති අන්තවාදියෙකු විසිනි. මේ වන විට කාදර් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

කාදර් පවසන්නේ මාස හයකට පෙර එම ඉඩම මිලදී ගත් බවය. එම භුමියේ ගොඩනැගිලි කිහිපයක් ඉදි කිරීමටත් භුගත බංකර් කිහිපයක් ඉදි කිරීමටත් සහරාන් සැලසුම් කරගෙන සිටි බවද ඔහු කියයි. එම භුගත බංකර් තුළ සිර මැදිරි පවා ඉදි කිරීමට සහරාන් සැලසුම් කරගෙන සිට ඇත. ඒ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට එරෙහිව යන්නන් පැහැරගෙන එහි සිර කර තබන්නටය. සහරාන්ගේ ඒ සියලු සැලසුම් හෙළි කරන්නේ කාදර්ය.

එම කඳවුරු භුමියේ ද සහරාන් විසින් පුපුරන ද්‍රව්‍ය වළ දමා තිබී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මැයි 06 වැනිදා එකී පුපුරන ද්‍රව්‍ය තොගයත් ගොඩ ගත්තේය. ග්‍රෑම් 500 බැගින් බර ජෙලට්නයිට් කූරු 231ක්ද නයිට්‍රජන් ලීටර් 45ක් අඩංගු බූලියක්ද ඒ අතර විය.

සහරාන්ගේ අන්තවාදය වැපුරූ තවත් පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළිය පොලිසියේ නිලධාරීන්ගේ වැටලීමට ලක් වන්නේ මේ අතරය. එම පුහුණු මධ්‍යස්ථානය පිහිටා තිබුණේ බැලැක්ෆුල් ප්‍රදේශයේය. එය කුලියට ගත් දෙමහල් නිවසකි. එකවර 40 දෙනෙකුට පමණ නේවාසික පහසුකම් ඇති එම නිවස සහරාන් යොදාගෙන තිබුණේ අන්තවාදී දේශන පවත්වමින් සිය අනුගාමිකයන්ගේ මොළ ගෙඩි වියවුල් කිරීමටය. එම පුහුණු මධ්‍යස්ථානය ගැන තොරතුරු හෙළි වන්නේ කල්මුණේ සයින්දු මරුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා සහරාන්ගේ අනුගාමිකයෙකුගෙනි. නුවරඑළිය පොලිසිය ඒ තැන වටලන්නේ කල්මුණෙන් ඒ ගැන ලබා දුන් තොරතුරකට අනුවය.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ රට පුරා සෝදිසි මෙහෙයුම් ඇරැඹෙද්දී නුවරඑළියේ ඇළ මාර්ගයකින් හමු වන බෝම්බ පිපිරවීමට යොදා ගන්නා ඩෙටනේටර් තොගය ඇළට විසි කර ඇත්තේ එම පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුව ලැබූවෙකි. ඒ ගැන පවා බොහෝ තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හෙළි කරගෙන හමාරය. ඊට අමතර ව එම කල්ලියේ ආරක්ෂක නිවාස 13ක්ද සොයාගෙන ඇත්තේ රුපියල් කෝටි 714 ක වත්කම් සහ රුපියල් කෝටි 14ක මුදල්ද සමඟිනි.

එමෙන්ම හම්බන්තොට, කුරුණෑගල සහ අනුරාධපුරයේ ඇති කඳවුරු කිහිපයක් ගැනද කියැවේ. එම කඳවුරු සහ පුහුණු මධ්‍යස්ථාන සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය. හම්බන්තොට පුහුණු කඳවුරේ පුහුණුව ලැබූවන් 05 දෙනෙක් සිටින්නේ පොලිස් අත්අඩංගුවේය. ඒ අතර ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයාත්, සහරාන්ගේ රියැදුරු ගෆූර් මාමාගේ පුතුන් දෙදෙනාත් වෙති.

මෙරට අයි.එස් ජාලය ලැප්ටොප් එකෙන් මතු වෙයි

සිරියාව කේන්ද්‍ර කරගනිමින් ලෝකය පුරා ඉස්ලාම් අන්තවාදය පතුරවමින් ඉස්ලාම් අධිරාජ්‍යයක් ගොඩ නැඟීමේ සිහිනය අයි.එස් නායක අබු බකර් අල් බග්දාදි 2014 වසරේ ජුනි 29 වැනි දා ප්‍රකාශ කිරීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල අන්තවාදී මුස්ලිම් තරුණයන් සිරියාවට එන්නේ වැල නොකැඩීය. අයි.එස්.ත්‍රස්තයන්ගේ කේන්ද්‍රස්ථානය වන සිරියාවේ අයි.එස් පාලන තන්ත්‍රයටද සම්බන්ධ වූවන් අතර සිටින ශ්‍රී ලාංකිකයෝ කිහිප දෙනා එසේ සිරියාවට ඇතුළු වූවෝය. සහරාන් ඒ අයගේ රූකඩයකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් එකී අයි.එස්. ජාලය මුළුමනින්ම හඳුනාගෙන හමාරය. එකී අයි.එස්. ජාලයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන රාසීම් මොහොමඩ් හුවයිස් මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය. කාතන්කුඩියේ පදිංචිකරුවෙකු වන ඔහු අත්අඩංගුවට ගන්නේ බිබිලේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගන්නේ රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරකට අනුවය. එකී තොරතුරෙන් කියැවෙන්නේ එම පුද්ගලයා අයි.එස්. මතවාදය පතුරවමින් සිටින්නෙකු බවය. එහෙත් අවසානයේදී ඔහුගේ ජංගම දුරකතනයෙන් එළියට එන්නේ අයි.එස් මතවාදය පැතිරවීමක් ගැන පමණක් නොව, අයි.එස්. ජාලය සමඟ ඔහුගේ ඇති සම්බන්ධයකි.

නුවරඑළියේ පිහිටි සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානය වැටලෙන්නේ බිබිලේ වැටලීමෙන් දින කිහිපයකට පසුවය. සහරාන්ගේ අයි.එස්. ජාලයේ රහස් රැසක් එළියට එන්නේ එහි තිබී හමු වුණු ලැප්ටොප් පරිගණකයකිනි. අයි.එස්. ජාලයේ නම් ලැයිස්තුවේ බිබිලෙන් අත්අඩංගුවට ගනු ලැබූ රාසීම්ගේ නම සටහන්ව තිබුණේ ඉහළිනි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල ව්‍යපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු පොලිසියට කොටු වන්නේ අයි.එස්.අන්තවාදය වපුරවමින් සිටි පිරිස අතර ඉහළින්ම සිටි බැවිනි. මරික්කාර් දිල්ශාන් මොහොම්මදු නැමැති ඔහු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගන්නේ සමාජජාල මාධ්‍ය ඔස්සේ ඔහුගේ හැසිරීම දීර්ඝ විමර්ශනයකට ලක් කිරීමෙන් පසුවය.

එසේ අයි.එස් ජාලයේ මෙරට පුරුක් හඳුනාගනිමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙහිවලින් වයෝවෘද්ධ යුවළක් අත්අඩංගුවට ගන්නේ ඔවුන්ගේ පුතා අයි.එස්. ප්‍රබලයෙකු වන බැවිනි. සිරියාවේ සිය අඹු දරුවන් සමඟ පදිංචි වී සිටින ඔහු ඉෂාක් අහමඩ් මොහොමඩ් මුහුසින්ය. ඔහු සිය මවුපියන් සිරියාවට ගෙන්වාගෙන තිබේ. වසර එකහාමාරක් එරට රැඳී සිටි මවුපියන් 2016 වසරේ ජනවාරි 29 වැනි දා මෙරටට පැමිණ තිබිණි. අත්අඩංගුවට ගන්නේ ඒ දෙදෙනාවය.

සහරාන් සිය බිරිය ෆාතිමා බදාගෙන හඬයි

කල්මුණේ සයින්දුමරුදු බෝම්බ පිපිරුමෙන් දිවි ගලවාගත් සහරාන්ගේ බිරිය අබ්දුල් කාදර් ෆාතිමා කාදියා තවමත් සිටින්නේ අම්පාර රෝහලේය. ඒ පොලිස් අත්අඩංගුවේය. මාස තුනක් ඇයව පොලිස් අත්අඩංගුවේ රඳවාගන්නට අධිකරණ නියෝගයක් පොලිසිය ලබාගත්තේය. ඒ සහරාන්ගේ රහස් ගබඩාව ඇය සතුව ඇති බැවිනි. දැඩි ආරක්ෂාවක් යටතේ සිටින ඇය හැම විටම උත්සාහ ගන්නේ සහරාන් කළ කී දෑ තමන් නොදැන සිටි බව ඒත්තු ගන්වන්නටය.

ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසන්නේ සිය සැමියා අන්තවාදයට යොමු කළේ නෞෆර් මව්ලවි නැමැත්තෙකු බවය. ඔහු සෞදියේ කාලයක් රැදී සිටි අයෙකි. කාතන්කුඩියේ වැසියෙකු වන ඔහු කුරුණෑගල සහ නාරම්මල පැත්තේ පදිංචිව සිට ඇති බව සඳහන්ය. මේ වන විට ඔහු සිටින්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

සහරාන්ගේ මුල් සැලසුම වී තිබුණේ රටපුරාම ප්‍රහාර මාලාවක් එකවර එල්ල කරන්නටය. එකී සැලසුම් ව්‍යර්ථ වන්නේ නෞෆර් මවුලවි නිසාය. ඒ සහරාන්ගේ දේශනා මෙන්ම සිය පවුලට සහරාන් විශේෂත්වයකින් සැලකීමට එරෙහිව ඔහු කැරලි ගසන්නට වූ බැවිනි. ඒත් එක්කම සහරාන්ගේ කල්ලිය දෙකට කැඩිණි. නෞෆර් මව්ලවි එක් කණ්ඩායමක නායකයා බවට පත් විය. සහරාන්ගේ සියලු සැලසුම් ඒත් එක්කම බිද වැටෙයි. පළාත් නවයේම අවම වශයෙන් ප්‍රහාර විස්සක්වත් එල්ල කරන්නට සූදානම් වූ සහරාන්ට ඒ සදහා මරාගෙන මැරෙන්නට සිටි සාමාජිකයන් අහිමි විය. එබැවින් ඔහුට සිදු වන්නේ දේවස්ථාන තුනකටත් සංචාරක හෝටල් තුනකටත් පමණක් ප්‍රහාර එල්ල කරන්නටය. ඒ ඔහුද මරාගෙන මැරෙමිනි.

“සහරාන්ට නිසි ප්‍රතිපත්තියක් නැහැ. මරපන් කපපන් කොටපන් කියලයි හැම තිස්සෙම කියන්නේ.

පුතාවත් එයා හැදුවේ ඒ විදිහට. පුතාත් එයා වගේම දරුණු පුද්ගලයෙක්. පුතාගේ ළමා මනස එයා එහෙම පිටින්ම වෙනස් කළා. මරාගෙන මැරෙන අයෙකු ලෙස. ඒකට එයා දක්ෂයි. එයාගේ වැඩ ගැන පුතා ගොඩක් දේවල් දන්නවා. පුතාගෙන් ඇහුවොත් එයා ඔක්කොම දේවල් කියයි.“ ඇය එසේ පවසන්නේ සයින්දමරුදු පිපිරීමෙන් අට හැවිරිදි වැඩිමහල් පුතා මියගොස් ඇති බව නොදැනය.

ඇය පවසන්නේ පාස්කු බොම්බ ප්‍රහාරයට මාසයකට පමණ පෙර පාණදුර සරික්කමුල්ලේ පිහිටි කුලී නිවසට සහරාන් ඔහුගේ පවුලේ සියලු දෙනා කැඳවා සාදයක් පැවැත්වූ බවය. සහරාන්ගේ මවුපියන් ඇතුළු සහෝදර සහෝදරියන්ද ඔවුන් විවාහ වී සිටින්නන්ද ඊට සහභාගි වූ බව ඇය කියයි. නැවතත් ඔහු පවුලේ සාමාජිකයන් සියලු දෙනාම එසේ කැඳවමින් අප්‍රේල් 17 වැනිදාද සාදයක් පවත්වා තිබේ. එසේ සාදයක් පවත්වන ලද්දේ පාස්කු ඉරිදා ප්‍රහාර නිසා වන්නට ඇතැයි ඇය කීවාය.

පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර දරු දෙදෙනා සමඟ තමන් සරික්කමුල්ලේ නවාතැන් ගෙන සිටි නිවසින් සමන්තුරේට පිටත් කළ බවද ඇය කියයි. එදා තමන් සමඟ සමන්තුරේ යන්නට සාරා සහ ෆෙරෝෂා එක් වී සිටි බව ඇය කියයි. සාරා යනු කටානේ කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තූන්ගේ බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන්ය. ඇය දෙමළ කාන්තාවකි. මුස්ලිම් ආගම වැලඳ ගන්නේ හස්තූන් සමග සිදු වන විවාහයත් සමඟිනි. ෆෙරෝෂා යනු මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල මොහාමඩ් නසාර් මොහොමඩ් අසාද් ගේ බිරියය. එදා සරික්කමුල්ලේ නිවසේ කටුවපිටිය බෝම්බකරු සහ මඩකලපුවේ බොම්බකරු රැඳී සිට ඇත්තේ සිය බිරින්දෑවරුන්ට සමුදෙන්නටය.

“ මම හිටියේ සහරාන්ගෙන් වෙන් වෙන්න බලාගෙනයි. ඒකට කවදාවත්ම මට සහරාන් ඉඩ දුන්නේ නැහැ. අපි එකට මැරෙනවා කියලා තමයි ඔහු නිතර මට කීවේ. එදා සහරාන් වෙනදාට වඩා වෙනස් පුද්ගලයෙකු හැටියටයි මම දැක්කේ. එයා තරමක් තැති ගැන්මකට ලක් වෙලයි හිටියේ. මාව වැලඳගෙන හැඬුවා. එයා අඬනවා මම කවදාවත් දැකලා නැහැ. අපි ආයිත් හම්බවෙන්නේ නැහැ. ළමයින් හොඳින් බලාගන්න. අපි අල්ලාහ් ළඟට යනවා, කියලා එයා කිව්වා.“ සහරාන්ගේ බිරිය ෆාතිමා පවසන්නීය.

“සහරාන් නිතරම කිව්ව දෙයක් තමයි, මුස්ලිම්වරුන්ට වෙනම රාජ්‍යයක් ඕනේ කියල. එයා අන්තවාදයේත් අන්තයට ගිහිල්ලයි හිටියේ. මට ටී.වී බලන්න පවා ඉඩ දුන්නේ නැහැ. හැබැයි හෑන්ඩ් ෆෝන් එකක් අරන් දීලා තියෙනවා. ඒකේන් ෆේස් බුක් , යූ ටියුබ් බලන්න තහනම්. ඒ සියල්ලක්ම බ්ලොක් කරලයි මට දුන්නේ. හැබැයි එයාගේ දේශන නම් ඇති තරම් ෆෝන් එකේ තිබුණා.“ යැයිද ඇය කියන්නීය.

ගිරිඋල්ලේ පිහිටි සාප්පුවකට ගොඩවැදී රුපියල් 29000ක සුදු ඇදුම් මිලදී ගන්නේ සමන්තුරේ යන අතර තුරදීය. සරික්කම්මුල්ලේ නිවසේදී රුපියල් 5000ක නෝට්ටු මිටිවලින් පුරවන ලද මල්ලක්ද සහරාන් වෑන් රථයට දැමූ බවද ඇය කියයි. ගිරිඋල්ලේ සාප්පුවෙන් සුදු රෙදි මිලදී ගන්නේ සාරාය.

“සුදු ඇඳුම් ගන්න කොට මම සාරාගෙන් ඇහුවා ඇයි මේ සුදු ඇඳුම් ගන්නේ කියල. ඒ වෙලාවේ එයා මගේ දිහා අමුතු විදිහට බලලා ඇහුවා ඇයි ඔයාට සහරාන් කිව්වේ නැද්ද? කියලා. මම කිව්වා නැහැ කියලා. ඒ වෙලාවේ එයා කිව්වා ඉස්සරහට ඕනෙ වෙයි, ඒකයි ගන්නේ, කියල“ සුදු ඇඳුම් ගැන ඇසූ විට ඇය පවසන්නේ එවැනි කතාවකි.

එම සුදු ඇඳුම්ද රැගෙන ඔවුන් එදා රෑම යන්නේ නින්දවූර් බලාය. ඔවුන් වෙනුවෙන් කුලී නිවසක් ඒ වන විටත් සූදානමින් තිබිණි. මීගමුවෙන් රැගෙන ආ පුපුරන ද්‍රව්‍යවලින් කොටසක්ද තිබෙන්නේ එම නිවසේ සඟවාය.

“ දවස් තුනක් ඒ ගෙදර අපි හිටියා. සහරාන්ගේ අම්මයි තාත්තායි, සහෝදරයන් දෙන්නයි, සහෝදරියයි ඔක්කොමලාම ඒ ගෙදරයි හිටියේ. එදා 21 හවස සහරාන්ගේ මල්ලි රිල්වාන් තවත් අයෙත් එක්ක වෑන් එකකින් කලබලෙන් ආවා. අපිව වෑන් එකේ දාගෙන සයින්දමරුදු ගෙදරට එක්කරගෙන ගියා. පොලිසියයි හමුදාවයි ඉන්න තැත් දැනගෙන පස්සෙ පන්නනවා කියල ඒ අය කිව්වා. පොලිසිය එක්ක සටන් කරන්න ඕනේ කියලත් කතා වුණා. ඔය අතරේ තමයි පොලිසිය ගේ වට කළේ. එළියේ වෙඩි ශබ්දෙ ඇහුණා. සහරාන්ගේ සහෝදරයා රිල්වාන් ආගම කියන්න කියලා අපිට සාලයට එන්න කිව්වා. පුතා හිටියේ සාලේ. සහරාන්ගේ අම්මයි තාත්තයි, මාම කෙනෙකුයි, නංගි හිදායයි, එයාගේ සැමියා රියාදුයි, සහරාන්ගේ අනෙක් මල්ලි සෙයිනුයි ඔක්කොම හිටියේ සාලේ. මම දුවව අරගෙන නාන කාමරයට ගියා. ඒත් එක්කම තමයි ගේ ඇතුළේ ලොකු පිපිරීමක් ඇහුණේ.“ ඇය ඒ බිහිසුණු මොහොත ගැන හඩ අවදිකරන්නේ එසේය.

එම පිපිරුම සිදු වන විට සහරාන් දුන් සල්ලි මල්ල තිබී ඇත්තේද එම නිවසේය. මිලියන ගණනක් එහි තිබිණි. එම මුදල්වලට කුමක් වී දැයි ඇත්තේ ගැටලුවකි.

රට පුරාම සෙවූ බෝම්බ වාහනවලට වූ දේ?

පාස්කු ප්‍රහාරයට පසු දින කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ නතර කර තිබුණු බෝම්බ වෑන් රථය පුපුරවා හැරීමෙන් පසු කලබල වන පොලිසිය එම වෑන් රථයේ අංකය ඔස්සේ ලියාපදිංචි හිමිකරු කවුරුන්දැයි සොයා බැලුවේය. එහිදී පෙනී යන්නේ එම වෑන් රථයේ ලියාපදිංචි හිමිකරු කිංග්ස්බරි හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් බවය. ඔහුගේ නමින් වාහන ගොන්නක්ම ලියාපදිංචි කර තිබිණි. ඔහු ඇතුළු මරාගෙන මැරුණු අන්තවාදීන්ගේ නම්වලින් ලියාපදිංචි කර තිබුණු වාහනවල ලැයිස්තුවක් පොලිසිය සකස් කළේය. එම ලැයිස්තුව රටපුරාම පොලිස් ස්ථානවලට යවන ලද්දේ එම වාහනවලත් බොම්බ අටවා තිබෙන්නට හැකි බැවින් එවන් වාහන හඳුනාගෙන අත්අඩංගුවට ගන්නටය. එම වාහන අතර යතුරුපැදි 12 ක්, වෑන් රථ 02ක්, කැබ් රථ 02ක්, ත්‍රී රෝද රථ 01ක්, කුඩා ලොරි රථ 01ක්, මෝටර් රථ 02 ක් විය. බෝම්බ වාහන 20 ක් ගැන කතාව සමාජ ජාල මාධ්‍ය මගින් රට කැලඹුවේ එම වාහන ලැයිස්තුව නිසාය.

මේ වන විට එම වාහන වලින් 16ක්ම පොලිසිය සොයාගෙන හමාරය. ඒ කිසිදු වාහනයක බොම්බයක් තබා බෝම්බයක් අටවා තිබුණු බවට හෝඩුවාක්වත් නැත. මරාගෙන මැරුණු බෝම්බ කරුවන්ගේ නම්වලට ලියාපදිංචිය තිබුණත් බොහොමයක් වාහන ඒ වන විටත් තිබුණේ වෙනත් පුද්ගලයන්ට විකුණා දමාය.

කොච්චිකඩේ පුපුරා ගිය වෑන් රියේ බෝම්බය අටවන වීඩියෝව හමුවෙයි

 

මේ වන විට කෙරී ඇති විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරය අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ගේ කල්ලියේ පුපුරන ද්‍රව්‍ය විශේෂඥයන් දෙදෙනෙකු සිට ඇත. පුපුරා ගිය සෑම බොම්බයක්ම සකස් කර ඇත්තේ ඔවුන් දෙදෙනාය. ඒ එක් අයෙකු වන්නේ කටුවපිටිය දේවස්ථානයේදී මරාගෙන මැරුණු හස්තූන්ය. දෙවැන්නා වන්නේ කල්මුනේ සයින්දුමරුදු පිපුරුමෙන් මිය ගිය සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන්ය.

රිල්වාන්ගේ එක් ඇසක් සහ අතක ඇඟිලි කිහිපයක් අහිමිය. ඒ බෝම්බයක් සකසන්නට ගොස් එය වැරදීමෙන් ඇතිවුණු පිපුරුමකිනි. එම අනතුරට ඔහු මුහුණ දී ඇත්තේ කාතන්කුඩියේ පිහිටි පුහුණු කදවුරේදීය. සහරාන්ගේ අනුගාමිකයන්ට පුහුණු කදවුරු සහ පුහුණු මධ්‍යස්ථානවලදී බෝම්බ ඇටවීමට පුහුණුව දෙන්නේ හස්තූන් සහ රිල්වාන්ය. ඒාිිිිිිිිිිිිි දෙදෙනාගෙන් හස්තූන් සිටියේ රිල්වාන්ට වඩා ඉදිරියෙනි. බෝම්බ අටවන්නට ඔහු දැනුම ලබන්නේ අන්තර් ජාලයෙනි.

කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ පුපුරවා හරින ලද වෑන් රථයේ ඇටවූ බොම්බය ගැන මේ වන විට ඇත්තේ අමුතුම කතාවකි. විමර්ශකයන් හෙළි කරගෙන ඇති ආකාරයට අනුව එම වෑන් රථයේ බෝම්බය අටවා ඇතැයි සැලකෙන්නේ ඒ කිට්ටුපාතක තැනකදීය. බොම්බය අටවන අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද දැන් ඇත්තේ විමර්ශකයන් අතය.

“ත්‍රස්තයන් බෝම්බ සකසන්නට භාවිතා කරන්නේ ඇමෝනියා නයිට්ට්‍රේට් මූලික කරගත් පිපිරුම්කාරකයක්. හැබැයි එම පිපුරුම් කාරකය සී. 04 තරම් ප්‍රබල එකක් නම් නෙමෙයි. ඔවුන් ඊට වෝටර් ජෙල්, ඩයිනමයිට්, යූරියා, පොටෑසියම් නයිට්ට්‍රේට්,සල්ෆියුරික් ඇසිඩ් වගේ දේවලුත් අඩු වැඩියෙන් එක් කරනවා. එම පිපිරුම්කාරකය ඔවුන් නම් කර තිබෙන්නේ ටී.ඒ.ටී.පී. කියලයි. හැබැයි දේවස්ථාන සහ සංචාරක හෝටල් වල පුපුරාගිය බෝම්බ ටී.ඒ.ටී.පී ද යන ගැටුළුව තියෙනවා.“ ඒ සැකය මෙරට සිටින අංක එකේ පුපුරන ද්‍රව්‍ය විශේෂඥයෙකුගේය.

“යම් පිපිපුරුමක් සිද්ධ වුණාම පිපිරීමේ ශීඝ්‍රතාව අපි පරීක්ෂා කරනවා. ඒ කියන්නේ යම් පිපිරීමකදී කම්පන තරංග විසිරෙන වේගය. ටී.ඒ.ටී.පී.වලින් කෙරෙන පිපිරුමකදී ඇතින පිපිරීමේ ශීඝ්‍රතාව 5200ක් වෙනවා. ඒත් දේවස්ථාන සහ හෝටල්වල සිදුවෙලා තියෙන පිපිරුම්වල සීග්‍රතාව 7200 යි. ඒකයි මෙතරම් විනාශයක් සිදුවෙලා තියෙන්නේ.“ එම සැකය ඇති වන්නට හේතුව ඔහු පෙන්වා දෙන්නේ එසේය.

සෞදි අත්අඩංගුවේ සිටින අන්තවාදීහු

 

සහරාන් ඇතුළු ඔහුගේ කණ්ඩායමේ කොටසක් පාස්කු ඉරිදා දේවස්ථාන සහ හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කරන විට දෙවැනි ප්‍රහාරයට සූදානමින් සිටි සහරාන්ගේ දකුණු අත බදු මොහොමදු මිල්හාන් හෙවත් අබු සීල සිටින්නේ මක්කම වන්දනාවේ ගොසිනි. අයි.එස්. ත්‍රස්තයන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති ඔහු මරාගෙන මැරෙන පුහුණුව ලැබූ අන්තවාදියෙකි. 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වව්නතිව් හී පොලිස් මුරපොළක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන සැකකරු වන්නේ ඔහුය.

එදා ටී 56 අවියකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තබන්නේ ඔහුය. කබීර් හෂීම් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ මොහොමඩ් නස්ලිම් මාවනැල්ලේදී වෙඩි තබා ඝාතනය කරන්නට උත්සහ ගන්නේද මිල්හාන්ය.

මක්කම වන්දනාව නිම කර ඔහු මෙරටට පැමිණීමට නියමිත ව සිටියේ පසුගිය 30 වැනිදාය. එහෙත් ඔහු වෙනුවට මෙරටට එදා එන්නේ ඔහුගේ ගමන් මල්ලය. සෞදි ගුවන්තොටුපොළේ සැඟවුණු ඔහු පසුව සෞදි බලධාරීන් අත්අඩංගුවට ගන්නේ මෙරටින් කළ දැනුම් දීමකට අනුවය. ඒත් එක්කම ඉන්දියාවේ රෝ ඔත්තුවකින්ද සෞදි බලධාරීහු තවත් අන්තවාදීන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත්හ. ඉන්දියවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඒ සම්බන්ධයෙන් වාර්තා කර ඇති තොරතුරුවලට අනුව ඒ අය අතර සහරාන්ගේ මස්සිනාද සිටී.

හින්දුස්ථාන් ටයිම් වාර්තාවට අනුව ඔහු නමින් මව්ලවි රිලාය. ඒ අනුව මෙරට ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ තිදෙනෙක් සෞදි පොලිස් අත්අඩංගුවේ සිටිති. සතියක් ඉක්මවා ගොස් ඇතත් ඔවුන් මෙරටට භාරදීමට සෞදි බලධාරීන් තවමත් සූදානමක් ඇති බවක් නම් පෙනෙන්නට නැත.

සිළුමිණ 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top