Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
3,633
Views
කටුවපිටිය දෙව්මැදුරේ සියයකට වැඩි පිරිසක් වැටිලා හිටියා.. කඳක් නැති හිසකුත් ඒ අතර තිබුණා
උදේ 8.45 ට පිපිරුම් ශබ්දයක් ඇහුණා..
 
සමහර අයගේ ඇඳුම් පාවහන් සිසීකඩ තිබුණා...
 
"කටුවපිටිය දේවස්ථානය තුළ සියයකට අධික පිරිසක් සිසීකඩ වැටී සිටියා. ඒ අය අතර මියගිය උදවියද සිටි අතර කඳන් නොමැති මිනිස් හිසක් පල්ලිය තුළ වැටී තිබුණා..."යැයි මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ මරණ පිළිබඳ පැවති මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් කටාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝෂල චමිත් නවරත්න (45) මහතා පැවසුවා.
 
කටුවපිටිය සාන්ත සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානයට පාස්කු ඉරුදින එල්ලකරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මරණ පිළබඳව මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසිනුයි.
 
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 110 දෙනෙක් මිය ගිය අතර දෙදෙනෙකු අතුරුදන්ව සිටින අතර තිදෙනෙකු හඳුනාගෙන නැහැ.
 
මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද්දේ අප්‍රේල් මස 21 වන ඉරුදිනයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂණ ධම්මික සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන් තවදුරටත් සාක්ෂි දුන් චමිත් නවරත්න මහතාද මෙසේ ද සඳහන් කළා.
 
"ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 22ක් සේවය කර තිබෙනවා. කටාන පොලිසියට සේවය සඳහා පැමිණ මාස 9ක් පමණ ගතවී තිබෙනවා. 21 වන දින මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා...."
 
"මෙම සිද්ධිය වූ ස්ථානයට ගිය ජිප් රථය පදවන ලද්දේ පොලිස් රියදුරු ජයමහ මහතායි. එදින මා අක්කර පනහ ප්‍රදේශයේ සංචාරයක් කළා..."
 
"උදේ 8.45 ට පමණ කටුවපිටිය පල්ලිය දෙසින් විශාල පිපිරීම් ශබ්දයක් ඇහුණා. මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා පිපිරීම් සම්බන්ධයෙන් මගෙන් විමසා සිටියා. කටුවපිටිය පල්ලිය දෙසින් පිපිරීමක් සිදුවී ඇති බව මම දැනුම් දුන්නා. මම එහි ගියා..."
 
"මෙම පිපිරීම් සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරින් මා දැනුවත් කළා. රෝහලේ 1990 ගිලන් රථ සේවය ද දැනුවත් කළා. පල්ලිය තුළ සිටි තුවාලකරුවන් වහා ඉවත් කර ඔවුන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගත්තා. දේවස්ථාන භූමියෙහි අනවසරයෙන් රැඳි සිටි අය වහා ඉවත් කළා..."
 
"මා පිපිරීම සිදු වූ ස්ථානයට යන විට උදේ 8.53 පමණ ඇති. දේවස්ථාන භූමියේ සිටන බැතිමතුන් එහා මෙහා දිවයන ආකාරය දුටුවා. යාඥා කරමින් සිටි බැතිමතුන් දේවස්ථානය තුළ තිබූ බංකු මත වැටී සිටියා..."
 
"පොලිසිය ත්‍රිවිධ හමුදාව මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් කළා. මෘත ශරීර කොටස් දේවස්ථානය තුළ සිසීකඩ වැටී තිබුණා. සමහර අයගේ අත් පා සිසීකඩ වැටී තිබුණා. පල්ලිය තුළ බිම මිනිස් ලේ තැවරී තිබුණා. වහලේ උළු කැඩී සිසීකඩ විසිරි තිබෙනු මා නිරීක්ෂණය කළා. පල්ලියේ ජනෙල් දොරවල් වීදුරු බිඳි තිබුණා..."
 
"පොලිස් නිලධාරින් පිරිසක් ආරක්ෂාව සඳහා අවශ්‍ය ස්ථානවල ස්ථානගත කළා. මේ වන විට 1500ක් පමණ දේවස්ථාන භූමියේ සිටියා. පල්ලිය තුළ බැතිමතුන් 650ක් 800ක් පමණ සිටි බැව් දැනගත්තා..."
 
"දේවස්ථානයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී දැකගත්තා යම්කිසි පුද්ගලයෙක් පිටේ බෑගයක් එල්ලගෙන පල්ලියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙනවා. ඊට පසුව ඔහු ආපසු හැරි ටික දුරක් ගමන් කර ප්‍රධාන දොරින් යළිත් ඇතුළු වෙනවා සටහන් වී තිබුණා..."
 
"දේවස්ථානය තුළ සියයකට වැඩි පිරිසක් වැටිලා හිටියා. මෙම සිද්ධිය වන විට ප්‍රදේශයේ කාලගුණය හොඳ තත්ත්වයක තිබුණා. දේවස්ථාන 13ක් අතරින් ප්‍රධාන පල්ලිය මෙම පල්ලියයි. මෙම පිපිරීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කළා. මං මෘත ශරීර 31ක් (ඒ වන විට) රෝහලට යැව්වා. ශරීර කොටස් තිබූ ස්ථාන ආරක්ෂා කිරීමට නිලධාරින් යෙදෙව්වා. තුවාල ලත් අය හඳුනා ගැනීමට විමර්ශන සිදු කළා..."
 
"මා දේවස්ථානය තුළ නිරීක්ෂණය කරන විට යම් අයෙකුගේ හිසක කොටසක් තිබුණා. වෙන හිස් කොටස් බිම වැටී තිබුණේ නැහැ. දේවස්ථානයේ බංකු තැන් තැන්වල කැඩිලා වැටී තිබුණා. වහලේ උළු බිඳි අහස පෙනෙන තත්ත්වයක තිබුණා...."
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 2 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. ජානක මාරසිංහ මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවසුවා.
 
"අධ්‍යක්ෂකතුමා මට 21 වැනි දින දැනුම් දුන්නා කටුවපිටිය පල්ලියේ පිපිරීමක් සිදුවී තිබෙන බවත් එම ස්ථානයට ගොස් විමර්ශනයක් පවත්වන ලෙසටත්. මා නිලධාරින් කිහිප දෙනෙකු සමඟ වෑන් රථයකින් එම ස්ථානයට ගියා සේවයට වාර්තා කරලා. ඒ ස්ථානයට යන විට මෘත ශරීර කොටස් සිසීකඩ විසිවී තිබුණා. සොකො නිලධාරින් අදාළ ස්ථානයට ආවරණ යොදා තිබුණා. එකි නිලධාරින් ද එහි සිටියා. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාත් පොලිසිය හා ත්‍රිවිධ හමුදා නිලධාරිවරුනුත් හිටියා....."
 
"වහලයේ උළු කැට වැටී සිසීකඩ විසිවී තිබුණා. ගෘහභාණ්ඩ කැඩිලා තිබුණා. විදුලි පංකා ක්‍රියා විරහිත වී තිබුණා. බිත්ති නෙරා ගිය බවට සිදුරු තිබුණා. සමහර අයගේ ඇඳුම් පාවහන් සිසීකඩ තිබුණා. මෘත ශරීර කොටස් තැන් තැන්වල විසිරී තිබුණා.. සිසීටීවි කැමරා දර්ශණ පරික්ෂා කළා. එම කැමරා පද්ධතිය පිපිරීමෙන් පසුව ක්‍රියා විරහිත වී තිබුණා. කැමරා දර්ශන අනුව පල්ලියේ බැතිමතුන් පිරී ඉතිරි සිටියා..."
 
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් අසන්ත හේමවංශ (478) මහතාගේ සහාය ඇතිව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්කි මෙහෙයවන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ධම්මික සේනාධීර මහතා විසිනුයි.
 
වැඩිදුර විභාගය පසුවට කල්දමනු ලැබුවා.
 
- ඩබ්ලිව්. හියුබට් ප්‍රනාන්දු -
ලංකාදීප

කටුවපිටිය දේවස්ථානයේ බෝම්බකරු පැමිණෙන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන් වූ හැටි (පහත වීඩියෝව බලන්න.)


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top