Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
2,787
Views
ඒ ඉකුත් 21 දිනය. කොටහේන - කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ ඉදිරිපස ඉහළින් සවි කර ඇති ඔරලෝසුවේ වේලාව උදෑසන 8.45 සනිටුහන් විය. ඒ වනවිටත් දෙව්මැදුර බැතිමතුන්ගෙන් පිරී පැවතුණි. ඒ කිතු සමිඳාණන් මරණයෙන් උත්ථානය වීම සැමරීමේ ඉරු දින පාස්කු දේව මෙහෙයටය.

ඔවුන් සියලුදෙනා දේව මෙහෙයට සහභාගි වෙමින් යාච්ඤාවල නිරත වී සිටියහ.එක්වරම ඇසුණේ හෙණයක් ගැසුවා සේ පිපිරුමකි. දේව මෙහෙයේ සිටි බැතිමතුන් කිසිවක් සිතීමට පෙරම බිම ඇද වැටුණි.

සාන්ත අන්තෝනි මුනිදු දේවස්ථානයේ එසේ පිපිරුමක් වෙද්දී මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැතියේ දේව මෙහෙයේ අවසානයයි. යාච්ඤාව මෙහෙය වූ පියතුමන් සියලුදෙනාටම සාමය පැතිරේවා යැයි ආශිර්වාද කරද්දී දේවස්ථානයේ දකුණු පස දොරකින් බර බෑගයක් කරේ දමාගත් තරුණයෙක් පල්ලියට ඇතුළු වූයේය. කලබලයේ දේවස්ථානයට ඇතුළු වූ ඔහු දේව මෙහෙය පැවැත්වෙන ශාලාවේ මැදට ගොස් බෑගය සොලවනවා පමණක් පියතුමන් දුටුවේය.

ඒ සමගම දේවස්ථානයේ වහලය ගැලවී යන තරමට විශාල පිපිරුමක් ඇති විය. මොහොතකින් හැමතැනම දිස් වූයේ එකම ‍ලේ ගොඩකි. දසතින් අදෝනා නැගෙන්නට විය.
මේ අතර මඩකලපුව සියෝන් දේවස්ථානය පැවැතියේද දේව මෙහෙයට සුදානම් වෙමිනි. වෙනදා දේවස්ථානයේ නොදකින මුහුණක් පූජාව මෙහෙය වූ සහෝදරතුමන්ගේ නෙත ගැටුණි.

“මම ඔබව දැකලා නෑ” සහෝදරතුමන් විමසු විට “මම මේ පැත්තේ නෙමේ. අද පාස්කු නිසා මෙහෙට එන්න හිතුවේ. කීයටද පුජාව පටන් ගන්නේ යැයි එකී පුද්ගලයා සහෝදරතුමන්ගෙන් විමසා සිටියේය.
“තව ‍පොඩ්ඩකින් පටන් ගන්නවා. ඇතුළට එන්න” යැයි සහෝදරතුමන් ආරාධනා කළ විට “මට කෝල් එකක් එන්න තියෙනවා. මම ඒක ආවහම යන්න ඕනේ. ඒ නිසා මෙහෙන් ඉන්නම් යැයි ඔහු කීවේය.

ඒ වනවිට පැවැතියේ දේව මෙහෙය සඳහා පැමිණෙන්නන් ලියාපදිංචි කර දේවස්ථානය තුළට ඇතුළුකර ගැනීමය. කුඩා ළමුන් දේවස්ථානය පුරා දුව පනිමින් සිටියහ. අකුණක් ගැසුවා සේ දේවස්ථානයේ එක්වරම විශාල ශබ්දයක් සමග ගින්නක් ඇති වූයේ පාස්කු දේව මෙහෙය වළකවාලමිනි.

මෙම දේවස්ථාන තුනෙහිම බෝම්බ පිපිරීම් මාලාවක් වූයේ ආගමික බැතිමතුන් රැසකට ජීවිත හානි කරමිනි.
එමෙන්ම මේ සමගින් කොළඹ තරු පහේ හෝටල් වන ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංස්බරි හෝටල් තුනෙහිද බෝම්බ පුපුරා ගියේ මුළු රටම තැති ගන්වමිනි.

තිස් වසරක යුද්ධය නිමාවට පත්ව වසර දහයක් සාමකාමීව පැවැති රටට එක්වරම මේ පතිත වූ හෙණය කුමක්දැයි යන්න සියලු දෙනාම කලබලයට පත්ව සිටියහ.

ශ්‍රී ලංකා ‍පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සියලුදෙනා වහ වහා ඒ පිපිරුම් සිදු වූ ස්ථානවලට ගොස් විමර්ශන කටයුතු ඇරඹූහ. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක් ඊට ඇතුළත් විය.

මේ අතර ෂැංග්‍රිලා හෝටලයේ විමර්ශන කරමින් සිටිය නිලධාරීන්ට ගෙලෙන් ගැලවී ගිය මුහුණු කොටසක් හමුවූයේය. ශරීරයේ ගෙලෙන් මුහුණ ගැලවී යන්නේ බෝම්බයක් ඇඟ බැඳ සිටි අයකුගේ පමණක් වන හෙයින් ෂැංග්‍රිලා හෝටලයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු මොහු බවට ආරක්ෂක අංශ තහවුරු කර ගත්හ.

මේ අතර හෝටලයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ නිලධාරීන්ට නිරීක්ෂණය වූයේ මොහු හෝටලයට තවත් පුද්ගලයකු සමග වෑන් රථයකින් පැමිණෙන බවය. වෑන් රිය ඔවුන් හෝටලයෙන් බස්සවා පිටව යන අයුරු එහි සටහන්ව තිබූ අතර වෑන් රථයේ අංකයද පැහැදිලිව දර්ශනය විය.

විමර්ශන නිලධාරීන් මෙම වෑන් රථයේ අංකය සියලු ‍පොලිස් ස්ථාන වෙත වහාම ලබා දුන්හ. ඒ අනුව වැල්ලවත්ත - රාමක්‍රිෂ්ණන් මාවතේ ගමන් කරමින් තිබියදී මෙම වෑන් රථය අත්අඩංගුවට ගත්තේය. ඒ වැල්ලවත්ත ‍පොලීසිය මගිනි. එකී වෑන් රථය කුලී සේවා සපයන ස්ථානයකට අයත් එකක් වු අතර රියැදුරු කියා සිටියේ හෝටලයට පැමිණි පුද්ගලයා පානදුරේ සිට රැගෙන ආ බවය. ඒ ඉකුත් 20 දා රාත්‍රියේය.

ඒ අනුව ‍පොලිස් විශේෂ කාර්ය බළකායද සමගින් ‍පොලීසිය පානදුර, කෙසෙල්වත්ත පිහිටි එකී නිවස සොයා ගියේය. එහිදී අනාවරණය වූයේ ෂැංග්‍රිලා හෝටලයට සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වෙත ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් එම නිවසේ නවාතැන් ගෙන සිටි බවය.


මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන නමින් පෙනී සිටි තැනැත්තකු විසින් ඉකුත් පෙබරවාරි 19 වෙනි දින අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමක් මත මෙම නිවස බදු පදනම මත ලබාගෙන ඇති බව මෙහිදී හෙළි විය. මාසිකව රුපියල් 40000ක මුදලකට එකවර රුපියල් හාරලක්ෂ අසූදහසක මුදලක් ගෙවා ඇති බවද මෙහිදී නිවෙස් හිමිකරු ප්‍රකාශ කර තිබේ. ඔහුට ෂැංග්‍රිලා හෝටලයේ තිබූ මරණකරුගේ මුහුණ සහිත ඡායාරූපයක් විමර්ශන ‍පොලිස් නිලධාරීන් පෙන්වා සිටි අවස්ථාවේ නිවසේ ඔහු සිටි බව හඳුනා ගත්තේය. ඔහු පවසන ආකාරයට මෙම නිවසේ තරුණයන් දෙදෙනකු සිටි බවත් වරින් වර කාන්තාවක් හා කුඩා දරුවකුද පැමිණ තිබේ.


මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඉදිරිපිට ඇති ටේ‍රාපිකල් ඉන් හෝටලයේ පිපිරීමක් සිදුවූයේ රට තවතවත් තිගැස්සමට ලක් කරමිනි. ඒ පස්වරු 1.45ට පමණය. එහිදී පුද්ගලයන් හයදෙනකු තුවාල ලබා තිදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබුණි. මෙම හෝටලයට උදෑසන පැමිණි පුද්ගලයකු කාමරයක් කුලියට ගෙන පසුව එළියට ගොස් නැවත ඇතුළට ආ අවස්ථාවේ මෙම පිපිරීම සිදුව තිබුණි. මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් දෙහිවල දේවස්ථානයට ප්‍රහාර එල්ල කරන්නට පැමිණ එය ව්‍යර්ථ වූ හෙයින් නැවත හෝටලයට පැමිණ බෝම්බ ඇඳුම් කට්ටලය ගැලවීමේදී මෙම බෝම්බය පුපුරා යන්නට ඇති බව මෙහිදී විමර්ශන පැවැත්වූ ‍පොලීසිය සැක පළ කළේය. මෙම සැකකරු මහනුවර, වෙලම්බඩ පදිංචි අබ්දුල් ලතීෆ් ජමාල් නමැත්තෙකි.


ඔහු 2006 වසරේ ජනවාරි 1දා බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් ඇති අතර 2007 සැප්තැම්බර් 29දා නැවත මෙරටට පැමිණ තිබේ. පසුව නැවත වරක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට ගොස් 2013දී නැවත මෙරටට පැමිණ තිබේ. ඒ ගුවන් යානා ඉංජිනේරුවකු ලෙසිනි. මොහු ටේ‍රාපිකල් ඉන් හෝටලයට යාමට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගෙන ඇති බවද හෙළිව ඇත.


එසේ දෙහිවල පිපිරුමක් වාර්තා වෙද්දී කොළඹ අපරාධ කොට්ඨාසයට හෙළි වූයේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන ඝාතකයා කවුද යන්නය. ඔහු ඉම්ෂාන් අහමඩ්ය. පදිංචිව සිටියේ දෙමටගොඩ-මහවිල උද්‍යාන පටුමගේය. ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහාම එම නිවස බලා ගියහ. ඒ 21දා දහවල්ය. මහල් තුනකින් සමන්විත අධි සුඛෝපභෝගි නිවසක් වූ එම නිවසට ‍පොලිස් නිලධාරීන් ඇතුළුවන විටම පිපිරීමක් ඇතිවිය. එකී පිපිරීම වී තවත් විනාඩි කිහිපයක් තුළ තවත් පිපිරීමක් සිදුවූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ උප ‍පොලිස් පරීක්ෂකවරයකුට හා ‍පොලිස් නිලධාරීන් දෙදෙනකුට දිවි අහිමි කරවමිනි. ඒ අනුව 21 දින පමණක් ස්ථාන අටක පිපිරීම් නවයක් සිදු විය.


දැනට හෙළිව ඇති කරුණු අනුව මෙහිදී පිපිරීමෙන් මිය ගොස් තිබුණේ කාන්තාවක් හා කුඩා දරුවන් දෙදෙනෙකි. මෙම නිවසේ සිටි නිවෙස් හිමිකරු ඇතුළු නිවසේ රැඳී සිටි පිරිසක් මෙහිදී අත්අඩංගුවට පත් විය.
නිවසේ හිමිකරු වූයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ඊබ්‍රහිම් හෙවත් ඊබ්‍රහිම් හජ්ජියාර්ය. ඔහු කුළුබඩු අපනයනය කිරීමේ ප්‍රබල ව්‍යාපාරිකයෙකි.

ඔහු සිය සමාගම නම් කර තිබුණේ ඉෂානා එක්ස්‍පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් නමිනි. 2014 -2015 කාලයේ වැඩිම විදේශ විනිමයක් මෙරටට උපයා දී ඇති ව්‍යාපාරිකයා ලෙස මොහු 2016 වසරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ව්‍යවසායකයන් ඇගයීමේ සම්මාන උළෙ‍ලේදී සම්මානයක් පවා හිමිකරගෙන තිබේ. ඔහුට දරුවන් නවදෙනකු සිටින අතර ෂැංග්‍රිලා හෝටලයේ හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූයේ ඉන් පුතුන් දෙදෙනෙකි.


එසේ මියගිය පුතුන් දෙදෙනා වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉම්සාත් අහමඩ් (33) හා මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් (31) අහමඩ්ය. මොවුන් පදිංචිව සිටියේද මෙම මහවිල ගාඩ්න්හි පිහිටි නිවසේය.
මෙම නිවසට නිරන්තරයෙන්ම විවිධ පුද්ගලයන් පැමිණ ඇති අතර ඔවුන් සමාජයට අඟවා ඇත්තේ දුප්පතුන්ට ආධාර දෙන බව යැයි ප්‍රදේශවාසීන් පවසති.


මොහොමඩ් ඊබ්‍රහිම් ඉම්සාත් අහමඩ් තඹ ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙකි. වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල පාර මහල් හතරකින් යුත් ‍පෝසන් ගොඩනැගිල්‍ලේ ඔහුගේ කොලෝසස් නමැති පෞද්ගලික සමාගම පවත්වාගෙන ගොස් ඇති නමුත් මෑත කාලයේ සිට ඔහු එහි ව්‍යාපාරික ලිපිනය ලෙස භාවිත කර ඇත්තේ මුවර් විදියේ ලිපිනයකි.
‍පොලීසිය පවසන ආකාරයට ඉහත ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ නිපදවා ඇත්තේ මෙම කම්හ‍ලේදීය. එසේ නිෂ්පාදනය කරන බෝම්බ පානදුරේ නිවසටද රැගෙන ගොස් ඇති බවද පැවැසේ.

ඉන්සාන් ඉකුත් 19 වෙනි දින සිය බිරිඳගෙන් සමුගෙන ඇත්තේ ව්‍යාපාරික කටයුත්තකට සැම්බියාවට යන බව පවසමින් බව ඔහුගේ බිරිඳගේ සොහොයුරා වන අෂ්කාන් අලම්දීන් ඉකුත් දා හෙළිකර තිබුණි. සැමියා ඇරලීමට ගුවන්තොටුපළට ගිය අවස්ථාවේ ඇයව දැඩිව වැලඳගෙන තදින් ගෙල ස්පර්ශ කරනු දුටු බවත් ඉකුත් 21 දා උදෑසන 7.30ට පමණ දුරකථන ඇමතුමක් දී සැපදුක් විමසූ බවද ප්‍රකාශ කර තිබිණි.

''අපේ පවුල මෙයාලා නිසා විනාශ වුණා. අපි මෙහෙම දෙයක් කලින් දැනගෙන සිටියා නම් ‍පොලීසියට දන්වනවා'' යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ආරක්ෂක නිලධාරීන් දෙමටගොඩ - මහවෙල උද්‍යානයේ නිවසට ගිය අවස්ථාවේදී වූ පිපිරීමෙන් මියගොස් තිබුණේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන ඝාතකයා වු මොහොමඩ් ඊබ්‍රහිම් ඉම්ෂාන් අහමඩ්ගේ ගැබිනි බිරිඳ වූ පාතිමා ජිප්රි හා ඔහුගේ දරුවන් දෙදෙනාය. මෙම පිපිරවීම යම් කිසිවකු දුරස්ථ පාලකයකින් සිදු කළාද යන්න ආරක්ෂක අංශවලට සැකයක් පවතින අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශන අරඹා තිබේ.

මේ අතර පානදුර කුලී නිවසෙන් ආරක්ෂක අංශ විසින් ෂැංග්‍රිලා හෝටලයට පහරදීමේ දළ සැලැස්මක් ඇතුළු බෝම්බ නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක්ද සොයා ගැනීමට හැකිව තිබුණේ් ඉන්සාන් හා ඉල්හාම් ඇතුළු බෝම්බකරුවන් එහි කල් ගෙවූ බව තවත් හොඳින් තහවුරු කරමිනි.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් දින තුනකට පසුව ප්‍රහාරයේ වගකීම ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගන්නා බව මහා බ්‍රිතාන්‍යයේ බි.බි.සී. ප්‍රවෘත්ති සේවයට කියා තිබුණි. ඒ සමගම ඔවුන් කියා තිබුණේ මෙම ප්‍රහාරය තමන්ගේ අධීක්ෂණය යටතේ ලංකාවේ ක්‍රියාත්මක වන ජාතික තව්හීද් ජමාද් සංවිධානය විසින් කළ බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් එහි නායක මොහොමඩ් නාසිම් මොහොමඩ් හෙවත් සහරාන් හාෂිම් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින අයුරු පිපිරීම්වලින් පසුව අන්තර්ජාලයට මුදාහැර තිබිණි. එහි සහරාන් පමණක් මුහුණ වසාගෙන නොසිටි අතර සෙසු පිරිස මුව ආවරණය කරගෙන සිටින අයුරු දිස්විය. එමෙන්ම මෙම පිරිස අතර කාන්තාවන්ද සිටින බව ආරක්ෂක අංශ සැක පළකරනු ලබයි. ඒ ඔවුන්ගේ දෑත් අතර සුදු පැහැති අත්පළදනාවක් පැලඳි දෑතක් ඇති බව නිරීක්ෂණය වීම නිසාය.

මේ අතර ෂැංග්‍රිලා හෝටලයට ඉම්සාත් සමගින් ගිය මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ගේ නමට ලියාපදිංචි කර තිබූ ලොරි රථයක් වත්තල, නායක්කන්දේදී කොටහේන ‍පොලීසිය විසින් සොයා ගැනුණි.
එමෙන්ම මෙම බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැකකරන සැකකරුවන් හා සැකකාරියන් පිරිසක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

ඒ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්, ෆාතිමා ලතිෆා, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක්, පුලස්තීනි රාජේන්ද්‍රන් නොහොත් සාරා, අබ්දුල් කාදර් ෆාතිමා කාදියා හා මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන් යන අය පිළිබඳවය.

ශානිකා මාධවී පීරිස්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top