Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 02
2,733
Views
වික්ටර් රත්නායකගේ ආදරණීය බිරිය වූ නිසාම හෂිනි කවුරුත් දන්න කෙනෙක් වුණා. 
ගී නොගැයුවත් ඇය කලාව ගැන කතා කළේ හරිම ආත්මීය බැඳීමකින්. ඇය පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකි මේ.... 

ඉතින් හෂිනි ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ...
මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි... වික්ටර්ගේ සරස ප්‍රසංග කිහිපයක් ඉදිරියේදී තියෙනවා... ඒවට තමයි ගොඩක් මහන්සි වෙන්නෙ... තවත් වික්ටර්ගේ යූටියුබ් නාලිකාවක් අපි ආරම්භ කළා. ඒක වෙනස්ම විදියේ වැඩක් විදියට තමයි අපි කරන්න හදන්නෙ. ගීතයක උප්පත්තිය සිදුවුණේ කොහොමද? ඒ ගීතය පසුබිම් වුණ සිද්ධි සියල්ල වික්ටර්ගේ රසිකයන්ට මේ නාලිකාව හරහා දැක බලාගන්න පුළුවන්... මේ වැඩකටයුතුත් එක්ක ජීවිතෙත් සුන්දර විදියට ගෙවෙනවා...

 හෂිනිගේ ජීවිතයට සමීප වුණු, පේනවාට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපු, සරලවම කිව්වොත් හෂිනිගේ හිතට දැනුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද..?  

ජීවිත කාලෙට මට ඒ වගේ නිර්මාණ කිහිපයක්ම මුණගැහිලා තියෙනවා... ඔබ ඔය ප්‍රශ්නය මට යොමුකරපු ගමන්ම මම තීරණය කළේ පොතක් ගැන කතා කරනවා කියලා.. මොකද පොත් කියන්නෙ මගේ ජීවිතයත් එකක් බැඳිලා තියෙන දෙයක්.. පුංචි කාලේ ඉඳන්ම පොත් කියවන්න මම ඇබ්බැහිවෙලා හිටියේ... කුඩා කාලේ සෝවියට ළමා කතා, හත්පෙති මල වගේ පොත් තමා කියෙව්වේ... පස්සෙ පස්සේ බෙංගාලි, සෝවියට සාහිත්‍ය කතා, ඉතාලි ප්‍රංශ පරිවර්තන කියවන්න හුරු වුණා... මම පරිවර්තනවලට කොච්ච හුරු වුණාද කියනවනම් අදටත් මගේ කැමැත්ත තියෙන්න ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා පරිවර්තනවලට... පරිවර්තන කෘතිවල ඉතා සුළු සිද්ධියක් පවා පෙළගස්වන්නෙ හරිම සියුම් විචිත්‍ර විදියට අපූරු ආකාරයකට. එහෙම පොත් ගොඩක් කියවල තියෙන නිසා එක පොතක් තෝරගන්න සෑහෙන අමාරුයි... බ්ලැක් ටියුලිප්, ඇට මැස්සා, හයේ වාට්ටුව, කොලරා කාලේ ආලේ වගේ පොත්වලට මම වහ වැටුණා ඒවා...  හැබැයි මේ හැම පොතකටම වඩා මගේ හිතේ නොමැකෙන චරිතයක් ජීවත්වන පොතක් ගැන තමයි මම අද කියන්නෙ... මම හැමදාම ආදර කල, ආදරය කරන   එයා තමයි ලූකා... ඔහු මට මුණගස්වන්නේ  ඉතාලියානු ජාතික ගත්කතුවරයකු වූ ඉග්නාට්සියෝ සිලෝනෙ රචනා කරපු The Secret of luca කියන පොත ගැන... මුල් කෘතියේ රසයට හානියක් නොවන සේ පොත පරිවර්තනය කළේ ඉන්ද්‍රානි රොද්රිගෝ... ලූකා කැබටීන් කියන්නෙ ඒ පොතේ ඉන්න ප්‍රධාන චරිතය... ඔහුගේ නම තමා සිංහල පරිවර්තනයට ඉන්ද්‍රනි රොද්රිගෝ යොදන්නෙ... 

 හෂිනි... මොකක්ද විශේෂ හේතුව ලූකාටම මෙච්චර කැමැත්තක් ඇතිවෙන්න..?

ලූකා පොත මට විශේෂ වෙන්න හේතුව තමයි ඒ පොතේ ඉන්න ලූකා කැබටීන් කියන චරිතය මගේ ජීවිතය ගොඩක් සමීපයි... ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා... ඒ හේතුව තමයි ඔහු ප්‍රේමයට පුදුම විදියට අවංකයි... ලූකා හරිම සංවේදී චරිතයක්, ඔහුට තිබුණේ අතිශය සියුම් හැඟීම්...  ඔහු තමයි මම දැකපු හොඳ ප්‍රේමවන්තයා... සමස්තයක් හැටියට ලූකා පොත පුරාවටම තියෙන්නේ අතිශය සියුම් මානව හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. අදටත් මට හිතෙන්නෙ නෑ මේ කතාව ප්‍රබන්ධයක් කියලා... හරියට අපි අත්විඳපු දෙයක් වගේ... ලූකා සැබටීනි කියන්නෙ අගනගරයෙන් බැරව ගමක ජීවත්වෙච්ච අහිංසක තරුණයෙක්... මතුපිට බාහිර ලක්ෂණ ගත්තාමත් ඔහු අතිශය සාමාන්‍ය කෙනෙක්... ඔහු පෙමින් බැඳෙනවා ජීවිතේ බරපතලකම තේරැම් නොගත්ත තරුණ ගැහැණු ළමයෙක් සමග... එයාගේ නම තමයි ඔටෙන්සියා... ඔකෙන්සියා ටිකක් විතර සෙල්ලක්කාරයි.. හැබැයි ඉතින් එයා එයාගේ චරිතයට කිසිම හානියක් කරගත්තෙ නෑ... ඔකෙන්සියා ඇඟෑලුම් පාන තරුණයන් අතර ලූකත් එක්කෙනෙක්...  ඔටෙන්සියා හැමවෙලේම එයාගේ සීමාව දැනගෙන හිටපු යුවතියත්... ඒක විශේෂයෙන්ම කියන්න ඕනෙ... කොහොම හරි කාලයාගේ ඇවෑමෙන් ඔටෙන්සියා ගමේ හිටපු වංශවත් කෙනෙක් එකක් විවාහ වෙනවා.. ඒ විවාහවෙන කොටත් ලූකා අතිශයින්ම ඇයට පෙම්කරමින් හිටියේ... නමුත් ඔහු ඒ ආදරය ඔහුගේ හදවතේම තියාගෙන හිටියා... ඔහු ඔටෙන්සියාට දෝෂාරෝපණ කරන්නවත්, අවලාද කියන්නවත් ගියේ නෑ... කලාතුරකින් පවා  මේ දෙදෙනාගේ හමුවීම අහඹුවක්...  පල්ලියේදී පාරෙදි ඇයව දැක්කාම ලූකා ඇය දිහා ඇහිපිය නොගසා බලාගෙන ඉන්නවා... ලූකාගෙ තිබුණු අමුතු  ස්වභාවය නිසා මිනිස්සුන්ට මේ කාරණාව ගැන ඉව වැටුණා...  ඔහුගේ අසීමාන්තික නිහඩ බව තුල තිබුණේ අසීමාන්තික ආදරයක්. කාලයක් යද්දි ඔටෙන්සියාට ලූකාගෙ ගැඹුරු ආදරය දැනෙන්න ගන්නවා. ඇය හිතනවා.... ඇය වරදක් කළා කියලා... ඒ නිසාම ඔටෙන්සියා ලොරෙටා කියලා තරුණියක්ව ලූකට හාද කරවන්න උත්සාහ කරනවා... නමුත් ලූකා හැමවෙලේම හිතුවේ ඔටෙන්සියා ගැන... අන්තිමට ඔටෙන්සියාගේ කැමැත්ත ඉටුකරන්න ලූකා තීරණයක් ගන්නවා ලොරෙටා විවාහ කරගන්න... ලොරෙටාත් ලූකාට ඒ වෙනකොට දැඩි ලෙස ප්‍රේම කරනවා... පළමු සහ අවසාන  වතාවට ලූකා සහ ඔටෙන්සියා තනිව මුණගැහෙනවා... ලූකා අහනවා මම විවාහ වුණාට...  කමක් නැද්ද... ඔබේ තීරණය මත තමයි මගේ ඉදිරි ජීවිතය රැඳී තිබෙන්නේ කියලා... ඇය කියනවා ඔබ විවාහ වුණොත් මට ඔබ ගැන තිබෙන ආදරය තවත් වැඩිවෙයි කියලා... ඇය කඳුළු සලනවා... නමුත් ලූකා මට වෙන කරන්න දෙයක් නෑ කියලා ඇය කියනවා... එතනින් පසුව තමයි... ලූකාගේ මුළු ජීවිතයම වෙනස් වෙන්නෙ... ලූකා ජීවිතය ලබපු උපරිම සතුට ඒ අවස්ථාවේ විඳිනවා... ඒ මොහොතෙම ලූකා යනවා නොරිටාව මුණගැහෙන්න.. ගිහින් නොරිටාට කියනවා.. මට ඔබව විවාහ කරගන්න බෑ... මම ඔබව විවාහ කරගත්තොත් ශූද්ධ වූ දේ කෙලෙසනවා කියලා... ඔහු පාරේ සිහිවිකලෙන් මෙන් ඇවිදගෙන යනවා.. ලූකා කොච්චර අවාසනාවන්තයෙක්ද කියනවනම් මේ ප්‍රදේශයේ මිනීමැරුමක් වෙලා... ලූකාගේ තිබුණු අස්වාභාවික හැසිරීම නිසා පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඔහුව ජීවිතාන්තය දක්වා සිරකරනවා. නමුත් ලූකා තමන්ගේ නිදහස වෙනුවෙන් එක වචනයක්වත් පිටකරන්නෙ නෑ. ඔහු එතනට ආපු හේතුව කිව්වොතින් අර කාන්තාවගේ චරිතයට හානිවෙන නිසා. ආදරය වෙනුවෙන් ලූකා නොකළ වරදකට දඬුවම් විඳිනවා... එතන තමයි උත්තරීතර ප්‍රේමය තියෙන්නේ කියලා මට හිතෙන්නෙ...

 ලූකා පොත ඇතුළේ හෂිනි වැඩිපුරම සංවේදී වෙච්ච තැනක් දෙකක් මතක් කරමුද?

ඔව්...  අදටත්  මගේ  මතකයෙන් ගිලිහී නොයන කොටස් කිහිපයක් තියෙනවා... ඒවා නිසා මගේ හිත ගොඩක් සසල වුණා.. එකක් තමයි..., ලූකා කියනවා එක ගැහැනියකට ආදරය කරන්නත්. තව ගැහැනියකගෙන් දරුවන් ලබන්න බැහැනේ... උන් එතකොට නිකම්ම නිකන් අවජාතකයෝ වෙනවා කියලා.... 

මේ පොතේ තව තැනක කියවෙනවා..  අපේ හැඟීම් වචන බවටත් පත් කරන්න ගියාම ඒ වචන නිකම්ම නිකන් හිස් වචන වෙනවා කියලා... ලූකාගේ මේ කතා තුළ මොනතරම් ජීවන දර්ශනයක් ගැබ්වෙලා තියෙනවාද? 

මම මෙහෙම ඇහුවොත්... ලූකාගේ මේ කැපකිරීම... සැබෑ ජීවිතයේදී හෂිනිට කළ හැකිද?

ඒක ටිකක් අසීරුයි කාර්යයක්... නමුත් ඒ වගේ අවස්ථාවක සැබෑවට මුහුණදෙන්න වුණාම තමා බලන්න ඕනෙ ඇත්තට ඒක කරන්න පුළුවන්ද බැරිද කියලා... ඔහු මේ කරන ලොකු කැපකිරීම නිසානෙ මේ කෘතිවලට අපි පෙම්බඳින්නෙ... ආදරය වෙනුවෙන් ජීවිතය නැතිකරගත්ත මිනිස්සු මම දැකලා තියෙනවා... ඒක එතනින් ඉවරයි... නමුත් ඒ වගේ නෙමේ... කෙනෙක් ජීවිතාන්තය තෙක් නොකරපු වරදක් වෙනුවෙන්... තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් සිරගෙයක් තුළ විඳවන එක.... ඒක කරන්න අමාරැම දෙයක්.. එහෙම මනුස්සයෙක් ඉන්නව නම් ඔහු දේවත්වයට ලංවෙච්ච කෙනෙක්.  ලූකා එහෙම කෙනෙක්.

 
මේ පොත කොහොමද හෂිනිට හම්බවෙන්නෙ...  කීවතාවක් දැනට කියෙව්වද මේ පොත...? 

මගේ මිතුරියක්ගෙන් තමයි මට මේ පොත ගැන විස්තර හමුවුණේ.... ඇගේ නමත් ඉන්ද්‍රානි... මම පොත් කඩයක ගියපු වෙලාවක අහම්බෙන් වගේ මේ පොත දැකලා ඒ පොත මිලදී ගත්තා... දැනට මම මේ පොත පස්වතාවකට වැඩිය කියවලා තියෙනවා.. 

 
මේ පොත කියවලා අවසානයේ ඔබ මොනවගේ රසයක්ද වින්දෙ...?

ඇත්තටම ඒක අමුතුම හැගීමක්.. ඒක වචන බවට පෙරළන්න බෑ. හැගීම් එළියට දැම්මාම හිස් වචන බවට පත්වෙන වනේ ලූකා කිව්වා වගේම...   

 

► Text - Danushka Wijesiri
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top