Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 12
285
Views

තව දින කිහිපයකින් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන්නා වූ අවස්ථාව, එනම් ජ්‍යොතිෂය පදනම් වූ නව අවුරුද්දක් අපේ රටේ වෙසෙන සිංහල හින්දු ජනයා විසින් උත්සවාකාරයෙන් සමරනු ලබනවා. මේ ආකාරයෙන් ලොව සෑම රටකම වාගේ එක් එක් පළාත්වලට විශේෂ වූ උත්සව පවතිනවා. මේ අතරින් සමහර උත්සව සංස්කෘතික වටිනාකමක් පවතින, වසර ගණනාවක සිට පැවත එන ඒවා වන අතර තවත් සමහර උත්සව සංචාරක ආකර්ෂණය සඳහා මෑත කාලීනව ආරම්භ කරන ලද ඒවා වනවා.

අද අප රසඳුන ‘අතැඹුල‘ විශේෂාංගයෙන් ඔබට ගෙන එන්නේ එවන් සුවිශේෂ උත්සවයක්. ඍතු භේදය හොඳින් දැකිය හැකි රටවල එක් ඍතුවකින් තවත් ඍතුවකට ගමන් කිරීම සැමරීම සඳහා විවිධ උත්සව පවත්වනු ලබන අතර චීනයේ හාර්බින් (Harbin) අයිස් හා හිම උත්සවය ශීත ඍතුවේ පැවත්වෙන උත්සව අතරින් වඩාත්ම කැපී පෙනෙන උත්සවය වනවා.

ඊසාන දිග චීනයේ හාර්බින් නගරයේදී 35 වැනි වතාවටත් පැවැත්වූ හාර්බින් වාර්ෂික අයිස් හා හිම සැණකෙළිය ලොව තිබෙනා විශාලම අයිස් හා හිම සැණකෙළිය වනවා. නගරයේ වර්ග අඩි මිලියන 8ක පමණ ප්‍රමාණයක පැතිර තිබෙන මෙම උත්සවය තුළ අතිදැවැන්ත අයිස් නිර්මාණ දැකගත හැකියි. වසර 400කට පමණ පෙර Qing අධිරාජ්‍ය සමයේදී මේ නගරය අසලින් ගලා බසිනා Songhua නදිය ශීත කාලයට මිදුණු පසු මෙහි අයිස් ගෙන ඒවා ඉටිපන්දම් සවි කළ විට පහනක් බවට පත්වන සේ කැටයම් කර සාදාගෙන තිබෙනවා.

අදටත් මේ Harbin ශීත සැණකෙළියේ ජීවනාලිය වන්නේ මේ ගංගාවයි. සැණකෙළියට දින ගණනකට පෙර සිට සේවකයන් දහස් ගණනක් ඝෙන අඩි මිලියන 4ක පමණ විශාල අයිස් ප්‍රමාණයක් අඩි 3ක පමණ ඝනකමකින් යුත් කුට්ටි ලෙසින් මේ ගංගාවෙන් ලබාගන්නේ සෙල්සියස් අංශක ඍණ 25ක් තරම් ඉතා ශීත උෂ්ණත්වයක් යටතේ මුළු ගංගාවම අයිස් බවට පත් වී තිබීම නිසායි.

අයිස්වලින් හා හිමවලින් සෑදූ ප්‍රථිමා හා ගොඩනැගිලි නැරඹීම හැරුණු විට තවත් බොහෝ ප්‍රසිද්ධ අංග මේ සැණකෙළියට අයත් වනවා. ජනවාරි මස 5වැනිදා සිට පුරා මාස දෙකක් පැවැත්වෙන මේ උත්සවයේ සෑම දිනකම අයිස් වැනි සීතල ජලයේ පිහිනීම මෙහි තිබෙන ප්‍රධාන අංගයක් වනවා. ඊසානදිග චීනයේ මෙය ඉතාම ජනප්‍රිය අතර මෙමඟින් ශරීරයේ රුධිර සංසරණය ක්‍රමවත් වන බව හා මානසික සෞඛ්‍ය වැඩිදියුණු වන බව ඔවුන් පවසනවා. අවට පරිසරයේ තිබෙනා දැඩි සීතල නිසා මෙයට සහභාගි වන්නේ ඉතාම නීරෝගි හා දරාගැනීමේ ශක්තිය හොඳින් තිබෙන පුද්ගලයන් පමණයි.

සැණකෙළියේ තිබෙන තවත් ජනප්‍රිය අංගයක් වන්නේ සමූහ විවාහ උත්සවයයි. මෙයට සහභාගි වන බොහො­් යුවළ සහභාගි වන්නේ හාර්බින් නගරයෙන් වූවද මේ වන විට මෙම උත්සවයේදී නැවත වරක් විවාහ වීමට ලොව අන් රටවලින්ද තරුණ තරුණියන් මෙහි පැමිණෙනවා. හාර්බින් නගරයේ සන් දූපතෙහි පැවැත්වෙන හිම පිළිම නෙළීමේ තරගයටද ලොව පුරා නම් දරා සිටිනා හිම පිළිම නෙළන්නන් පැමිණෙන්නේ ඉතා දර්ශනීය පිළිම මේ උත්සවයට දායාද කිරීමටයි.

මේ උත්සවයෙහි සැබෑම ආකර්ෂණය දැකිය හැකි වන්නේ හිරු බැසගිය පසුවයි. 7000ක් පමණ සේවකයන් දැඩි පරිශ්‍රමයක් යොදා නිර්මාණය කළ අයිස් ගොඩනැගිලි හා ප්‍රතිමා වර්ණවත් විදුලි බුබුළුවලින් ආලෝක වන්නේ මෙම උත්සවය සඳහා ‘අයිස් ඩිස්නිලන්තය‘ යන අන්වර්ථ නාමය පවා ලබා දෙමිනි.












Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top