Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 10
942
Views
වෙනදට දහ දොළොස් වතාවක් කතා කිරීමෙන් අනතුරුව නින්දෙන් පිබිදෙන සමන් පුතා එදින උදේ පාන්දරින්ම අවදි වී සිටියා. ඔහු... ශාන්ති සහ පොඩියන්ගේ වැඩිමහල් පුත්‍රයායි. ඔහු.. සිය නිදිබර දෑස්වලින් අවට පිරික්සමින් මේ පැනය ඇසුවේ යමක් සඟවාගෙන බව මවට වැටහුණේ නැහැ.

"ඔන්න උදෙන්ම ලෑස්තිවෙලා වැඩට ගියා..." ලෙසින් ඇය පැවසුවේ බිය හා සැක මුසු වූ දෑස් පුතාගෙන් සැඟවීමට දැඩි උත්සහයක යෙදෙමින්.

පොඩියන්, ශාන්ති, සමන් හා ඊට බාල පිරිමි දරුවෙකුගෙන් සමන්විත මේ දරු පවුල පදිංචිව සිටියේ පොකුණුවිට, ගල්කොරිය ඉදිරිපිට පිහිටි සමරසේකර මහතාට අයත් ඉඩමක ඉදි කළ නිවෙසකයි.

මොවුන්ට සෙවණ සැලසූ එම නිවස ඉටිරෙදි, ටකරං කැබලි, මැටි, පොල් අතු වැනි ද්‍රව්‍ය යොදා සෑදු කුඩා මඩුවක්. ඒ වුණත්... දරු පවුලක් එහි විසූ අතර ඊට අමතරව ආගන්තුකයෙන් එහි කල් ගෙව්වා. රන්ජන් නම් වූ ඔහු ශාන්තිගේ සහෝදරයෙකු ලෙස හඳුන්වා දී තිබුණා.


එදා සමන් පුතා පියා ගැන අසද්දි රන්ජන්ද එම පැල්පතේ නිදා සිටියා. ඇසූ පැනයට ලැබණූ පිළිතුරෙන් සෑහීමකට පත් නොවුණත් සමන්ට මවගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබුණේ නැහැ.

ඒ.... පාසල් යාමට සුදානම් වන ලෙස මව බල කරන්නට වූ නිසයි.

සමන් සුපුරුදු පරිදි වැසිකිළි ගොස් මුහුණ කට සෝදාගැනීම සඳහා නිවසේ පිළිකන්න පැත්තට යාමට සැරසුණා. ඒත් ඔහු ඉදිරියට ආ මව පැවසුවේ,

"මේ පැත්තෙන් එළියට යන්න එපා.. දැන් ටිකකට කලින් ලොකු සර්පයෙක් ඔය පැත්තෙන් ඇදෙනවා මම දැක්කා.. ඒ නිසා ඉස්සරහ පැත්තෙන් යන්න.." ලෙසටයි.

ඒ වන විටක් සමන්ගේ තියුණු ඇස් පිළිකන්න සිසාරා නිරීක්ෂණයක යෙදී අවසන්ව තිබුණා. ඒ දෑස් දුටුවේ පෝර උරයක විශාල යමක් දමා කට බැඳ ඇති බවයි.

මවගේ කීමට අනුව නිවසේ ඉදිරිපසින් ගොස් සිය ශරීරකෘත්‍ය ඉටුකර ගත් සමන් ඉතා අකැමැත්තෙන් සුදානම් වී පාසල් යන්නට ගියේ සිතේ උපන් දැඩි කුතුහලය, බිය සහ දුක යාන්තමට යටපත් කරගෙනයි.

සවස නිවෙසට ආ ඔහුට මහා අමුත්තක් දැනෙන්නට වුණා. රන්ජන් මාමාත්, අම්මාත් සිටින්නේ තැතිගත් ස්වරූපයකිනුයි. තාත්තා පෙනෙන්නට නැහැ. වෙන කිසිදාක නැති විලස නිවස පිටුපස කැලෑවේ ටයර් දමා ගිනි ගොඩක් ගසා තිබුණා. එය කුමක් දැයි සැක හැර බලාගන්නට සමන්ට අවකාශයක් ලැබුණේ නැහැ.

හිරු අවරට ගොස් රාත්‍රීය උදාවුණා. නිවසින් බැහැරව ගිය රන්ජන් මාමා හොඳ හැටි මත්වී නිවසට ආවත් තාත්තා පැමිණියේ නැහැ.

"තාත්තා ගෙදර එන පාටක් නෑ.. කොහේ හරි ජරාවක ගිහින් වෙන්න ඇති..."

මවගෙන් ලැබුණේ එවන් පිළිතුරක්. පසුදින උදේ පාසල් ගිය සමන් පාසල නිම වී නිවසට එද්දි මවත්, රන්ජන් මාමාත් එක්ව පෙර දින සවස දුටු ටයර් සහ කුණුරොඩු පුළුස්සමින් සිටියා. ඒ අසළට ගිය සමන් සිය පියාගේ සරමක් කුණු ගොඩේ පිළිස්සෙනු දුටුවා.

"ඇයි... අම්මේ.. අර තාත්තගේ සරමත් පුච්චලා දාන්නේ...?"

"සරම පුච්චන්නෙද? උඹේ අප්පා අපිව අත ඇරලා යන්න ගිහින්. උගේ දේවල් මේ ගෙදර තියාගන්න ඕනි නෑ. ඌ ගිය තැනක ඉන්නේ නැතෑ. උගේ සේරම දේවල් පුච්චලා දානවා.."

මවගෙන් ලැබුණු එම පිළිතුරත් සමඟ පුංචි සමන් පුතාගේ හදවත තව තවත් වේදනා දෙන්නට වුණා. කළ හැකි දෙයක් නොවූ බැවින් ඔහු, සියල්ල හදවතේ ගුලි කරගෙන අම්මාත්, රන්ජන් මාමාත් සමඟ කල් ගෙවන්නට හිත හදාගත්තා.

පොඩියන්ගේ වැඩිමහහල් සහෝදරියක් වන නාගේෂ්වරී පදිංචිව සිටිනේ පොකුණුවිට ප්‍රදේශයෙයි. හුණු වැඩපලක රැකියාවේ නිරතව සිටි ඇය දරු පවුල සමඟ ජිවත් වූයේ බොහෝ අඟහිඟකම් සහිතවයි. දිනක් ඇය හමුවට ගිය ශාන්ති හඬා වැළපෙමින් තම දුක කියන්නට වුණා. ඇය දුකට පත්ව සිටියේ සැමියා ඇයත් දරු දෙදෙනාත් අතහැර දමා යන්නට ගිය නිසාත්, ඒ හේතුවෙන් ආහාර වේලක් පවා සපයා ගැනීමට නොහැකි බව ඇය කියා සිටියා.

"රස්සාවට ගියා කියලා කොහේ ගියාද දන්නේ නැහැ.. ආපහු ආවේ නෑ... අපිට කන්නවත් නෑ.." ලෙසින් ශාන්ති කී වදන් හමුවේ අසරණ වූ නාගේෂ්වරී තම අතේ මුදල් නොවුණත් පොලියට රැගෙන ශාන්තිට මුදල් දුන්නේ වෙන කළ හැකි දෙයක් නොවුණු නිසයි.

සැමියා අතුරුදහන් බව කියමින් ශාන්ති මොරගහහේන පොලීසියේ පැමිණිල්ලකද සටහන් කළා.

ඊට සතියකට පමණ පසු නාගේෂ්වරී, මල්ලිගේ නිවසට ගියේ හදවතේ ඇති වූ සැකයක් නිසා නොව ගෙදර තත්ත්වය බලා ගැනීම සඳහායි. නිවසට ඇතුළු වූ ඇගේ සිතට අමුත්තක් දැනෙන්නට වුණා. නිවසට එපිට වත්ත පහළ අලුතින් කපන ලද ටයර් පුලුස්සා ඇති වල ගැනද ඇයට සැක සිතුණා. ඇය මොරගහහේන පොලීසියට ගොස් මල්ලිගේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් කරන්නේ ඉන් අනතුරුවයි.

මල්ලිගේ බිරියත්, ඇයගේ මල්ලි යැයි කියමින් එම නිවසේ සිටින පුද්ගලයාත් තම මල්ලිගේ අතුරුදහන් වීමට සැක බවද ඇය පොලීස් පැමිණිල්ලේ සඳහන් කළා. අනතුරුව ඇය දිගින් දිගටම පොලීසියට ගොස් මල්ලි සොයා දෙන ලෙස ඉල්ලන්නට වුණා.

"අම්මගේ මල්ලිව හොයන්න සී.අයි.ඩී. එකෙන් දාලා තියෙන්නේ... එයාලා මල්ලිව කොහොම හරි හොයලා දේවි...."

කාලය ගෙවී ගියා. පොඩියන් අතුරුදහන් වී අවුරුද්දකුත් මාස කිහිපයක් ගෙවී ගියද ඔහු පිළිබඳ කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. රන්ජන් ශාන්ති සහ දරු දෙදෙනා එම නිවස අතහැර යන්නට යන පුවතක් අසන්නට ලැබෙන්නේ ඔය අතරතුරයි.

ඒ බව ඇසූ නාගේෂ්වරී වහා පොලීසියට දිව ගොස් ඒ බව පවසන අතර ඇයගේ ඉල්ලීම වූයේ ඔවුන් නිවෙස හැර පැන යන බවත්, ඊට ඉඩ නොදෙන ලෙසයි.

"ඒ ගෙට සීල් තියලා තියෙන්නේ.. එයාලාට එහෙම යන්න බෑ..."

එහෙත්... ඊට දිනකට දෙකකට පසු ඔවුන් නිවෙස හැර යන්නට ගොස් තිබුණා. පසුව නාගේෂ්වරීට දැන ගන්නට ලැබුණේ ඔවුන් පිටිවිල, ගෝනපොළ ආදී ප්‍රදේශවල කුලියට ගත් නිවෙස්වල වාසය කරන බවයි.

මේ අතර නාගේෂ්වරීගේ බාල පුතා පසුගිය තිස් එක් වැනිදා සවස පොකුණුවිට පිහිටි කුඩා වෙළඳසැලකට යන්නේ බුලත් විටක් මිලදී ගැනීමටයි. එවිට එම වෙළඳසැලේ සිටි අයකු පවසන්නේ, "පොඩියන්ගේ ලොකු පුතා අල්ලා ගතහොත් පොඩියන් ගැන ආරංචියක් දැනගන්න පුළුවන්.." ලෙසයි.

ඒ බව ඇසූ නාගේෂ්වරීගේ පුතා ඒ මොහොතේම සමන් සොයා ගියා. එවිට ඔහුට දැනගන්නට ලැබුණේ සමන් ගල්කොරි පාරේ ඔවුන් පදිංචිව සිටි නිවෙස අසළ පිහිටි නිවසේ සිටන බවයි.

රාත්‍රීය උදාවෙමින් තිබුණද එය ගණන් නොගත් නාගේෂ්වරීගේ පුතා සමන් හමුවුණා.

අනතුරව මේ අයියා මලෝ නාගේෂ්වරීගේ නිවසට එද්දි රාත්‍රී අටහමාර පමණ වී තිබුණා. ගෙට ගොඩවන ගමන් නාගේෂ්වරී ඇමතු ඇයගේ පුතා කීවේ,
"අම්මා ආරංචියක් ගෙනාවා. අම්මා අඬනවද?"

"අම්මා අඬන්න එපා.. හිත හදාගන්න... පොලිසි යන්න ලෑස්ති වෙන්න.. එහේදි මල්ලි සේරම කියයි... මාමාව මරලා අම්මේ.." ලෙසටයි.

සමන්ද සමඟ නාගේෂ්වරී මොරගහහේන පොලීසියට යන්නේ ඉන් අනතුරුවයි. මේ වන විට 16 වැනි වියට පා තබා සිටි සමන් පොලිස් නිලධාරින් හමුවේ තමන් ඇසූ දුටු සියල්ල හෙළිකරන්නට වුණා.

ඔහු පැවසු තොරතුරුවලට අනුව සිද්ධිය වූ දිනයේ රාත්‍රී නවයහමාරට පමණ වෙද්දි පොඩියන් නිවසට එන්නේ රන්ජන්ද සමඟයි. එකට බීගෙන ආ දෙදෙනා ආරවුලකට පැටලෙන්නේ නිවසට ඇතුලු වීමෙන් අනතුරුවයි. ටික වේලාවක් පැවති ආරවුල සමථයකට පත් වූ අතර සියල්ලෝම රාත්‍රී ආහාර ගත්තත් සමන් නින්දට වැටුණේ නිරාහාරවයි. අනතුරුව ශාන්ති, රන්ජන්, පොඩියන් මෙන්ම බාල දරුවාද නිවසේ ඇති එකම කොටසේ එකිනෙකාට ආසන්නයේ නින්දට වැටුණා.

ඒ රාත්‍රීයේ සමන්ට නින්ද ගියේ නැහැ. අම්මාත් රන්ජන් මාමාත් නිදාගන්නට ගියද නිදි නැති බව සමන්ට වැටහුණා. ඒ අතර සමන් යමක් දුටුවා. ඒ... රන්ජන් මාමා පිහියක් රැගෙන විත් තාත්තාට අනින බවයි. ඒ සමඟ පියාගේ මුවින් පිටවූ වදන් වූයේ "පුතේ සමන්.. මාව බේරගන්න..." ලෙසයි.

පියාගේ වදන් හමුවේ එක්වරම ඇඳෙන් නැගිට ගත්තත් සමන් වහාම යළි ඇඳ මතට වැටුණේ තව සුලු මොහොතකින් තමාගේ ඉරණම ද මේ අයුරින් විසඳෙනු ඇතැයි සිතුණු නිසයි.

ඉන්පසු ගේ ඇතුළේ නොයෙක් දේ සිදුවුණා. සමන් තමන්ට නොවන ලෙස පාඩුවේ නිදා සිටියා. උදේ අවදි වී බලන විට පියා පෙනෙන්නට සිටියේ නැහැ. පෙර දින රාත්‍රීයේ පිහි ඇනුමක් සිදු වුවද ලේ පැල්ලම් හෝ වෙනත් සැකකටයුතු දෙයක් නිවෙස ඇතුළේ පෙනෙන්නට තිබුණේ නැහැ. ඔහු.. පිළිකන්නේ තිබූ පෝර උරය දකින්නේ ඉන් අනතුරුවයි.

සමන් හෙළි කළ තොරතුරුවලට අනුව පොලීසිය මුලින්ම කළේ රන්ජන් සහ ශාන්ති සොයා මෙහෙයුම් දියත් කිරීමයි. එම මෙහෙයුම් සාර්ථක වූ අතර පැමිණිල්ල ලැබී දිනක් ගතවෙද්දි රන්ජන් අත්අඩංගුවට ගන්නේ ගෝනපොල හන්දියේ සිටියදීයි.

එදිනම නිවසේ සිටි ශාන්තිද අත්අඩංගුවට ගන්නට පොලීසියට හැකිවුණා.

පොඩියන් මරා වළට දමා පිළිස්සූ බවත්, ඔහු මරන්නට හේතුව ඉවසන්න බැරි තරම් ඔහු කරදරයක් වූ නිසා බවත්, මොවුන් දෙදෙනා පාපොච්චාරණය කර තිබුණා.

අනතුරුව සිදුවූයේ සමන්ගේ මඟ පෙන්වීම යටතේ පොඩියන්ගේ සිරුරු කොටස් සෙවීමයි.

පොඩියන්ලා පදිංචිව සිටි ඉටිරෙදි, ටකරං, පොල් අතු, මැටියෙන් සමන්විත වූ නිවෙස අද පෙනෙන්නට නැහැ. ඒ... වෙනුවට ඇත්තේ කැලෑවක් පමණයි. පසුගිය බදාදා (03) පෙරවරුවේ පොඩියන්ගේ සිරුරු කොටස් සෙවීම ආරම්භ වූයේ හොරණ මහේස්ත්‍රාත්වරියගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ඉදිරිපිටදීයි.

සමන් පුතා පෙන්වූ ස්ථානය හාරා බලද්දි පිළිස්සුණු ටයර් දෙකක පමණ කම්බි කොටස් දැකගත හැකි වුණා. ඒ අතරින් පිළිස්සී ඉතිරි වූ ඇටකටු කිහිපයක්ද හමුවුණා. ඒ.. පොඩියන්ගේ ඇටකටු විය යුතු බව සියල්ලන්ගේම අදහස වුණා. ටයර් දමමින් දින තුනක් තිස්සේ පොඩියන්ගේ සිරුර පුළුස්සා ඇති බැවින් ඉතිරිව තිබුණේ පිළිස්සි ඇටකටු වී ඇති කොටස් කිහිපයක් පමණයි.

පොඩියන් හා නාගේෂ්වරී දැරණියගල, ඉලුක්තැන්නවත්ත තේ වත්තේ පදිංචි කම්කරු පවුලක දරුවන් හත් දෙනාගෙන් දෙදෙනෙක්. සිවපෙරුමාල් නන්දකුමාර් හෙවත් පොඩියන් පවුලේ පස්වැනියා හෝ හය වෙනියා වුණා. ඔහු පවුලේ කී වෙනියාද යන්න නාගේෂ්වරීට නිවැරදිව මතක නැහැ.

තේ වත්තේ සේවයෙන් විශ්‍රාම ගන්නා පොඩියන්ගේ මවුපියන් එවකට අවිවාහකව ඔවුන් සමඟ සිටි දරුවන්ද රැගෙන රත්නපුරේ වත්තක වැඩ යන්නේ මීට වසර තිස් අටකට පමණ පෙරයි. ඒ තේ වත්තේ රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි. රබර් වත්තක රැකියාවක් කරමින් සිටියදී ඔවුන් පදිංචි නිවසට අල්ලපු නිවසේ අය සමඟ හිතවත් ඇසුරක් පවත්වාගෙන ගියා. මේ අතර අල්ලපු ගෙදර අය පොඩියන්ගේ මවුපියන්ගෙන් ණයට මුදලක් ඉල්ලන්නේ මංගල උත්සවයක් ඇති බව කියමිනුයි.

මුදල් දීම ප්‍රතික්ෂේප කළ නිසා අල්ලපු ගෙදර අය මවටත් පියාටත් වසදී මරා දැමූ බව නාගේෂ්වරී පවසනවා.

"අපේ බාප්පා අම්මගෙයි තාත්තගෙයි මළ මිනියි මල්ලිලයි ගමට අරගෙන ගිහින් එයාලගේ ගෙදර තියලා මරණවල අවසන් කටයුතු කළා. මම ඒ කාලේ බැඳලා කුඹුකේ පදිංචි වෙලා හිටියේ. අම්මටයි තාත්තටයි දානේ දෙන්න සුදානම් වෙද්දි පොඩි කතාබහක් වෙලා බාප්පා අපිව ගෙදරින් එළවලා දැම්මා. පස්සේ මම මල්ලිලාවත් අරන් කුඹුකේ අපේ ගෙදරට ආවා. පස්සේ තමයි ලොකු මල්ලි ලොකු වෙලා ඔය ගෑනිව කසාඳ බැන්ඳේ..."

"මල්ලිට හරි රස්සාවක් තිබුණේ නැහැ. එයා කුලී වැඩ කළා. කුලියට ගෙවල් අරගෙන තමයි ජිවත් වුණේ. අපි ඔය සමරසේකර මහත්තයාලගේ වතුවල වැඩ කළා. ඒ නිසා ඒ මහත්තයාලව අඳුරනවා..."

පොඩියන් මරා දැමුණු ඉඩමේ හිමිකරු වූ සමරසේකර මහතාගේ පුතා ද අදහස් දැක්වුවා.

"දැනට ගොඩ කාලෙකට කලින් ඔය පොඩියන් ඉන්න තැනක් නෑ කියලා අපේ ගෙදර ආවා. ඇවිත් ගෙයක් හදාගන්න අවසර ඉල්ලුවා. අපේ තාත්තා (සමරසේකර මහතා) ගල්කොරියට පහළ ඉඩමේ ගෙයක් හදාගෙන ඉන්න කියලා පොඩියන්ට කිව්වා. පොඩියන්ව අපි කාලෙක ඉඳන් අඳුනනවා.."

"පොඩියන්ගෙයි එයාගේ පවුලයි, දරු දෙන්නයි පවුලගේ මල්ලි කියපු කෙනෙකුයි තමයි ආවේ... පස්සේ ඒ කට්ටිය වටේට ඉටි රෙදි ගහලා, මැටි ගහලා පුංචි ගෙයක් හදාගෙන පදිංචි වුණා..."

"පස්සේ පොඩියන් පේන්න හිටියේ නෑ. කෝ කියලා ඇහුවම කොහේ හරි යන්න ඇති හිරෙද දන්නෙත් නෑ කියලා එයාගේ පවුල කිව්වා. ඒ ගෙදර හිටපු රන්ජන් කියන කෙනා නම් අපි මීට කලින් දන්නේ නෑ. මීට මාස 10කට විතර කලින් ඒ කට්ටිය මෙහෙන් යන්න ගියා..."

මේ අතර අත්අඩංගුවට ගත් ශාන්ති පවසා තිබුණේ රන්ජන් තමාගේ මල්ලි කෙනෙකු බවත්, සැමියා තමාත් රන්ජනුත් අතර අනියම් ඇසුරක් තිබූ බවට සැකකරමින් ආරවුල් ඇති කරගත්තද එවැන්නක් නොතිබූ බවයි. රන්ජන් පවසා තිබුණේ පොඩියන් ඝාතනයට පෙර එවැනි ඇසුරක් නොතිබුණ නමුත් ඉන් පසුව දෙදෙනා අතර අනියම් ඇසුරක් ආරම්භ වූ බවයි.

එහෙත් සමන් පවසන්නේ නිවසේ ආරවුල් ඇති වූයේ මවත්, රන්ජන් මාමාත් අතර පැවති අනිසි සම්බන්ධය නිසා බවයි. එවකට 14 වියේ පසුවුවත් ඔහුට ඒ බව වැටහී තිබුණා. ඔහු නාගේෂ්වරීට පවසා තිබුණේ පියා ඝාතනයට ලක්වූ දින රාත්‍රී ආහාරයට මව විසින් නිදිපෙති දමා තිබූ නමුත් එදින රාත්‍රී ආහාරය නොගෙන නින්දට ගිය බැවින් තමාට නින්ද නොගිය බවත් ඒ හේතුවෙන් රන්ජන් මාමා සිය පියා මරා දමනු තමන් දුටු බවයි.

මොරගහහේන පොලීසියේ ස්ථානාධිපති චන්දන විදානගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු කණ්ඩායමක් විමර්ශන සඳහා එක්ව සිටියා.

-තක්ෂිලා ජයසේකර-
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top