Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 22
889
Views

අවුරුදු 10ක් වයසැති ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයෙක් ක්වොන්ටාස් (Qantas Airways) ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට ලිපියක් යවමින් තමන් ගුවන් සේවයක් ආරම්භ කිරීමට අදහස් කරන බවත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. එය විහිළුවක් ලෙස නොගන්නා ලෙසත්, තම අදහස පිළිබඳව සිතා බලන ලෙසත් ඔහු එම ලිපියේ වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන සදහන් කරමින් ක්වොන්ටාස් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පසුගිය දිනෙක ට්විටර් පණිවුඩයක් නිකුත් කළා. එම සිදුවීම පසුගිය සමයේ සමාජ ජාල මාධ්‍යවල අතිශය ජනප්‍රිය වෙනවා.

කුඩා දරුවා ක්වොන්ටාස්  විධායක නිලධාරියාට ලියූ ලිපිය

ක්වොන්ටාස් ගුවන් සේවය (Skytrax)

ඇලෙක්ස් ජැකෝ නම්, වයස අවුරුදු 10ක් වන කුඩා දරුවා තමාට ගුවන් සේවාවක් ආරම්භ කිරීමට අවශ්‍ය බව පවසමින් ක්වොන්ටාස් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඇලන් ජොයිස්ට ලිපියක් යොමු කරනවා.

ඔහු එම ලිපිය යටතේ ප්‍රධාන ප්‍රශ්න තුනක් ප්‍රධාන විධායක නිලධාරියාට යොමු කර තිබෙනවා. ලිපිය ආරම්භයේ දීම මෙය හාස්‍යට නොගන්න ලෙසත්, රාජකාරිමය වශයෙන් භාර ගන්නා ලෙසත් ඔහු ක්වොන්ටාස්හි ප්‍රධාන විධායක නිලධාරියාගෙන් ඉල්ලා සිටිනවා.

මම මගේම ගුවන් සේවා සමාගමක් ආරම්භ කර එහි සේවය කිරීමට කැමති යි. පාසල් නිවාඩු කාලයේ දී ඒ වෙනුවෙන් ඉතා හොදින් සේවය කිරීමට මට හැකි යි. මට විශාල කාල වේලාවක් තිබෙනවා ඒ සඳහා වෙන් කිරීමට, නමුත් මාගේ මේ අදහස සාර්ථක කර ගැනීමට මා කළ යුත්තේ මොකක්ද කියා මට පැහැදිලි අදහසක් නෑ. ඔබට අදහසක් තියෙනවද මේ සම්බන්ධයෙන් මම සිදුකළ යුත්තේ කුමක් ද කියා?”, යන්න කුඩා ඇලෙක්ස් ගේ පළමු ප්‍රශ්නය යි.

ගුවන් සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔබට මුලික අදහස් තියෙනවා ද ? ඒවා මට ලබා දෙන්න. මම ඉතාමත් බලාපොරොත්තු සහගතව ඉන්නවා ඔබ ඒ සම්බන්ධයෙන් මට යම්කිසි උපදෙසක් ලබා දෙයි කියා”යි ඔහු දෙවනුව ප්‍රශ්න කර සිටිනවා.

තෙවන ප්‍රශ්නය ලෙස ඔහු යොමු කර තිබෙන්නේ මේ වන විටත් ගුවන් සේවා සමාගම් දිගින් දිගට පර්යේෂණ සිදුකරන සිදුවීමක් සම්බන්ධයෙනු යි. එක දිගට පියාසර කළ යුතු මෙල්බන් - ලන්ඩන් ගුවන් ගමෙනේ දී මඟීන්ට වඩා සැප පහසුවක් සලසා දෙන්නේ කෙසේ ද යන්න ඔහු යොමු කළ තුන්වන ප්‍රශ්නය යි. මෙම ගුවන් ගමනේ දී මඟීන් නිදා ගැනීමේ දී බරපතල ප්‍රශ්නවලට මුහුණ පාන බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරියාගේ අදහස කුඩා ඇලෙක්ස් විසින් විමසා තිබෙනවා.

කුඩා ඇලෙක්ස්ට පිළිතුරු දුන් ක්වොන්ටාස් ප්‍රධානියා

මෙල්බන් - ලන්ඩන් ගුවන් ගමන සඳහා ක්වොන්ටාස් (Travel + Leisure)

මෙම ලිපිය ගුවන් සමාගමේ ප්‍රධානී ඇලන්ට ලැබී දින කිහිපයකින් ලිපිය සමග පිළිතුරු ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමට ඔහු තීරණය කරනවා. පිළිතුරු සැපයීමේ දී මුලින්ම සඳහන් කර තිබෙන්නේ තම ආයතනයට තරගකරුවෙක් වන ආයතනයක් කිසිදින තමන්ගෙන් උපදෙස් ලබා ගන්නේ නැති බව යි. තරගකරුවෙක් තවත් තරගකරුවෙක්ගෙන් උපදෙස් ඉල්ලා ඇති මේ අවස්ථාව කිසිම ආකාරයකින් මඟ හැරිය නොහැකි බව ඔහු සඳහන් කර තිබෙනවා.

ප්‍රධාන විධායක නිලධාරියාගෙන් තවත් ප්‍රධාන විධායක නිලධාරියෙකුට උපදෙස්

කුඩා දරුවාගේ ලිපිය හා ඔහුට ලැබුණු පිළිතුරු ලිපිය (The Straits Times)

ගුවන් සමාගමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු සාධක පිළිබඳව ඔහු පළමුවෙන්ම අදහස් දක්වා තිබෙනවා.

ගුවන් සමාගමක් ආරම්භ කිරීම සඳහා මගේ අංක එකේ ටිප් එක වන්නේ ආරක්ෂාකාරී බව යි. ගුවන් සමාගමේ ඉදිරිපෙළ හා පසුපෙළ මෙහෙයුම් සියල්ල ආරක්ෂා විය යුතු වෙනවා. ඉන් පසුව ඔබ සලකා බැලිය යුත්තේ මඟීන්ගේ සැප පහසුව යි. ඔවුන්ට උපරිම පහසුවක් ගුවන් සේවා සමාගම විසින් සැලසිය යුතු යි. ඉන් පසුව සලකා බැලිය යුත්තේ මිල ගණන් මඟීන්ට දැරිය හැකි ද යන කාරණාව යි

දීර්ඝ ගුවන් ගමන්වල යෙදෙන මඟීන්ගේ සැප පහසුව පිළිබඳව කුඩා දරුවා නගා ඇති ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ක්වොන්ටාස් ප්‍රධානියා සඳහන් කර තිබෙන්නේ ඒ පිළිබඳව මේ වන විට සාර්ථක පර්යේෂණ සිදුකරන බව යි. ඒ සඳහා වෙනස් කැබින් සැලසුම් අත්හදා බලමින් සිටින බවත්, ඒවා යම්තාක් දුරට සාර්ථක වී ඇති බවත් ඔහු තම ව්‍යාපෘති වාර්තා උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රධාන විධායක නිලධාරී ඇලන් (Business Insider)

ඒ සඳහා Sunrise meeting නමින් ව්‍යාපෘතියක් සිදුකරගෙන යන බවත්, තමන් සමග එකතු වී දීර්ඝ ගුවන් ගමන්වල යෙදෙන මඟීන්ගේ සැප පහසුව සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටන් නැරඹීමට එකතුවෙන ලෙසත් ඔහු එම කුඩා දරුවාට ආරාධනා කර තිබෙනවා.

මෙම කුඩා දරුවාට තමන් සමග හමුවකට එන ලෙස ආරාධනා කරන ඔහු, එම හමුව ඕස්ට්‍රේලියාවේ පැරණිම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා හා ඕස්ට්‍රේලියාවේ නවතම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා අතර හමුව ලෙස නම් කළ හැකි බව පවසනවා. තව ද, කුඩා දරුවාට තම සමාගමේ මෙහෙයුම් සිදුකරන ආකාරය නැරඹීම සඳහා අවස්ථාවක් ලබා දෙන බව ද පවසා සිටිනවා.

මෙම සියල්ල සඳහන් කරමින් ඔහු නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩය 26,400 දෙනෙක් නැවතත්, තම ටිව්ටර් පණිවුඩ ලෙස යවා තිබෙනා. එම පණිවුඩයට හිමි ලයික් ප්‍රමාණය 73,000කට අධික යි. ටිව්ටර් පණිවුඩය වයිරල් ආකාරයෙන් සමාජ ජාලා ඔස්සේ පැතිරී යනවා.

කෙසේ නමුත් ක්වොන්ටාස් ප්‍රධාන විධායක නිලධාරියා වයස අවුරුදු 10ක් වන කුඩා විධායක නිලධාරියාව හමු වීමේ නියමිත දිනයක් තවම නිශ්චිතව ප්‍රකාශයට පත්කර නෑ.

 
 

කවරයේ පින්තූරය: twentytwowords.com

මූලාශ්‍රයයන්:

edition.cnn.com

indiatimes.com

cnbc.com

bbc.com

Lasantha Kularatna

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top