Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 21
2,474
Views
"මම යන එන තැන් පවා ඇය හොයලා බලනවා.."

"ඉස්සර පවුල් ප්‍රශ්න වහගෙන හිටියට දැන් ඒවා විවෘත වෙනවා.."
මලිත් හෑගොඩ තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. මම මලිත් එක්ක මුලින්ම වැඩ කළත් ඔහුගේ පළමුවෙනි අධ්‍යක්ෂණය මෙය වුණත් ඔහු මීට කලින් විවිධ කලා කටයුතුවලට දායක වෙලා තියෙනවා. මට චිත්‍රපටයට ආරාධනා  කරලා චිත්‍රපටය රූගත කරන්න කලින් මෙතරම් පෙර සූදානම ඇතිව වැඩ කළ මෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මට මුණගැහිලා නැති තරම්. මම මලිත්ව චිත්‍රපටය කරන්න කලින් බොහෝ් සැරයක් මුණගැහුණා. අපි මේ ගැන ගොඩක් කතා කළා. ඒ මහන්සියේ ප්‍රතිඵලය තමයි දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් තියෙන්නේ.

ඔබ ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් කාලෙකට පස්සේ තිරයට ඇවිත් තියෙන්නේ?
මම කළ සමහර නිර්මාණ ප්‍රේක්ෂකයෝ අතරට ආවා. නමුත් ප්‍රධාන භූමිකාවෙන් නෙවෙයි මාව මුණගැහුණේ. මේ චිත්‍රපටයේ මම සහ සමාධි තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.

ඔබට ‘දැකලා පුරුදු කෙනෙක්’ හම්බවෙන්නෙ මීට අවුරුදු පහකට කලින්. නමුත් අපිට දැකලා පුරුදු කෙනෙක් මුණ ගැහෙන්නේ වසර පහකට පස්සේ. මේ කාල පරතරය තුළ ඔබට මේ නිර්මාණයේ අඩුපාඩුකම් දැනෙනවාද?
චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න වසර ගණනක් ගතවුණා. චිත්‍රපටය අද දවසේ නරඹද්දී හිතෙනවා මෙය මීට කලින් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න, සමාජ ගතකරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා. එහෙම වුණා නම් මලිත්ට සිනමාවේ තවත් දේවල් හොයාගෙන යන්න ඉඩ තිබ්බා. ඔහු කෙරෙහි විශ්වාසය තබලා ඔහුට තවත් විශාල අවස්ථා නිර්මාණය වෙන්න තිබ්බා. මේ චිත්‍රපටය මීට කලින් තිරගත වුණා නම් මටත් සිනමාවේ විශ්වාසවන්තභාවයක් ගොඩනඟා ගන්නා ඉඩ තිබ්බා. නමුත් අදත් මේ චිත්‍රපටය නැරඹුවත් මට අඩුපාඩුවක් පේන්න නැහැ. ඉතාම විනයකින් රංගන ශික්ෂණයක් උකහා ගත්ත නිර්මාණයක් විදියට මම මෙය දකිනවා.

මේ චිත්‍රපටය කලින් තිරගත වුණා නම් ඔබව තව තවත් වෙනස් නිර්මාණවලින් දකින්න ඉඩ නිර්මාණය වෙන්න තිබ්බාද?
කලාත්මක සිනමාවේ තැනෙන චිත්‍රපටවලට මං ගැන විශ්වාසයක් ඇතිවෙන මට්ටමේ චරිත නිරූපණයක් මේ චිත්‍රපටය තුළ තියෙනවා. මේ චිත්‍රපටය මීට කලින් දැකලා තිබ්බා නම් කලාත්මක සිනමා අධ්‍යක්ෂවරුන්ට මගේ රංගන ධාරිතාව තවත් තේරුම් ගන්න තිබ්බා. ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපටය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න තිබ්බා කියලා.

එතකොට දැන් ඒ දේ දැනෙන්නේ නැද්ද?
මම මේ වෙනකොට චිත්‍රපට ගණනාවක් කරලා තියෙනවා. මීට කලින් චිත්‍රපටය එළියට ආවා නම් සමහර අවස්ථා මට ලැබෙන්න තිබ්බා. නමුත් දැන් වුණත් ඒ චරිතය රංගන ධාරිතාව ගැන විශ්වාසවන්තභාවයක් ගොඩනඟනවා.

මේ චිත්‍රපටය තුළ තිබෙන ලිංගික දර්ශනයකටත් ඔබ එකතු වෙනවා. ඔබට ඒ නිරූපණය ගැන වාරණ තිබ්බේ නැද්ද?
මම මේ ගැන මලිත් එක්ක පූර්ණ වශයෙන් දීර්ඝකාලීනව සාකච්ඡා කළා. ඔවුන් මට කිව්වා චිත්‍රපටයේ ලිංගික දර්ශනයක් තියෙනවා කියලා. පෞද්ගලිකව මට පිටපත කියවද්දි හිතුණා ඒ දර්ශනය අවශ්‍යද කියලා. නමුත් චිත්‍රපටයේ රචකයා සහ අධ්‍යක්ෂවරයා එක්ක අදහස් බෙදාගත්තම තේරුණා මේ චරිතයේ ස්වභාවය පෙන්වන්න පුළුවන් උපරිම විදිහ තමයි ඒ දර්ශනයෙන් පසු දර්ශනය. මේ දර්ශනය අදාළ නැද්ද කියන එක ගැන විවිධ සාකච්ඡා තියෙනවා. නමුත් මම සචිත්‍රගේ චරිතය ඉස්මතු කරන්න එය කළේ. රංගනයට අවශ්‍ය නිසා එයට දායක වුණා. ඒ ගැන මට පශ්චාත්තාපයක් නෑ.

රංගනය වෙනුවෙන් බිමල් ඕනම කැප කිරීමකට සූදානම් වාගේ?
ඒක නිර්මාණය මතම රදාපවතින දෙයක්. ඒක නවක ප්‍රවීණ නිර්මාණකරුවෙක්ද කියන කාරණාව මත නෙවෙයි වෙනස් වෙන්නේ. නිර්මාණය කොයිතරම් අවංකද එය මට පෞද්ගලිකව හානියක් වෙන දෙයක්ද රටකට සමාජයකට හානියක් වෙන දෙයක්ද කියලා මම හිතනවා. මම මූලිකව අවධානය යොමු කරන්නේ අදාළ නිර්මාණය මේ මොහොතේ කොයි තරම් දුරකට අවංකද කියන දේ ගැන.

චිත්‍රපටයේ කතා කරන සචිත්‍ර සහ සැබෑ ජීවිතයේ ඔබ විවාහකයන්. සචිත්‍ර සහ බිමල් අතර සමානකම් තියෙනවාද?
සචිත්‍ර සහ බිමල් හාත්පසින්ම වෙනස්. සැබෑ ජීවිතේ මම ටිකක් කතා කරන්නේ අඩුවෙන්. සමහර හොඳ ලක්ෂණ වගේම නරක ලක්ෂණත් මගේ ජීවිතේ තියෙනවා. මම නිශ්ශබ්දව ඉන්න තැන් තියෙනවා. ඉක්මනින් කේන්ති ගන්න තැන් තියෙනවා. සචිත්‍ර සහ මගේ සැබෑ ජීවිතේ ස්වභාවයන් දෙකක් වුණාට මගේ ජීවිතෙත් සංකීර්ණ තැන් තියෙනවා. සචිත්‍රගේ වගේ චරිත ස්වභාවයන් තියෙන අය අපේ පරම්පරාවේ පිරිස අතරත් ඉන්නවා. බොහෝ පවුල්වල ප්‍රශ්න වෙනදාට වඩා සමීපයි. ඉස්සර පවුල් ප්‍රශ්න වහගෙන හිටියට දැන් ඒවා විවෘත වෙනවා. අධ්‍යක්ෂවරයාට, රචකයාට විදියට අවශ්‍ය සචිත්‍රගේ චරිතය ගොඩනඟන්න මම දායක වුණා. මගේ නොවන දේවල් යොදලා ඔවුන් දකින සචිත්‍රව මම නිරූපණය කළා.

ඔබත් එක්ක ප්‍රධාන චරිත නිරූපණය කරන සමාධිගෙන් ඔබේ රංගනයට කොයිතරම් ලොකු සහයෝගයක් ලැබුණාද?
සමාධි කියන්නේ හොඳ ශික්ෂණයක් තියෙන ඒවගේම රංගනය හදාරපු කෙනෙක්. ඇයටත් ලොකු වුවමනාවක් තිබ්බා මේ ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ගන්න. මේක සිනමාවේ ඇගේ ප්‍රථම ප්‍රධාන චරිතය. ඇය මේ චරිතය වෙනුවෙන් මහන්සි වුණා වගේම පෙරළා සියලු දෙනාගේ සහාය ලබාගන්න සුහදව ගනුදෙනු කළා. ඇය මගේ පවුලේත් හිතවතියක්. ඇත්තටම ඇයගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා.

මේ චිත්‍රපටය තිරගත වෙන්න කලින් සම්මාන දිනූ චිත්‍රපටයක්. චිත්‍රපටයේ අනාගතය ගැනත් ඔබේ චරිත නිරූපණය ගැනත් සුබවාදී බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද?
ඇත්තටම මේ යන ක්‍රමවේදය තුළ මේ චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාව ලබා දුන්න එකට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මාධ්‍යවලිනුත් සහයෝගය ලබාදෙනවා. දැන් අපි බලාගෙන ඉන්නේ ප්‍රේක්ෂකයෝ මේ නිර්මාණය මොන ස්ථානයක තියයිද කියන දේ. මොන විදියේ පැසසුම් ලැබුණත් ඇගයීම්වලට පාත්‍ර වුණත් නැතත් විශේෂ වූ සිනමා රසික පිරිසක් විද්වත් කථිකාවක් ඇතිකරන පිරිසක් මෙය නරඹයි. ඔවුන්ගේ මුවින් මෙය ඇගයීමට ලක්වෙයි. ඒ තුළින් මලිත්ට දීර්ඝ සිනමා ගමනක් යන්න ලැබෙයි. ඒක තමයි මගේ ප්‍රාර්ථනයත්.

ඔබේ රංගනය තවත් සිනමා නිර්මාණ බොහොමයකින් ඉදිරියේදීත් දකින්න ලැබෙයිද?
ඔව්, මේ වසරේ මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. සුමිත්‍රා රාහුබද්දගේ පිටපතට අනුව අශෝක අතාවුද හෙට්ටි අධ්‍යක්ෂණය කරන කන්දක් සේමා චිත්‍රපටය ඉතාමත් සිත් ගන්නාසුලු ආකර්ෂණීය චිත්‍රපටයක්. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන Nineteen seventy love story  චිත්‍රපටයත් වෙනස් තේමාවකින් යුක්ත චිත්‍රපටයක්. එයත් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. කපිල සූරියආරච්චිගේ සිනෙමා චිත්‍රපටය කියන්නෙත් අපි අපි ගැනම කතා කරන චිත්‍රපටයක්. තවත් මම බලාපොරොත්තු තියාගෙන ඉන්න චිත්‍රපටයක් තමයි සෝමරත්න දිසානායකගේ ‘සුනාමි චිත්‍රපටය. ඒ වගේම ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.

වාණිජ ටෙලි නාට්‍ය කලාවෙන් අෑත්වෙලා කලාත්මක පැතිකඩට ඔබ ආයෙත් නැඹුරු වෙලා වගේ?
මගේ ආරම්භයත් තිබ්බේ එතැන. නමුත් පසු කාලයේ මම විවිධ නිර්මාණවලට දායක වුණා. දැන් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙද්දි වැදගැම්මකට ඇති දෙයකට තමයි සම්බන්ධ වෙන්න බලන්නේ.

මේ සියලු දේ ගැන කතා කරද්දි ඔබේ ශක්තිය වෙලා ඉන්න බිරිය ගැන කතා නොකරම බැහැ නේද?
ඔව්, සුජානි තමයි හැමදාම වගේ මගේ සම්පූර්ණ දේවල් පිටුපසින් ඉන්නේ. මම යන එන තැන් පවා ඇය හොයලා බලනවා. මට අතපසු වෙන පවුලේ වැඩ කටයුතු පවා ඇය තමයි හොයලා බලලා කරන්නේ. අපි දෙන්නා බලාපොරොත්තු වුණු හැමදේම සාර්ථක කරගෙන අපි ආදරයෙන් ජීවත් වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top