Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 19
555
Views

වටිනා නමක් ඇති වටිනාකමින් වැඩි බලු සුරතලුන් තමා සතු කර ගැනීමට වෙහෙසෙන මිනිසුන් අතර ඔහු අපට හමුවූ සුවිශේෂී චරිතයකි.මන්ද ඔහු මේ ජීවිතය දෙන්නට උත්සාහ කරන්නේ, වීදිවල සැරිසරන කාත් කවුරුවත් නොමැතිව අසරණ වූ බල්ලන්ටයි.ශිරු ගමගේ නම් වූ ඔහුගේ දසුන බෙල්ලන්විල ප්‍රදේශයේ වෙසෙන්නන්නට හොඳ හැටි හුරු පුරුදුය.

සෑම උදෑසනකම විශාල බේසමකට ආහාර රැඟෙන විත් මාර්ගයේ හිඳිනා බල්ලන්ට කෑම ලබා දීම දැන් ඔහුගේ දින චරියාවේ අංගයක් බවට පත්ව අවසානය.බෙල්ලන්විල පමණක් නොව මහරගම, පන්නිපිටිය අවට ප්‍රදේශය තුළත් තම වාහනයේ නැඟී යමින් ඔහු සිදුකරන්නේ අසරණව මහ මඟට වැටි ඇති බල්ලන්ගේ කුසගිනි නිවා දැමීමය. එම ප්‍රදේශවල වීදියේ සරනා බල්ලන් ඔහුගේ රතු පාට මෝටර් රථය හොඳ හැටි හඳුනයි.

වසර ගණනාවක් විදෙස් රටක සේවය කළ ඔහු කලක් විදේශ ගතව සිට ලංකාවට පැමිණි ඔහු 2012 වසරේදී තම නිවසේ ඇති දැඩි කිරීමට ගෙන එන්නේ නම් දැරූ බලු සුරතලුන් තිදෙනෙකි. ඒ දිනවල ඔහු තම නිවෙස ඉදිරියේ සිටි වීදි බල්ලන්ට ද කෑම ලබාදෙන්නට කටයුතු කරන්නේ සැබැවින්ම ඔහු සතුන් කෙරෙහි ලෙන්ගතු වූ හෙයිනි.

දිනක් රාත්‍රියේ ඔහු අවදිවන්නේ විදියේ සරන බල්ලෙකුගේ මරලතෝනි හඬකිනි. ඒ පාරේ ගිය වාහනයක් වීදි බල්ලෙකු හප්පාගෙන යාම හේතුවෙනි. ඒ බල්ලා නිවෙසට රැඟෙන විත් සාත්තු කිරීමෙන් පසුව ඒ බල්ලාද ඔහුගේ නිවසේම සාමාජිකයෙක් බවට පත්විය.

ඉන් පසුව පාරේ අසරණව හිඳිනා බල්ලන් තම නිවෙසට රැඟෙන විත් රැක බලා ගැනීමට කටයුතු කළ ඔහුගේ නිවස අද බල්ලන් 90 දෙනෙකුට නිවහන වී අවසානය. ඒ වෙනුවෙන් තම හිතවතුන් කිහිප දෙනෙකුගේ ද උදවු උපකාර ඔහුට හිමිවේ. අද ඔහුගේ නිවසේ සෑම දිනකම කිලෝ 20ක බත් මුට්ටියක් බල්ලන් වෙනුවෙන් පිසිනු ලබයි. ඒ වෙනුවෙන් සතියකට මාළු කිලෝ 20ක් බිත්තර 100ක් මෙන්ම පීකුදු හා වට්ටක්කා යොදාගනී. ඔහුගේ බත පිසෙන සුවඳ හොඳ හැටි හඳුනන බලු සුරතලුන් නොඉවසිල්ලෙන් බත් ලැබෙන තුරු බලා හිඳී.

කෑම පමණක් නොව එන්නත්, විටමින්, බෙහෙත් වෙලාවට ලබාදීමට ඔහු අමතක නොකරයි. වසර 21ක් තිස්සේ විදෙස් රටක රැකියාවක් කළ ද ඔහුගේ නිවෙස පිහිටි ඉඩම එතරම් විශාල නොවේ. එබැවින් බල්ලන්ගේ ශබ්දය ඉවසාගත නොහැකි වූ අසල්වැසියන් ඔහුට විරුද්ධව පොලිසි ගියහ. මේ අතරතුර මේ සද්කාර්යයට හිතැති පුද්ගලෙක් අද වන විට පර්චස් 50ක ඉඩමක් ඔහුට ලබාදී තිබේ. දැන් ඔහුගේ ඒකායන අරමුණ ඒ වටා තාප්පයක් ඉඳිකර සතුන්ට හිඳින්නට පොඩි ගේ කෑල්ලක් හදා ගැනීමය.

මේ සතුන් කිසිවෙකුත් කූඩු කර නොමැත. දම්වැල් දමා බැඳ දමා ද නොමැත. ඔහුගේ නිවසේ නිදහසේ සැරිසරන මේ සතුන් සියල්ලෝම රැය පහන් කරන්නේ ඔහුගේ නිවෙස තුළය. ඉන් හතක් අටක් සෑම දිනකම ඔහුගේ ඇඳට පැන නිදාගැනීම ඔහුට සුපුරුදු දසුනක් වී අවසානය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top