Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 18
946
Views
"බිමල් අයියා කියන්නේ මට ගොඩක් දැනෙන කෙනෙක්.."

"ලිංගික දර්ශනයක් තිබුණා ,මම ඇඟ පෙන්වන්න සූදානම් නැහැ.."

මම ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය වේදිකා නාට්‍යයේ රඟපාද්දී මලිත් හෑගොඩ ඒ නාට්‍යයේ ප්‍රඩක්ෂන් පැත්තේ වැඩ කරන්න වගේම ඡායාරූපකරණ කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. මම රඟපාන ජනේලෙන් පනින්නද නාට්‍යය මලිත් බලලා තිබ්බා. බර්නාඩාගේ සිපිරි ගෙය වේදිකා නාට්‍ය කරද්දී අපිට කැමැති දෙබසක් වෙනස් ආකාරවලින් කියන්න දුන්නා. මම එදා එය කියපු විදි දැකලා මලිත් හිතුවලු කවදාහරි මාත් එක්ක වැඩක් කරනවා කියලා. මලිත් සහ බුපති මේ චිත්‍රපටය කරන්න කතා කරද්දී ඒ චිත්‍රපටයට ගැළපෙනවා කියලා මාව මලිත්ට මතක් වෙලා තිබුණා. ඊට පස්සේ තමයි මලිත් මගෙන් ඇහුවේ චිත්‍රපටයක් තියෙනවා ඒකට සම්බන්ධ වෙමුද කියලා. මමත් එකපාරටම හා කිව්වා.

ඒ කියන්නේ ආරාධනාව ලැබිච්ච ගමන් ඔබ එය භාර ගත්තා
ඇත්තටම මම මලිත් වැඩ කරන විදිය දැකලා තිබ්බා. ඒ වගේම බූපති ගැන අහලා තිබ්බා. මලිත් වැඩකට ලෑස්ති වෙන විදිය දැක්කාම ඔහුත් එක්ක වැඩ කරන්න ඇත්තටම ආස හිතුණා.

දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටය තුළ ඔබේ චරිත නිරූපණයට කොයි තරම් මහන්සි වෙන්න වුණාද?
ඇත්තටම මට මේ චිත්‍රපටයට ආරාධනා කළාට පස්සේ මම කාලයක් හිටියේ විදෙස්ගත වෙලා. මම ඒ කාලේ චිත්‍රපට බැලුවා. නාට්‍ය බැලුවා. පිටපත කියෙව්වා. ඒ වගේම මලිත්  එක්ක මේ චරිතය ගැන දීර්ඝ ලෙස කතා කළා. මගේ සැමියා මට විදෙස්ගතව හිටියත් ඒ රටෙත් විවිධ වේදිකා නාට්‍ය බලන්න ඉඩ හැදුවා. මට ලැබිච්ච විවේක කාලය තුළ මට මේ චිත්‍රපටයේ මගේ චරිතය ගැන හිතන්න එයට අවශ්‍ය දේවල් එකතු කරගන්න අවස්ථාව නිර්මාණය වුණා. ඇත්තටම මලිත් අධ්‍යක්ෂවරයෙක් විදියට අපිව මෙහෙයවපු විදියත් වැදගත්. මම මෙහි රංගනයේදී මලිත් මතම යැපුණා. ඇත්තටම මලිත්ට බූපතිට මම ස්තුති කරන්න ඕන. මොකද තවත් දක්ෂ රංගන ශිල්පිනියන් ඉන්නකොට එයාලගේ වැඩේදී මාව මතක් වුණා. මම නිර්මාණයට අවංකව වැඩ කළා.

බිමල් එක්ක වැඩ කරන්නත් ඔබට පහසු වුණාද?
බිමල් සහ සුජානි පෞද්ගලිකවම ඉතාම හිතවත් දෙන්නෙක්. බිමල් අයියා කියන්නේ මට ගොඩක් දැනෙන කෙනෙක්. ඔහුත් එක්ක වැඩ කරන්න පහසුයි. අනිත් රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට වුණත් ඔහු එක්ක වැඩ කරද්දී ඒ පහසුව ඇති. අපි දෙන්නට දෙන්නා දැනෙන එක අපේ රංගනය සාර්ථක වෙන්නත් හේතුවක්.

මෙම චිත්‍රපටයේ ලිංගික දර්ශනයක් තිබෙනවා. චිත්‍රපටයට සම්බන්ධ වෙද්දී එය ඔබට ගැටලුවක් වුණේ නැද්ද?
ඒ දර්ශනය චිත්‍රපටයට අත්‍යවශ්‍ය දර්ශනයක්. මගේ ජීවිතේ යම් යම් සීමා තියෙනවා. ඒ නිසා මම ඒ දර්ශනයට සම්බන්ධ වෙන්න බෑ කියලා කිව්වා. ඒකට මලිත් වෙන උපක්‍රමයක් පාවිච්චි කරන්න එකඟ වුණා. මම ඇඟ පෙන්වන්න සූදානම් නැහැ. නමුත් මම එවැනි දර්ශන කරන රංගන ශිල්පීන්ට රංගන ශිල්පිනියන්ට ගරු කරනවා. මම එවැනි දෙයක් කරන තැනට දියුණු වෙලා නැහැ. කවුරු මොනවා කිව්වත් මම මගේ හෘද සාක්ෂියෙන් නිදහස්.

රංගනයේදී එවැනි සීමා මායිම්, වාරණ දාගෙන තියෙන්නේ ඔබ බිරියක්, මවක් නිසාද?
මම බිරියක්, මවක් වෙන්න කලිනුත් අතහැරපු චිත්‍රපට තියෙනවා. ඒ චිත්‍රපට වෙන රංගන ශිල්පිනියන් රඟපෑවා. නමුත් මම ඒ ගැන පසුතැවිලා වෙලා නැහැ. මම නිරුවත් දර්ශනවල පෙනී හිටින්නේ නැහැ. මම ඒ තරම් දියුණු නැහැ.

මෙය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන නිර්මාණයක් වෙයිද?
ඇත්තටම මෙය මගේ ජීවිතයට හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි. මම වේදිකා නාට්‍යවල වැඩ කරනවා. ටෙලි නාට්‍යවල සුළු වශයෙන් වැඩ කරලා තියෙනවා. මම ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව මේක. මම ඉදිරියට චිත්‍රපට කරයිද නොකරයිද මට මොන වගේ නිර්මාණ ඉදිරියේදී ලැබෙයිද දන්නේ නෑ. නමුත් මම සිනමාවට සම්බන්ධ වෙලා මම කැමැති චරිතයක් කැමැති විදියට නිරූපණය කළා.

ඔබ සිනමාවේ කලාත්මක හැඩතලයේ නිර්මාණවලට විතරද සම්බන්ධ වෙන්නේ?
වාණිජ, කලාත්මක කියලා මගේ භේදයක් නැහැ. මම වේදිකාවෙත් විවිධ ශෛලීන්වල නිර්මාණවල රඟපානවා. ලංකාවේ වාණිජ නිර්මාණ කිව්වම රූපය ගැන ගොඩක් හිතනවා. මම ඉතාම සරලව සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්. මට නිර්මාණයක් ලැබුණොත් භේදයක් කරගන්නේ නෑ.

ඔබ පුංචි තිරයේ, සිනමාවේ දකින්නේ අඩුවෙන්. එයට හේතුව එවැනි නිර්මාණවලට ආරාධනා අඩු කමද?
මට වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ වුණත් අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්. වේදිකා නාට්‍ය හැදෙන්නේ අඩුවෙන්නේ. ප්‍රියංකර රත්නායක, රාජිත දිසානායක, ප්‍රියන්ත සිරිකුමාර, පියල් කාරියවසම් වැනි මම වැඩ කරන්න කැමැති අධ්‍යක්ෂවරු ඉන්නවා.  වාසනාවට ඔවුන් නාට්‍ය කරනවා. ඉතිං වේදිකා නාට්‍යයක් කරද්දී අවුරුද්දකට එක නාට්‍යයකට විතර තමයි සම්බන්ධ වෙන්න සිදු වෙන්නේ. ටෙලි නාට්‍යවලට නම් මට කතා කරන්නේ නැති තරම්.

ආරාධනා ලැබුණොත් පුංචි තිරයේ ඕනෑම නිර්මාණයකට සම්බන්ධ වෙනවාද?
මම රජයේ රැකියාවක් කරන නිසා මෙගා නාට්‍යවල දිගට රැඳිලා ඉන්න අමාරුයි. ඒ වගේම මම එක දිගට ප්‍රේක්ෂකයන්ට පේන්න ඉන්නත් කැමැති නැහැ. ප්‍රසිද්ධිය කියන දේ අෑතින් තියෙන තරමට මම කැමැතියි. නිර්මාණකරුවන් යම් විශේෂ නාට්‍යයක් කරනවා නම් ඔවුන්ට මාව මතක් වෙනවා. ඉතින් එවැනි නිර්මාණයකට මම කැමැත්තෙන්ම සම්බන්ධ වෙනවා.

 ඔබ වගේ දක්ෂ රංගන ශිල්පිනියකට ආරාධනා අඩුවෙන්න හේතුව මොකක්ද?
ඒක හරියටම දන්නේ නැහැ. මම අවුරුදු තුනක් විතර ලංකාවේ හිටියේ නැහැ. ගොඩක් අය මම ලංකාවේ ඉන්නවා කියලා දන්නේ නෑ. මම දැන් ලංකාවේ ඉන්නේ. මම මේ අප්‍රේල්වල නම් ආයෙත් රට ගිහින් ලංකාවට එනවා. සමහරු මට කියනවා ‘ඔයා ලංකාවේ හිටියද? ඔයත් එක්ක වැඩක් කරන්න හිටියේ” කියලත්. ඒ වගේ මිස් වුණ අවස්ථා තියෙනවා.

බොහෝ අය ජනප්‍රිය මාධ්‍යවලට තමයි කැමැති. නමුත්  ඔබ තවමත් ජනප්‍රිය මාධ්‍ය පස්සේ යන්නේ නැතිව වේදිකාව එක්ක ඉන්නවා. මොකක්ද ඒකට හේතුව?
මම මුලින්ම බලන්නේ මගේ තෘප්තිය. මගේ තෘප්තිය තියෙන්නේ වේදිකාවේ. වේදිකාවේ සජීවීව කරන රංගනය තරම් මට වෙන දෙයක් දැනෙන්නේ නෑ. නමුත් මම සිනමාවටත් එක හෙළාම කැමැතියි. මම චිත්‍රපට බලන රස විඳින කෙනෙක්.

රංගනය වෘත්තීය කරගන්නේ නැත්තේ එයින් හම්බ කරන්න බැරි නිසාද?
රංගනයෙන් මුදල් හම්බ කරන්න බෑ. රංගනයෙන් මුදල් හම්බ කරන්න ගියාම වෙන්නේ අපි කලාව ඇතුළේ නන්නත්තාර වෙන එක. එතකොට අපිට මුදල් හම්බ කරන්න ඕන නිසා කතා කරන හැමදේම කරන්න වෙනවා. නමුත් දැන් මම රැකියාවක් කරන නිසා මාස් පතා මට පඩියක් ලැබෙනවා. ඒ නිසා මට කැමැති නිර්මාණයක් කරගෙන ඉන්න පුළුවන්. මම මවක්, බිරියක්. මට ඒ වගකීම් පැහැර හරින්නත් බැහැ. මම මගේ රැකියාවට ගොඩක් ආදරෙයි. මම රස්සාව නැති කරගෙන කලාවට යන්නේ නෑ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top