Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 17
761
Views
ගෑණු ළමයින්ටත් එළියට එන්න දැන් වෙලාව හරි...
ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන නිර්මාණ කරන්න ඕනේ...
 
 
භාතිය හා සන්තුෂ් සමඟ එක් වෙමින් තම සුමියුරු හඬින් ප්‍රේක්ෂකයන් වසඟයට ගත් උමාරියා සිංහවංශ ගයන හැම ගීතයක්ම ජනතාව ආදරයෙන් වැලද ගන්නවා. විවිධ පරාසයන්ගෙන් ගී ගයන උමාරියා සිය කලා දිවියේ අලුත් තොරතුරු පුවත් පතකට කියලා තිබුනේ මෙහෙමයි..

මේ දවස්වල උමාරියාගේ වැඩ කටයුතුවලින්ම කතාව පටන් ගමු?

මේ දවස්වල මගේ අලුත් ගීතයේ රූපරචනයේ වැඩ කටයුතු කරගෙන යනවා. රූපරචනාවේ රූගත කිරීම් කරන්නේ හම්බන්තොට. ඒ නිසා මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි. ඊට අමතරව ප්‍රසංගවලට යනවා. විදේශ සංචාර කිහිපයකටත් යන්න තියෙනවා.

උමාරියාගේ අලුත් ගීතය ගැන විස්තර කළොත්?

මේ ගීතය ටිකක් වෙනස් ආරක ගීතයක්. මේ ගීතය නිර්මාණය කළේ මමයි මගේ සැමියා දිමිත්‍රි ෆොන්සේකායි. ගීතයේ තනුව මගේ. සංගීතය දිමිත්‍රිගේ. පද රචනය කළේ මනුරංග විජේසේකර. මගේ ගීත බොහෝමයක් තියෙන්නේ මන්ද ස්වරයෙන් ගායනා කරන ගීත. නමුත් මේ ගීතට ටිකක් වෙනස් මුහුණුවරක් ගත්ත ගීතයක්. මම හිතනවා ඒක මගේ රසිකයන් ආදරෙන් වැළඳ ගනීවි කියලා.

රෝහණ විජේවීර කියන දේශපාලන වෘත්තාන්තයේ ආත්ම ප්‍රකාශනය ඔබේ හඬින්ම ගයන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

"ගින්නෙන් උපන් සීතල" දේශපාලනයට සම්බන්ධ චිත්‍රපටයක් වුණාට මම එයට සම්බන්ධ වෙන්නේ ගීත ගායනාව ඇසුරෙන්. එයාලට ඕනේ වුණේ රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතයට ආරෝපණය කරලා මේ ගීතය ගායනා කරන්න. ඇත්තටම කිසිම දේශපාලන මතවාදයක් නොමැතිවයි මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

ඔබ ක්ෂේත්‍රයට ආවේ භාතිය සහ සන්තුෂ් කණ්ඩායම සමඟින්. භාතිය සහ සන්තුෂ් සමඟ අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

අපි අලුත් ගීත කීපයක් නිර්මාණය කළා. භාතිය සන්තුෂ් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් පිරීම නිමිත්තෙන් "ඔබ නිසා" ගීත ඇල්බමය නිකුත් කළා. ඒ ඇල්බමයේ සනුක, උමාරියා, භාතිය සන්තුෂ් ගායනා කරන ගීතයක් තියෙනවා. තව "සරා සඳේ" කියලා වෙනස් ගීතයකුත් ඒ ඇල්බමයේම තියෙනවා. වෙනස් වෙනස් නිර්මාණ කීපයක් ඒ. "ඔබ නිසා" ඇල්බමය තුළින් ඒ ගීත නිර්මාණ රසවිඳින්න පුළුවන්. භාතිය සන්තුෂ් කියන්නේ මගේ අයියලා දෙන්නා. මම හැමදාම එයාලා එක්ක වැඩ කරනවා.

ඔබ දීර්ඝ කාලයක් B n S සමඟ කටයුතු කරනවා. කණ්ඩායමක් ලෙස කටයුතු කරද්දි භාතිය සහ සන්තුෂ්ගෙන් කොයි වගේ සහයෝගයක් ලැබෙනවාද?

මම ක්ෂේත්‍රයට ආවේ අවුරුදු 14 දී. මේ වෙද්දි වසර 14ක් මම භාතිය සන්තුෂ් සමඟ වැඩ කරනවා. මම ඒ කාලෙි සංගීතය නෙමෙයි කරන්න හිටියේ. සංගීතයෙන් ඉදිරියට යන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම ව්‍යාපාර හා අලෙවි අංශයෙන් ඉදිරියට ඉගෙන ගන්නයි හිටියේ. ඒ වගේ කාලයක තමයි මට භාතිය, සන්තුෂ් සමඟ වැඩ කරන්න ලැබෙන්නේ. අවුරුදු 14ක පොඩි ළමයෙක් වුණු මම භාතිය සහ සන්තුෂ් හරහා ක්ෂේත්‍රයට එනවා. අවුරුදු 14ක් එයාලත් එක්ක එකට වැඩ කරනවා. භාතිය, සන්තුෂ් මගේ අයියලා දෙන්නා වගේ. පවුලක් වගේ එකට අපි වැඩ කරන්නේ. එකට අඬනවා, එකට හිනා වෙනවා, එකට රණ්ඩු වෙනවා. මේ හැමදේම එක්ක තමයි අපි වැඩ කරන්නේ. මගේ ජීවිතේ ඉදිරියට එන්න මට ඔවුන් ලබාදුන්නු ගුරුහරුකම් කියලා නිම කරන්න බැහැ.

පණ්ඩිත් අමරදේවයන් වැනි ක්ෂේත්‍රයේ දැවැන්ත පෞරුෂයක් සමඟ උමාරියා ගීත ගායනා කළා. එවැනි විශාරද මට්ටමේ ප්‍රවීණයෙක් සමඟ නැවත ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඔව්. බලාපොරොත්තුවක් තියෙනවා සහ මේ වන විට ගීතයක් කරමින් පවතිනවා. ඒ ගැන දැන්මම කියන්නේ නැහැ. ඉදිරියේදීම මගේ රසිකයන්ට ඒ ගැන දැනගන්න පුළුවන් වේවි. රසිකයන් පුදුම කරන්න ඕනේ නිසා දැන්ම ඒ ගැන සඳහන් නොකර ඉන්නම්.

නව පරපුරේ ගායිකාවක් ලෙස ඔබ විශ්වාස කරන ආකාරය අනුව ගීතයක වඩාත් වැදගත් වෙන්නේ හඬද? එසේ නැති නම් රූපරචනයද?

මම හිතන විදියට හීතයක අංක එක වෙන්න ඕනේ හඬ. නමුත් අද කාලේ ගීතයක් රූපරචනයත් එක්ක තමයි ජනප්‍රිය වෙන්නේ. වර්තමානයට අනුව බැලුවොත් හඬ සහ රූපරචනය කියන දෙකම වැදගත් වෙනවා. ඒත් මූලිකම දේ තමයි හඬ. වර්තමාන සංගීත ක්ෂේත්‍රය ගත්තොත් මේ දෙකම උසස් මට්ටමේ තියෙන හොඳ නිර්මාණ කරන අයත් ඉන්නවා. ඒ වගේම ගුණාත්මකත්වයෙන් අඩු නිර්මාණ කරන අයත් ඉන්නවා. සමහර රූපරචනා බලන්න බැරි තරම් පිළිකුල්. කිසිම හික්මීමක් නැතිව තමයි රූපරචනා හදලා තියෙන්නේ. රසවින්ඳනය භාර රසිකයින්ට. රසිකයින් අතේ තමයි තියෙන්නේ තෝරාබේරා ගන්න එක.

වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ වෙනස් විය යුතු තැන් මොනවාද?

වෙනස් වෙන්න ඕනේ තැන් ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ තමයි ලංකාව කියන්නේ සංස්කෘතික වටිනාකමකින් ඉහළ රටක්. ඒ නිසා ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන නිර්මාණ කරන්න ඕනේ. රටක ඉන්න මිනිස්සු ගැන අවබෝධයක් නැතිව ජාත්‍යන්තරයට කියලා නිර්මාණ කරලා වැඩක් නැහැ. කවදා හරි දවසක අපිට ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙන්නේත් අපේ දේවල්වලින් අපේ සංස්කෘතික වටිනාකමෙන් මිසක් හොලිවුඩ්, බොලිවුඩ් ආකෘතියට නිර්මාණ කරලා නෙමෙයි.

ලංකාවේ ගායිකාවන් ඉන්නේ කීපදෙනෙක් පමණයි. ඒ අතරත් බහුතරයක් පැරණි ගායිකාවෝ. තරුණ කාන්තා කටහඬවල් ක්ෂේත්‍රයේ අඩු ඇයි?

ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතන විදියට ගායනයට ඉතාම දක්ෂ තරුණියන් ඉන්නවා. ඒත් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන්නේ තරුණ ගායකයන් විතරයි. කුමක් හෝ හේතුවක් නිසා ගැහැනු අයගේ දක්ෂතා යටපත් වෙලා යනවා. සමහරවිට තරුණියන්ට ක්ෂේත්‍රයට එන්න එතරම් උනන්දුවක් නැතුව ඇති. එහෙම නැතිනම් එයාලට ක්ෂේත්‍රයට එක්ක අවස්ථාවක් නැහැ. ගැහැනු පිරිමි භේදයත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්. අපේ රටේ දක්ෂතා තියෙන තරුණයෝ ගොඩක් ඉන්නවා. සනුක වික්‍රමසිංහ, දනිත් ශ්‍රී හොඳ උදාහරණ. ගෑණු ළමයින්ටත් එළියට එන්න දැන් වෙලාව හරි. හොඳ නිර්මාණ කරලා ක්ෂේත්‍රයට එන්න කියලා මම ගෑනු ළමයින්ට කියනවා.

මෙහෙම ගිහින් ජනප්‍රියත්වය නැති වුණු දවසක උමාරියාත් සංගීත නිකේතනයක් පටන් ගනිවිද?

කවදාවත් එහෙම වෙන එකක් නැහැ. මම කවදාහරි මැරෙන්නෙත් වේදිකාව උඩ. සංගීතයත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. නිදි මරාගෙන, උගුර රිදෙනකං පුහුණු වීම් කරන්නේ. කවදාවත් ක්ෂේත්‍රයෙන් අයින් වෙන්නේ නැහැ. මගේ සැමියත් ඒකට කැමති වෙන එකක් නැහැ. මගේ ජීවිතයේ හීන තියෙනවා. තාම ඒ හීනවලින් යථාර්ථයක් වෙලා තියෙන්නේ ටිකයි. ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට අරගෙන යන්න මම හීන දකිනවා. ඒකට මහන්සි වෙලා වැඩ කරනවා. අදටත් මහන්සි වෙන්නේ ක්ෂේත්‍රය වෙනුවෙන්. කවදාහරි මැරෙන්නෙත් සංගීතය වෙනුවෙන් කැප වෙලා.

අවසාන වශයෙන් උමාරියාට යමක් කියන්න ඇති?

ගොඩක් අය මගෙන් අහනවා මගේම කියලා සංගීත පාසලක් පටන් ගන්නේ නැද්ද කියලා. මම සංගීතය ඉගැන්වීම් කරන්නේ නැහැ. මගේ අක්කා උමාරා සංගීත පාසලක් කරනවා. "Umara Music Studio" කියලා. බත්තරමුල්ලේ තියෙන්නේ. එයට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න කියලා ගායනයෙන් ඉදිරියට යන්න ඉන්න තරුණ තරුණියන්ට ආරාධනා කරනවා.

-නිර්මාණි බණ්ඩාරනායක-


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top