Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 14
735
Views

https://assets.roar.media/Sinhala/2018/02/Cover-image26.jpg

මුලින්ම සඳ මත පා තැබූ මිනිසා කවුරුන්දැයි ඔබ අප කවුරුත් හොඳින් දන්නවා. ඒ නීල් ආම්ස්ට්‍රෝන්ග්. අවසන් වරට සඳ මත පා තැබූ මිනිසා කවුරුන්දැයි ඔබෙන් ඇසුවහොත් ඒ කවුරුන්දැයි ඔබ දන්නවාද?

ඉයුජින් සර්නන් හෙවත් “ජීන්” සර්නන් යනු මේ දක්වා අපගේ පාවෙන අසල්වැසියා වන චන්ද්‍රයා මත පා තබා ඇති අජටාකාශගාමීන්ගෙන් අවසන් අජටාකාශගාමියායි. ජෙමිනි 9A, ඇපලෝ 10 සහ ඇපලෝ 17 යන අභ්‍යවකාශ ගමන් ත්‍රිත්වයටම සහභාගි වී ඇති ඉයුජින් සර්නන් වඩාත් ජනප්‍රිය වූයේ ඇපලෝ 17 ගමනේදී ඔහු විසින් සිදු කළ අපූර්වතම ක්‍රියාවක් නිසාවෙනුයි.

සඳ මත ලියූ අකුරු

1972 වසරේදී දියත් කෙරුණු ඇපලෝ 17 සඳ ගමන මිනිසා විසින් සිදු කරන ලද සය වන සඳ මත පා තැබීම මෙන්ම පෘථුවි කක්ෂයෙන් පිටත මිනිසුන් සහිතව දියත් කෙරුණු නව වන අභ්‍යවකාශ ව්‍යාපෘතියයි.

මෙම සඳ ගමනේ අණ දෙන නිලධරයා හෙවත් කමාන්ඩ(ර්) වරයා වූයේද ඉයුජින් සර්නන්. ඇපොලෝ යානයේ සඳ මත ගමන් කිරීම සඳහා වූ ලූනා(ර්) මොඩියුල යානයට නැග සඳ මතින් නික්ම යන අවසන් මොහොතේදී සර්නන් සඳ මත තම දණ නමා සඳේ වැලි තලාව මත යමක් ලියනු ලැබුවා. ඒ “TDC” යන අකුරු ත්‍රිත්වයයි. තෙරේසා ඩෝන් සර්නන් (Teresa Dawn Cernan) නැමැති තම දියණියගේ නමේ මුලකුරු සඳ මත ලියූ මිනිසා ලෙසින් ඉයුජින් සර්නන් එම මොහොතේදී ඉතිහාසයට එක් වුණා.

ට්‍රේසි කුඩා කලදී ඉයුජින් සමග ගත් ඡායාරූපයක් (uk.businessinsider.com)

පෘථිවිය මෙන් නොව, සඳේ වායු ගෝලයක් නොමැති නිසා එම දුහුවිල්ල මත ලියූ තෙරේසාගේ නමේ මුලකුරු තවත් වසර මිලියනයකටත් එහා කාලයක් යනතුරු ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා. ඒ බව දැන සිටි සර්නන් තම දියණිය කෙරෙහි තමාගේ වූ අපමණ ස්නේහයද ඒ තාක් කල් රැඳෙන බව පෙන්වීමට ලියූ නොමැකෙන සටහන අදටත් සඳ මත පවතිනවා.

තවත් පුදුමයක්

මේ ඓතිහාසික සිදුවීමෙන් වසර කිහිපයකට පසුව තවත් අත්දැකීමකට මුහුණ දෙන්නට සර්නන්ට සිදු වුණා. ඔහු ඇලන් බීන් නැමති තම පැරණි මිතුරකු මුණගැසීමට ගිය මොහොතේදී ඇලන් විසින් සර්නන් වෙත ඔහු විසින් අඳින ලද සිතුවමක් පෙන්වනු ලැබුවා. ඇලන් බීන්ද සඳ ගමන්වල යෙදුණු අජටාකාශගාමියෙක්. ඒ ජීවිතයට සමු දීමෙන් අනතුරුව බීන්ගේ විනෝදාංශය වූයේ චිත්‍ර ඇඳීමයි. තම සගයා වෙත තමන් සහභාගී වූ සඳ ගමන් ඇසුරින් අඳින ලද සිතුවම් පෙන්වමින් සිටියදී ඒ එක් සිතුවමක් ඇපලෝ 17 සඳ ගමනේදී පිරික්සීමට ලක් කළ පරාසයක් බව ඉයුජින් හට වැටහුණා. ඒ අතර වූයේ ඇපලෝ 17 ගමනේදී එම කණ්ඩායම විසින් පරීක්ෂාවට ලක් කරන ලද විශාල පාෂාණයක සිතුවමකුයි.  එය දුටු විගසම ඉයුජින් පසුතැවෙන්නට පටන් ගත්තේ තම දියණියගේ නම ඒ පාෂාණය මත ලියා එන්නට නොහැකි වූ නිසාවෙනුයි.

ඉයුජින්ගේ මේ පසුතැවිල්ල පිළිබඳව කම්පාවට පත් ඇලන් බීන් ඊට ටික දිනකට පසුව නැවතත් ඉයුජින් හට තම නිවසට පැමිණෙන මෙන් ආරාධනා කර සිටියා. එහිදී ඉයුජින් දුටුවේ ඇලන් විසින් එම සිතුවම මත වූ පාෂාණයේ “ට්‍රේසි” හෙවත් තෙරේසාගේ කෙටි නම ඇඳ තිබෙන බවයි. සිතුවමේ එම වෙනස සිදු කරන්නට හේතුව කුමක්දැයි ඉයුජින් විමසූ විට ඇලන් සිනහ මුසු මුවින් යුතුව ප්‍රකාශ කළේ “මා ඔබට නැවතත් හඳට ගොස් එය ලියා එන්නට කරදර නොවිය හැකි තැනට වැඩ කළා” යනුවෙන්. ඇලන් බීන් මෙම සිතුවම “ට්‍රේසිගේ පාෂාණය” හෙවත් (Tracy’s Boulder) ලෙසින් නම් කළ අතර, පසු කලෙක එම සිතුවමේ පිටපතක්ද මහජන අයිතිය වෙනුවෙන් නිකුත් කළා. තම මිතුරාගේ පිය සෙනෙහස වෙනුවෙන් ඇලන් බීන් විසින් සිදු කළ උපහාරය එයයි.

ඉයුජින් ඇතුළු පිරිස ඇපලෝ 10 අභ්‍යවකාශගත වීමට පෙර (www.dnaindia.com)

සර්නන්ගේ දිවියෙන් බිඳක්

ඉයුජින් සර්නන් යනු දෙවරක් විවාහපත් වුණු පුද්ගලයෙක්. 1961 වසරේදී බාබරා ජීන් ඇච්ලි නැමති ගුවන් සේවිකාව සමග විවාහ වූ සර්නන්ට එම විවාහයෙන් උපන් එකම දරුවා වන්නේ තෙරේසා හෙවත් ට්‍රේසියි. ට්‍රේසි උපන්නේ 1963 වසරේදී වන අතර, 1981 වසරේ සර්නන් හා බාබරා නීත්‍යානුකූලව වෙන් වෙද්දී ට්‍රේසි වයස අවුරුදු 18ක තරුණියක් ව සිටියා. සර්නන්ගේ දෙවන විවාහයෙන් ඔහුට දාව දරුවන් නොවූ අතර, තම දෙවන බිරියගේ දරුවන්ට ඔහු සුළු පියකු වුණා. නමුත් කිසි දිනෙක ට්‍රේසි කෙරෙහි ඔහුගේ සිතේ වූ පිය සෙනෙහසෙහි අඩුවක් වූයේ නෑ.

සඳ මත පා තැබූ ඉයුජින් – (https://s.abcnews.com)

සර්නන් තම පළමු රැකියා පත්වීම ලබාගත්තේ ඇමරිකානු නාවික හමුදාවේ මූලික ගුවන් යානා පුහුණු නිලධාරියකු ලෙසයි. ජෙට් වර්ගයේ ගුවන් යානාවන් (Jet Aircrafts) නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහනය කිරීමේ නැව් හෙවත් Aircraft Carriers මතට ගොඩ බෑම ඔහුගේ රාජකාරියක් වුණා. ඔහුගේ අත්දැකීම් සම්භාරය හේතුවෙන්ම ඔහුට 1963 වර්ෂයේදී නාසා ආයතනයේ දොර හැරුණේ ඉතා පහසුවෙන්. අභ්‍යවකාශයේ සැරිසැරීම හෙවත් “Space walking” තාක්ෂණික වශයෙන් ඉතා අසීරු වූ යුගයක ජෙමිනි 9 ව්‍යාපෘතියට සම්බන්ධ වූ සර්නන් එම අභ්‍යවකාශ සැරිසැරීමද තමාට හැකි උපරිම අයුරින් සම්පූර්ණ කළේ නාසා ආයතනයට තම අනාගත ව්‍යාපෘතීන් සාර්ථක කරගැනීමට අවශ්‍ය වටිනා දැනුම් හා තොරතුරු සම්භාරයක් එක් කර දෙමිනුයි.

ඉයුජින්ගේ සැඳෑ සමයේදී ගත් ඡායාරූපයක් (www.ora.tv)

අභ්‍යවකාශ වීර චාරිකාවන්ට සමු දීමෙන් අනතුරුව ඉයුජින් “දිරිගැන්වීමේ කථිකයෙක්” මෙන්ම ABC නාලිකාවේ අභ්‍යවකාශ ගමන් පිළිබඳ විස්තර විචාරකයකු ලෙසත් කටයුතු කරා.

අපූරු මිනිසෙකුගේ නික්ම යාම

පසුගිය වසරේ ජනවාරි මස 16 වන දින ඇමරිකාවේ හියුස්ටන් නගරයේ රෝහලකදී ඉයුජින් සර්නන් සිය අවසන් සුසුම හෙලුවේ සිය පවුලේ සමීපතමයින් ඔහු අසල රැඳී සිටියදීයි. ඒ වන විට වයස අවුරුදු 82ක වයෝවෘද්ධයෙකු වූ සර්නන්ගේ මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොකෙරුනත් ඔහු ඒ වන විටත් දින ගණනාවක් තිස්සේ අසනීප තත්වයෙන් පෙළුණු නිසා ඒ හේතුවෙන් ඔහු මරණයට පත්වන්නට ඇතැයි මාධ්‍ය වාර්තා කරුණු පළ කළා. සයුරේ පමණක් නොව, අභ්‍යවකාෂයේද සිය දස්කම් දැක්වූ “මෙතෙක් සඳ මත පා තබා ඇති අවසන් මිනිසා” වන ඉයුජින් සර්නන් ඇමරිකානු නාවුක හමුදාවෙන්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සහ නාසා ආයතනයෙන් පිළිගන්වනු ලබන වීර පදක්කම් සහ සේවය ඇගයීමේ පදක්කම් රැසකට හිමිකම් කීවෙක්.  ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රජයේ සුසාන භූමියේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඉයුජින් සර්නන් අවසන් ගමන් ගියේ සිය නෑ හිත මිතුරන් විසින් පවත්වන ලද කුඩා අවමංගල්‍යෝත්සවයකින් අනතුරුවයි.

කවරයේ ඡායාරූපය – ඉයුජින් සර්නන් – ( http://www.latimes.com)

තොරතුරු උපුටා ගැනීම – www.space.com වෙබ් අඩවියේ “Eugene Cernan: Last Man on the Moon” ලිපිය සහ www.factfiend.com වෙබ් අඩවියේ The Man Who Wrote His Daughter’s Name on the Moon” ලිපිය ඇසුරිනි.

Imesha Madubhani

 

roar

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top