Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 13
1,307
Views

දියෝගෝ අල්වේස් සැලකෙන්නේ 19 වන සියවසේ පෘතුගාල‍ය දුටු දරුණුතම දාම ඝාතකයෙකු ලෙස යි. එම කාලයේ දී ඔහු පෘතුගාලයේ සිදු වූ ඝාතන රාශියකට වගකිව යුතු වුණා. ඔහුගේ බැල්ම සාමාන්‍ය මිනිසුන්ට බිය ගෙන ආවා. ඔහු විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතන නිසා තුරුණු වියේ දී ම ඔහු ව මරණයට පත් කෙරෙනවා. එම සිදුවීම සිදු වී දැන් වසර 177ක් ගත වෙලා. කෙසේ නමුත් ඔහුගේ බැල්ම තවමත් කුඩා දරුවන් ඇතුළු සංවේදී සිතැත්තන් ත්‍රාසයට පත් කරනවා. ඒ තවමත් හොඳින් සංරක්ෂණය කර ලිස්බන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තැන්පත් කර ඇති ඔහුගේ හිස නිසා යි. එහි යන්නෙකුට තවමත් ජීවී ස්වභාවයක් ගන්නා එම හිස හොඳින් අධ්‍යයනය කරන්නට පිළිවන්.

දියෝගෝ අල්වේස්ගේ හිස වෛද්‍ය විද්‍යාලයක බෝතලයක් තුළ නතර වූයේ කෙසේ ද? මේ ලිපි‍යෙන් ඒ පිළිබඳ ව ඔබත් සමග සාකච්ඡා කරන්නට අපි තීරණය කළා.

කවුද මේ දියෝගෝ අල්වේස්?

දියෝගෝ අල්වේස්- A. Victor Machado (1933). Do crime e da loucura. Lisboa, Henrique Torres

1810 වසරේ පෘතුගාලයේ දී උපන් දියෝගෝ අල්වේස් බොහෝ දෙනා හඳුන්වන්නේ පෘතුගාලය දුටු ප්‍රථම දාම ඝාතකයා ලෙස යි. තුරුණු වියේ දී ම දියෝගෝ ලිස්බන් නුවරට සංක්‍රමණය වන්නේ ආර්ථික අතින් පහත් තත්ත්වයකට පත් වී සිටි නිසා යි. එහි පොහොසත් නිවෙස්වල මෙහෙකාර සේවයට පැමිණි ඔහුට ඉක්මණින් ම පසක් වූයේ එම වෘත්තියෙන් කිසිදිනෙක තමන්ට ස්ථාවර මිනිසෙකු විය නොහැකි බව යි.

1836 දී ඔහු ලිස්බන් නුවර තදාසන්න එක්තරා පෙදෙසක වූ නිවසක මෙහෙකාර සේවය සඳහා බැඳෙනවා. මේ අසල ම කුඩා ඇළ මාර්ගයක් වූ අතර, එය ලිස්බන් නුවරෙහි ජනාකීර්ණ හා ග්‍රාමීය පෙදෙස් වෙන්කරන සංධිස්ථානයක් වූවා. ප්‍රවාහනයේ පහසුව සඳහා ග්‍රාමීය පෙදෙසෙහි වෙසෙන ගොවියන්, වෙළෙන්දන් ඇතුළු ජනයා මේ ඇළ මාර්ගය භාවිතා කිරීම සිදුකළ අතර, නිතර ම ඔවුන් සන්තකයෙහි මුදල් ගැවසුණා.

තරුණ දියෝගෝ මොවුන් අධ්‍යයනය කරන්නට පටන්ගත් අතර, ඔවුන් බොහෝ දෙනා ඉතා අඩු ආරක්ෂාවක් යටතේ තනිවම ගමන් කරන බව ඔහුට වැටහුණා. එනයින් බොහෝ පහසුවෙන් ඔවුන් සතු වස්තුව කොල්ලකෑ හැකි බව ඔහු වටහා ගත්තා.

ලිස්බන් නුවර භීතියෙන් ඇළලී යයි

ඉක්මනින් පොහොසතෙකු වීමට මාන බලමින් සිටි දියෝගෝට තමන් සේවය කළ නිවස අසබඩ ඇති ඇළ පහරෙන් එගොඩ මෙගොඩ වන ජනයාගෙන් මුදල් පැහැර ගැනීම ඉතා සාර්ථක උපක්‍රමයක් බව ඒත්තු ගියා. කෙසේ නමුත් පැහැරගැනීමෙන් පසු යමෙකු බේරී ගියහොත් තමන් පිළිබඳ හෙළි වේයැ යි ඔහු සැක සංකා ඇති කරගත්තා. මේ නිසා එසේ පැහැර ගන්නට ලක් වෙන්නන් මරණයට පත් කළ යුතුයැ යි ඔහු තීරණයකට පැමිණියා.

පෙර කී ඇළ මාර්ගය අසල අඩි 213ක උසකින් යුක්ත යම් ඉදිකිරීමක් තිබුණා. දියෝගෝ සැලසුම් කළේ එය මතට පැහැරගැනීමට ලක්වෙන්නා ගෙන ගොස් පහළට තල්ලු කිරීම යි. එය ආයුධයක් යොදාගෙන මිනිසුන් ඝාතනය කරනවාට වඩා ආරක්ෂාකාරීයැ යි ඔහු කල්පනා කළා.

දියෝගෝ මිනිසුන් ඝාතනයක කළ පාලම අද- finallylost.com

දියෝගෝ සිය පළමු සාර්ථක පැහැරගැනීම හා ඝාතනය 1836 දී සිදුකළා. 1836 හා 1839 වසර තුන ඇතුළත ඔහු විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතන ගණන 70කට අධික වුණා.

ලිස්බන් හි පොලිසිය මුලින්ම සිතුවේ මේ 'මියයාම්' සියල්ල සියදිවි නසාගැනීම් ලෙස යි. මේ නිසා පෙරකී ඉදිකිරීම (පාලම) තාවකාලික ව වසා දැමීමට ද ඔවුන් කටයුතු කළා. මේ හේතුවෙන් දියෝගෝගේ අවධානය වෙනතක යොමු වුණා. ඔහු ප්‍රදේශයේ පොහොසත් නිවෙස්වලට පැන, මිනිසුන් ඝාතනය කර, මුදල් හා දේපල පැහැරගන්නට පටන්ගත්තා. මේ වන විට ඔහු සොරුන් කණ්ඩායමක් ද බිහිකරගෙන තිබුණා. අල්වේස් හා ඔහුගේ සොර කණ්ඩායම හේතුවෙන් මුළු මහත් ලිස්බන් නුවර ම භීතියෙන් ඇළලී ගියා.

දියෝගෝ අල්වේස් හසුවෙයි

නිවෙස්වලට පැන මංකොල්ලකෑම සැලවීමත් සමග ම පොලිසියේ අවධානය දියෝගෝ වෙත යොමු වුණා. කිහිප ස්ථානයක දී ම ඔහු හඳුනාගෙන තිබූ අතර, මේ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින්, තමන් මින් පෙර සියදිවි නසාගැනීම්යැ යි වටහාගෙන තිබූ සිද්ධීන් ද දියෝගෝ විසින් සිදුකළ ඒවා බව පොලීසිය හඳුනාගත්තා. ඉතා සූක්ෂම ලෙස ඔහු හා කණ්ඩායම වටා දැල එලූ ඔවුන් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවෙස කොල්ලකෑමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගැනුණා. කෙටි නඩු විභාගයකින් පසු දියෝගෝට මරණ දඬුවම දීමට තීරණය කෙරුණා.

දියෝගෝ අල්වේස්ගේ හිස වීදුරු බඳුනක නැවතුණේ කෙසේද?

දියෝගෝ අල්වේස්ට එරෙහි මරණ දඬුවම 1841 පෙබරවාරි මාසයේ දී ක්‍රියාත්මක වුණා. ලිස්බන් නුවර දී ඔහු එල්ලා මරණු ලැබුවා. මේ වන විට ඔහු පසුවූයේ සිය දිවියේ 31 වැනි සැතපුම් කණුව පසු කරමිනුයි.

ලිස්බන් විශ්වවිද්‍යාලයේ ඇති අල්වේස්ගේ හිස- barnhard.nl

සාමාන්‍යයෙන් අපරාධකරුවෙකු මරණ දඬුවමකට ලක් කළ පසු ඔහුගේ හෝ ඇයගේ ශරීර කොටස් රහසිගත ස්ථානයක වළලා දැමීම හෝ සම්පූර්ණයෙන් විනාශ කර දැමීම සිදුවෙනවා. කෙසේ නමුත් 19 වන සියවස විද්‍යා පුනරුදයක් පැවති සමයක් නිසා යම් යම් විශේෂතා සහිතයැ යි හැඟී ගිය අයවලුන්ගේ සිරුරු කොටස් පරීක්ෂණ සඳහා ආරක්ෂා කර තබන්න්ට එකල විද්‍යාඥයින් පෙළඹුණා. විශේෂයෙන් පුද්ගලයෙකුගේ ගති ස්වභාවයන් හා හැසිරීම් පිළිබඳ ව යමෙකුගේ හිස්කබලේ ස්වභාවයෙන් පිළිබිඹු වෙන බවට මතයක් එකල පැවති නිසා අසාමාන්‍ය පෞරුෂත්වයයන් ප්‍රකට කළ අයවලුන්ගේ හිස් මරණයෙන් පසු පරිරක්ෂණය කර තැබීම සිදුවුණා. 1818 දී ඉංග්‍රීසීන් හමුවේ හිස් ගැසුම් ලැබූ මොනරවිල කැප්පෙටිපොළ මහාදිකාරම මරණයට මුහුණදුන් එඩිතර ලීලාව නිසා ඉංග්‍රීසීන් ඔහුගේ හිසත් ආරක්ෂා කොට එංගලන්තයට රැගෙන ගියේත් මෙවැනි හේතුවක් නිසා යි.
දියෝගෝ විෂයෙහි ඔහු සිදුකළ ඝාතනයන්හි කුරිරු බව මෙන්ම සූක්ෂම බව නිසා ඔහු ද අසාමාන්‍ය පෞරුෂයක් ඇති අයෙකු බව අනුමාන කළ එකල විද්‍යාඥයින්, ඔහුගේ හිසත් කඳින් වෙන් කර, පරීරක්ෂක ද්‍රාවණයක් සහිත වීදුරු බඳුනක බහා තැබුවා. එය යොදාගෙන කෙතරම් පරීක්ෂණ සිදුවූවා ද යන්න නිශ්චිත ව ම සඳහන් නැතත් ඔහුගේ මරණය සිදු වී වසර 177ක් ගතවන වර්තමානය වන විටත් එය තුළ සජීවී ලීලාවෙන් දියෝගෝ අල්වේස්ගේ හිස එදා සිටි ආකාරයෙන් ම තැන්පත් ව තිබෙනවා.

 

Dinindu Ekanayake
 

කවරයේ පින්තූරය: finallylost.com

මූලාශ්‍රයයන්:

Allthatsinteresting.com

Entertales.com

Cluebees.com

Ripleys.com

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top