Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 17
988
Views
තීරණ ගැනීමේ අයිතිය, පියා, සහෝදරයා, සැමියා හෝ පුත්‍රයාටයි 
 
"අකීකරුවීමේ වරද" යටතේ පැමිණිලි
 
 
සෞදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර ලබා දීම ජාත්‍යන්තරයේ ප්‍රශංසාවට ලක්වුණා. 
 
කාලාන්තරයක් තිස්සේ තිබුණු එම තහංචිය ඉවත් කෙරුණේ පසුගිය වසරේදීයි.
 
නමුත් සෞදි කාන්තාවට තවමත් දිවි ගෙවන්නට සිදු වී ඇත්තේ පුරුෂ පක්ෂය විසින් පනවන ලද තහංචි මධ්‍යයේයි.
 
"පුරුෂ භාරකාරත්ව රීතිය" ඉන් කැපී පෙනෙන තහංචියක්. එම රීතියට අනුව 'ඇය' වෙනුවෙන් තීරණ ගන්නේ 'ඔහු' යි.
 
එනම්, සෞදි කාන්තාවගේ ජීවිතයේ භාරධූර තීරණ ගැනීමේ අධිකාරිත්වය හිමි වන්නේ ඇයගේ පියා, සහෝදරයා, සැමියා හෝ පුත්‍රයාටයි.
 
තම පවුලේ සාමාජිකයන්ගෙන් පලා ගිය සෞදි තරුණියක් තායිලන්තයේ ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටිමින් ආපසු යාම ප්‍රතික්‍ෂේප කිරීමේ පුවතක් පසුගිය දිනවල වාර්තා වුණා.

දහඅට හැවිරිදි එම තරුණිය කියා සිටියේ නැවත සිය පවුලේ සාමාජිකයන් වෙත ගියහොත් තමන් සිරගත වීමේ අවදානමකට මුහුණ දෙන බවයි.
 
මෙම පුවත වාර්තාවීමත් සමඟ සෞදියේ පවතින "පුරුෂ භාරකාරත්ව රීතිය"පිළිබඳව ලෝකයාගේ අවධානය නැවත යොමු වුණා.
 
එම රීතියට අනුව, සෞදි කතකට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ වෙනත් රටක සංචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඇයගේ භාරකාරත්වය දරන පුරුෂයාගේ අනුමැතිය ලැබුණහොත් පමණයි.
 
තම තනි කැමැත්තට විවාහ ගිවිස ගැනීමට ද ඇයට වරම් නැහැ. ඊට ද භාරකරුගේ අවසරය ලබා ගත යුතුයි.
 
භාරකරු ගේ අවසරයක් නොමැතිව සෞදි කතට රජයේ ශිෂ්‍යත්වයක් මත වෙනත් රටක අධ්‍යාපනය ලැබීමට ද නොහැකියි.
 
එපමණක් නොව, සිරගත වී සිටින කාන්තාවකට නිදහස ලැබීමෙන් අනතුරුව සිර ගෙදරින් පිටව යාමට හැකියාවක් ලැබෙන්නේ තම භාරකරු අනුමත කළහොත් පමණයි.
 
අතවරයට ලක් වූ කාන්තාවන් රඳවා තිබෙන ආරක්ෂණ මධ්‍යස්ථානයකින් පිටව යාමට පවා ඇයට වරම් ලැබෙන්නේ සිය භාරකාරත්වය හිමි පුරුෂයාගේ තීරණය මතයි.
 
"සෑම සෞදි කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් ම උපතේ සිට මරණය දක්වා මේකට මුහුණ දෙනවා. කාන්තා පාර්ශවය අනිවාර්යයෙන් ම සැලකෙන්නේ බාල වයස්කාරියන් හැටියට." යැයි මොනා ටහාවි බීබීසීයට පැවසුවා. ඇය ඊජිප්තු සම්භවයක් සහිත ඇමරිකානු මාධ්‍යවේදිනියක්.
 
කාන්තාවන් වෙනස් කොට සැලැකීම සපුරා බැහැරලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සනාථ කරමින් සෞදි අරාබිය කියා සිටින්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කරන බවයි.
 
ඒ අනුව, සෞදි කාන්තාවට සහ පාසල් ශිෂ්‍යාවන්ට පැවති ක්‍රීඩා කිරීමේ තහනම පසුගිය වකවානුවේ ඉවත් කිරීමට එරට බලධාරීහු පියවර ගත්තා.
 
එමෙන්ම පාපන්දු තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ද කාන්තාවන්ට අවසර ලැබුණා.
 
කෙසේ නමුත් කාන්තාවන් වෙනස් කොට සැලැකීම නීතියෙන් තහනම් කිරීම සඳහා අණපනත් සම්මත කොට ක්‍රියාත්මක කිරීමට සෞදි අරාබිය අපොහොසත්වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන විශේෂඥයන් ගේ බරපතළ සැලකිල්ලට භාජනය වී තිබෙනවා.
 
ඔවුන්ගේ අවධානය යොමු වූ තවත් කාරණයක් වන්නේ කාන්තාව වෙනස් කොට සැලැකීම විවරණය කෙරෙන නීතිමය අර්ථ දැක්වීමක් සෞදි අරාබිය තුළ නොමැතිවීමයි.
"සමාජයට සහ ආර්ථිකයට කාන්තා දායකත්වය ලබා ගැනීම සඳහා පවතින ප්‍රධාන බාධකය" ඉහත කී පුරුෂ භාරකාරත්ව රීතිය බවට විශේෂඥයෝ හඳුනාගෙන තිබෙනවා.
"ඇතැම් ක්‍ෂේත්‍ර සඳහා පුරුෂ භාරකාරත්වයක අවශ්‍යතාව සෞදි අරාබිය විසින් සෘජුව ම සහ පැහැදිලිවම" බලාත්මක කරනු ලැබ ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය 2016 දී වාර්තා කළා.
ඊට එරෙහිව අභියෝග කර ඇති කාන්තාවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවටත් නඩු පැවරීමටත් ලක් වී ඇති බව ද ඔවුහූ පැවසුවා.
 
ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාධාරිනියක වන සමාර් බදාවි තම නිවසින් පලා ගියේ සිය පියා විසින් ඇය අපයෝජනය කරනු ලබන බවට චෝදනා කරමින්.
 
කාන්තා ආරක්ෂණ මධ්‍යස්ථානයක රැකවරණ ලැබූ ඇය අනතුරුව සිය 'පුරුෂ භාරකාරත්වය' පියාගෙන් ඉවත්කර ගැනීම සඳහා නීතියේ පිහිට පැතුවා.
 
ඊට පලිගැනීමක් වශයෙන්, "අකීකරුවීමේ වරද" යටතේ සිය පියා විසින් ඇයට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා.
 
විනිසුරුවරයාගේ නියෝගය මත 2010 වසරේ දී ඇය සිර ගත කරන ලැබුවා.
 
සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීම මත අවසානයේදී සෞදි බලධාරීන් ඇයට එරෙහිව තිබූ චෝදනා ඉවත් කර ගත් නමුත් ඒ වන විට ඇය මාස හතක කාලයක් බන්ධනාගාරගත ව සිටියා.
 
මාරියම් අල්-ඔටයිබි, සෞදියේ තවත් ක්‍රියාකාරිනියක්. ඇය මාස තුනක් තිස්සේ රැඳවුම් භාරයේ සිට ඇත්තේ "අකීකරුවීමේ වරදට" සිය පියා විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුවයි.
 
ඇය නිවෙසින් පලා ගියේ "පුරුෂ භාරකාරත්ව රීතියට" එරෙහිව සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිය පියා සහ සහෝදරයා තමන්ට හිරිහැර කරන්නට පටන්ගත් බව ඇය චෝදනා කරමින්.
 
රටින් පලා ගිය කතුන් පවා රැඳවුම් භාරයට පත් වුණා.
 
2017 දී දීනා අලි ලාස්ලුම් තම නිවෙසින් පලා ගියා. ඇය රටින් පිට වූයේ ඕස්ට්‍රේලියාව බලා යෑමේ අදහසින්. නමුත් ඇය පිලිපීනයේ දී අත්අඩංගුවට පත් වුණා.
 
ඇය ප්‍රකාශ කළේ තමන් අකමැති අයෙකුට බලෙන් විවාහකර දීමට උත්සාහ කළ බැවින් නිවෙසින් පලා ගිය බවයි. එරට බලධාරීහු බලහත්කාරයෙන් ඇයව පෙරළා පවුලේ සාමාජිකයන් වෙත භාර දුන්නා.
 
අනතුරුව ඇය රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිට ඇති බවට වාර්තා ලැබුණු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.
 
නමුත් ඇය නිදහස් වී නැවතත් පවුලේ සාමාජිකයන් වෙත ගොස් ඇතිදැයි තවමත් පැහැදිලි නැහැ.
 
පුරුෂ භාරකාරත්ව රීතිය වහා අහෝසි කරන ලෙස සමාජ ක්‍රියාධරයෝ කලක සිට බලකරමින් සිටිනවා.
 
අත්සන් 14,000කින් යුත් පෙත්සමක් 2016 දී එරට රාජකීය අධිකරණයට භාර දී ඇති නමුත් සෞදි අරාබියේ ආගමික අධිකරණ පද්ධතියේ ප්‍රධානියා විසින් එය හඳුන්වනු ලැබුවේ "ඉස්ලාම් ආගමට කළ අපරාධයක් සහ සෞදි සමාජයට එල්ල කළ තර්ජනයක්" ලෙසටයි.
 
කෙසේ නමුත් ඉන් මාස පහකට පසු, පුරුෂ භාරකාරත්වයේ අනුමැතියකින් තොරව කාන්තාවන්ට රජයේ සේවයට ඇතුළුවීමට අවසර දෙමින් සල්මාන් රජු විසින් ආඥාවක් නිකුත් කරනු ලැබුවා.
 
එමෙන්ම සෞදි කාන්තාවන්ට රිය පැදවීමට ද 2017 දී ඔහු අවසර ලබා දුන්නා.
 
නමුත් කාන්තාවන්ට සම අයිතිය ඉල්ලා සටන් කරන ක්‍රියාධරිනියන් මෙන්ම ඔවුනට සහයෝගය ලබා දෙන ක්‍රියාධරයන් රැඳවුම් භාරයට ගැනීමෙන් සෞදි බලධාරීන් විසින් මර්ධනකාරී පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබෙනවා.
 
අත්අඩංගුවට පත්වූවන්ට බරපතළ අපරාධ චොදනා එල්ල වී තිබෙනවා. ඒ අතර "විදේශ පාර්ශව සමඟ සැක කටයුතු සබඳතා පැවැත්වීම" වැනි බරපතළ චෝදනා ද වනවා.
 
එවැනි චෝදනාවකට දීර්ඝ කාලීන සිර දඬුවම් හිමි විය හැකි අතර රාජ්‍ය මාධ්‍ය විසින් මෙම ක්‍රියාධරයන් හඳුන්වා ඇත්තේ "ද්‍රෝහීන්" ලෙසින්.
 
-බීබීසී සිංහල

සිරගත වී සිටින කාන්තාවකට නිදහස ලැබීමෙන් අනතුරුව සිර ගෙදරින් පිටව යාමට හැකියාවක් ලැබෙන්නේ තම භාරකරු අනුමත කළහොත් පමණයි..
 
 
"සෑම සෞදි කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් ම උපතේ සිට මරණය දක්වා මේකට මුහුණ දෙනවා"
 
 
සමාර් බදාවි - මිෂෙල් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් සමඟ
 
 
සල්මාන් රජු ඔටුන්න හිමි කුමරු බින් සල්මාන් සමඟ
 
 
මාරියම් අල්-ඔටයිබි - අකීකරුවීමේ වරදට දින 100ක සිර දඬුවමක්
 
 
"ඉස්ලාම් ආගමට කළ අපරාධයක් සහ සෞදි සමාජයට එල්ල කළ තර්ජනයක්"
 
 
සෞදි කාන්තාවන්ට රිය පැදවීමට 2017 දී ඔහු අවසර දුන්නා...
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top