Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 15
807
Views

අවුරුදු නවයක් ගුවන් සේවිකාවක්… සැමියගේ වෙන්වීම දරාගන්න බැරිව මත්පැන් බිව්වා… විස්කි බ්‍රැන්ඩි සෙල්ලමේ ගිහින් හොර අරක්කු තිප්පොළේ නවාතැන්ගත් සමනළිය!

මත්පැන්වලට ඇබ්බැහිවීම නිසා ජොබ් එකත් නැති වුණා…
පුතා අම්මා ළඟ තියලා මම ආයතනගත වුණා


මේ සීතල කඳුරට ප්‍රදේශයේ වැදගත් පවුලක තරුණ කාන්තාවකි. කොළඹ සහ නුවර ජනප්‍රිය බාලිකාවන් දෙකකින් අධ්‍යාපනය ලැබූ ඇය දැනුමෙන් ද පෝෂිතය. උසස් පෙළ විභාගය වාණිජ අංශයෙන් ඉහළින්ම සමත්ව සිටින ඇය කොළඹ ජනප්‍රිය ආයතනයක පිළිගැනීමේ නිලධාරිණියක් ලෙස වෘත්තීය ජීවිතයට ඇතුළත් වී ඇත. අනතුරුව ගුවන් සේවිකාවක් ලෙස වෘත්තීය ජීවිතයේ නැවුම් පෙරළියක් කරමින් අහසේ පියාඹා යෑමට ද ඇය වාසනාවන්ත වූවාය. ඉහළ වැටුපකට හිමිකම් කියූ ඇය සැප සම්පත්වලින් පිරුණු සුපිරි ජීවිතයක් ද ගත කළාය. එහෙත් පෙර පින් සේම පෙර කළ අකුසල් ද රිය සක මෙන් ඇය පසුපස පැමිණියාය. ජීවිතයේ කොටසක් යැයි සිතූ ඇයගේ ආදරණිය සැමියා අයාලේ ගියේය. අවසානයේ ඇයගේ තනියට දරුවකු ලබාදී ඔහු කූඩුවෙන් ද ඉගිල ගියේය. සැමියාගේ වෙන්වීම දරාගැනීමට නොහැකි වූ ඇය කරන කියන කිසිවක් නොතේරෙන ගානට කම්පනයට පත් වූවාය. වියෝ දුක තුනී කරගැනීම් වස් මත්පැන්වලට ඇබ්බැහි වී මත් දියේ කිමිදුණු ඇයට එයින් ගොඩඒමක් නොමැති විය. රැකියාව නැති විය. කාලයක් හරි හම්බ කළ වස්තුව මත්පැනට දිය වී ගියාය. අවසානයේ අගුපිළට වැටුණු ඇය අලූත් ජීවිතයක් සොයාගෙන ආයතනගත වී සිටින්නීය. අපි ඇයව ‘කිරිල්ලී’ ලෙස හඳුන්වමු. මේ පෙළගැසෙන්නේ කිරිල්ලියගේ අත්තටු බිඳුණු ජීවිත කතාවය. අප ඇයගේ කතාව ඔබට කියන්නේ ඔබගේ ජීවිතයට පාඩමක් කරගැනීමට විනා කාලකණ්ණි වින්දනයක් ලබාගැනීමට නොවේ. එය හොඳින් මතක තබාගෙන දැන් අපි කිරිල්ලියගේ කතාවට සවන් දී සිටිමු…

‘‘අපේ පවුලේ හය දෙනයි. තාත්තා වතු අයිතිකාරයෙක්. අම්මා රක්‍ෂණ ආයතනයක ඉහළ තනතුරක් දරලා දැන් ජොබ් එකෙන් අයින් වෙලා විවේකී සුවයෙන් ඉන්නවා. මගේ අනිත් සහෝදරියො තුන්දෙනත් හොඳට ඉගෙනගත්තා. නංගි ජර්මන්වල කොම්පැණියක උසස් රැකියාවක් කරනවා. ලොකු අක්කත් ලංකාවේ හොඳ ජොබ් එකක් කරනවා. අනිත් අක්කා රැකියාවක් කරන්නේ නෑ. ඒ තුන්දෙනාම දැන් කසාද බැඳලා හොඳ පවුල් ජීවිත ගත කරනවා. අපේ පවුලේ කසාද ජීවිතය වැරැදුණේ මට විතරයි. ඒක මගේ අවාසනාව. ඒ වගේම මගේ කරුමක්කාර ජීවිතය නිසා දෙමවුපියොත් දුක්විඳිනවා…’’

අම්මයි, තාත්තයි අපි හතරදෙනාව හැදුවේ මල් වගෙයි. අපි පුංචි කාලේ ගෙදරින් දොට්ට බැස්සුවේ ඉස්කෝලේ යන්න විතරයි. ඉස්කෝලෙට ගියෙත් ගෙදර වාහනයෙන්. ඒත් පුංචි කාලේ ඉඳලා මගේ ජීවිතයට ලොකු අඩුවක් දැනුණා. ඒ තමයි ආදරය. තේරෙන වයසට එනකොට මම ආදරය හෙව්වා. ඒත් ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙනකම් මම හොයපු ආදරය ලැබුණේ නෑ. හොඳට ඉගෙනගත්තා. ශිෂ්‍යත්ව විභාගය පාස් වුණා. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම පාස් වුණා. වාණිජ අංශයෙන් උසස් පෙළ කරලා බී. දෙකයි, සී දෙකක් අරගෙන පාස් වුණා. ඊට පස්සේ මම කොළඹ ජොබ් එකකට ගියා. ඔෆිස් ගියේ ඥාති ගෙදරක නතර වෙලා ඉඳගෙන. ගෙදරින් ආවට පස්සේ මගේ හිතට ලොකු නිදහසක් දැනුණා. මම ඒ නිදහසට කැමැති වුණා. පාඩුවේ ජොබ් එක කරගෙන ගියා. එහෙම යන අතරේ අපිට ඥාති වෙන පවුලක කොල්ලෙක් එක්ක මම ආදර සම්බන්ධයක් පටන් ගත්තා. මගේ හිස්ව තිබුණු ජීවිතය ආදරයෙන් පිරුණා. ඒත් ඒ ආදරයට වැඩි ආයුෂ තිබුණේ නෑ. එයා මට වඩා වයසින් බාලයි. ඒ නිසා එයාගේ ගෙදරිනුයි, අපේ ගෙදරිනුයි කැමති වුණේ නෑ. අපි දෙන්නගේම කැමත්තෙන් ආදර සම්බන්ධය නතර කළා. ඒත් ඒක මට දරාගන්න අමාරු වුණා. ඇඬුවා, වැළපුණා… මැරෙන්න තරම් වේදනාවක් හිතට දැනුණා. ඒ තරමටම අපි දෙන්නා ආදරයෙන් බැඳිලා හිටියේ. කාලයට ඉඩ දීලා අමාරුවෙන් හිත හදාගෙන ජොබ් එක කරගෙන ගියා. එහෙම ඉන්න අතරේ මම ගුවන් සේවිකාවක් විදිහට ගුවන් සේවා ආයතනයකට එකතු වුණා…’’

‘‘2005 අවුරුද්දේ තමයි මම ගුවන් සේවයට එකතු වුණේ. මුලින් කරපු ජොබ් එකටත් වඩා ඒක නිදහස් රැකියාවක් වුණා. ඒ වගේම හිත පිරෙන සැලරි එකක් ලැබුණා. රට, රටවල සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. ජීවිතය ගෙවිලා යනවා තේරුණේ නෑ. එහෙම යනකොට එංගලන්ත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධියක් හදාරන්න මට අවස්ථාව ලැබුණා. මම වැඩ කරපු ගුවන් සේවා ආයතනයෙන් අවුරුදු දෙකකට නිවාඩු අරගෙන එංගලන්තයට ගිහින් ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. මම ලන්ඩන්වලට ගියේ 2010 අවුරුද්දේ. මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයේම නුවර කොල්ලෙකුත් ඉගෙනගත්තා. අපි දෙන්නගේ දැනහඳුනගැනීම ටික කාලයක් යනකොට ආදර සම්බන්ධයක් බවට පෙරළුණා. නිදහසේ ජීවත් වෙච්ච අපි දෙන්නගේ ජීවිත ආදරෙන් වේළුණා. සීමා මායිම් නොතිබුණු අපේ ආදරයේදී නොදැනීම මම අම්මා කෙනෙක් වුණා. ඊට පස්සේ අපි දෙන්නා කතා කරලා කසාද බැන්දා. එතකොට මට වයස අවුරුදු තිස් දෙකයි. මහත්තයට වයස විසිනවයයි. පළමු පෙම්වතා වගේම එයත් මට වඩා වයසින් බාලයි. එයා වයසින් බාලවීමත්, බෞද්ධ ආගමේ වීමත් නිසා අපේ කසාදයට පවුල් දෙකෙන්ම විරුද්ධ වුණා. අපි කතෝලික. ඒත් ඒ කිසිම දෙයක් අපි දෙන්නට ප්‍රශ්නයක් වුණේ නෑ. අපි ලංකාවට ඇවිත් කසාද බැඳලා මීගමුවෙන් කුලියට ගෙයක් අරගෙන ආදරයෙන් ජීවත් වුණා. ලන්ඩන්වලදී වගේම ලංකාවට ඇවිල්ලත් අපි දෙන්නා හිටියේ තනියෙන්. පවුල් දෙකෙන්ම කිසිම උදව්වක් තිබුණේ නෑ. දරුවා ලැබුණට පස්සේ තමයි අපේ අම්මලා ඇවිත් මාව ගෙදර එක්කරගෙන ගියේ…’’

‘‘මමයි, දරුවයි මහ ගෙදර නතර වුණා. මහත්තයා කොළඹ ඇවිත් මීගමුවේ ගෙදර ඉඳලා ඔෆිස් ගියා. එතකොටත් මහත්තයා හොඳ පිළිගත් ආයතනයක උසස් තනතුරක් දැරුවේ. දරුවා ලැබුණු මුල් දවස්වල සති අන්තයේ අනිවාර්යයෙන්ම මහත්තයා අපේ මහගෙදරට ආවා. නිවාඩු දවස් දෙකම ගෙදර ඉඳලා කොළඹ ගියේ සඳුදා උදේ. ඒත් දරුවා ලැබිලා මාස හයක් විතර යනකොට මහත්තයා ගොඩක් වෙනස් වුණා. නිවාඩු දවස්වලටවත් අපිව බලන්න එන්නේ නැතිව ගියා. ඉඳලා හිටලා ආවත් දරුවා, ගැනවත් මා ගැනවත් වැඩි සැලකිල්ලක් දැක්කුවේ නෑ. පැත්තකට වෙලා ෆෝන් එක ඔබ, ඔබ හිටියා. අපේ ගෙදර අයටත් ඒ වෙනස තේරුණා. ඒත් මමවත්, ගෙදර අයවත් ‘ඇයි එහෙම කරන්නේ…’ කියලා මහත්තයාගෙන් ඇහුවේ නෑ…’’

‘‘කාලය ගෙවිලා ගිහින් නිවාඩු ඉවර වෙලා මමත් ජොබ් එකට ගියා. අපේ අම්මා තමයි පුතාව බලා ගත්තේ. අපි දෙන්න විතරක් මීගමුවේ ගෙදර හිටියත් මහත්තයා මා ගැන වැඩි උනන්දුවක් දැක්කුවේ නෑ. ‘මොකක්ද ප්‍රශ්නය…’ කියලා ඇහුවත් ඔෆිස් එකේ ප්‍රශ්නයක් කියලා මාව මඟහැරියා. ඊට පස්සේ මම වටින් පිටින් හොයලා බැලූවා. මහත්තයාගේ ෆෝන් එකේ මැසේජ් බැලූවා. එතකොට තමයි මට දැනගන්න ලැබුණේ මහත්තයාගේ පරණ ආදර සම්බන්ධතාවය නැවත පටන්ගෙන කියලා. ඒ කෙල්ලත් නුවර. දරුව ලැබිලා අපි මහගෙදරට ගියාට පස්සේ තමයි පරණ යාළුකම නැවත දලූ දාලා තිබුණේ. ඒක දැනගත්තට පස්සෙ මට ඉවසුම් නැතිව ගියා. කේන්තියට වඩා හිතට දැනුණේ කලකිරීමක්. ඊට පස්සේ අපි දෙන්නා අතර නිතර ආරවුල් ඇති වෙන්න පටන් ගත්තා. සති ගණන් එයා ගෙදර එන්නේ නැතිව ගියා. නිවාඩු දවසට මම ගෙදර තනි වුණා. එහෙම ටික දවසක් ඉඳලා එයා අපිව බලන්න එන්නේම නැතිව ගියා. ඊට පස්සේ මට කතා කරලා ඩිවෝස් එක ඉල්ලූවා. මම බෑ කිව්වේ නෑ. ‘ ඕන දෙයක් බෙදාගන්න පුළුවන්. ඒත් මගේ මිනිහාව තවත් ගෑනියෙක් එක්ක බෙදාගන්න මට බෑ. ඔයා අපේ ජීවිතවල ඉන්නවට වඩා යන එක හොඳයි…‘ කියලා මම ඩිවෝස් එක දුන්නා. 2011 අවුරුද්දේ එයා මගේ ජීවිතයෙන් සදහටම අයින් වෙලා ගියා. මගේ මුළු ලෝකයම කඩා වැටුණ වගේ දැනුණා. වේදනාව දරාගන්න බැරි වුණා…’’

‘‘මගේ හිත පුංචිම දේටත් ඇඬෙන සමනල හිතක්. මට ලොකු හිත් වේදනාවක් දරාගන්න අමාරුයි. ඒක මගේ දුර්වලකම. මහත්තයට ඩිවොස් එක දීලා මම කෙලින්ම ගියේ කෝච්චියට පනින්න. ඒත් අන්තිම මොහොතේ දරුවා මතක් වෙලා කෝච්චිය දැක, දැක රේල් පාරෙන් අයින් වුණා. මම ගෙදර ගියාට පස්සේ අම්මා, තාත්තා මගේ සහෝදරියෝ නොයෙක් දේවල් කියලා මගේ හිත හැදුවා. දරුවයි, ගෙදර අයයි එක්ක ඉන්නකොට දුක වේදනාව යටපත් වුණාට වැඩට ගියහාම, මීගමුවේ ගෙදර තනි වුණහම මට මහා මූසල පාළුවක් දැනුණා. ඒ පාළුව, දුක වේදනාව නැති කරගන්න මම කළේ රෙස්ටුරන්ට්වලට ගිහින් විස්කි, බ්‍රැන්ඩි වීදුරු හිස් කරපු එක. නිවාඩු දවසට උදේ ඉඳලා රෑ නින්දට යනකම් වෙරි මතින් හිටියා. හිත මත් වුණහාම සියලූ දේවල් අමතක වෙලා වෙන ලෝකයකට යනවා කියලා මට දැනුණා. මම ඒ මත් ලෝකයට ආදර කරන්න පටන් ගත්තා. මත් නොවී හිටියේ රාජකාරි කරන අවස්ථාවලදි විතරයි. ඒ ජොබ් එක නැති වෙයි කියන බයට…’’

‘‘ගුවන් යානයේදී අපිට මත්පැන් බොන්න තහනම්. ෆ්ලයිට් එකට නඟින්න පැය දහයකට පෙර ඉඳලා අපි මත්පැන්, මත්ද්‍රව්‍යවලින් වැළකිලා ඉන්න ඕනා. ඒක අපේ ජොබ් එකේ නීතියක්. මත්පැන්, මත්ද්‍රව්‍ය අරගෙන චෙක් වුණොත් රස්සාවෙන් ඉවත් කරන්නත් පුළුවන්. ඒත් ගුවන් යානයෙන් බැහැලා හෝටලයට ගිය ගමන් අරක්කු බොන්න ගන්නවා. රෑට යාළුවො එක්ක සෙට් වෙලා පාටි දානවා. නිවාඩු දවස්වලට බොන්න ඩිස්කවුන්ට් එකට බෝතල් අරගෙන ආවා. සමහර නිවාඩු දවස්වලටත් යාළුවොත් එක්ක සෙට් වෙලා කෑවා, බිව්වා. කවුරුවත් නැති නම් තනියෙන්ම මීගමුවේ මුහුදු වෙරළට ගිහින් බීලා, බීලා වැල්ලේ නිදාගත්තා. සමහර දවස්වලට අරක්කු බෝතලයත් අරගෙන අපේ ගෙවල් පාරේ සොහොන් පිට්ටනියට ගිහින් බීලා නිදාගත්තා. කිසිම යකෙක් මගේ දිහා බැලූවේ නෑ. මිනිස් වෙස් ගත්ත යක්කු නම් මාව අත පත ගාන්න ආවා. මගේ පර්ස් උස්සලා තියෙනවා. ෆෝන් තිස්අටක් නැති වෙලා තියෙනවා. ඒත් කාටවත් මගේ ඇඟට අත තියන්න දුන්නේ නෑ. ‘මම එහෙම ගෑනියෙක් නෙමෙයි… මට කරදර කරන්න එපා…’කියලා හොඳින් කිව්වා. එහෙම කියලත් තේරුම් ගන්නේ නැති අයට නරකින් කිව්වා. බීච් එකේදී වුණත් ඕන පිරිමියෙක් එක්ක සෙට් වෙලා අරක්කු, සිගරට් බිව්වට ඒ අයත් එක්ක නිදාගන්න මම සූදානම් වුණේ නෑ. ජීවිතයට මම ලිංගිකව එකතු වෙලා තියෙන්නේ එක පිරිමියෙක් එක්ක විතරයි. අදටත් එහෙමයි. මතුවටත් එච්චරයි. ඒක මගේ ප්‍රතිපත්තියක්. කසාදය කැඩුණට පස්සේ මගේ ජීවිතය වෙලා තිබුණේ මත් වතුර විතරයි. මත්පැන්වලට කොච්චර ඇබ්බැහි වුණාද කිව්වොත් නිවාඩු දවස්වලට දරුවා බලන්න ගියෙත් නෑ. උදේ නැඟිට්ට වෙලාවේ ඉඳලා රෑ නින්දට යනකම්ම අරක්කු බිව්වා. සමහර දවස්වලට මහා රෑට නින්දෙන් ඇහැරුණාමත් අරක්කු බීලා තියෙනවා. පන්දර දෙකට, තුනටත් මීගමුවේ රෙස්ටුරන්ට්වලට ගිහිල්ලා බීලා තියෙනවා. ඒත් මම කොහේ බිව්වත් මගේ ලිමිට් පැනගෙන එනකොට ත්‍රීවීල් එකක් අරගෙන ගෙදරට ඇවිත් හොඳට නාලා නිදාගන්නවා…’’

‘‘පියවි සිහියෙන් මට නින්ද ගියේ නෑ. මහත්තයා කතා කරනවා ඇහෙනවා… එයාව හීනෙන් පේනවා… ඒ නිසා මම පියවි සිහියෙන් හිටියේ රාජකාරි කරන අවස්ථාවේ විතරයි. අනිත් සෑම මොහොතකම මම හිටියේ මත් වෙලා. අන්තිමේ අරක්කු නැතිව මට ඉන්න බැරි වුණා. රෑ එළිවෙනකම් අරක්කු බීලා, බීලා සමහර දවස්වල උදේට රාජකාරියට යන්න බෑ. එතකොට බොරුවට අසනීපයි කියලා නිවාඩු දැම්මා. මෙඩිකල් ලිව් ප්‍රමාණය ඉක්මවා යනකොට අපි ආයතනයට හේතු දක්වන්න ඕනා. අපිට හේතු දක්වන්න බැරි වුණොත් ඩොක්ටර් කෙනෙක් ළඟට දාලා බොඩි චෙකප් එකක් කරවනවා. මම නිවාඩු දානවා වැඩි වෙනකොට එහෙමත් කෙරෙව්වා. ඒත් රිපොට් එකේ කිසිම ලෙඩක් නෑ. ඊට පස්සේ මට ඔෆිස් එකේ වැඩ කරන්න කියලා දඬුවමක් දුන්නා. ඒත් මම රෑට බීලා, බීලා උදේට නැඟිට ගන්න බැරි දවසට නිවාඩු දැම්මා. අන්තිමේ ඔෆිස් එකෙන් මගේ ලෆිෆ් එක ගැන හොයලා බලලා මම තදින්ම ඇල්කොහොල්වලට ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා දැනගත්තා. ආයතනයෙන් මාව ඉවත් කරන්න ඉස්සර වෙලා, මම අස්වීමේ ලිපිය දීලා ඉවත් වුණා. මම රස්සාවෙන් අයින් වුණේ 2014 අප්‍රියෙල් නව වැනිදා. එදා ඉඳලා මම ජීවත් වුණේ පැය විසිහතරම මත් වෙලා…’’

‘‘කිසිම ආදායමක් නෑ. වියදම විතරයි. මගේ බැංකු පොත්වල තිබුණු සල්ලි ටික, ටික අරගෙන එකවුන්ට් හිඳුණා. ඊට පස්සේ අතේ කරේ තිබුණු රත්තරං බඩු ටික උකස් කර, කර බිව්වා. ඒවත් ඉවර වෙනකොට මගේ පාවිච්චියට තිබුණු කාර් එකත් විකුණලා ගත්තු සල්ලිත් ඇල්කොහොල්වලටම දිය කර දැම්මා. ගේ කුලිය ගෙවා ගන්න සල්ලි නැති වුණා. අන්තිමට මට උදව් කළේ මගේ යාළුවකුගේ තාත්තා කෙනෙක්. එයා ප්‍රංශ ජාතිකයෙක්. හිටපු ෆයිලට් කෙනෙක්. අදටත් ජීවත් වෙන්නේ ප්‍රංශයේ. ඒ අංකල් හැම මාසයකම වියදමට කියලා මට සල්ලි දැම්මා. අංකල් එවපු සල්ලිත් සේරම වියදම් කළේ අරක්කුවලට. ටික කාලයක් යනකොට ඇඟ් ඇල්කොහොල් නැති වෙනකොට මගේ අතපය ගැහෙන්න ගත්තා. උදේට නැඟිට්ටම අතපය වෙව්ලනවා. අරක්කු උගුරක් බිව්වම තමයි වෙව්ලන ගතිය නැති වුණේ. ඒත් උදේ පාන්දරට බාර් අරින්නේ නෑ. රෙස්ටුරන්ට්වල උදේ පාන්දරට අරක්කු දෙන්නෙත් නෑ. කරන්නම දෙයක් නැති තැන හිමිදිරියේම ලෙල්ලටම ගිහිල්ලා කසිප්පු බොන්න පුරුදු වුණා…’’

‘‘මම කවුද කියලා මට අමතක වුණා. මගේ හොඳ පුරුදු අමතක වුණා. මට නොගැලපෙන මිනිස්සු එක්ක එක බංකුවේ වාඩි වෙලා කසිප්පු බිව්වා. ඒවා දැකලා මිනිස්සු මට නින්දා කළා. ජීවිතය ගැන මට කලකිරුණා. අන්තිමේ මම ගෙදරට ගිහිල්ලා අම්මගේ කකුල් දෙක ළඟ වැටිලා ඇඬුවා. ඊට පස්සේ තමයි අම්මයි, තාත්තයි මාව මෙතැනට අරගෙන ආවේ. දැන් මම මෙතැනට ඇවිත් මාස තුනකට වැඩියි. දැන් මගේ හිතේ ඇල්කොහොල්වලට ඉඩක් නෑ. තව ටික දවසක් මෙතැන ඉඳලා හොඳටම ඔලූව හදාගෙන ගෙදර යනවා. මත්පැන්වලින් සම්පූර්ණයෙන්ම මිදිලා කියලා ඔප්පු කළහාම රස්සාව නැවත ලබා දෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් මට තියෙන එකම බලාපොරොත්තුවත් නැවත ජොබ් එකට ගිහිල්ලා දරුවට හොඳට උගන්නගෙන ජීවත්වීම විතරයි. ඉදිරියට මම ජීවත් වෙන්නේ පුතා වෙනුවෙන් විතරයි. එතැනින් එහාට මට සිහින නෑ. මේ ආත්මයට මගේ ජීවිතයට නැවත පිරිමි ළං කර ගන්නෙත් නෑ…’’ කිරිල්ලිය හීන් හසරැල්ලක් මුවගට තුරුළු කරගෙන නිහඬ වූවාය.

කතාව ඇසෙනවිට මට දැනුණේ ඇය මානසික රෝගයකින් පෙළෙන බවය. ඇය ද ඒ බව පිළිගත්තාය. එහෙත් දැන් ඇය මත්පැනින් මිදී පියවි සිහියට පැමිණ සිටින්නීය. ජීවිතයට කසාද මනුස්සයෙක් නොසිටි ගානට බිඳුණු සිත පිළියම් කරගෙන සිටින්නීය. අමාරුවෙන් හදාගෙන සිටින ඇයගේ අලූත් ජීවිතයට ආශිර්වාද කරමින් කතාව නතර කරනවා හැරෙන්නට අඩු වැඩි එකතු කිරීමට ඇවැසි නැත.

නොසිතූ විරූ ආදරණීය බැඳීම් කැඩි බිඳී ගිය විට සිත් කම්පනයට පත්ව අයාලේ දිවීම සාමාන්‍ය දෙයකි. එහෙත් සිත පාලනය කරගැනීමට අප බුද්ධිමත් විය යුතුය.

තරංග රත්නවීර

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top